බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි ඉමහත් සංචාරක ආකර්ෂණයට ලක්වූ ස්ථානයක් වන නාරංගල කන්ද පිළිබඳව මේ දිනවල යළි කතාබහට ලක්වූයේ ඉකුත් නවම් පොහෝ දින රාත්‍රියේ එම කඳු මුදුනේ සිට එහි එක් පසෙක පිහිටි ඉතා ගැඹුරු ප්‍රපාතයට ඇද වැටී තරුණ ජීවිතයක් අහිමි වීමත් සමගය. ඒ අයුරින් මෙම කන්ද තරණය කළ දහස් ගණනක් අතරින් අමිල වූ මිනිස් ජීවිතයක් දැයට අහිමි වෙද්දී මෙතෙක් කලක් කන්ද තරණය කළ ඇතැමුන් නිසා නාරංගලට අහිමි වූ වටිනාකම්ද මිල කළ නොහැකි තරම්ය.
හාලිඇල සහ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්ටද මායිම්ව සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්පිටිය හා ඉඩමේගම ග්‍රාමනිලධාරී වසම්වලට යාව පිහිටි නාරංගල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 1450ක් පමණ උසින් පිහිටා ඇත. ඌව පළාතේ කඳු අතරින් උසින් දෙවන ස්ථානය හිමි කරගත් නාරංගල කන්ද මෑත කාලයේ කඳුනැඟීම ප්‍රියකරන සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන සංචාරක ස්ථානයක් බවට පත්ව තිබුණි. නමුත් මෙහි පැමිණෙන ඇතැම් සංචාරකයන්ගේ නොසැලකිලිමත්කම හෝ නොහික්මුණුකම හේතුවෙන් එම වටිනා පරිසරයට සිදුවන විනාශය සැලකිල්ලට ගත් ප්‍රදේශයේ දේශපාලන හා රාජ්‍ය බලධාරීන් විසින් මෙම කන්ද සංචාරකයන් උදෙසා තාවකාලිකව තහනම් කලාපයක් බවට පත් කළේ දැනට මාස කීපයකට ඉහතදීය.
කොතෙක් නීතිරීති හා ස්වයං වාරණයන් පැවැතියද, මෙහි එන ඇතැමුන් විසින් දමා යන ප්ලාස්ටික්, පොලිතින් හා වීදුරු වැනි අපද්‍රව්‍යවලින් මෙම කඳු මුදුනේ බොහෝ තැන් අපවිත්‍රව පවතී. කණ්ඩායම් වශයෙන් පැමිණෙන ඇතැමුන් මෙම කඳු මුදුනේ කූඩාරම් ගසා රැය පහන් කිරීමේදී එහි ගිනිමැල දැල්වීමෙන්ද පරිසරයට ඉමහත් හානි සිදුකර ඇති බව දක්නට හැකිය. එසේම ඇතැම් නොහික්මුණු පිරිස් විසින් නොදැනුවත්කම හෝ සතුන් දඩයම වැනි වෙනත් විවිධ අරමුණු උදෙසා මෙම පතන් භූමිය ගිනි තැබීමෙන්ද මෑත කාලයේ කිහිපවරක්ම එම පරිසරයට දැඩි හානියක් සිදුවූ බව නොරහසකි.
විශේෂයෙන් සොරණාතොට කොට්ඨාසය තුළ වැඩිම ජල උල්පත් සංඛ්‍යාවක් සහිත ජල පෝෂක ප්‍රදේශය වන නාරංගල කන්ද ආශ්රිත අක්කර 150ක් පමණ වූ රක්ෂිතය තුළ ලොකු කුඩා ජල මූලාශ්‍ර සියයකට අධික සංඛ්‍යාවක් ඇතැයි පැවසේ. එම ජල පෝෂකවලින් ගලා බසින දිය දහරාවන් ඉන් පහළ පිහිටි ගම්මාන රැසක ජනතාව දහස් ගණනක් දෙනා භාවිතයට ගන්නා අතර, කඳු මුදුනේ රැය පහන් කරන පිරිස් ඉවතලන අපද්‍රව්‍ය හා ඔවුන්ගේ ශරීර කෘත්‍යයන් හේතුවෙන් එම වටිනා ජල මූලාශ්‍රද අපවිත්‍ර වන බව ගම්වාසීහු පෙන්වා දෙති.
