නාථ දෙවියන් හමු වීමි


මම නාථ දෙවියන් මුණ ගැසීමට ගියෙමි. ඔහුගේ මන්දිරයේ ගේට්ටුවේ ‘නිරෝධායනය කළ නිවසකි’ යනුවෙන් පුවරුවක් එල්ලා තිබිණි. ඒ අතරේ ජනෙල් රෙද්ද අස්සෙන් හොරෙන් එබී බලන දෙවියන් දුටිමි.

“මොකෝ ලැජ්ජ වෙලා? එන්නකෝ පොඩ්ඩක් කතා කරන්න” හැංගි හොරා කෙළින දෙවියන්ගෙන් මම ඉල්ලා සිටියෙමි.

කේ95 මාස්ක් එකක් පැලඳි නාථ දෙවියෝ මා ඉදිරියේ මීටර් දෙකක් එහායින් ප්‍රාදූර්භූත වූහ.

“මේ මොකෝ මළ කෝලම්. දෙයියන්ටත් කෝවිඩ් හැදෙනවද?” මම ඇසුවෙමි.

“මම අනාථ වෙලා ඕයි ඉන්නෙ” නාථ දෙවියෝ කීහ.

“ඇයි දෙයියො?”

“මම මාස්ක් එකක් දාගෙන ඉන්නෙ වෙස්වලා ගන්න. අර ජයසුමනයයි, නලීනුයි කරන වැඩවලට මම කොහොමද ඕයි රෙද්දක් ඇඳන් පාරෙ යන්නෙ” දෙයියෝ කන්කෙඳිරි ගාන්නට වූහ.

“ඉතිං අහවල් එකකටද පාරෙ යන්නෙ? යන්නකො ඍද්ධියෙන්”

“දෙවියෝ කොහොමත් යන්නෙ ඍද්ධියෙන් තමයි මිනිහෝ. ඒත් අහුවුණු අහුවුණු තැන්වල අනිත් දෙයියෝ මාව බයිට් කරනවා ඕයි. ළඟදි දවසක් මම වඩිද්දි එකෙක් කියපි ‘නාථ ද සිල්වා කියලා. ලැජ්ජාවේ බෑ බං. තව ඩිංගෙන් මම ඍද්ධියත් නැතුව ගිහිල්ලා උඹලගෙ ලෝකෙටම වැටෙනවා” දෙවියෝ සිදු වූ අකරතැබ්බ විස්තර කරන්නට වූහ.

“අනේ දෙයියෝ කොහේට වැටුණත් කමක් නෑ ලංකාවට නම් වැටෙන්න එපා. නලීනුයි ජයසුමනයි අපට දෙන ආතල් හොඳටම ඇති. ඒ අස්සට ඔයත් ආවොත් අපට දරා ගන්න බැරි වෙයි”

“හරි දැන් කියනවකො තමුසෙ මොකද මෙහේ?” දෙවියො කතාවට බැස්සා.

“දැන් දෙයියො, අපේ රටේ ආණ්ඩු කරන්නේ ඔහේනෙ. ඉතින් මම මේ ප්‍රශ්න වගයකට උත්තර හොයන්න ආවේ”

“මට මුලින්ම පැහැදිලි කිරීමක් කරන්න ඕන. උඹලගෙ ආණ්ඩුව පත් කළේ හැටනවලක්ෂයක් නරයෝ. මම කළේ ඒ ආණ්ඩුවේ වැඩ බලන්න ෂැඩෝ ගවර්මන්ට් එකක් දාපු එක විතරයි” දෙයියො සීරියස් වුණා.

“හරි. මහර බන්ධනාගාරයේ වුණු මිනීමැරුම් සොයා බලන්න පත් කළ කොමිසම කියනවා සිරකරුවෝ සාධාරණලු. මොකක්ද මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ?” මම දෙවියන්ගෙන් ඇසීමි.

“ආණ්ඩුව පත් කරපු කොමිෂන් කවදද ඕයි ඇත්ත කිව්වේ? මේකත් ඒ වගේම තමයි” මට දෙවියන් සිහි විය.

“එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ඇති වුණේ කොහොමද?”

“ලංකාවේ වෙලත් නන්දා මාලනීගෙ %‘කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්^ සිංදුව අහලා නැද්ද? ඔය සිංදුව අහලා කලකිරුණු නීතියේ දෙවඟන සිය දිවි හානි කර ගන්න කරපු උත්සාහයක් තමයි ඒ ගින්න” නාථ කීහ.

“එතකොට බාස් පැණියෙන් කෝවිඩ් හොඳ වෙයිද?”

“ඒක අපි විද්‍යාත්මකව ඔප්පු කරන්න හදන්නෙ. ඕනම බෙහෙතක මුලින්ම කරන්නෙ ඇනිමල් ටෙස්ටින්නෙ. ඒ හින්දා මුලින්ම උඹලගෙ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ටිකකට දුන්නා. ඔය සත්තු ටික තාම පණපිටින් ඉන්නෙ. ඊළඟට එන්නෙ මාස් ටෙස්ටින්. දැන් ඔය බීපු බීපු එවුන්ට ප්‍රතිඵල ලැබෙන්නෙ”

“ඔහේගෙ ගෝලයා නලින් කියනවා පාඨලී ෆැසිස්ට්ලු”

“මිනිහා බොරු නොකියන සමහර වෙලාවට ඇත්තත් කියනවා”

“මෙන්න මගේ අවසාන ප්‍රශ්නය. ආණ්ඩුව කොහොමද කෝවිඩ් මර්දනය කරන්නෙ?”

“තමුසෙලගෙ සෞඛ්‍ය ඇමති දේවිය කොච්චර ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නවද බලනවකො. මුලින් හට්ටියක් ගඟට දැම්මා. ඊළඟට මුහුදට බිලි වෙන්න හැදුවා. අන්තිමට පැණියත් බිව්වා. ඒ ගෑනිට පොඩ්ඩක් පාඩුවෙ ඉන්න ඉඩ දෙනවකෝ. එයත් මනුස්සයෙක්නේ” දෙවියෝ ගෝරනාඩු කරන්නට වන්හ.

“එතකොට වැක්සින්?”

“තමුසෙ අන්තිම ප්‍රශ්නෙ අහලා ඉවර කළානෙ”

මේ රජයත් නාථ දෙවියනුත් අතර ඇති අනුලෝම ප්‍රතිලෝම සම්බන්ධය වටහාගත් මම විමානයෙන් නික්මුණෙමි.

මා නිවසට පැමිණෙන විට දෙවියන් මට වට්ස්ඇප් පණිවුඩයක් එවා තිබිණි. “තමුසෙට මාව හම්බුණා කියලා අරුන් දෙන්නට නම් කියන්න එපා දෙයියෝ”

සුරත් ද මැල්



Recommended Articles