ලොව සම්පූර්ණයෙන් 71% ජලයෙන් වැසී පැවතුණත් මිනිසාගේ ප්‍ර‘යෝජනය සඳහා භාවිත කිරීමට හැකිවනුයේ 02%කට අඩු ප්‍රමාණයක් බවට සොයාගෙන තිබේ. එහෙත් සීමිත ජල ප්‍රමාණය පවා විවිධ අවස්ථාවල මිනිසා විසින් විනාශ කර දැමීම සිදුකරන ලබයි.
ජලය ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම සාධකය බවටද පත්ව තිබෙන අතර රටක් වශයෙන් ලංකාව තුළ ජීවත්වන විශාල පිරිසකට පිරිසුදු පානීය ජලය භාවිතා කිරීමට අවස්ථාව හිමිව තිබේ. එම පහසුකම් ලබාදීමේ ප්‍රධාන වගකීම ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් සිදුකරනු ලබයි. ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ලබාදෙන ජලය අපතේ හැරීම, ලබාදෙන ජලයට මුදල් නොගෙවීම පිළිබඳව මේ දිනවල විශාල කතාබහක් ඇතිවී තිබේ. මේ පිළිබඳව අද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (බිල්පත්) පියල් පත්මනාත මහතා සමග කතාබහක නිරතවිය.
නළ ජල භාවිතය
නළ ජලය භාවිත කිරීමේදී සමහර පිරිස් ජලය භාවිතා කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බැහැ. මොකද නළ ජලය ලබාදෙන්නේ ජනතාවට පානය කිරීමට හා අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන්. මේ නිසා පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සෑම කෙනෙකුගේම වගකීමක්. ඒත් සමහර පිරිස් කරාමයට බටය ගහලා සීමාවකින් තොරව මල් පැළ තෙමනවා, වාහන සෝදනවා.
ජලය කියන්නේ මිල කළ නොහැකි සම්පතක්. ඒක නිසා සෑම කෙනෙකුම පානීය ජලය සුරක්ෂිත කරන්න ඕන. ඒ තුළින් ජලය සුරක්ෂිත කරනවා වගේම ජාතික ධනයත් ආරක්ෂා වෙනවා. මොකද ජලය පිරිසුදු කිරීම හා වෙනත් කටයුතු සඳහා විදුලිය අවශ්‍ය වෙනවා. ජලය සුරක්ෂිතතාව තුළින් විදුලියත් ඉතිරි කරගත හැකියි.
ජල පිරිපහදු වියදම
ජාතික ජල සම්පාදන මණ්ඩලයට ජලය ඒකකයක්, එනම් ජලය ලීටර් දහසක් පිරිපහදු කර බෙදා හැරීමට රුපියල් පනහයි ශත විසි තුනක් වියදම් වෙනවා. ඒත් ජනතාවට එම ජල ප්‍රමාණය ලබාදෙන්නේ රුපියල් දොළහකට. උදාහරණයක් ලෙස කියනවා නම් ජලය ලීටර් පහළොස් දහසක් භාවිත කිරීම වෙනුවෙන් අප අයකරන්නේ රුපියල් තුන්සිය විස්සයි ශත අසූපහක්. ඒත් විවෘත වෙළෙඳ පොළේ ජලය ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් පනහකට. මේ අනුව ජලය ලීටර් දහසක් මිලදී ගන්න රුපියල් පනස් දහසක් වියදම් කරන්න ඕන. හැබැයි අපි ජලය ලීටර් දහසකට අයකරන්නේ රුපියල් 12ක්. මේ මුදලට සේවා ගාස්තු එකතු වීමක් සිදුවෙනවා.
ජල බිල්පත් ගෙවීමේදී ලැබෙන වාසි
ජල බිල්පත ලැබිලා දින 14ක් තුළ ගෙවීමේදී පාරිභෝගිකයාට 1.5%ක වට්ටමක් හිමිවෙනවා. ඉතිරි දින 16ක කාලය තුළදී සාමාන්‍ය ලෙස ජල බිල්පත ගෙවීමට හැකියාව තිබෙනවා. ඒත් බිල්පත ලබාදීලා දින 30කට පසු ගෙවීමේදී 2.5% අධිභාරයක් ගෙවීමට සිදුවෙනවා. ඒක නිසා අපි ජනතාවට සෑම විටම කියන්නේ බිල්පත ලැබිලා පළමු දින 14 තුළ ගෙවලා අදාළ වට්ටම ලබාගන්න කියලායි.
