"පොලිසිය ඉන්නෙ අපේ ආරක්ෂාවට කියල අපිට හිතෙන්නෙ නෑ," යැයි සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තියක වන අයේෂා පවසයි. ඇය එසේ පවසන්නේ සහේතුකවය. සංක්‍රාන්ති සමාජභාවී හෙවත් ට්‍රාන්ස්ජෙන්ඩර් අයෙකු වන අයේෂා, ලංකාවේ පිළිගත් නීතිමය ක්‍රමවේදයට අනුව සංක්‍රාන්තිය සිදුකර ගනිමින් සිටින තැනැත්තියකි. ඒ නිසා ඇය තවමත් සිය හැඳුනුම්පතෙහි නම වෙනස් කරගෙන නොමැත. මේ වන විට ඇය කිහිපවරක්ම පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ අන් අයෙකු ලෙස වෙස් වළාගෙන සිටීම නමැති චෝදනාවටය. එනම් හැඳුනුම්පතෙහි ඇති පිරිමි නම, ඇගේ බාහිර ස්වරූපය සමග පරස්පර වීම හේතුකොටගෙනය.
මහජන නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලීසිය, ඒ වෙනුවට ඇය නිදහසේ තමන්ගේ පාඩුවේ පාරේ ඇවිදගෙන යන විටත් අත්අඩංගුවට ගත්තේය. එය පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය වෙත රජය විසින් ලබාදී තිබෙන අධිකාරී බලය අපයෝජනය කිරීමකි.
උසාවි නොදා ගෙදර යවන කෙටි ක්‍රමයක්!
2019 වසරේ කඩවත මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දුවක් අනුව, යම් තැනැත්තෙකු රජයේ රෝහලක විශේෂඥ මනෝ වෛද්‍ය සායනයක සංක්‍රාන්තිය සඳහා ලියාපදිංචි වූ බවට කිසියම් ලේඛනයක් තිබේ නම්, එම තැනැත්තාව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධීය. ඒ මිස, ජාතික හැඳුනුම්පතෙහි නම සහ ලිංගභාවය වෙනස් කර ගෙන නොතිබීම අත්අඩංගුවට ගැනීමට හේතුවක් නොවේ. නමුත් මෙවැනි අත්අඩංගුවට ගැනීම් තවමත් වාර්තා වේ. රැකවරණ භාරයේ සිටියදීද ලිංගික අල්ලස්වලට නතු වීමට සිදුවීම ලංකාවේ සුළුතර ලිංගික හා සමාජභාවී ප්‍රජාව මුහුණදෙන සුවිශේෂී ගැටලුවකි.
නව චක්‍රලේඛ සහ මාර්ගෝපදේශන
සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තන් පොලිස් අත්අඩංගුවට ගැනීමේදී පොලීසියේ කාර්යපටිපාටිය සම්බන්ධයෙන් 2023 වසර අග භාගයේදී නව චක්‍රලේඛයක් නිකුත් කළේය. තවද 2023 වසරේ අග භාගයේදී ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවද පොලීසිය LGBT+ (එල්ජීබීටී+) ප්‍රජාව සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව වෙත මාර්ගෝපදේශන නිකුත් කළේය. එයට අනුව සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තන් පොලිස් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ව පොලිස් කූඩුවට දැමීම තහනම් අතර කාර්යපටිපාටීන් ක්‍රියාත්මක කළ යුත්තේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසිනි. නමුත් ක්ෂේත්‍රයේ රාජකාරි කරන හෙවත් සාමාන්‍ය බසින් කියනවා නම්, ‘පොලිස් පැට්‍රල්‘ යන ‘රාළහාමිලා‘ මේ පිළිබඳ දැනුම්වත්ව සිටින්නේ කුමන මට්ටමකටද යන්න අපැහැදිලිය. දැනට සති කිහිපයකට පෙර, එම වක්‍රලේඛය සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තන් ඇතුළු ලිංගික හා සමාජභාවී සුළුතර සියල්ල එනම් LGBT+ ප්‍රජාවම ආවරණය වන පරිදි දීර්ඝ කර තිබෙන අතර, බිම් මට්ටමේදී එහි ක්‍රියාත්මකභාවය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අධීක්ෂණය කරමින් සිටින බව නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.‘
නීතිය ඉදිරියට නොඑන තරම්
ලිංගික අල්ලස් ඇතුළු LGBT+ තැනැත්තන් මුහුණදෙන ගැටලුවල සුලබතාවය සහ සුවිශේෂී බව නිසාම ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව 2022 වසරේදී එම ගැටලු විමසා බැලීම සඳහා වෙනම ඒකකයක් විවෘත කළේය. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන නීතීඥ මේනකා හේරත් මහත්මිය ප්‍රකාශ කළේ, &යටත් පිරිසෙයින් LGBT+ ප්‍රජාව මුහුණදුන් ලිංගික අල්ලස් සිද්ධි 3ක් පමණ ගතවූ කාලය තුළ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබෙනවා. ‘‘නමුත් අපි නිරීක්ෂණය කළේ, ඔවුන් බොහෝවිට එම පැමිණිලි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවයි. යැයි ඇය පැවසුවාය. මේ අතර LGBT+ ප්‍රජාව මුහුණදෙන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් සිද්ධි 2021 වසරේ පටන් එක්රැස් කිරීමේ යෙදී සිටින DAST සංවිධානයේ ව්‍යාපෘති කළමනාකාරවරිය ලෙස කටයුතු කරන සත්‍යා රාමනායක මෙනෙවිය පැවසුවේ නීතිය ඉදිරියට එම සිදුවීම් ගෙන යාම සඳහා වින්දිතභාවය සමග ජීවත් වන තැනැත්තන් දිරිමත් කළත්, ඔවුන් බොහෝ විට අධිකරණය හමුවට යාම සඳහා මැලි වන බවයි.
