ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති ධුරය සඳහා ප්‍රබලයන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, මේ දිනවල ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරයි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද මෙවර නීතිඥ සංගම් නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති අතර, අපි ඔහු සමග සාකච්ඡා කළෙමු.
ඔබ නීති ක්ෂේත්රයට පිවිසෙන්නේ කෙසේද?
උසස් පෙළ අවසන් වූ පසුව මම නීති ප්‍රවේශ විභාගය ලිව්වා. එහිදී ලංකාවේ පළමුවැනියා වෙන්න මට පුළුවන් වුණා. ඒ හරහා මම නීති විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ වගේම විවෘත විශ්විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ගත්තා. පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය හැදැරුවා. ඒ ආකාරයට තමයි මම නීති ක්ෂේත්රයට පැමිණියේ. නීතිය සහ දේශපාලනය ගැන මම නිතරම උනන්දු වුණා. අපරාධ නඩුවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නඩුවල නීතිය ක්‍රියාත්මක වන ආකාරය අපි ප්‍රායෝගිකවත් දැක්කා. අපරාධ යුක්ති විනිශ්චය සභාව විසින් විත්තිකාරයන් වැරදිකාරයන්ව කරපු සිදුවීම තමයි මගේ මතයේ මුලින්ම තිබෙන්නේ. එතැන්සිට ප්‍රසිද්ධ නඩු කෙරෙහි මගේ උනන්දුවක් තිබුණා. ඒ හරහා මම නීති ක්ෂේත්රයට පිවිසුණා.
නීතිඥවරයෙකු ලෙස විවිධ වර්ගයේ නඩුවලට මම පෙනී ඉඳලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව 18, 19 සංශෝධන දෙකටම අදාළව මම අධිකරණයේ පෙනීසිටියා. මම මුලින්ම අපරාධ නඩුවලට පෙනීසිටියා. රජයේ අධිනීතිඥවරයෙකු වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 04ක් සේවය කළා. මේ කාලය තුළ අපරාධ නඩු සිවිල් නඩු ආදී සියල්ලටම පෙනී ඉඳලා තිබෙනවා. මම පෙනී හිටපු ප්‍රසිද්ධ නඩු ගැන කතා කළොත් ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ දෝශාභියෝ නඩුවේ නීතිඥ කණ්ඩායමේ කටයුතු කළා. ඒ වගේම ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට තිබුණු අපරාධ නඩු 02ක ප්‍රධාන නීතිඥවරයා ලෙස කටයුතු කළා. දින 52 ආණ්ඩුව අවස්ථාවේ පාර්ලිමේන්තුව විසර වීම අභියෝග කළ නඩුවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් මම පෙනීසිටියා.
ඊට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස (2015-2018) කටයුතු කළා. පසුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට මාව පත් කළා. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට මාව පත් කළේ ජනාධිපති නිර්දේශය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතියෙන්. පක්ෂ විපක්ෂ සියලු දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරනවා.
නීතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කරන්නට ඔබ අදහස් කළේ ඇයි?
ස්වාධීන ශක්තිමත් නීතිඥ සංගමයක් අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. නීතිඥ සංගමට පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ආයතනයක් විය යුතුයි. නමුත් ඒ වගේම පවතින රජය සමග කටයුතු කරන අතරතුර වැරදි දේ වැරදියි කියලා කියන්නත් හරි දෙයට උදව් කරන්නත් නීතිඥ සංගමයට හැකියාවත් තිබිය යුතුයි. ඒ වගේම සංගමය සිය සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් කටයුතු කළ යුතුයි. මේ කාරණා දෙක මුල්කර ගෙන මම සභාපති ධුරයට තරග කරන්න හිතුවා. ඒ වගේම සංගමයක නායත්වයට පත් කරන පුද්ගලයෙක් ස්ථාවරයක් ගන්න පුළුවන් පුද්ගලයෙක් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඓතිහාසිකම මම නිතරම ස්ථාවරයක් අරගෙන තිබෙනවා.
