නාගරික ගොවිතැනක අවශ්‍යතාව


රටේ සැබෑ සංවර්ධනයක් ඇතිකිරීමට නම් ගම්බද භූමිවල පමණක් නොව නාගරික අවකාශවලද වගා කිරීම අවශ්‍ය වේ. නගර යනු කර්මාන්තයේ හා පරිපාලන කටයුතුවල මධ්‍යස්ථානය වූවාට එහි ගොවිතැන මුළුමනින්ම නැතිකළ යුතු නොවේ. ලොව වෙනත් රටවල ඇති නගර සමග සසඳා බලන කල අපේ රටේ ඇත්තේ සොච්චම් නගරය. ප්‍රමාණයෙන් මෙන්ම ජීවන දෘෂ්ටියෙන්ද ඒවා ගම්වලට වඩා වෙනස් වන්නේ සුළු වශයෙනි. ඇත්තටම ලංකාවේ ඇත්තේ බටහිර අර්ථයේ නගර නොව ගම්මානවල යම් විශාලිත ස්වරූපයක් පමණි.

එහෙත් 20 වැනි සියවසේ මැද භාගයේ සිටම ගොඩනැගී, මේ වනවිට වඩාත් විශාලනය වෙමින් පවතින තට්ටු නිවාස සංකීර්ණ හා දැන් දැන් හැදෙන මහල් නිවාස ඔස්සේ ලංකාවේ යම් ආකාරයක නගර සංස්කෘතියක් නිර්මාණය වන බවද පෙනේ. එසේ නිර්මාණය වූ සහ එසේ නිර්මාණය වන නගර සංස්කෘතියේ ගොවිතැන යන ශීර්ෂයට ඉතින් අප පිවිසෙමු. 

නගරවල ඉඩකඩ සීමිතය. ගම්වල මෙන් දිග පළලින් යුත් ඉඩම් යායවල් නගරවල නැත. එහෙත් හරියට ගණන් බලතොත් තැන තැන ඉතුරු වූ පටි කැබලි  රාශියක් නගර තුළද දැකිය හැකිය. මේවා අතර තට්ටු නිවාසවල අගුකොන් නාගරික නිවාස වටා පවතින මායිම්, කාර්යාල, කර්මාන්ත ශාලා, වෙළෙඳ සැල්, යනාදියට අයත් විවිධ ඉඩකඩම් දැකිය හැකිය. මේවා ඇතැම්  විට නිසරුය. ගල් ගොඩවල්වලින් හා කුණු ගොඩවල්වලින් ගහනය. තවත් විටෙක යමක් සිටුවිය හැකි සරුසාර  පසක් මෙහි තිබේ. පෝර, කුණු, පස මෙහි දැකිය හැකිය.

නාගරික භූමි අවකාශවල ගොවිතැන සඳහා විශේෂිත වැඩපිළිවෙළක් නිර්මාණය කළහොත් එය අතිශයින්ම වැදගත් වේ. ඒ සඳහා උචිත භෝග පාත්ති ක්‍රම, පෝච්චි ක්‍රම මොනවාද?, ඒවා මිනිසුන්ට හඳුන්වාදී එම ගොවිතැන් ක්‍රමය ව්‍යාප්ත කරන්නේ කෙසේද? යන්න පිළිබඳව ගොවිතැන් සේවා කටයුතු භාර උදවියගේ අවධානයට ලක්විය යුතුය.

නාගරික පරිසරවල බොහෝ විට වෙසෙන්නේ උදේ සිට රෑ වෙනතෙක් ශ්‍රමය හලා වෙහෙසව ඉසිඹුවක් ලැබීමට සිය නිවෙස වෙත එන මිනිසුන්ය. නැතහොත් තාවකාලිකව පදිංචි වී සිටින බෝඩිං කාරයෝය. රාත්‍රී රැකියාවල නිරත වන්නෝය. ඒ නිසා මේ කියන ගොවිතැන් කටයුතුවල නිරතවීම ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් යම් නිවැරදි කෘෂිකාර්මික කළමනාකරණයක් ඔස්සේ විමසුම් ඇසින් බලන්නේ නම් යම් නිශ්චිත පිරිසකට මෙම ගොවිතැන් ක්‍රියාවලිය භාරදීමේ හැකියාවක් පවතින බව කිව හැකිය.

තට්ටු නිවාස සංකීර්ණවල එළවළු, පලතුරු වැවීම සඳහා විශේෂ පෝච්චි හා වෙනත් උපකරණ සැපයීම ආණ්ඩුවට සිදුකළ හැකිය. එසේම නගරබද ප්‍ර‘‘දේශවල පමණක් නොව ගම්බද හා අර්ධ නාගරික ප්‍ර‘දේශවලද තට්ටු නිවාස සංකීර්ණ තැනීම දිගින් දිගටම සිදුකළ යුතු අතර, එයින් ගම්බද විශාල ඉඩම් නාස්ති වීම අවම වී කර්මාන්තවලට මෙන්ම ගොවිතැනටද සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් ඉතුරු කරගත හැකිය.
නාගරික අවකාශවල ගොවිතැන පළල් කිරීමේදී නාගරික ප්‍ර‘‘දේශවල අයාලේ යන විවිධ සංරචකවලට අයත් ශ්‍රම සම්පත යොදාගත හැකිය. මෙය කළ හැක්කේ උසස් කළමනාකරණයක් තිබුණහොත් පමණය. විවිධ සමාජවිරෝධී ක්‍රියා සිදුකරන පිරිස්  මෙසේ යොදාගත හැකි පිරිසකි. ඔවුන්ට මුදල් ලබාගැනීමට හැකි හෝ බඩ පිරෙන භෝග වර්ග හඳුන්වා දීමට පුළුවන් නම් ඔවුන් නාගරික අවකාශවල යම් ගොවිතැනක නිරත වෙනවා ඇත. 

මැෂින්වලින් කොන්ක්‍රීට් ඇනීම ව්‍යාප්ත වන්නට පෙර බොහෝ නාගරික ප්‍ර‘දේශවල කොන්ක්‍රීට් ඇනීමට මත්කුඩුවලට ඇබ්බැහි වූවන් යොදාගෙන තිබුණි. එය යම් පුද්ගලයෙකුගේ කළමනාකරණය යටතේ සිදුවූ අතර, ඒ පුද්ගලයා මේ ශ්‍රමය ලබාගත්තේ සාපේක්ෂව අඩු මුදලකටය. ඔහුට අවශ්‍ය වූයේ ලාභයක් ලබාගැනීමය. මෙය යම් අමානුෂික ක්‍රියාවලියක් සේ පෙනී ගියද මෙහි යම් ආර්ථික කළමනාකරණයක්ද නැතැයි කිව නොහැකිය.

නාගරික හා අර්ධ නාගරික අවකාශවල දැනට ප්‍ර‘යෝජනයකට නොගෙන තිබෙන ඉඩවල එළවළු වැවීම ඉතාමත්ම අගනා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියකි. එසේම එය රටේ පවතිනා ආහාර ප්‍රශ්නයටද විසඳුමක් ලබාදීමට හේතු වනවා ඇත.

 



Recommended Articles