සිදුවීම් ගණනාවක් වාර්තා වෙනවා. නමුත් නීතිය ඉදිරියට යන්න කියල අපිට බල කරන්න බැහැ. ඔවුන් තවදුරටත් ඒ පළාත්වලම ජීවත් වෙන්න ඕනෙ. කොහොමටත් ආන්තීකරණයට ලක්වුණු අය විදිහට සහ නීතියෙන් ගැහැට විඳින අය විදිහට ඔවුන් අධිකරණය හමුවට යුක්තිය පතාගෙන යන්න බයයි යැයිද ඇය පැවසුවාය.
LGBT+ ප්‍රජාවට තවමත් දුරස්ථ සිහිනයක්
ලිංගික අල්ලස රටේ විවෘත රහසකි. එසේම එය අපරාධ වරදකි. සාමාන්‍යයෙන් රටේ පුරවැසියන් අපරාධ යුක්තිය පතමින් යොමුවන පළමු ආයතනය පොලීසියයි. නමුත් මෙවැනි සිදුවීම් වාර්තා කිරීමට, එනම් පැමිණිලි කිරීමට බොහෝ විට වින්දිතභාවය සමග දිවි ගෙවනවුන් පොලිසි වෙත යන්නේ නැත. දණ්ඩ නීති සංග්‍රහයේ අල්ලස පිළිබඳ සාමාන්‍ය නීති ප්‍රතිපාදන ඇතුළත් 158 -161 වගන්ති ප්‍රකාරව ඔවුන්ට පෞද්ගලික තැනැත්තන් අතර හටගන්නා ලිංගික අල්ලස් සිදුවීම් පිළිබඳ පවා කටයුතු කළ හැකි නමුත්, ලිංගික අල්ලස යන වචනය ප්‍රකාශිතව නැති නිසාදෝ නව ලිංගික අල්ලස් නීතිය හෙවත් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත බලාත්මක වීමට පෙර පවා LGBT+ ප්‍රජාවේ ලිංගික අල්ලස් වින්දිතයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කළ අවස්ථා අපට හමු නොවන තරම්ය. ලංකාවේ ලිංගික අල්ලස සම්බන්ධයෙන් වෙනම නීතිමය ප්‍රතිපාදන පැවතිය යුතු බවත්, එය පසුගාමී තත්ත්වයෙන් මිදිය යුතු බවත්, ලිංගික අල්ලස වරදේ බල සම්බන්ධයේ පවතින සුවිශේෂීභාවය නිසා එය ලිංගික හිංසනවලින් වෙන්කොට හඳුනාගත යුතු බවත්, ඒ අනුව ‘ලිංගික අල්ලස් දෙන්නේ කැමැත්තෙනි ‘යන සමාජ දුර්මතය නීතිය මගින්ම ඉවත් කළයුතු බවත් ඇතුළු වැදගත් අධිවාචන (ඇඩ්වකසි) රැසක් පසුගිය සමය තුළ සිදුවිය. ඒ සම්බන්ධයෙන් රටේ සිවිල් සංවිධාන, නීතිය පිළිබඳ විද්වතුන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් විසින් වැදගත් වැඩකොටසක් ඉටුකර තිබේ. ඔවුන් අවධාරණය කළ පරිදි, ‘අල්ලස‘ යන පොදු යෙදුම තුළ නොව ප්‍රකාශිතවම ‘ලිංගික අල්ලස‘ මේ වන විට ලංකාවේ නීතියෙන් අපරාධ වරදක් වන අතර, ලිංගික අල්ලස් ගැනීම මෙන්ම දීමද වරදකි යන යල්පිනූ මතය වෙනුවට, ‘ලිංගික අල්ලස් ගැනීම වරදකි‘ යන අදහස මතුවන සේ දැනට මාස කිහිපයකට පෙර ලංකාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව බලගන්වනු ලැබීය.