සමහර ජල පාරිභෝගිකයන්ට මාසයකට ගෙවීමට හිමිවන්නේ සුළු මුදලක්. ඒක නිසා සමහර පිරිස් බිල් කිහිපයක් එකතු කරලා ගෙවීම් කරන්න පුරුදුවෙලා තියෙන්නේ. ඒකෙන් පාරිභෝගිකයාට සිදුවෙන්නේ අවාසියක්. මොකද සමහර අවස්ථාවල අධිභාර ගෙවන්න වෙනවා. ජල සැපයුම විසන්ධි වෙන්නත් පුළුවන්.
ගෙවීම් පැහැර හැරීම
මේ වනවිට අපි ගණනය කරලා තියෙනවා අපෙන් ජලය ලබාගත් අය අපිට රුපියල් මිලියන දෙදහස් තුන්සීයකට අධික මුදලක් ගෙවන්න ඕන බවට. අපේ මාසික වියදම රුපියල් මිලියන දෙදහස් පන්සීයක් පමණ වෙනවා. ජල බිල්පත් ගෙවීම පැහැර ඇරලා තියෙන අයට අපි නොවැම්බර් 20 වෙනකම් සහන කාලයක් ලබාදීලා තිබෙනවා. මෙම කාලය තුළ සියලුම හිඟ මුදල් ගෙවීමෙන් ජල සැපයුම විසන්ධි කිරීම වළක්වා ගතහැකියි. ඕනෑම තැපැල් කාර්යාලයකට, ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල්වලට, රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින්, අන්තර් ජාලයෙන් හා ජල සම්පාදන මණ්ඩලයේ ගෙවීම් කාර්යාල තුළින් බිල්පත් ගෙවන්න පුළුවන්.
සාමාන්‍ය ලෙස ජල සම්බන්ධතා විසන්ධි කිරීම
ඒ දේ අදාළ පාරිභෝගිකයාගේ බිල්පත සලකා සිදුකරනවා. ගෙවීමට තිබෙන මුදල් වැඩි නම් හරි, ගෙවීම පැහැර හැරි ප්‍රමාණය වැඩිනම් හරි රතු බිලක් ලබාදෙනවා. ඒ බිල තුළින් අදාළ මුදල ගෙවිය යුතු දිනය සඳහන් වෙනවා. රතු බිලක් ලබාදුන්නත් අපි සෑමවිටම උත්සහ කරන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කරන්නයි.
ඒක නිසා අපි සමහර අවස්ථාවල සැබෑ තත්ත්වය සොයලා, බලලා වාරික ගෙවීමේ ක්‍රමයක් යටතේ විදුලි බිල ගෙවීමට අවස්ථාව සලසා දෙනවා. බිල්පත් ගෙවීමේදී ගැටලු ඇතිවෙන්නේ පාරිභෝගික ජනතාවට ලැබෙන බිල්පත නිසි ලෙස ගෙවීමට කටයුතු නොකිරීම නිසායි. මේ නිසා බිල්පත් හතර පහක් පමණ එකතු වීමෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා. එහෙම වුණාම පාරිභෝගිකයා තව තවත් අර්බුදයකට ලක්වෙනවා.
ජලයේ සුරක්ෂිතතාව
අපි ලබාදෙන සෑම ජල බින්දුවකම සුරක්ෂිතතාව අපි තහවුරු කරනවා. අපි ජලය පිරිසුදු කරන්නේ ජාත්‍යන්තර ප්රමිතීන්වලට අනුවයි. පිරිපහදු කළාට පස්සේ අපි සැරින් සැරේ ජල සාම්පල් පරීක්ෂාවකට ලක්කරනවා. ජලය පිරිසුදු කිරීමට අපි පිරිසුදුකාරක භාවිතා කරනවා. ඒ දේවල් කරන්නේ ශරීර සෞඛ්‍යයට හිතකර ආකාරයට. ක්ලෝරීන් වැඩියි කියලා සමහර අය සඳහන් කළත් ශරීර සෞඛ්‍යයට අහිතකර ආකාරයට අපි ක්ලෝරීන් භාවිත කරන්නේ නැහැ. ජාතික ජලසම්පාදන මණ්ඩලය මගින් ජල සම්බන්ධතා ලක්ෂ විසි හතරක් ලබාදීලා තියෙන්නේ. ඒ සෑම කෙනෙකුටම ලබාදෙන ජලය ඉතාමත් සුරක්ෂිතයි.