ඇමතිවරයෙක්ගේ පිරිසක් මන්නාරම උසාවියට ගල් ගහපු අවස්ථාවේ, දෝශාභියෝගය අවස්ථාවේ ආදී අධිකරණයේ ස්වාධිපත්‍යට නීතියේ ආදිපත්‍යයට හා සම්බන්ධ හැම අවස්ථාවකම මම ස්ථාවරයක් අරගෙන තිබෙනවා. නායකත්වයට පත් වෙන්න බලාපොරොත්තු වන පුද්ගලයෙකුට ස්ථාවරයක් තිබිය යුතුයි. කිසිම කාරණාවක් ගැන ස්ථාවරයක් නැති පුද්ගලයෙකුට නායකත්වයක් ගැනීම ගැන බලාපොරොත්තු වෙන්න බැහැ. එවැනි නායකයෙකුට සාර්ථක වෙන්න බැහැ. එවැනි කාරණා නිසා තමයි මම සභාපති ධුරයට ඉදිරිපත් වෙන්න මම තීරණය කළේ. නීතිඥ සංගමයේ නොයෙක් මත දරන අය මට සහාය දෙනවා. අපේ සංගමය ස්වාධීන ශක්තිමත් ආයතනයක් විය යුතුයි කියන මතයේ තමයි ඒ අයගේ පොදු ස්ථාවරය.
නීතිඥ සංගමයේ සභාපති ලෙස ඔබ පත් වුවහොත් ඔබගේ ඉදිරි වැඩපිළිවෙළ කෙබදුද?
අපේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කාරණා 17ක් මුල්කර ගනිමින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැනටමත් නිකුත් කර තිබෙනවා. සංගමයේ ඉතිහාසයේ මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන මුල්ම අවස්ථාව මෙයයි. මේ කාරණා 17 අතර නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. පොලිස් ස්ථානවල, අධිකරණ කාර්යාවල, ඉඩම් රෙජිස්ටාර් කාර්යාලවල, නීතිඥවරුන්ට විවිධ ප්‍රශ්නවලට මුහුණ පාන්න සිදුවෙලා තිබෙනවා. මේ දේවල් ගැන මේ සංගමටය ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. ඒ වගේම නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවෙන ශක්තිමත්, තීරණාත්මක දේවල් කරන කරන සංගමයක් විය යුතුයි. කනිෂ්ඨ නීතිඥවරුන්ගේ වර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙළ කිහිපයක්ම අපි යෝජනා කර තිබෙනවා. ඒ වගේම පොදුවේ නීතිඥවරුන්ගේ වෘත්තියේ ප්‍රවර්ධනය ගැන අපි කතාබහ කර තිබෙනවා. ඒ වගේම කාන්තා නීතිඥවරුන් සම්බන්ධයෙන් ගැටලු හඳුනාගෙන ඔවුන්ගේ බාධාවක ඉවත් කිරීම සඳහා ක්‍රමවේද යෝජනා කරමින් වෙනම පරිච්ඡේදයක් අපි වෙන් කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය අංශයේ සහ ව්‍යාපාර අංශයේ සේවය කරන නීතිඥවරුන් වෙනුවෙන් වෙනම වැඩිපිළිවෙළක් අපි යෝජනා කර තිබෙනවා. මේ ආකාරයෙන් අපේ කණ්ඩායම කරුණු 17ත් මත ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිර්මාණය කර තිබෙනවා.
කෝවිඩ්-19 තත්ත්වය හමුවේ කනිෂ්ඨ නීතිඥවරුන් බොහෝ ප්‍රශ්නවලට මුහුණදී සිටිනවා. මේ තත්ත්වය තුළ ඔවුන් සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් තිබෙනවාද?
කෝවිඩ්-19 ප්රශ්නයේදී කනිෂ්ඨ නීතිඥවරුන් පීඩාවට පත් වුණා. කෝවිඩ් මැද වැඩ කරන්න අපට සිදුවෙනවා. ඒ අනුව අධිකරණ කටයුතු ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අපි අධිකරණය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා නව තාක්ෂණය භාවිත කිරීම්, නව රීති සකස් කිරීම් ආදිය සිදුකිරීමට දායක වෙන්න වෙයි. කෝවිඩ් ප්‍රශ්නයට අමතරව කනිෂ්ඨ නීතිඥවරුන් වෙනුවෙන් තවත් යෝජනා කිහිපයක්ම තිබෙනවා. ඒ අතර හදිසි අවස්ථාවන්වලදී දායක වීමට නීතිඥ භාරකාර අරමුදලක් ඇති කරන්න යෝජනා කර තිබෙනවා.