ලංකාවේ ලිංගිකමය හා සමාජභාවී සුළුතරය අතරින් ‘නීත්‍යානුකූල පුද්ගලයන්‘ වශයෙන් අයිතිවාසිකම් සැලකිය යුතු දුරකට හෝ තිබෙන්නේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට පමණි. මෙහිදී ‘සැලකිය යුතු දුරකට‘ යැයි අප පවසන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නීතිමය ලේඛන පැවතියත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ දැඩි අඩුපාඩු තවමත් පවතින හෙයිනි. මෙම ලිපියේ මුල් භාගයේ විස්තර කළ ඔවුන්ගේ සත්‍ය ජීවන අත්දැකීම් එයට සාක්ෂි දරයි. එනිසාම, LGBT+ ප්රජාව තුළ සිටින සෙසු කාණ්ඩවලට එනම්, සමරිසි, ද්වීරිසි යනාදී තැනැත්තන් හට අලුත් ලිංගික අල්ලස් නීතියෙන් පවා පිහිට පැතිය හැකිද යන්න විශාල ගැටළුවකි. ජනගහනයෙන් 90% ක් පමණ නියෝජනය කරන විෂමරිසි බහුතරය පවා ලිංගික අල්ලස් පිළිබඳ නීතියේ පිහිට ඉතා ඉඳහිට පතන තත්වයක් තුළ සමරිසි හා සංක්රාන්ති සමාජභාවී සුළුතරය මෙම අපරාධ වරද සම්බන්ධයෙන් නීතියේ පිහිට පැතීමට යොමු නොවීම හෝ ඉතා කලාතුරකින් පමණක් යොමු වීම වටහා ගත හැකි ය.
මෙතෙක් කල්ද ලංකාවේ ලිංගික අල්ලසද ඇතුළත් ව අල්ලස සම්බන්ධයෙන් සාධනීය ලෙස ක්‍රියාත්මක වූයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවයි. බොහෝ අය දන්නා පරිදි ‘අල්ලස් කොමිසමයි. ඉහත කී නීති සංශෝධනයට පෙර අල්ලස් කොමිසමට පවා බලය තිබුණේ රාජ්‍ය අංශය විසින් එනම් රජයේ නිලධාරීන් විසින් සිදුකරන අල්ලස්/ ලිංගික අල්ලස් ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටයි. නමුත් නව නීති සංශෝධනයත් සමග ඔවුන්ගේ එම බලතල පෞද්ගලික තැනැත්තන් අතර හටගන්නා ලිංගික අල්ලස් විමර්ශනයට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති බලතල දක්වාම දීර්ඝ වී තිබීම සාධනීය කරුණකි. 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පළමු පෞද්ගලික අංශ සේවකයා පෙබරවාරි මුල සතියේදී කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. එය නව නීතිය යටතේ විභාග වන පළමු ලිංගික අල්ලස් නඩුවයි. තවද නව නීතියේ ඇති සුවිශේෂී වර්ධනයක් වන්නේ, ලිංගික අල්ලස් සිදුවීම්වල මූලික බලතල පොලීසියෙන් අල්ලස් කොමිසම වෙත විස්ථාපනය කර, අල්ලස් කොමිසම විසින් විමර්ශන හා තොරතුරු රැස්කිරීම පිණිස පොලීසියේ සහාය පැතීමයි. ඒ අනුව, ලිංගික අල්ලස් සම්බන්ධයෙන් නව නීතිය යටතේ මූලික විමර්ශන පොලීසියේ විෂයපථයෙන් ඉවත් කර ලඝු කර ඇති බවක්ද පෙනේ. දැන්, ලිංගික අල්ලස් සම්බන්ධයෙන් මූලික පැමිණිල්ල යොමු කළයුතු වන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙතටය. එහිදීද LGBT+ ප්‍රජාවට යුක්තිය ඉටුවීමට නම්, එහි කාර්ය මණ්ඩලය රටේ දූෂණ විරෝධී නීතිය පිළිබඳ දැනුම්වත්ව සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔවුන් අනිවාර්යයෙන්ම LGBT+ ප්‍රජාව සම්බන්ධයෙන් මනා සංවේදීකරණයකට ලක් විය යුතුය.
ලිංගික අල්ලස් පිළිබඳ සිද්ධියක් වාර්තා කිරීමට, 1954 දුරකථන අංකය හෝ [email protected] විද්‍යුත් තැපෑල හරහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) අමතන්න.
සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රදිකා ගුණරත්න