ජලයට වසවිස කවලම් වීම
මේ ආකාරයට සමහර අවස්ථාවල ප්‍රචාරයන් සිදුවුණා. ඒත් ජලයට වසවිස කවලම් කිරීමට හැකියාවක් නැහැ. මොකද ජලයට වස කවලම් කිරීමට නම් විශාල වස ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එවැනි දෙයක් කළොත් ජලයේ පැහැය වෙනස් වෙනවා. ඒක නිසා අපි බෙදාහරින ජලයට එවැනි දේවල් කරන්න බැහැ. ඒ වගේම ලබාදෙන ජලය මිනිස් ශරීරයට සුදුසුම ජලයද කියලා අපි ක්‍රම‘වේදයක් භාවිතා කරලා පරීක්ෂා කරනවා.
නව ජල සම්බන්ධතා ලබා ගැනීම
නව ජල සම්බන්ධතා වසරකට එක්ලක්ෂ විසිදහසක්, තිස් දහසත් අතර ප්‍රමාණයක් සිදුකරනවා. ලබන වසරේ සිට මෙම ප්‍රමාණය ලක්ෂ දෙකක් වේවි කියලා හිතනවා. ආර්ථික අපහසුතා තියෙන අයට වාරික ක්‍රමයට ගෙවීමේ පහසුකම් යටතේ ජල සම්බන්ධතා ගන්න පුළුවන්. පොදුවේ ගත්තම මේ වනවිට රටේ ජන ගහනයෙන් 40෴කට ජල සම්බන්ධතා ලබාදීලා තිබෙනවා.
මීට අමතරව ප්‍රජා මූල ජල සම්පාදන ක්‍රම මගින්, පළාත් පාලන ආයතන මගින් ජනතාවට පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා. ජනතාව අරපිරිමැස්මෙන් ජලය භාවිතා කිරීම තුළින් තවත් විශාල පිරිසකට ජලය ලබාදීමට හැකියාව තිබෙනවා.
පාසල්වලට හා පූජා භූමිවලට ලැබෙන සහනය
ලංකාවේ පාසල් හාරදහසකට වැඩි ප්‍රමාණයකට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් නොමිලේ ජලය ලබාදෙනවා. ඒ වගේම පූජා නගරවලට ජලය නොමිලේ ලබාදෙනවා. මේ වෙනුවෙන් මීට පෙර මහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබාදුන්නා. ඒත් දැන් ඒ මුදල් ලබාදෙන්නේ නැහැ. ඒක නිසා ජල සම්පාදන මණ්ඩලය විසින් මේ ස්ථානවලට නොමිලේම ජලය ලබාදෙනවා.
මේ නිසා පාසල් දරුවන් ජලය භාවිතා කිරීමේදී ඉතාමත් අරපරිස්සමින් ජලය භාවිතා කරන්න ඕන. ප්‍රජා නගරවලදිත් ජලය අරපරිස්සමින් භාවිතා කරන්න ඕන. ඒ පිළිබඳව අප දැනුවත් කිරීම් සිදුකරනවා.
ජලය නීතිවිරෝධී ලෙස ලබාගැනීම
මෙවැනි ක්‍රියා ඕනෑම මොහොතක අපේ නිලධාරීන්ට හසුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසල්වාසීන් ඒ පිළිබඳව අපිට තොරතුරු ලබාදෙන්න පුළුවන්. නළ ජලය නීතිවිරෝධී ලෙස ලබාගැනීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදක්. මේ නිසා කිසිම අවස්ථාවක මණ්ඩලය සතු ජල මීටරයට ඉහළින් විවිධ උපක්‍රම මගින් ජලය ලබාගන්න එපා. එහෙම කළොත් දඩ මුදල් පවා ගෙවීමට සිදුවෙනවා. මේ ආකාරයේ වංචනික ක්‍රියා කරන අය පිළිබඳව අපිට තොරතුරු ලබාදෙන අයට අපිත් විවිධ වරප්‍රසාද ලබාදෙනවා.
බිල් ගෙවීම දිගින් දිගටම පැහැර හැරියහොත්
ඕනෑම කෙනෙකුට හිතන්න පුළුවන් බිල් ගෙවීම නොකළහොත් කිසිම දෙයක් කරන්න බැහැ කියලා. බිල්පත් ගෙවීම දිගින් දිගටම පැහැර හැරියොත් දේපොළ වෙන්දේසියකින් පවා අපිට අයවිය යුතු මුදල අය කරගන්න පුළුවන්. මොකද පවතින නීතිරීතිවලට අනුව ඒකපාර්ශ්වීය නඩු කටයුත්තකින් අදාළ මුදල අය කරගන්න පුළුවන්.
