අද වන විට ලෝකය වෙත දැනුම නිෂ්පාදනය කිරීමේ කේන්ද්‍රය බවට පත් වී ඇත්තේ යුරෝපය යැයි විද්වත් මතයක් පවතී. එනයින්, ලෝක දැනුම සම්බන්ධයෙන් යුරෝ කේන්ද්‍රවාදය (Eurocentrism) නමින් වූ විචාරාත්මක අදහසක්ද ඉස්මතු වී තිබේ. එහි විශාල සත්‍යයක් ඇති අතර, ශ්‍රී ලංකාවේ අපද ඉගෙන ගන්නා විද්‍යාව, ගණිතය ආදී බොහෝ විෂයයන් නිර්මාණය වී ඇත්තේ යුරෝපය පාදක කරගෙනයි.
එහෙත් යුරෝපයේ පළමු විශ්වවිද්‍යාලය වන බොලොග්නා විශ්වවිද්‍යාලය ආරම්භ වන්නටත් බොහෝ කලෙක සිට දකුණු ආසියානු කලාපයේ දැවැන්ත විශ්වවිද්‍යාල පැවති අතර, ඒ ඔස්සේ විශ්ව දැනුම නිර්මාණය විය. බොලොග්නා විශ්වවිද්‍යාලය බිහිවන්නේ ඉතාලියේදී 1088 වසරේදීය. එය යුරෝපයේ පළමු විශ්වවිද්‍යාලයයි.
අදටත් දැනුම නිෂ්පාදනයේ පතාක යෝධයෙකු ලෙස සැලකෙන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය බිහිවන්නේ 1209 වසරේදීය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය බිහිවන්නේ 1096 වසරේදීය. එහෙත් ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය බිහිවන්නේ ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසේදීය. ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවස වන විට නාලන්දාවේ සිසුන් 10,000ක්ද, ගුරුවරුන් 2,000ක්ද සිටි බව විශ්වාස කෙරේ. නාලන්දාවෙන් බිහි වූ දැනුම අදටත් යුරෝපයේ ප්‍රතිගවේෂණය වෙමින් පවතී.
බුදුන් වහන්සේගෙන් පසු බෞද්ධ දාර්ශනික සම්ප්‍රදාය තුළ බිහි වූ විශිෂ්ටතම දාර්ශනිකයාද, චින්තකයාද වශයෙන් සැලකෙන ආචාර්ය නාගාර්ජුන පාදයන් නාලන්දාවේ කීර්තිමත් ශිෂ්‍යයෙකි. ඔහු විසින් ආරම්භ කරන ලද මාධ්‍යමික සම්ප්‍රදාය හා දේශිත ශුන්‍යතාවාදය මේ වන විට බටහිර උගතුන්ගේ ඉමහත් ගෞරවය පාත්‍ර වී තිබේ.
නාලන්දා විශ්වවිද්‍යාලය විසින් මනුෂ්‍ය ඉතිහාසයට තිළිණ කළ දාර්ශනිකයන් සංඛ්‍යාව අතිවිශාලය. නාගාර්ජුන, ආර්යභාත, ආර්යදේව, චන්ද්‍රකීර්ති, ධර්මකීර්ති, දිග්නාග, ශාන්තරක්ෂිත, ශිලාභද්‍ර ඒ අතරින් කිහිප දෙනෙකි.
නාලාන්දාව තුළ නීතිය, දර්ශනය, නක්ෂත්‍ර විද්‍යාව, නගර සැලැස්ම, ව්‍යාකරණය, වාග්විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, ගෘහනිර්මාණ ශිල්පය, ඉංජිනේරු විද්‍යාව ඇතුළු විෂය ගණනාවක් පිළිබඳ පර්යේෂණ සිදුකෙරුණු අතර, ඒවා පිළිබඳ අදටත් බටහිර ලෝකයට සොයා ගැනීමට නොහැකි වූ නව දැනුම නිෂ්පාදනය කෙරිණ. බෞද්ධ දාර්ශනිකයන්ගේ කෙම්බිමක් වශයෙන් නාලන්දාව සැලකුණද එය හින්දු දර්ශනය, තන්ත්‍රයාන, සෞත්‍රාන්තිකවාද, වෛභාෂිකවාද, මාධ්‍යමික ඉගැන්වීම්, සාර්වස්තවාද ආදී වශයෙන් වූ එවක නැගෙනහිර ලෝකය තුළ රජ කළ සියලුම දර්ශන මතවාද සඳහා විවෘත ප්‍රජාතන්ත්‍රවාදී භූමියක් විය. එය එතෙක් මෙතෙක් කිසියම් ශාස්ත්‍රීය මධ්‍යස්ථානයකට අත් කරගත හැකි සුවිශේෂිත වූ තත්ත්වයකි.
නාලන්දාව සතු වූ පුස්තකාලය අදටත් ලෝක ඉතිහාසයේ පැවති විශිෂ්ටතම පුස්තකාලයක් ලෙස සලකනු ලැබේ. ටිබෙට් මූලාශ්‍රවලට අනුව නාලන්දාව තුළ තට්ටු විශාල සංඛ්‍යාවකින් යුතු මහා පරිමාණ පුස්තකාල තුනක් තිබී ඇත. මුද්‍රණ කර්මාන්තය හෝ සංහතික නිෂ්පාදනය ආරම්භ නොවූ යුගයකදී මෙවැනි පුස්තකාලයක් නිර්මාණය වීමම ආශ්චර්යයකි. එක් එක් පුස්තකාලයේ මහල් නවයකට වැඩි සංඛ්‍යාවක් පැවති අතර ඒවා හැඳින්වුණේ රත්නසාගර, රත්නෝදාධි සහ රත්නරංජක වශයෙනි. නාලන්දාවේ කොතරම් කෘති සංඛ්‍යාවක් තිබුණේදැයි කිසිවෙකුත් නොදනිති.
12 වැනි සියවස පමණ වන විට ඉන්දියාවේ සිදූ වූ විදෙස් ආක්‍රමණවල ප්‍රතිඵලයක් වශයෙන් නාලන්දාව විනාශ විය.
දර්ශන අශෝක කුමාර