නැවත ඇරඹි පාසල් පද්ධතිය දිගටම මෙහෙමද?


පාසල් යළි ආරම්භ වීමත් සමග දෙමාපියන් තුළ විවිධාකාර ප්‍රශ්න හා ගැටලු පැනනැගී තිබේ. මාස තුනක් වැනි කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් විෂය මාලා ආවරණය කිරීමේ කටයුතු නියමාකාරයෙන් සිදුකරන්නට හැකි වේද? විභාගවලට සිදුවනුයේ කුමක්ද? යනාදී බොහෝ ප්‍රශ්න ඔවුන්ට ඇති වී තිබේ.

එබැවින් මෙවැනි ප්‍රශ්න කිහිපයක් අප විසින් අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා වෙත යොමු කරනු ලැබූ අතර, ඒ ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණි.

දෙවැනි වාර නිවාඩුව හා පාසල් යළි විවෘත කිරීම

මෙම වර්ෂයේ පළමු වාරය සඳහා පාසල් නිවාඩු ලබා දීමට ‍නියමිතව තිබුණේ අප්‍රේල් මස 06 වැනිදාය. නමුත් කෝවිඩ්19 ගෝලීය වසංගතය මෙරටට ඇතුළු වීමත් සමගම දරුවන්ගේ ආරක්ෂාව පතා කඩිනමින් පාසල් වසා දැමීමට රජය තීරණය කළේ ඉකුත් මාර්තු මස 13 වැනිදාය.

එදින සිට අප්‍රේල් 20 වැනිදා දක්වා පළමු වාර නිවාඩුව බලපැවැත්වීමට නියමිතව තිබුණද, එය තවත් දීර්ඝ විය.  ඒ අනුව කෝවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතු‍වෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති නිර්දේශයන්ට අනුකූලව නැවත ආරම්භ කිරීම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කරන ලදී.

ඒ අනුව, ජූලි මස 27 වැනි සඳුදා දින සිට 11,12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කළ අතර, 31 සිකුරාදා දින තෙක් එම ශ්‍රේණිවල සිසුන් පමණක් පාසල් වෙත කැඳවනු ලැබිණි.

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම සහ මැතිවරණ රාජකාරී සඳහා බොහෝ ගුරුභවතුන් යොදා ගැනීම හේතුවෙන් අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා දින සිට අගෝස්තු මස 07 වැනිදා තෙක් පාසල් වසා තැබීමට පසුව රජය තීරණය කළේය.

ඒ අනුව 1 සිට 13 දක්වා වන සියලුම ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනිදා සිට පාසල් ආරම්භ කරනු ලැබිණි. එහිදී සිසුන් පාසලට ගෙන්වා ගැනීම ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් තීරණය කිරීමට උපදෙස් ලබා දී තිබිණි.

පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල් මීටරයක ශිෂ්‍ය පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යා හැකි නම් සියලුම ශ්‍රේණිවල සිසුන්ට සුපුරුදු පරිදි අගෝස්තු මස 10 වැනිදා සිට පාසල් පැවැත්වීමට ඒ අනුව අනුමැතිය ලබා දෙනු ලැබිණි.

ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික පාසල්වල 1-5 පන්ති පැවැත්වෙන පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ  ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබෙනුයේ පහත පරිදිය.

මෙම තීරණයට අනුව 10 වැනිදා පාසල් ආරම්භ කෙරුණු අතර එය සෞඛ්‍ය නිර්දේශ අනුව සාර්ථකව සිදුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා මාධ්‍යට පවසා තිබිණි. විශේෂයෙන් සමස්ත දිවයිනේම පාසල්වල සිසුන් පැමිණීමේ ප්‍රතිශතය 75෴ක් තරම් ඉහළ අගයක් එදින සටහන් වී තිබිණි.

දෙවැනි වාරය හා තුන්වැනි වාරය

මෙලෙස සතියේ නම් කළ දිනවල ඒ ඒ ශ්‍රේණිවල ළමුන් පාසලට ගෙන්වීමේ තීරණය ඔක්තෝබර් 09 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. විශේෂයෙන් ඔක්තෝබර් 12 වැනිදා උසස් පෙළ විභාගය ආරම්භ වීමට නියමිතව තිබීම හේතුවෙන් දෙවැනි වාර නිවාඩුව ඔක්තෝබර් 09 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

යළි තෙවැනි වාරය සඳහා පාසල් විවෘත කරනු ලබනුයේ නොවැම්බර් මස 16 වැනිදාය. එදින සිට ආරම්භ වන තුන්වැනි වාරය සඳහා නව සැලැස්මක් හඳුන්වා දීමට නියමිතය. තුන්වැනි වාර අවසානයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම අධ්‍යයන වර්ෂයේ සාමාන්‍ය පෙළ ගැස්ම අනුව සිදුවන්නකි. නමුත් 2020 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දිනයන් පිළිබඳ තවම තීරණය කර නොමැති වීම හේතුවෙන් වසර අවසාන පාසල් නිවාඩුව ලබාදෙන දිනයද තවම තීරණය කර නොමැත.

කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය අදහස් කරගෙන සිටිනුයේ සාමාන්‍ය පෙළ විභාගය සුපුරුදු පරිදි දෙසැම්බර් මස පැවැත්වීමටය. නමුත් ඉදිරියේදී රටේ පවතින වාතාවරණය මත එකී තීරණයේ යම් වෙනස් වීමක් සිදුකරන්නට වුවහොත් ඒ සඳහාද අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් සකස් කිරීමට සූදානම්ව සිටී.

මගහැරුණු විෂය මාලාව ආවරණය කිරීම

මාස තුනක් වැනි කාල සීමාවක් පාසල් අධ්‍යාපනය අහිමි වූ දරුවන් යළි පාසල් තුළ ඉගෙනීම් කටයුතු ආරම්භ කළත් මේ වර්ෂයට අදාළ විෂයමාලාව ආවරණය කිරීම බලාපොරොත්තු වනුයේ 10 හා 11 ශ්‍රේණිවල පමණි. අනෙක් ශ්‍රේණිවල විෂය මාලාව 2021 වර්ෂයේ අධ්‍යයන වර්ෂයට රැගෙන යාමට තීරණය කර තිබේ.

ඒ අනුව 2021 වර්ෂය සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. මේ වර්ෂයේ දෙවැනි හා තෙවැනි වාරයේ ළමුන් පාසල් කැඳවන දින කිහිපය තුළ පෙළ පොත්වල ඇති විෂය කරුණු ආවරණය කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා කාලය ප්‍රමාණවත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් සවස 3.30 දක්වා පන්ති කාමර තුළ දරුවන් රඳවාගෙන පාසල් ඉගැන්වීම් කටයුතු සිදුකිරීමේ තීරණය වැඩි කාලයක් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අදහස් නොකරයි. ඒ අනුව වර්ෂයට අදාළ ඉගැන්වීම් පැය ගණන ආවරණය වනතුරු සවස 3.30 දක්වා පාසල් පැවැත්වීම සිදුකරනු ඇත.

මෙලෙස සමස්ත ශ්‍රී ලංකාවේම පාසල්වල අධ්‍යාපන කටයුතු සැලසුම් කර තිබියදී ගම් පළාත්වල දෙමවුපියන් නගන මැසිවිල්ලක් වනුයේ නගරබද පාසල්වල ළමුන්ට පාසල් වසා තබා තිබියදී ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඉගැන්වීම් සාර්ථකව සිදුකළද ගම්බද ළමුන්ට එය අහිමි වීම අසාධාරණ බවයි.

මේ කරුණ පිළිබඳ අවධානය යොමු කරන අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරයා පවසනුයේ ඔන්ලයින් ක්‍රමවේදය අනුව පසුගිය කාලසීමාවේ සිදු කළ ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක බවට අධ්‍යාපන අමාත්‍යාංශය අදහස් නොකරන බවයි. ඒ අනුව ඉගෙනුම් පැය ගණන ආවරණය වන පරිදි පාසල්වල ඉගැන්වීම් සිදු කරනු ඇති අතර, 10 හා 11 ශ්‍රේණිවල පමණක් විෂය මාලාව ආවරණය කෙරෙනු ඇත.

ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල්වල සියලුම ළමුන් දින 05ම පාසල් ගෙන්වීමේ හැකියාව පවතින අතර, මෙහිදී සවස 3.30 දක්වා පාසල්වල අධ්‍යාපනය ලබාදීම අපේක්ෂා නොකෙරේ. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වනුයේ දරුවන්ව පාසල් පද්ධතියට ගෙන්වාගෙන ඔවුන්ට අධ්‍යාපනය නිසි පරිදි ස්ථාපිත කිරීමය. ඒ අනුව මෙම වර්ෂයට අදාළ පෙළ පොත්වල විෂය නිර්දේශ ආවරණය කිරීමෙන් අනතුරුව මීළඟ ශ්‍රේණියට සමත් කිරීමට නියමිතය. විශේෂයෙන් ප්‍රාථමික ශ්‍රේණිවල සිටින ළමුන්ට පසුගිය මාස කිහිපයේ මග හැරුණු පාඩම් ඉදිරි අවුරුදුවල ආවරණය කිරීමට හැකි බව අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරයාගේ අදහසයි.

