නාමල් කුමාර, නාමල් රාජපක්‍ෂට හැරීම


වත්මන් ආණ්ඩුවේ ආයු කාලයේ අවසානය ක්‍රමයෙන් ළං වනවිට තම නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් ඔවුහු විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටිති. එහිදී ඉදිරියෙන්ම ඇත්තේ රාජපක්‍ෂලාගෙන් පලිගැනීමය. මේ අනුව වර්ෂය ආරම්භ වී දින කිහිපයක් ගතවන විට මා හට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ ලබා ගැනීම වෙනුවෙන් කැඳවීම් සිදුකර තිබේ.
ඒ අනුව ඊයේ (21දා) මම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ගොස් උදය වරුවේ පැය කිහිපයක් ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් සඳහා පිළිතුරු ලබාදුනිමි. මෙම ප්‍රශ්න කිරීම සිදු වූයේ හම්බන්තොට ප්‍රදේශයේ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලය හරහා කළ ව්‍යාපෘතියක් පිළිබඳවය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයේ මා සහාය දැක්වූවා යැයි සඳහන් කරමින් මාගෙන් ප්‍රශ්න කිරීම සිදුවිය.‍

හම්බන්තොට ආයෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා කරගෙන ගිය ව්‍යාපෘතියක් පිළිබඳ මේ ආකාරයෙන් ප්‍රශ්න කරන්නේ නම්, වත්මන් ආණ්ඩුව යටතේ ආයෝජකයන් රටට නොපැමිණීම ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මේ ආණ්ඩුව ගතවූ කාලසීමාවේදී රටට දැනෙන එකදු ආයෝජන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂය පවසන්නේ ඔවුන්ගේ ආණ්ඩු කාලයේ ඉතිහාසයේ විශාලම විදේශ ආයෝජනය හම්බන්තොට වරාය හරහා රටට ගෙන ආ බවයි.

හම්බන්තොට වරාය චීනයට බදු දීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් රටට පැමිණියද, ශ්‍රී ලංකා ආර්ථිකය වෙනුවෙන් දැවැන්ත සේවයක් ලබා ගැනීමට තිබූ ආර්ථික මර්මස්ථානයක් ඔවුහු අවුරුදු 99 බදු පදනමක් යටතේ චීනයට ලබාදුන්හ.

එහි මෙහෙයුම් ආරම්භ කර මාස ගණනාවක් ගතව ඇතත් තවමත් මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී ස්ථාපිත කළ දොඹකරවලට අමතරව නව දොඹකරයක් හෝ ස්ථාපිත කර ගැනීමට නොහැකිව තිබේ. නමුත් කොළඹ වරායට පැමිණෙන නැව් හම්බන්තොට වරායට සේන්දු කර ගනිමින් ශ්‍රී ලංකාවට ලබාගත හැකිව තිබූ මුදල්වලින් කොටසක් ක්‍රමයෙන් චීනය වෙත ගලා යමින් තිබේ. 
අනෙක් අතින් අපෙන් කරන පලිගැනීම්වල කොටසක් ලෙස නැවත වරක් හෙට (23දා) දිනයේදී මා හට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසද දන්වා තිබේ. ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා කළ හෙළිකිරීම්වලට අදාළව කරනු ලබන විමර්ශන කටයුතු වෙනුවෙනි. 

මෙම පරීක්‍ෂණවලට අදාළ අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයෙකු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවට දැනගන්නට තිබේ. ඉන්දීය ඔත්තුකරුවෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාගෙනුත්, මා හිතමිත්‍ර විමල් වීරවංශ මහතාගෙනුත්, ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගෙනුත් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

එම කැඳවීමට අනුව මම ප්‍රකාශ ලබා දීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සැමට සූදානම් බව මෙහිලා සඳහන් කරන්නෙමි. කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලයේ ඉන්දීය ඔත්තුකරුවන් දෙදෙනෙකු සිටින බවට කළ ප්‍රකාශයන් පිළිබඳ විමර්ශන නොකර මාගෙන් ප්‍රශ්න කරන්නේ නාමල් කුමාර දැන් නාමල් රාජපක්‍ෂ බවට මාරු වී ඇත්දැයි යන්න පිළිබඳ සමාජයට විහිළු සපයමිනි.