නාරංගල වන රක්ෂිතය ශ්‍රී ලංකාවට ආවේණික හා දේශීය ශාක වර්ග රැසකින්ද, වටිනා ඖෂධ ශාක වර්ග රාශියකින් මෙන්ම විවිධ වනසිවුපාවුන්, දුර්ලභ පක්ෂි වර්ග, සමනල වර්ග හා උරග විශේෂ ඇතුළු සත්ත්ව ගහණයකින්ද සමන්විත වන බව පරිසරවේදීහු පවසති. ඊටත් අමතරව මිනින්දෝරු දෙපාර්තමේන්තුව සිය මැනුම් කටයුතු සඳහා භාවිත කරන ත්‍රිකෝණමිතික ස්ථානයක් ලෙසද මෙම කඳු මුදුන අතිශය වැදගත් තැනක් ගෙන තිබේ.
පසුගිය කාලයේ ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් මුල්වී මෙම කඳුමුදුනේ චෛත්‍යයක් ගොඩනැගීම පිණිස කළ ඉදිකිරීම්ද බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් තහනම් කෙරිණ. ඊට හේතු වූයේ ඉහත දැක්වුණු පරිදි සුවිශේෂී පාරිසරික වටිනාකම් රැසකින් යුතු කන්දක් මෙන්ම, අතීතයේ සිටම මිනුම් කටයුතු සඳහා යොදා ගනු ලබන ත්‍රිකෝණමිතික ස්ථානයක් වූ නාංරගල කඳු මුදුන රැකගත යුතු සුවිශේෂී පරිසර පද්ධතියක් බැවිනි.
එවන් තත්ත්වයක් මත මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් පවතින මෙම පාරිසරික පද්ධතිය ඉදිරියටත් රැකගැනීම හා පසුගියදා සිදුවූ අකල් මරණය වැනි ඛේදවාචකයන් තවදුරටත් සිදුනොවීම පිණිස සියලු වගකිවයුතු අංශ මුල් වී සැලසුම් සහගත විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුව ඇත.
ඒ සම්බන්ධයෙන් විමසීමේදී සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.
"කලක සිට අවිධිමත් හා වගකීම් විරහිත ලෙස මෙම පරිසරයට ඇතුල් වන ඇතැම් පිරිස් විසින් සිදුකරන ඉමහත් පාරිසරික විනාශයන් නිසා බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් මෙම පාරිසරික පද්ධතිය තාවකාලිකව තහනම් කලාපයක් බවට ප්‍රකාශයට පත්කළා. එහෙම තියෙද්දි තමයි පසුගියදා මෙම කණගාටුදායක සිද්ධිය වාර්තා වුණේ. එසේ තහනම් කළේ විනාශ වූ පරිසරය යථා තත්ත්වයට පත්වීමට කාලය ලබාදෙන්නයි. ඒ වගේම මෙම ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකසා ගැනීමටත් අවශ්‍ය වුණා.
ඉදිරියේදී මෙම කලාපය සංචාරකයන් උදෙසා සම්පූර්ණයෙන් තහනම් කිරීම, ඇතුළු වීම තහනම් වූ වන රක්ෂිතයක් ලෙස ගැසට් කිරීම, අධ්‍යයන කටයුතුවලට පමණක් විවෘත රක්ෂිත ප්‍රදේශයක් කිරීම වැනි යෝජනා කිහිපයක් මේ වන විටත් විවිධ අංශයන්ගෙන් ඉදිරිපත්ව තිබෙනවා. එම යෝජනාද සැලකිල්ලට ගනිමින්, නාරංගල රක්ෂිතය සම්බන්ධ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අනුරේඛනයන් ලද වහාම බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරියගේ උපදෙස් මත, අදාළ සියලු අංශ එක්ව සාකච්ඡාකොට වඩාත් සුදුසුම තීරණය ගැනීමට කටයුතු කරනවා. වගකිවයුතු අංශ එක්ව ගත් තීරණයක් මත මෙම කඳු ප්‍රදේශයට ඇතුල්වීම තහනම් කර තිබුණත්, සංචාරකයන්ගේ පැමිණීමෙන් වාසි ලබන ඇතැම් පිරිස් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාරයන් මත යළිත් සංචාරකයන් මෙහි පැමිණෙමින් සිටිනවා. මේ වගේ නීතිවිරෝධී ලෙස සංචාරකයන් පොළඹවාගන්නා පිරිස් ගැන සොයා අවශ්‍ය පියවර ගන්නා ලෙස අප පොලීසියෙන් ඉල්ලීමක් කරනවා."
