නාගරික වනාන්තරයක් යනු නගරයක් හෝ තදාසන්න ප්‍රදේශයක් තුළ වර්ධනය වන වනාන්තරයක් හෝ ශාක සමූහයකි. පුළුල් අර්ථයකින් ගත් කල, මිනිස් ජනාවාස ආසන්නයේ වගා කෙරෙන ඕනෑම වනාන්තරයක් මේ යටතට ගැනීමට හැකි වන අතර, විශේෂයෙන් සංවර්ධිත ලෝකය තුළ නාගරික වනාන්තර සම්බන්ධයෙන් විශාල උනන්දුවක් ඇති වී තිබෙන්නේ පරිසර දූෂණය සම්බන්ධයෙන් මෑත දශකවල ඉස්මතු වූ කථිකාවත් සමගිනි.
නාගරික වන වගාව පිළිබඳ කථිකාව ඉතා වැදගත් වන්නේ මේ වනවිට ලෝක ජනගහනයෙන් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් ජීවත් වන්නේ නගර ආශ්‍රිතව වන බැවිනි. 2050 වසර වනවිට ලෝක ජනගහනයෙන් සියයට 70කට වැඩි පිරිසක් නගර ආශ්‍රිතව ජීවත් වනු ඇති බව දැනට සිදුකර ඇති ගණන් බැලීම් අනුව පෙනී ගොස් ඇත. නාගරික වශයෙන් ජන සංකේන්ද්‍රණය ඉහළ යෑමත් සමග වායු දූෂණය, පස දූෂණය, ජල දූෂණය ඇතුළු බොහෝ පාරිසරික ප්‍රශ්නවලට යම් සහනයක් ගෙන දීමට නාගරික වන වගාවට හැකි වේ.
නාගරික වන වගාවන්ගෙන් පාරිසරික ගැටලු ආමන්ත්‍රණය කිරීම පමණක් නොව පරිසරය අලංකාරවත් කිරීම, නාගරික වශයෙන් වනජීවීන්ට වාසස්ථාන නිර්මාණය වීම මෙන්ම නගරවැසියන්ට විනෝදාත්මක ක්‍රියාවල නිරත වීම සඳහා අවකාශ සැලසීමද සිදු වේ. යුරෝපීය රටවල් ආශ්‍රිතව මෙවැනි නාගරික වන වගා විශාල වශයෙන් සිදුවන අතර, එම රටවල ජනවාස ඇති කිරීම සිදුවන්නේද ඉතා සැලසුම්සහගත තත්ත්වයන් යටතේය.
නාගරික වන වගාව තුළින් නගර ආශ්‍රිතව යහපත් දේශගුණික තත්ත්වයක් පවත්වාගෙන යෑම මෙන්ම ඒ ඔස්සේ නගරවැසියන්ගේ මානසික තත්ත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමටද ඉඩ සැලසේ. නාගරික ප්‍රදේශවල ඇති විය හැකි තාප දූපත් ආචරණය (urben heat island) පාලනය කිරීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. ශ්‍රී ලංකාවේදී නම් මෙම තත්ත්වය යම් තරමකින් හෝ කොළඹ බෞද්ධාලෝක මාවත, කුරුඳුවත්ත ආදී ප්‍රදේශවල දැකගැනීමට ලැබෙන අතර යුරෝපයේ නම් නාගරික සැලැස්මේම කොටසක් වශයෙන් පරිසර පද්ධතිය සමතුලිත ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කෙරේ. තාප දූපත් ආචරණය වශයෙන් හැඳින්වෙන්නේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් කිසියම් නිශ්චිත නාගරික ප්‍රදේශයක උෂ්ණත්වය සෙසු නාගරික ප්‍රදේශවලට වඩා වැඩි මට්ටමක් ගැනීමයි.
කාර්මිකකරණය සමගින් නාගරික වායුගෝලයේ ඇති දූෂකකාරක ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, නයිට්‍රජන් ඔක්සයිඩ්, සල්ෆියුරික් ඔක්සයිඩ් ආදී විවිධ දූෂකකාරක පිරිසුදු කිරීමේ හැකියාවක් වනාන්තරවලට ලැබේ. මෙම යුගය තුළදී බටහිර ලෝකය තුළ ඉස්මතු වෙන මතයක් නම් සොබාදහමට පෙරටුව මිනිසාට සිටිය නොහැකි බවයි. මිනිසා සෑමවිටම සොබාදහමට ද්විතීයීක වන අතර, වනජීවීන් ඇතුළු සමස්ත පරිසර පද්ධතියට වඩා විශේෂිත වරප්‍රසාදයක් මිනිසාට නොමැත. පුනරුද යුගයේදී බටහිර මිනිසුන් සොබාදහම යටපත් කර මිනිසාගේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට උත්සාහ කළද දැන් මිනිසා සහ පරිසරය අතර සමතුලිතතාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක නිරත වී සිටී. නාගරික වන වගාව ඉන් එකක් වන අතර, නගරය සොබාදහමෙන් විතැන් වූ වියළි කොන්ක්‍රීට් කලාපයක් නොවන බව තේරුම්ගත යුතුව ඇත.
දර්ශන අශෝක කුමාර