සමස්ත නීති ක්ෂේත්රයේ ඔබ දකින අඩුපාඩු මොනවාද?
නීතිඥවරුන් වෘත්තියට පිවිසුනාට පසුව දැනුම යාවත්කාලීන නොකර ගැනීම අපේ වෘත්තීය ප්‍රවර්ධනයට තිබෙන එක් බාධාවක්. විශේෂයෙන්ම නීති අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි සංගමයක් විදිහට මැදිහත්විය යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම නීති අධ්‍යාපනය ලබාදෙන ආයතනවල විෂය නිර්දේශයන් යාවත්කාලීන කළ යුතුයි. ඒවා වසර ගණනාවකින් යාවත්කාලීන වෙලා නැහැ. තරුණ නීතිඥවරුන්ගේ ඉංග්‍රිසි භාෂා දැනුම වර්ධනය කරන්නත් අපි යෝජනා කර තිබෙනවා.
රටේ මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ මැදිහත්වීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපි බැඳිලා ඉන්න කාරණා තිබෙනවා. සංගමයේ ව්‍යවස්ථාව තුළත් නීතියේ ආදිපත්‍ය අධිකරණයේ ස්වාධීනතාව වැනි කාරණා වෙනුවෙන් ඒවා ආරක්ෂා කරන්න කැපවෙලා ඉන්නවා. ඒ නිසා නීතිඥ සංගමයට ඒ කාරණා ගැන හඬක් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. අපේ විෂය ක්ෂේත්රය තුළ කරුණු කරණා වෙනුවෙන් සංගමයක් හැටියට අපි හඬ නැගිය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.
පොදු ජනතාව තුළ නීතිය සම්බන්ධ දැනුම අල්ප අප සියලු දෙනා දන්නා කාරණයක්. මේ තත්ත්වය වෙනස් කරන්නට ඔබ සංගමයට දායක වෙන්න පුළුවන්ද?
නීති අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අපට පමණක් තනිව කළ හැකි දෙයන් නෙවෙයි. නමුත් එය කළ යුතුයි. අපේ රටෙන් බිහිවුණ කීර්තිමත් විනුසුරුවරයෙකු වන සී.ජී. වීරමන්ත්රී මැතිතුමාත් නිතරම කිව්වේ නීතිය ගැන දැනුම වර්ධනය කළ යුතුයි කියලා. එතුමා ඔස්ට්‍රේලියාවේ ජීවත්වන කාලයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නීති සතියක් පැවැත්වීම එතුමා විසින් යෝජනා කරන ලද්දක්. නීතිය මිනිස්සුන්ට සමීප කරන්නයි එය කළේ. මිනිස්සු නීතිය ගැන දැනුවත් විය යුතුයි වගේම නීතිය පාසල් විෂයයට ඇතුළත් කළ යුතුයි කියලා මම හිතනවා. මොකද නීතියට අවනත වෙන්න නම් නීතිය ගැන දැනුවත් විය යුතුයි. එය රජය විසින් කළ යුතුයි එයට නීතිඥ සංගමයත් සහයෝගය ලබාදීමට සූදානම්.
රාජ්‍ය නොවන සංවිධාන සමග ඔබ සම්බන්ධ බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විචේන එල්ල වෙනවා.මේ සම්බන්ධයෙන් ඔබට පැවසීමට ඇත්තේ කුමක්ද?
මගේ වෘත්තීය කාලය තුළ කිසිම දවසක රාජ්‍ය නොවන සංවිධානවලින් මාව හසුරවලා නැහැ. අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යාලය කියන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් නොවෙයි. එය ස්වාධීන කොමිෂන් සභාවක්. එයට සාමාජිකයන් පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත රටේ ජනාධිපතියි. වත්මන් අගමැතිතුමා ජනාධිපතිව සිටින විට පත් කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් සභාවේ නිර්දේශ අනුවයි. මේ කොමිෂන් සභාවේ සියලු වාර්තා ලබාදුන්නේ ජනාධිපතිට සහ ශ්‍රී ලංකා රජයට. ඒ නිසා මේ කාර්යාලය තුළින් රටට අයහපතක් වුණා කියන එක සම්පූර්ණ අසත්‍ය කාරණයක්. නීතිඥ සංගම් නිලවරණය නිසා තමයි මේ අසත්‍ය කරුණු මතු කරන්නේ.