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය මෙසේ සිය අදහස් පළ කළාය.
"අප දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු තීරණයක් ලෙස මෙම නාරංගල කන්ද ප්‍රදේශයට ඇතුළු වීම තහනම් කර තිබුණත්, ඇතැමුන් විවිධ මාර්ග ඔස්සේ රහසින් මෙහි පැමිණීම ගැටලුවක්. පසුගියදා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණේ එසේ සංචාරක තහනමක් තිබියදී මෙහි ගිය කණ්ඩායමක තරුණයෙක්. තහනමක් සහිත ප්‍රදේශයකට හිතුමතේ යම් කිසිවෙකු ඇතුළු වීමත් වරදක්. එබැවින් අපි දැනට සාකච්ඡා කරනවා ඉදිරියේදී මෙම ප්‍රදේශය මායිම් කර රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර, එහි ඇතුළු වීමට අවසර දෙනවා නම් එය විධිමත් ලෙස යම් රාජ්‍ය ආයතනයක් යටතට පවරා එහි අධීක්ෂණය යටතේ පහසුකම් හා ආරක්ෂාව සහිත වැඩපිළිවෙළක් දියත් කිරීමට. අපි අදහස් කරන්නේ සොරණාතොට ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් සංචාරක අමාත්‍යාංශය වැනි අදාළ සියලු රාජ්‍ය ආයතන හා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශයන්ද, ප්‍රදේශයේ සිවිල් සංවිධාන හා ප්රභූන්ගේ අදහස්ද සැලකිල්ලට ගෙන එහි සංරක්ෂණය හා පවත්වාගෙන යාම සුදුසුම ආයතනයක් යටතට භාරදීමටයි. ඒත් ඒ පිළිබඳව තාම තීරණය කර නෑ. කෙසේ වුවද ඉදිරියේදී යම් තීරණයක් ප්‍රකාශයට පත්කරන තෙක් මෙම කලාපය
සියලුම සිවිල් පුද්ගලයන් උදෙසා සම්පූර්ණයෙන්ම තහනම් ප්‍රදේශයක් බව අවධාරණය කරනවා. සංචාරයට හෝ වෙනත් කරුණකට එහි ඇතුළු වන අය සම්බන්ධයෙන් පොලීසිය අවශ්‍ය පියවර ගන්නවා ඇති."
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඒ මහතා මෙසේ පැවසීය.
"දැනටමත් මෙම නාරංගල කන්ද පාරිසරික කලාපය ඇතුළු වීම තහනම් ප්‍රදේශයක්. එසේ තිබියදීත් ඇතැම් පුද්ගලයන්ගේ මෙහෙයවීම මත ඇතැම් පිරිස් කන්ද තරණය කිරීමට එන බව පේනවා. මෙහි එන සංචාරකයන්ට දර, වතුර, කූඩාරම් හා මග පෙන්වීම වැනි සේවා සපයා මුදල් උපයන පිරිස් මෙම තහනම නොතකා කටයුතු කරන බවට පැමිණිලි ලැබෙනවා. අපි ඒ සම්බන්ධ විමර්ශන කරනවා. කෙසේ වුවත් මෙම කලාපය සංචාරකයන් උදෙසා විවෘත කරනවා නම් යම් වගකිවයුතු ආයතනයක අධීක්ෂණය හා නියාමනය යටතේ සිදුවිය යුතුයි. එසේම එහි එන අයට ආරක්ෂාව හා පහසුකම් සැපයීමේ වගකීමද සහිතව වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. කෙසේවුවත් එවන් වැඩපිළිවෙළක් සකස් වන තෙක් මෙන්ම දැනට ඇති තහනම පවතින තෙක් කිසිදු පුද්ගලයෙකුට අදාළ වගකිවයුතු ආයතනයක අවසරයකින් තොරව මෙහි ඇතුළු වෙන්න බැහැ. ඒ පිළිබඳව පොලීසිය දැඩි අවධානයෙන් පසුවෙනවා. අනවසරයෙන් එහි ඇතුළු වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපි කටයුතු කරනවා."
හාලිඇල- විජේරත්න රත්නායක