නව ප්ලේටෝවාදය යනු ක්‍රි.ව. තුන්වැනි සියවසේදී හෙලෙනිස්ටික් දර්ශනයට හා එවක පැවැති ආගමික දර්ශනයන්ට එරෙහිව මතුවූ දාර්ශනික ප්‍රවාහයකි. නව ප්ලේටෝවාදය තුළින් පැහැදිලි ලෙස සංගත කළ හැකි අදහස් මාලාවක් පිළිබිඹු නොවන අතර, චින්තකයන් පිරිසක් හැඟවේ. ඇලෙක්සෙන්ඩ්‍රියාවේ සිටි ග්‍රීක දාර්ශනිකයෙකු වූ අම්මෝනියස් සකාස් සහ ඔහුගේ ශිෂ්‍ය ප්ලොටිනස් (ක්‍රි.ව. 204/5 - 270) විසින් ආරම්භ කරන ලද නව ප්ලේටෝවාදයේ ආරම්භය ක්‍රි.ව. හයවැනි සියවස දක්වා සක්‍රීය ලෙසින් විවිධ චින්තකයන් අත පැවතිණි. ග්‍රීක දර්ශනයේ අවසාන ගුරු කුලය වූයේද නව ප්ලෝටෝවාදයයි.
නව ප්ලේටෝවාදය තුළදී සිදුවූයේ ග්‍රීක දාර්ශනිකයන්ගේ අදහස්වලට වඩා ආගමික මුහුණුවරක් ලබාදීම සහ ගූඨත්වයක් ආරෝපණය කිරීමයි. කෙසේ වෙතත්, මෙම දාර්ශනික සම්ප්‍රදාය අනුගමනය කළ දාර්ශනිකයන්ට ඔවුන් ජීවත්ව සිටි සමයේදී නව ප්ලේටෝවාදීන් යන යෙදුම නොයෙදුණු අතර, නව ප්ලේටෝවාදය යන යෙදුම භාවිත කිරීම ඇරඹෙනුයේ 19 වැනි සියවසේ ආරම්භයත් සමගිනි.
නව ප්ලේටෝවාදී චින්තකයන්ගේ අදහස් ඇතැම්විට එකිනෙකට පරස්පර වුවද ඔවුන්ගේ දර්ශනයන්හි පොදු ලක්ෂණ ගණනාවක්ද හඳුනා ගැනීමට හැකි වේ. නිදසුනක් වශයෙන් යථාර්ථය සම්බන්ධයෙන් ඔවුන් දැරූ මතය පොදුවේ එකකි. සියල්ලම එකම මූලධර්මයක් ඔස්සේ ව්‍යුත්පන්න වන බව නව ප්ලේටෝවාදී දාර්ශනිකයන් පිළිගත් අතර, ඔවුන් තුළ වූයේ ඒක දේවවාදී අදහසකි.
ප්ලොටිනස්ට පසුව නියෝප්ලේටෝවාදය සම්බන්ධ ඉතිහාසයේ සුවිශේෂී කාලපරිච්ඡේද තුනක් තිබුණි. ඒවා නම් ප්ලොටිනස්ගේ ශිෂ්‍ය පෝර්ෆිරිගේ දාර්ශනික සම්ප්‍රදානයට අදාළ යුගය, ඉයම්බ්ලිකස් විසින් සිරියාවේ පවත්වාගෙන යන දාර්ශනික ගුරුකුලය සහ පස්වැනි හා හයවැනි සියවස්වල, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සහ ඇතන්ස්හි නුවර ගුරුකුල වර්ධනය වූ යුගයයි.
නව ප්ලේටෝවාදය විසින් දර්ශනවාදයේ පසුකාලීන සැකැස්ම කෙරෙහි අතිවිශාල බලපෑමක් ඇති කළේය. මධ්‍යකාලීන යුගයේදී, මුස්ලිම්, ක්‍රිස්තියානි සහ යුදෙව් චින්තකයන් විසින් නව ප්ලේටෝවාදී අදහස් අධ්‍යයනය කළ අතර, ඔවුන්ගේ දර්ශනවාදයන්ගේ වර්ධනය පිණිස නව ප්ලේටෝවාදී අදහස් භාවිත කෙරිණි. ඉස්ලාමීය සංස්කෘතික ක්ෂේත්‍රය තුළ අරාබි සහ පර්සියානු භාෂාවලින් බොහෝ නව ප්ලේටෝවාදී චින්තකයන්ගේ පොතපත හමු විය.
අල්-ෆරාබි (al-Farabi), සොලමන් ඉබ්න් ගේබිරෝල් (අවිස්බ්‍රොන්) (Solomon ibn Gabirol) අවිස්සෙන්නා (Avicenna) සහ මෝසෙස් මයිමොනයිඩස් (Moses Maimonides) වැනි චින්තකයෝ නව ප්ලේටෝනියානු දර්ශනයන් ඔස්සේ ඉස්ලාමීය දර්ශනය පොහොනි කළහ. මෙම කෘති පසුකාලීනව ලතින් භාෂාවටද පරිවර්තනය වූ අතර, ක්‍රිස්තියානි බටහිර රටවල ප්‍රථම වරට නව ප්ලේටෝනික දර්ශනය පිළිබඳ කෘති හමු වන්නේ නවවැනි සියවසේදී පමණය. මේ අනුව, නව බටහිර දැනුම නිර්මාණය කිරීම උදෙසා ඉස්ලාමීය ලෝකයෙන් ලැබුණු ශක්තිය සුළුපටු නොවේ. එහෙත් අද වනවිට බොහෝ ශාස්ත්‍රඥයන් විසින් ඉස්ලාමීය ලෝකයෙන් ලද දාර්ශනික හා ශාස්ත්‍රීය ඓතිහාසික කාර්යභාරය අමතක කර තිබේ.
අරාබි ලෝකය ඔස්සේ යුරෝපයට ලැබුණු නව ප්ලේටෝවාදී කෘති ලතින් බසින් පළවීමත් සමග මධ්‍යකාලීන මහා දාර්ශනිකයන් වූ තෝමස් ඇක්වයිනාස්, එටක්හාර්ට් වැන්නන් කෙරෙහි සිය දාර්ශනික ප්‍රවාද ගොඩනගා ගැනීම කෙරෙහි මහෝපකාරී වූ අතර, පසුකාලීන යුරෝපීය විද්‍යාත්මක චින්තනය ගොඩනැගීම උදෙසාද එය අඩු හෝ වැඩි වශයෙන් බලපෑවේය. ඉතාලි පුනරුදයේ චින්තකයන් වන මාර්සිලියෝ ෆිසිනෝ සහ පිකෝ ඩෙලා මිරැන්ඩෝලාගේ දාර්ශනික චින්තාවන් කෙරෙහිද බලපෑවේ නව ප්ලේටෝනික දර්ශනයේ ආලෝකයයි.