නැණ ඇති ගුණ නැති අනාගත දරු පරපුර


මෙරට අනාගත නියමුවන් ලෙස වර්තමාන සමාජය තුළ දරු පරපුරට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව සමාජය මෙහෙයවනු ලබන දරු පරපුර රැකගැනීම අප සැමට යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙයි. හොඳම දේ දරුවන්ට යන කියමන තුළින්ද විශද වනුයේ, එකී අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට අපගෙන් දරුවන්ට හොඳම දේ ලැබිය යුතු බවය. එහිදී අපගෙන් ඉටු විය යුතු යුතුකම් මෙන්ම සාරධර්මද දායාද කළ යුතුව ඇත.

වත්මන් සමාජය දෙස බලන විට පාසල් පද්ධති‍යෙන් දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නද, ඒ තුළින් අනාගතයට දායාද වන දරුවා සම්බන්ධ කුතුහලයක් ඇති වෙයි. පාසල තුළින් බිහිවන ඇතැම් දරුවන් හිස් මිනිසුන් ලෙස සමාජයට දායාද වන අතර, වර්තමාන දරු පරපුර යාන්ත්‍රික ස්වරූපයකට නතු වී ඇත. 

පෙරපාසලෙන් අධ්‍යාපනය ආරම්භ කර දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත්ව ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීම දක්වා නොයෙක් බාධක, හැළහැප්පීම් පොතපතෙහි ඇලීගැලී කටයුතු කරනු දැකගත හැකිය. තම පවුලේ පිරිස සමග සතුටින් කාලය ගෙවීමට, ඇළේ දොළේ සෙල්ලම් කරමින් පරිසරයට, සතා සිවුපාවාට සෙනෙහස, කරුණාව, ලෙන්ගතුකම දැක්වීමට දරුවන්ට කාලය නොමැත. ඔවුන් කෘත්‍රිම රොබෝවරුන් වැනි තත්ත්වයකට පත්ව තිබේ. වර්තමානයේදී දහම්පාසල් අධ්‍යාපනය සඳහා ඉරිදා දවස වෙන්කර දීමට හෝ ඒ සඳහා දරුවන් යොමු කරවීමට බොහෝ දෙමවුපියන්ට වුවමනාවක් නොමැත. 

දෛනිකව පාසලෙන් ලබා දෙන විෂයානුබද්ධ දැනුම හැරුණු විට සාරධර්ම පිළිබඳ අධ්‍යාපනයක් හෝ මගපෙන්වීමක් වත්මන් අධ්‍යාපනය ක්‍රමය තුළින් දරුවන්ට නොලැබෙන අතර, දැරුවා අධ්‍යාපනය නමැති රාමුවට පමණක් සීමා කිරීම තුළින් අනාගත සමාජයට බිහිවනුයේ %නැණ ඇති එහෙත් ගුණ නැති^ හිස් මිනිසුන්ය. එහි ප්‍රතිවිපාක මත ඇති වන ප්‍රතිඵල ඉතා දරුණු තත්ත්වයකට පත්වනු ඇත. ඉහළ අධ්‍යාපනයක් දරුවන්ට ලැබුණද, විභාග ඉහළ ලෙස සමත් වුවද, සමාජය තුළ ගුණධර්ම, මානුෂීය ගුණාංග පිළිබඳ අවබෝධයක් හෝ අනුදැනුමක් නැති පුද්ගලයන් බිහිවීම හරහා සමාජයක ගැටුම්, සමාජ විස්මිත, දුෂ්චරිත ක්‍රියාකාරකම් ඉහළ යනු ඇත.

වර්තමාන සමාජය තුළ උදාහරණ අපට ඕනෑ තරම් පෙන්වා දිය හැකිය. ගුණධර්මවලින් තොර සමාජයක විවිධ වූ දුරාචාර විවිධ වූ දූෂණ ක්‍රියාවලි ඇති වීම තුළින් සිරගෙවල් පිරීයෑමට මග එළිපෙහෙළි වනු ඇත. කුඩා කල දසමසක් කුසදරා මෙලොවට බිහි කළ දරුවා තම දෙමවුපියන් වියපත් වූ පසු වැඩිහිටි නිවාසයකට හෝ මගතොටේ දමා යෑමට තරම් මෙරට සංස්කෘතියක පරිහානියට පත්ව තිබේ.

එවැනි සමාජයකට අනාගත දරු පරපුරක් නිතැතින්ම යොමු වනුයේ, ඔවුන්ට උතුම් මානුෂීය ගුණ‍දහම් පිළිබඳ නිසි අවබෝධයක් ගුණාත්මක අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් නොලැබීම හේතුවෙන්ය. එබැවින් පාසල තුළින් දරුවන්ට විෂයානුබද්ධ දැනුම ලබාදෙද්දී, තම දරුවා පන්සලට, පල්ලියට හෝ තම ආගමික ස්ථානයට යොමුකර සාරධර්ම අධ්‍යාපනයක් ලබා දීමට දෙමවුපියන් ඉඩ ප්‍රස්තා ඇති කළ යුතුය. 

වර්තමාන සමාජය තුළ ඉහළ තනතුරුවල නිරත පුද්ගලයන් වංචාවට, දුරාචාරයට හෝ දූෂණයට නතු වී ඇත්තේ ඔවුන්ට කුඩා කල සිට අධ්‍යාපනය තුළින් විශිෂ්ට ජයග්‍රහණය ලැබුණද, වගවිභාග ජයග්‍රහණය කළද, ගුණධර්ම සාරධර්ම මානුෂීය ගුණධර්ම පිළිබඳ අධ්‍යාපනයක්, අවබෝධයක් නොලැබීම හේතුවෙනි.

ඒ අනුව තම දරුවන්ට විෂයානුබද්ධ පිළිබඳ විභාග ජයග්‍රහණය කරවීමට දෙමවුපියන්ට තිබෙන උනන්දුව, උත්සාහය ගුණාත්මක දරුවෙකු රටට දායාද කරලීමට තිබිය යුතුය. 
දෙමවුපියන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට, නෑදෑහිතමිතුරන්ට සැලකීම හා ගරු කිරීම, සමාජයේ සෑම පුද්ගලයෙකුටම ආත්මාභිමානයෙන් ප්‍රතිචාර දැක්වීම, කරුණාව, දයාව, අනුකම්පාව, ඉවසීම, සමානාත්මතාව හා සහජීවනය වැනි උතුම් මානුෂීය ගුණධර්ම ඉගෙන ගැනීම සිදු කළ යුතුය. ඒ තුළින් අනාගතයේ මෙරට බාර වන දරු පරපුර පරිසරයට, සතා සිවුපාවාට, ස්වභාව ධර්මයට ආදරය කරන උතුම් මානුෂීය ගුණාංගවලින් පිරිපුන් රටට වැඩදායී දරු පරපුරක් බිහිවෙනු අපේක්‍ෂා කළ හැකිය.



Recommended Articles