පහේ ශිෂ්‍යත්වය හා වාර පරීක්ෂණ

පාසල් අධ්‍යාපනය මාස කිහිපයක් තුළ නොලැබීම හේතුවෙන් විශේෂයෙන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ළමුන්ට අසාධාරණයක් සිදු වේ යැයි මවුවරුන් බියෙන් පසුවේ. නගරයේ මවුවරුන්ට වඩා ගමේ මවුවරුන් ඒ සම්බන්ධයෙන් බියෙන් පසුවනුයේ නගරයේ ළමුන්ට පවතින පහසුකම් ගමේ ළමුන්ට අහිමි වීම නිසාමය. ගමේ වේවා, නගරයේ වේවා, පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ළමුන්ට එක හා සමාන ලෙස පාසල් අධ්‍යාපනය ලැබීමේ පැය ගණන ඔවුන් තීරණය කර ඇත්තේ මේ නිසාමය.

එසේම පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ සංයුතිය වෙනස් කර තිබෙනුයේද මේ නිසාමය. ඒ අනුව ප්‍රශ්න පත්‍රයක් සඳහා මෙතෙක් ලබා දුන් විනාඩි 45ක කාලය පැයක් දක්වා දීර්ඝ කර තිබේ. එසේම බහුවරණ ප්‍රශ්න පත්‍රයේ වරණ සඳහා ලබා දී තිබූ පිළිතුරු 4 වෙනුවට පිළිතුරු 3කින් නිවැරදි පිළිතුර තේරීමට හැකි වන ලෙස ප්‍රශ්න පත්‍රය පහසු කිරීමටද තීරණය කර තිබේ. මෙලෙස දරුවන්ට විභාග පහසු කර තිබෙනුයේ සිසුන් සියලුම දෙනාට අසාධාරණයක් සිදු නොවෙන්නටය.

මීට අමතරව දෙමාපියන්ගේ හා දරුවන්ගේ සිතේ පැන නගින තවත් ගැටලුවක් වනුයේ සීමිත දින ගණනකට පාසල් ඉගැන්වීම් කටයුතු සිදු වනවිට වාර පරීක්ෂණවලට දරුවා සූදානම් වන්නේ කෙසේද යන්නයි. එයට සැනසිලිදායක පිළිතුරක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබාදී තිබෙන අතර, මෙවර දෙවැනි වාරයේ වාර අවසාන පරීක්ෂණ පවත්වන්නට අනුමත කර ඇත්තේ උසස් පෙළ පන්තියට පමණි.

අනෙක් සියලුම ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා වාර පරීක්ෂණ නොපැවැත්වීමට ඒ අනුව තීරණය කර ඇත්තේ වාර විභාග පවත්වන්නට ගන්නා දින ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කර ඇති බැවිනි. මේ අනුව මීළඟ ශ්‍රේණියට සමත් කිරීම වෙනුවෙන් තෙවැනි වාරයේ පමණක් වාර අවසාන පරීක්ෂණ පවත්වනු ඇත.

සෞඛ්‍ය නිර්දේශවලට අනුගත පාසල් ගමන       

වෙනදා මෙන් නොව අලුත් පාසල් ගමනට යම් වෙනසක් ඇති වී තිබෙනුයේ සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වීමට සිදුවීමය. ඒ අනුව පාසල් සිසුන්ට දුරස්ථභාවය රැකීම, දෑත් සේදීම, මුව ආවරණ පැලඳීම ආදී සෞඛ්‍ය උපදෙස් කිහිපයක් අනුගමනය කරන්නට සිදුවේ.

මෙහිදී පාසල් ළමුන්ට පාසල දක්වා පැමිණෙන විට හා පාසලේ සිට නිවස දක්වා යන විට මුව ආවරණයක් පැලඳීම අනිවාර්ය කර තිබේ. පාසල තුළදී ද මුව ආවරණයක් පැලඳීම සෞඛ්‍ය ආරක්ෂිත වුවත් කුඩා ළමුන්ට එය අපහසු යැයි හැඟේනම් මුව ආවරණය ගලවා සිටීමට අවසරයක් ලබා දී තිබේ.

පන්ති කාමර තුළ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඉතාම ඉහළින් තිබේ. කෙසේ හෝ වේවා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපනය අහිමි වන දරුවන් සිටින එකම රට ශ්‍රී ලංකාව නොවන බව වටහාගෙන, දරුවන්ව වසංගතයට ගොදුරු වීම වළක්වා ගනිමින් අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමේ අවශ්‍යතාවක් ඇත.



Recommended Articles