මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් ඉදිරි දැක්මක් යටතේ ඉදිකළ කොළඹ පිටකොටුව ලෝක වෙළෙඳ පොළ මධ්‍යස්ථානය, කොළඹ ගෝල්ඩ් සෙන්ටර් හා පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය යන ස්ථානවලට පසුගිය ආණ්ඩුව විසින් අඩු සැලකිලි ලබාදීම හේතුවෙන් එම ස්ථාන අභාවයට යමින් තිබිණි.
කෙසේ වෙතත් එම ස්ථාන නැවතත් යථා තත්ත්වයට පත් කිරීමට වත්මන් ආණ්ඩුව සැලසුම් සකස් කර තිබේ. ඒ අනුව එම ස්ථානවල පවතින අඩුපාඩු සොයා බලා එම ස්ථාන නැවතත් පාරිභෝගික හා සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන බවට පත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම වෙනුවෙන් පසුගියදා එම ස්ථානවල නිරීක්ෂණ චාරිකාවට එක්වීමට අවස්ථාව ලැබිණි.
නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූ අතර, නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාගැනීමට තිබූ අවස්ථා මේ හේතුවෙන් අහිමි වී තිබේ. මෙවැනි ව්‍යාපෘති හේතුවෙන් එවකට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වූ නගර අතරට එක්විය.
මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මෙහිදී කොළඹ ව්‍යාපෘති සංසදයේ මෙහෙයවීමෙන් කොළඹ හා පිටකොටුව ව්‍යාපාරික සංසදයට අයත් සාමාජික සාමාජිකාවන්ගේ හමුවක්ද පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ කොළඹ ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන ජාතික සංවිධායක එම්.එස්.ඒ. මූනීර් මහතා පෙන්වා දුන්නේ පසුගිය රජයේ කුඩම්මාගේ සැලකිලි හේතුවෙන් මෙම ස්ථාන තුනේම ව්‍යාපාරික කටයුතු අඩාළ වී ව්‍යාපාරික ස්ථාන වැසී ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් වත්මන් රජය නැවතත් වැඩ කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අරමුණ ඇතිව ව්‍යාපාරික ප්‍රජාව වෙත විශාල වශයෙන් සහන මෙන්ම දිරිගැන්වීම් ලබාදීමට කටයතු කර තිබේ. ඒ හා සමගාමීව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ ගෝල්ඩ් සෙන්ටර් හා පාවෙන වෙළෙඳ සංකීර්ණයේ වසා දමා ඇති සියලුම ව්‍යාපාරික ස්ථානවල කලින් ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන ගිය සැමට නැවතත් එම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් ලබාදීමට අපි ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නෙමු.
එසේම මෙම ස්ථානවල විනාශ වී ඇති සියලුම යටිතල පහසුකම් කඩිනමින් නැවත පිළිසකර කොට ව්‍යාපාරිකයන්ට හා පාරිභෝගික ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය සියලු පියවර ගැනීමටද අපි රජයක් ලෙස කටයුතු කරන්නෙමු.
මේ අතර පසුගිය රජය විසින් නොසලකා හැරි බත්තරමුල්ල දියත උයනද මේ වනවිට ක්‍රමයෙන් නැවතත් ජනතාව අතර ප්‍රසිද්ධ වෙමින් තිබේ. එහි දියත උයන දුම්රිය ස්ථානය නැවතත් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයට ලක්වෙමින් තිබේ.
සූරියවැවට තාක්ෂණ විශ්වවිද්‍යාලයක්
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ දියගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආරම්භ කර දැනට වසර 09ක කාලයක් ගතව තිබේ. අධ්‍යාපන ක්රමයේ වෙනසක් අරමුණු කර ගනිමින් ආරම්භ කළ මෙම විද්‍යාලය තාක්ෂණ විෂයයන් සඳහා වැඩි ප්රමුඛත්වයක් ලබාදුන්නේය.
වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද නැවතත් මෙම විදුහල යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටියි. එය රටේ අනාගතය වෙනුවෙන් සුබදායී ලකුණකි. මේ අතර සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය හා ක්‍රීඩා ගම්මානයට සමගාමීව එහි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමටද රජයේ අවධානය යොමුව තිබේ.
මෙම විශ්වවිද්‍යාලය තුළ දැනට ලෝකයේ වැඩි ඉල්ලුමක් පවතින විෂය ක්ෂේත්රයන් ඉගැන්වීමට සැලසුම් සකස් කොට තිබේ. ඒ අනුව රොබෝ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, සංචාරක ක්ෂේත්රය, ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් ලබාදීමට අපේක්ෂා කරන්නෙමු.
මෙම විශ්වවිද්‍යාලය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ ගොඩනැගීමට අදහස් කරන්නෙමු. ශ්‍රී ලංකාවේ මානව සම්පත ලෝකයේ කිසිම රටකට නොදෙවෙනි මානව සම්පතකි. අවශ්‍යව ඇත්තේ මෙම සම්පත නිසි පරිදි කළමනාකරණය කිරීමය. ඒ සඳහා රජය දැනටමත් වැඩසටහන් රාශියක් සකස්කර ඇති අතර, එහි එක් අංගයක් ලෙස මෙම තාක්ෂණ විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ණය ගෙවීම
මේ වර්ෂය ආරම්භයේදීම අප සඳහන් කළේ මෙය අභියෝගාත්මක වසරක් බවයි. මන්ද යත් විශාල වශයෙන් ණය ගෙවීම මේ වසරේ සිට ඉදිරි වසර හතරක කාලයක් සඳහා ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාව මේ දක්වා කිසිම ආකාරයකින් ලබාගෙන ඇති ණයක් ආපසු නොගෙවා නොමැත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරයි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැතියද, කුමන ආණ්ඩුවක් පැවැතියද විදේශ ණය ගෙවීමේ යාන්ත්‍රණය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත් මේ වනවිට අපි ජාතික ආර්ථිකය ප්‍රසාරණය කිරීමට කටයුතු කරමින් සිටින්නෙමු. ව්‍යාපාරිකයන් සඳහා සහන මෙන්ම දිරිගැන්වීම් ලබාදෙමින්, විදේශ ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මණය කරමින්, රාජ්‍ය අංශය තවදුරටත් කාර්යක්ෂම කිරීමටද කටයුතු කරන්නෙමු.
මේ හරහා දැනට ඉතාමත් පහළ මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකට රැගෙන ඒමට අප අදහස් කරන අතර, ඒ අනුව දැනට විපක්ෂය සඳහන් කරන ණය ගෙවීමට විසඳුමක් පමණක් නොව ගැටලු රාශියකට විසඳුම් ලැබෙනු ඇත.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!