වත්මන් ආණ්ඩුව පත්වූ දා සිට රටත්, ජනතාවත් පෙර නොවූ අයුරුන් විවිධ විපත්වලට මුහුණ දෙමින් සිටියි. එහි නවතම තත්ත්වය නම්, %සේනා^ නම් දළඹුවෙකු වගාවන්ට කරන හානියයි. මෙම දළඹුවාගෙන් වගාවන් සිදුවන හානිය අවම කිරීමට පියවර නොගතහොත් එය අනාගතයේ දරුණු විපතකට හේතුවක් වීමට අවස්ථාව තිබේ. මේ අවස්ථාවේදී දේශපාලන භේදයකින් තොරව සෑම අයෙකුම %සේනා^ දළඹුවා මර්දනය කිරීමට එක්විය යුතු බව මාගේ අදහසයි.

එසේ නොවුණොත් අපේ රටටත්, රටේ කොඳු නාරටිය බඳුවන කෘෂිකර්මාන්තය මෙන්ම ඒ හරහා දිවි රැකගන්නා මිලියන ගණනක් වන ගොවි ජනතාවත්, ඔවුන්ගේ පවුල්වල උදවියත් පීඩාවට පත්වෙනු ඇත. මුලින්ම බඩඉරිඟුවල පමණක් වාර්තා වූ මෙම %සේනා^ දළඹු ව්‍යවසනය මේ වනවිට උක්, කුරහන් ඇතුළු තවත් භෝග කිහිපයකටම හානි කිරීම ආරම්භ කර තිබේ. බඩඉරිඟු පිළිබඳ පමණක් කතා කරන්නේ නම්, ඒ හරහා ඍජුව මෙන්ම වක්‍රව ජීවනෝපාය ගතකරන සංඛ්‍යාව 150,000කටත් වැඩි බවට ගණන් බලා තිබේ. 

ඒ අනුව මේ සියලු දෙනාටම සහනයක් ලබා දීමට කටයුතු කිරීම රජයේ වගකීම බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මන්දයත්, වත්මන් රජය සෑම පුද්ගලයෙකුටම බදු ගොනු විවෘත කිරීමට කටයුතු කළා නම්, මෙවැනි උවදුරුවලින් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමද ආණ්ඩුවේ වගකීම වන හෙයිනි. අනෙක් අතින් බොහෝ ගොවියන් ණය ලබාගෙන වගා කටයුතු සිදුකරන අතර, නොසිතූ අවස්ථාවක සිදු වූ මෙම ගැටලුවෙන් ඔවුන්ගේ ණය ගෙවීමද ගැටලුවක් බවට පත්වෙනු ඇත. ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතුය.

යුද්ධයෙන් ජනතාව මිය ගියාක් මෙන් වර්තමානයේදී රිය අනතුරුවලින්ද ජනතාව මිය යන තත්ත්වයේ වර්ධනයක් දිනපතා වාර්තා වන තොරතුරුවලින් පෙනෙන්නට තිබේ. මෙය වළක්වා ගැනීමට ඇති පහසුම ක්‍රමය වන්නේ රියදුරන්ගේ හා මගී ජනතාවගේ විනය වර්ධනය කිරීමය. මෙය මූලිකම අධික වේගය නිසා සිදුවන්නෙක් නොවේ. සෙමින් ගමන් කළ අවස්ථාවේදී පවා රිය අනතුරු සිදුවන අයුරු පෙනෙන්නට තිබේ.  
විදේශ රටවල වාහන පැයට කිලෝමීටර් 150කට අධික වේගයෙන් ධාවනය වන අවස්ථා තිබේ. නමුත් ඔවුන්ගේ අනතුරු සිදුවීම අඩු මට්ටමක තිබෙනුයේ විනයක් ඇතිව මාර්ගයේ ගමන් කරන හෙයිනි. ඔවුන් මාර්ගයේ ගමන් කරනුයේ මාර්ග සලකුණු, මාර්ග විනය ආරක්ෂා කර ගනිමිනි. ඒ අනුව අපටත් මෙයින් ගැලවීමට ඇති එකම හා පහසුම ක්‍රමය වන්නේ විනයක් සහිතව වාහන ධාවනය කිරීමත්, මාර්ගයේ ගමන් කිරීමත් හරහාය.

ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!



Recommended Articles