නවලිබරල්වාදය යනු 19 වැනි සියවසේ නිදහස් වෙළෙඳ පොළ ධනවාදය මත නිර්මාණය වූ දෘෂ්ටිවාදයකි. 20 වැනි සියවසේ මුල් භාගයේදී නවලිබරල්වාදය සම්බන්ධයෙන් බටහිර ලෝකය තුළ යම් අත්හදා බැලීම් සිදු වුවද ඒවා සාර්ථක නොවුණේ පළමු ලෝක යුද්ධයේත්, දෙවැනි ලෝක යුද්ධයේත් කාල පරාසය තුළදී පාලිත ධනේෂ්වරවාදය හෙවත් කේන්සියානු ධනේෂ්වාරවාදය හොඳින් ස්ථාපිත වූ බැවිනි.
කේන්සියානු සම්මුතිය වඩාත් බල සම්පන්න ආකාරයෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව 1945 වසරේ සිට 1980 දක්වා පැවතුණු අතර, තව දුරටත් එම ආර්ථික මොඩලය ඔස්සේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට නොහැකි යැයි සිතූ බටහිර ලෝකය නවලිබරල්වාදය වැලඳ ගැනීමට තීරණය කළේය.
පෞද්ගලීකරණය, නියාමනය, නිදහස් වෙළඳාම, සහන කප්පාදුව, සමාජයේ පෞද්ගලික අංශයේ කාර්යභාරය වැඩි කිරීම මෙන්ම රජයේ වියදම් අඩු කිරීම නවලිබරල්වාදී ආර්ථික මොඩලයේ ලක්ෂණ වේ.
මේ අනුව නවලිබරල්වාදයේ එක් ඉලක්කයක් වූයේ කෘෂිකර්මාන්තය වාණිජකරණයට ලක්කිරීමයි. දේශීය කෘෂිකර්මාන්තය ලෝක වෙළෙඳ පොළට ඒකාබද්ධ කිරීම සඳහා තුන්වැනි ලෝකයේ බොහෝ රටවල් මේ යටතේ පිඹුරුපත් සකස් කළේය. 1981 වසරේදී ලෝක බැංකුව විසින් ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් නිර්දේශ කළ බර්ග් වාර්තාව ප්‍රකාශයට පත්කළ අතර, ඒ යටතේ සහනාධාර සහ තීරුබදු බොහෝ ක්ෂේත්‍රවලින් ඉවත් කෙරිණි. මේ අනුව, විශාලතම පහරක් වැදුණේ තුන්වැනි ලෝකයේ සුළු පරිමාණ ගොවීන්ටය. විදෙස් වෙළෙඳ පොළෙන් විවිධ භෝග ආනයනය කිරීම ඇරඹුණු අතර, දේශීය ගොවියාට එම ජාත්‍යන්තර වෙළෙඳ පොළ සමග තරග කිරීමට සිදුවිය.
තුන්වැනි ලෝකයේ බොහෝ රටවල ගොවීන්ට තරග කිරීමට සිදු වූයේ මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කෙරෙන කෘෂි නිෂ්පාදන සමාගම් සමග වන අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු තුන්වැනි ලෝකයේ රටවල් රැසක ගොවීන් වස පානය කිරීම ප්‍රවණතාවක් ලෙසින් ඉස්මතු වූයේද නවලිබරල් ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙනි.
ලතින් ඇමෙරිකාවේද නවලිබරල්වාදය ආර්ථික මොඩලයක් වශයෙන් භාවිත කිරීමට උත්සාහ කෙරුණු අතර, එය පැහැදිලි ලෙසම සාර්ථක වූයේ නැත. එමගින් විනාශකාරී ප්‍රතිඵල රැසක් ලතින් ඇමෙරිකානු කලාපයට ගෙන දුන් අතර ලතින් ඇමෙරිකානු කලාපය තුළ වාමවාදී රැල්ලක් නිර්මාණය වූයේද නවලිබරල්වාදය කෙරෙහි පැවැති දැඩි විරෝධය පදනම් කර ගනිමිනි.
1980 දශකයේ අග භාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී බ්‍රසීලය (ෆනෑන්ඩෝ කොලර් ඩි මෙලෝ යටතේ), ආර්ජන්ටිනාව (කාලෝස් මෙනෙම් යටතේ), මෙක්සිකෝව (කාලෝස් සාලිනාස් යටතේ), වෙනිසියුලාව (කාලෝස් පෙරෙස් යටතේ) සහ පේරු (ඇල්බර්ටෝ ෆුජිමෝරි යටතේ) ලෝක බැංකුව විසින් නිර්මාණය කරන ලද නවලිබරල් සූත්‍රයක් වන ඊනියා වොෂිංටන් සම්මුතිය පිළිගත්තේය. මෙම වොෂිංටන් සම්මුතිය අතිශයින් විනාශකාරී වූ අතර එමගින් ප්‍රධාන වශයෙන්ම බිඳ දැමූවේ කෘෂිකාර්මික ආර්ථිකයයි. ඊට අතිරේක වශයෙන්, සමාජ සුබසාධනයද සම්පූර්ණයෙන් කඩා බිඳ දැමිණි.