න්‍යායිකයන් යනු ඉපැරණි ඉන්දියාවේ විසූ දාර්ශනික ගුරුකුලයකි. තර්ක ශාස්ත්‍රයටත්, ඥාන මීමාංසාවටත් ඔවුන් ඉටුකළ මෙහෙය අදටත් ලෝක ශාස්ත්‍රීය කථිකාව තුළ විශේෂ අවධානයකට පාත්‍රවේ. න්‍යායික දර්ශනය ගොඩනැගෙන්නේ ආගමික පසුබිමක් තුළය. හින්දු දර්ශනයේ ප්‍රධාන අස්ථික දර්ශනවාද 6 අතර න්‍යාය දර්ශනයද පවතී.
න්‍යායික දර්ශනය එක්තරා ආකාරයකින් යථානුභූතිවාදයකි. ලෝකයේ පවතින යමක් වේ නම් එය මනුෂ්‍ය ඥානයට දැනගැනීමට හැකි බව ඔවුහු විශ්වාස කළහ. න්‍යායිකයෝ දැනුම ලබාගැනීම සඳහා ප්‍රමාණ වශයෙන් හැඳින්වෙන ක්‍රම කිහිපයක් කෙරෙහි විශ්වාසය තැබූහ.
එහිදී ප්‍රත්‍යක්ෂ අනුමාන උපමාන සහ ශබ්ද සඳහා ලැබුණේ ප්‍රමුඛත්වයකි. මිනිසුන් කෙරෙහි දුක ඇතිවන්නේ මෙම දැනුම ලබාගැනීමේදී පවතින දෝෂ හේතුවෙන් බව න්‍යායිකයන්ගේ අදහස විය. මෝක්ෂය ලබා ගැනීමට නම් නිවැරදි දැනුම ලබාගත යුතුය.
මිනිසා කෙරෙහි පවතින දුක සම්බන්ධයෙන් න්‍යායික දර්ශන සඳහා බුදු දහමෙන්ද යම් ආභාසයක් ලැබිණි එහෙත් න්‍යායිකයන්ගේ සහ බෞද්ධ දාර්ශනිකයන්ගේ වෙනස වූයේ ආත්මය පිළිබඳව පැවැති අදහසයි. බෞද්ධ දර්ශනය තුළදී අනාත්මවාදය පිළිගැනෙන අතර න්‍යායික දර්ශනය තුළදී යම් ජගත් ආත්මයක් පිළිබඳ විශ්වාසය පවතී. මුල්ම න්‍යාය ග්‍රන්ථය වශයෙන් සැලකෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙසීයේදී පමණ ගෞතම නම් වූ දාර්ශනිකයා විසින් රචනා කරන ලද ‘න්‍යාය සූත්‍ර’ නම්වූ කෘතියයි.
න්‍යායිකයන් මිනිස් දැනුම ලබා ගැනීම සම්බන්ධයෙන් විශ්වාසය තැබූ මූලික අංශයක් වූයේ ප්‍රත්‍යක්ෂයයි. න්‍යාය තර්ක ශාස්ත්‍රයට අනුව ප්‍රත්‍යක්ෂය ලෞකික සහ අලෞකික වශයෙන් කොටස් දෙකකට අයත් විය හැකිය. සංවේදී ඉන්ද්‍රීයයන් ලෝකය තුළ ඇති විවිධ වූ වාස්තවිකයන් සමග ගැටීමෙන් නිර්මාණය වන දෝෂයන්ගෙන් තොර වූ දැනුම ලෞකික ප්‍රත්‍යක්ෂයන් වශයෙන් අක්ෂපාද ගෞතමයන් විසින් පැහැදිලි කරන ලදී. අතීන්ද්‍රියන් තුළින් ලබන දැනුම අලෞකික ප්‍රත්‍යක්ෂයන් වශයෙන් න්‍යාය ශාස්ත්‍රයේදී ගැනිණි. එම අතීන්ද්‍රීය දැනුම ‘යෝගජා’ හෝ ‘ප්‍රතිභා’ වශයෙන් හැඳින්විණි.
න්‍යායිකයන්ගේ දර්ශනයේ සෙසු ප්‍රධාන පිළිගැනීම වූයේ අනුමානයි. න්‍යායික අනුමානවලදී නිගාමී තර්කනයේ හා උද්ගාමී තර්කනයේ සංයෝජනයක් සිදු කෙරී ඇත.
සාමාන්‍යකරණය ඔස්සේ සුවිශේෂීත්වය තුළින් සුවිශේෂිතව කරා තර්ක කිරීම මෙහි මූලික එළැඹුමයි. එහිදී ප්‍රතිඥා, හේතු, උදාහරණ, උපනය, නිගමන වශයෙන් කාණ්ඩ පහක් යටතේ තර්ක කෙරේ. න්‍යාය දර්ශන වෛශේෂික දර්ශනයත් සමග සම්බන්ධිතව සියවස් ගණනාවක් මුළුල්ලේ ඉන්දියාව තුළ සංවර්ධනය විය. ‘වාත්සයායන’, ‘උද්‍යනාචාර්ය’, ‘උද්යෝතකාර’, ‘වාචස්පති’, ‘ගනේෂ’ ආදීන්ගේ දාර්ශනික ආලෝකය මෙහිදී අතිශයින් වැදගත් විය.
න්‍යාය දර්ශනය නිර්මාණය වන්නේ ආගමික පද්ධතියක් තුළම වීම විශේෂත්වයකි. එය බටහිර දර්ශනයට වඩා වෙනස් වූ මාවතක් ගන්නකි. කෙසේ වෙතත්, බටහිර තර්ක ශාස්ත්‍රය සමග කිසිදු ආකාරයකින් නොදෙවෙනි තැනක ඉන්දීය තර්ක ශාස්ත්‍රයද පවතී. ලෝකයේ දැනුම සම්බන්ධයෙන් විවිධ මං මාවත් ඇති බටහිර ලෝකය විසින් නිර්මිත මාවත පමණක් ආසියාවේ අපද මේ වනවිට අනුගමනය කරමින් සිටින්නෙමු.
දර්ශන අශෝක කුමාර