සමූහ බිල්පත් ගෙවීම
ප්‍රධාන කාර්යාලය මගින් එම ආයතනයට අයත් ශාඛාවල බිල්පත් ගෙවනවා නම් සමූහ බිල්පත් ක්‍රමයට එකතු වෙන්න පුළුවන්. මෙතැනදී වෙන්නේ අපේ මනුසටහන්කරුවන් අදාළ ශාඛාවල බිල සටහන් කරගෙන අපගේ ප්‍රධාන කාර්යාලයට ලබාදීම. අනතුරුව අපේ ප්‍රධාන කාර්යාලය මගින් අදාළ ආයතනයේ ශාඛාවල බිල්පත් එකතු කරලා ගෙවිය යුතු මුදල පිළිබඳව දැනුවත් කරනවා. මේ අනුව ප්‍රධාන කාර්යාලයට සමූහ බිල්පත් ගෙවීම ක්‍රමය යටතේ සියලුම මුදල් එකවර ගෙවන්න පුළුවන්. එහෙම නැතිව ශාඛාවලට ලැබෙන බිල්පත් එකතු කරලා ගෙවීම තුළින් යම් යම් ප්‍රමාදයන් ඇතිවෙන්න පුළුවන්. ප්‍රධාන කාර්යාලයට මෙම පහසුකම් ලබාගැනීමට ශාඛාවල තියෙන ජල සම්බන්ධතා ගිණුමේ තොරතුරු අපිට ලබාදෙන්න ඕන. ඒ තොරතුරු ලබාදීම තුළින් මෙම පහසුකම් ලබාගන්න පුළුවන්.
ජල සම්පාදන මණ්ඩලයේ වරදින් ජලය අපතේ යෑම
ප්‍රධාන මාර්ගයක ජල නළ බටයක් කැඩුනොත් ඒක එක්වරම හදන්න අපිට බැහැ. එම කටයුතු සිදුකිරීමට අපිට ආයතන කිහිපයකින් අවසර ලබාගන්න වෙනවා. ඒ අවසරය කඩිනමින් ලැබෙන අවස්ථා තිබෙනවා. සමහර අවස්ථාවල අවසර ලැබෙන්න යම් කාලයක් ගතවෙනවා. මේ ආකාරයේ දෙයක් සිදුවෙනවා නම් 1939 දුරකථන අංකයට දැනුම් දෙන්න පුළුවන්. අපේ නඩත්තු නිලධාරීන් පැය 24 පුරාම සේවයේ යෙදිලා ඉන්නවා.
පොදු ජල කරාම
පොදු ජල කරාම පාලනය කරන්නේ පළාත් පාලන ආයතන විසින්. ජලය ලබාගැනීම වෙනුවෙන් පාරිභෝගික ජනතාව ගෙවීමට තිබෙන රුපියල් මිලියන දෙදහස් තුන්සීයක මුදලින් රුපියල් මිලියන අටසීයක් ගෙවන්න ඕන පොදු ජල කරාම වෙනුවෙනුයි. මේ ආකාරයට පොදු ජලකරාමවල බිල්පත් ගෙවීම පැහැරහැරියහොත් නව පොදු ජල කරාම ලබාදීමේදී යම් ක්‍රම‘වේදයක් භාවිතා කිරීමට සිදුවෙනවා. කොහොම වුණත් අපි ජල සම්බන්ධතාවක් ක්ෂණිකව විසන්ධි කරන්නේ නැහැ. ඒත් දුරකථන බිල්, විදුලි බිල් ගෙවීමට කටයුතු නොකළහොත් අදාළ සම්බන්ධතා ක්ෂණිකව විසන්ධි වෙනවා. ජලය කියන්නේ ජනතාවට අත්‍යවශ්‍ය දෙයක්.
පාරිභෝගිකයන්ට තොරතුරු ලබාදීම
ජල පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල ජංගම දුරකථනය මගින් බලා ගැනීමේ පහසුකම් ඇතිකරලා තිබෙනවා. මේ සඳහා 0719399999 දුරකථන අංකයට ජල පාරිභෝගික ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් (SMS) එවන්න ඕන. මීට අමතරව ජල මීටරයේ තොරතුරු මනුකියවන්නා හරහා ජංගම දුරකථන මෘදුකාංගයක් මගින් ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.