නාසිවාදය


නාසිවාදය යනු අන්ත ජාතිවාදය මත පදනම් වූ අදහස් පද්ධතියකි. 18 වැනි සියවසේ සිට 20 වැනි සියවස දක්වා ක්‍රියාත්මක වූ ෆ්‍රීකෝප් නම් සන්නද්ධ සටන්කාමී ව්‍යාපාර වෙතින් නාසිවාදය වෙත විශාල ආභාෂයක් ලැබී තිබිණ. විද්‍යාත්මක ජාතිවාදයෙන් පෝෂණය ලැබූ නාසිවාදීහු විවිධ ජාතීන් අතර උස් පහත්කම් නිර්මාණය වන ධුරාවලි පවතින බවට ව්‍යාජ විද්‍යාත්මක න්‍යාය (pseudo-scientific theories) ගොඩනැගූහ.

නාසින් විශ්වාස කළේ, ආර්ය ජාතිය ලොව උසස්ම ජාතිය වන බවයි. එබැවින් ජර්මන් සමාජය ජනවාර්ගික වශයෙන් පිවිතුරු (racial purity) කළ යුතු බව නාසිවාදයේ ප්‍රධාන ප්‍රකාශකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් විශ්වාස කළේය. එහිදී අන් සියලු ජාති විනාශ කිරීමට යෝජනා කෙරුණු අතර, ආර්ය ජාතියෙන් යුතු සමජාතීය සමාජයක් නිර්මාණය කිරීම හිට්ලර්ගේ ව්‍යාපෘතිය විය. 
නාසින්ගේ ප්‍රධානතම විරෝධය එල්ල වූයේ යුදෙව්වන්ටය. නාසින් විසින් දෙවැනි ලෝක යුද සමයේදී යුදෙව්වෝ මිලියන 06ක් පමණ ඝාතනය කරනු ලැබූහ. යුදෙව්වන්ගේ ලේ අපිරිසුදුය යන මිථ්‍යා අදහස නාසින්ගේ ඇදහීම විය. එබැවින් ආර්ය ජාතියේ පවිත්‍රත්වයට එය බාධාවක් ලෙස සැලකිණි. මෙම මිථ්‍යා මතය පහසුවෙන් සමූහ හිස්ටීරියාවක් වශයෙන් සමාජගත කිරීමේ හැකියාව හිට්ලර්ට තිබිණි. 

නාසීහු සමලිංගිකයන්ට මෙන්ම මානසික සහ ශාරීරික ආබාධ ඇති මිනිසුන්ටද විරුද්ධ වූහ. නාසින් වෙත සුපිරි මිනිසෙකු (Übermensch) පිළිබඳ අදහස පැමිණෙන්නේ ජර්මානු දාර්ශනිකයෙකු වූ ෆ්‍රෙඩ්රිච් නීට්ෂේගෙන් යන මතයක්ද පවතී. 

ඒ අතරම නාසිවාදය මගින් සමාජවාදයට නව අර්ථකථනයක් ලබා දීමටද කටයුතු කෙරිණ. මෙම සමාජවාදය ජාතික සමාජවාදයක් ලෙස හඳුන්වනු ලැබේ. එය මාක්ස්වාදය විසින් යෝජනා කෙරුණු අන්තර්ජාතික සමාජවාදයට එරෙහි වූ අතර, නිදහස් වෙළෙඳ පොළ ක්‍රමයටද එරෙහි විය. 

1920 දශකයේදී ජර්මනිය තුළ ඇති වූ ආර්ථික අවපාතයත් සමග නාසි ජාතිවාදයට ඉස්මතු වීමේ වැඩි ඉඩකඩක් ලැබිණ. ජර්මනියේ ඇති වූ සියලු සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්නවල මුල වන්නේ යුදෙව්වන්ය යන මතය ස්ථාපිත කිරීමට මේ ඔස්සේ හිට්ලර්ට හැකි විය. ඒ යටතේ මැදිහත් ස්ථාවරයක සිටි උගතුන්, බුද්ධිමතුන් පවා හිට්ලර්ගේ දැඩි ජාතිවාදයට නතු කර ගැනීමට හැකි වූ අතර, ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වශයෙන් සැලකෙන මාර්ටින් හයිඩෙගර් පවා ජාතිවාදී කඳවුර සමග කලක් සිට ගත්තේය. හිට්ලර්ගේ ඇමතිවරයෙකු වූ ගොබෙල්ස් විසින් ගෙන යන දැඩි ජාතිවාදී මාධ්‍ය ව්‍යාපෘතියද මිනිසුන්ගේ මොළ සේදීමට සමත් විය. 

එනයින්, ලෝක ඉතිහාසයේ රතු ලෙයින් පැල්ලමක් තබමින් සමස්තයක් ලෙස ලක්ෂ 110කට වැඩි මිනිස්සු පිරිසක් අමුඅමුවේ මරා දමනු ලැබූහ. මේ සියල්ල පාදක කර ගැනුණේ සුපිරි මිනිසෙකු බිහි කර ගැනීමත්, ආර්ය ජාතිය ලෝකයේ උතුම් ජාතියය යන මිථ්‍යාවත් මත පාදකවය. මිථ්‍යාව තරම් මිනිසුන් කැලඹීමට හැකි තවත් මෙවලමක් නොවේ. මිනිසුන් පිළිගන්නා මිථ්‍යා මත විසින් කළ හැකි විනාශය කොතෙක්ද යන්න යම් තරමකට හෝ නාසිවාදය හැදෑරීමෙන් තේරුම්ගත හැකිය. 

දර්ශන අශෝක කුමාර 



Recommended Articles