කොළඹ වරායට ආසන්නයේ මේ වන විටත් ගිනි ගනිමින් පවතින එක්පර්ස් පර්ල් නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති බවත්, ක්ෂේත්‍ර කිහිපයකට දැවැන්ත හානියක් සිදුව ඇති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනි ලහදපුර මහත්මිය ප්‍රකාශ කළාය.
“එක්පර්ස් පර්ල් නෞකාව මේ වන විටත් ගිනි ගනිමින් තිබෙනවා. නැව පුපුරා යාමක් සම්බන්ධයෙන් නිශ්චිතව කියන්න බැහැ. එහෙම දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
මේ ගිනි ගැනීමේ බලපෑම ලංකා වෙරළ තීරයේ පානදුර සිට මීගමුව, හලාවත දක්වාම තිබෙනවා. මේ ප්‍රදේශවලට දැනටමත් නෞකාවේ අබලි ද්‍රව්‍ය සහ විශාල ප්ලාස්ටික් බුබුළු ප්‍රමාණයක් ගසාගෙන ඇවිත් තිබෙනවා. මේ නිසා දැවැන්ත පරිසර හානියක් සිදුව තිබෙනවා.
ඒ වගේම ලංකා මුහුදු කලාපයේ ජලජ ජීවීන්ට, සාගර පතුලට, මතස්‍යයන්ට හානි වෙලා තිබෙනවා. මේ කිසිවක් තවමත් නිශ්චිතව ගණනය කර නැහැ. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලයි තිබෙන්නේ. ඒ පිළිබඳව පුළුල් විමර්ශනයකින් පසුව පැහැදිලි ප්‍රකාශයක් කරන්න පුළුවන් වේවි.
කොහොම උනත් ආර්ථික වශයෙන්, පාරිසරික වශයෙන් දැවැන්ත හානියක් සිදුවෙලා තිබෙනවා. රසායනික ද්‍රව්‍ය මුහුදට එකතුවී තිබෙන නිසා නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතුවල නිරත වෙන්න එපා කියලා දැනුම්වත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් අවධානයෙන් සිටින ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි.* යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙසේ සඳහන් කළේය.
&පිළිස්සුන රසායනික ද්‍රව්‍ය බොහොමයක් තිබෙනවා. ඒ නිසා මේවායේ තිබෙන රසායනික සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. සුළං තත්ත්වය සහ වර්ෂාපතනයත් සමග යම් යම් ප්‍රදේශවලට අම්ල වැසි ඇතිවීමේ හැකියාව වැඩියි. ගිනිගන්නා නෞකාවෙන් පිටවන වායුන් විවිධ ප්‍රදේශවලට ගසාගෙන ගොස් ඒවා වැසි ජලය සමග දියවීමෙන් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මේ නිසා එම ප්‍රදේශවල භවභෝග වලට හානි වෙන්න පුළුවන්. මේ බලපෑම අඩු කරගන්න අපි උත්සාහ කරනවා. කොහොම උනත් යම්කිසි බලපෑමක් ඇතිවෙන්න පුළුවන්."
ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණෙමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව, කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් තිබියදී ගිනි ගැනීමකට ලක්වන්නේ පසුගිය 22වෙනිදාය.
එම ගින්න මැඬපැවැත්වීමට වෙරළාරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක වුවද, පවතින කාලගුණ තත්ත්වය හමුවේ එය අසාර්ථක වීමත් සමග මේ වන විට එම නෞකාව 80%කට වඩා ගිනිගැනීමට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නැවේ සිටි කාර්ය මණ්ඩලය මුදාගෙන ඇති අතර, ඔවුන් මේ වන විට කොළඹ රඳවා තබා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.
මෙම නෞකාව තුළ එතනෝල්, නයිට්‍රස් ඇසිඩ් ටොන් 25ක්, රසායනික ද්‍රව්‍ය, රූපලාවණ්‍ය ආලේපන ඇතුළත් බහාලුම් 1486ක් ගබඩා කර තිබූ බව සඳහන් වේ. නෞකාවේ ඇතිවූ සෙලවීමක් සමග එම බහාලුම් වලින් 08ක් පමණ මුහුදට වැටී තිබේ.
ඒවා අතරින් සමහරක් මේ වන විට උස්වැටකෙයියාව, මීගමුව මුහුදු තීරයට ගසාගෙන එමින් පවතින අතර, මෙම ද්‍රව්‍ය එක්රැස් කිරීමට එම ප්‍රදේශවල ජනතාව වෙරළාසන්නයට පැමිණෙන බවත්, එය පාලනය කිරීමට ආරක්ෂක අංශ යෙදවීමට සිදුවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මෙම නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය මේ වන විට මුහුදට එක්වී ඇති බැවින් එම ප්‍රදේශයේ ජනතාව වෙරළට පැමිණීමෙන් වළකින ලෙසත්, ධීවරයන්ට මුහුදු යාමෙන් වළකින ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නෞකාවේ ගිනි ගැනීමට ලක්වූ ද්‍රව්‍ය, ප්ලාස්ටික් කැබලි ඇතුළු අපද්‍රව්‍ය මේ වනවිට උස්වැටකෙයියාව - මිගමුව අතර වෙරළ තීරයට පැමිණ ඇති බැවින් එම වෙරළ තීරය සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වී තිබේ. එමෙන්ම රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමත් සමග මුහුදු ජලය කළු පැහැයට හැරී අතර, එමගින් ශ්‍රී ලංකා වෙරළ තීරයට විශාල හානියක් සිදුව තිබේ.
මෙම නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයන්හී වරායන් දෙකකට ඇතුල් වීමට අවසර ඉල්ලා සිටියද, ඒ සඳහා අවසර හිමිව නැති බව සඳහන් වේ. නෞකාව ගිනි ගැනීමට හේතුව ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීමක් බව නෞකාවේ කපිතාන්වරයා දැනුම් දී ඇති බව නෞකාව සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කරන https://splash247.com/ වෙඩ් අඩවිය වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු නියෝජ්‍ය රේගු අධ්යක්ෂ පරිසරවේදී සමන්ත ගුණසේකර මහතා පැවසුවේ, හදිසි අවදානම් තත්ත්වයන් සහිත නෞකා ශ්‍රී ලංකා මුහුදු තීරය ආසන්නයට ගෙන ඒමේ සිදුවීම් පසුගිය කාලය පුරා සුලබව සිදු වූ බවයි.
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම කණගාටුවට කරුණක් බවද ඒ මහතා පැවසීය. නැව පිපිරීමකට ලක් වුවහොත් සිදුවන තෙල් විසුරුමෙන් මුහුද ඇතුළු පරිසරයට විශාල හානියක් සිදුවිය හැකි බවත්, මේ වනවිට වෙරළට ගසාගෙන පැමිණෙන කුඩා ප්ලාස්ටික් කැබලි මගින් දැවැන්ත හානියක් සිදුවිය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.