නව ආර්ථික අභියෝග සහ එම්.සී.සී ගිවිසුම


කෝවිඩ් වසංගතයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මෙන්ම ලෝකය දැඩි ආර්ථික දුෂ්කරතාවට මුහුණ දෙමින් සිටී. මතු වී තිබෙන නව ආර්ථික අභියෝග සහ ඒවා ජයගන්නා ආකාරය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සමග අප සාකච්ඡා කළ අතර, ඒ ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

ප්‍රධාන ආර්ථික අභියෝග දෙකක්

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග කිහිපයක් තිබෙනවා. ඒ අතරින් මම දකින ප්‍රධාන ආර්ථික අභියෝග දෙකක් තිබෙනවා. ඒ තමයි ලංකාව ලබාගෙන තිබෙන විදේශ ණය ගෙවීම සම්බන්ධයෙන් මතුවී තිබෙන  අර්බුදකාරී තත්ත්වය සහ රජයේ ආදායම අඩුවීම.

ඉහල ණය බරක් පැවැතීම හේතුවෙන් 2024 දක්වා කාලසීමා තුළ වාර්ෂිකව ඩොලර් බිලියන 03 ක පමණ මුදල් ප්‍රමාණයක් ලංකාව ගෙවිය යුතුව තිබෙනවා. කෝවිඩ් අර්බුදය නිසා රටට ගලා එන විදේශ විනිමය විශාල වශයෙන් සීමා වී තිබෙන බැවින් මෙම තත්ත්වය ත්‍රීව්‍ර වී තිබෙනවා. රජයේ බදු ආදායමද විශාල වශයෙන් කඩා වැටෙන තත්ත්වයක් තුළදී එම අර්බුදය තවත් ත්‍රීව්‍ර වෙනවා.

ඒ වගේම රටේ සංචාරක ව්‍යාපාරය බිඳවැටිලා, අපනයන ක්ෂේත්‍රය බිඳවැටිලා දැනට තිබෙන දත්ත අනුව 2019 වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය සැසඳීමේදී 2020 ජනවාරි සිට ජුනි දක්වා කාල සීමාව තුළ අපනයන අදායම ඩොලර් බිලියන 1.6 කින් පමණ අඩුවෙලා තිබෙනවා. ඒ වගේම විදේශ ආයෝජන අඩුවෙලා තිබෙනවා. මේ සියල්ල තුළ දේශීය ආර්ථිකයේ විදේශ අංශය ඉතා ප්‍රබල ලෙස අර්බුදයකට ගිහින් තිබෙනවා. ඒ වගේම රජයේ ආදායම ගැන සලකා බලන විට රජයේ වියදම් වැඩිවෙලා තිබෙනවා. ආදායම සැලකිය යුතු ලෙස පහළ ගිහින් තිබෙනවා. ඒ වගේම බදු ආදායම පහළ ගිහින් තිබෙනවා. අපේක්ෂිත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට නොහැකි වීම තුළ ඇතිවෙන අර්බුධයට රට මුහුණ දෙමින් ඉන්නවා. ඒ වගේම පසුගියදා රජය ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව හරහා බිලියන 1.3ක ණය ගැනීමට අදාළව පාර්ලිමේන්තු අනුමැතියක් ලබා ගත්තා. ඒ තුළත් අපි දැක්කේ ආදායම් වියදම් අතර තිබෙන පරතය.

මේ හරහා දැඩි ආර්ථික අර්බුධකාරී තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. මක්නිසාද ඉදිරියටත් බදු ඉහළ දැමීම හරහා ආදායම වැඩිකර ගැනීමට රජයට හැකියාවක් නැහැ. ඒ වගේම බදු ඉහළ දැමීම හෝ වියදම පාලනය කිරීම හරහා ආදායම් වියදම් පරතරය විසඳා ගැනීමට යම් පියවරක් ගැනීමට රජයට හැකියාවක් නැහැ. එහෙම කළොත් එය ආර්ථිකයට අහිතකර තත්ත්වයක් විදිහට බලපානවා. මේ සියල්ලගේම ප්‍රතිඵලයක් විදිහට 2020 වර්ෂයේ  ලංකාවේ ආර්ථිකය සෘණ ආර්ථික වර්ධනයක් අත්කරගනිවි කියලා දැනට පුරෝකතනය කරලා තිබෙනවා.

 ඒ වගේම අපි අමතක කළ යුතු නැහැ 2019 දී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.3 පමණ ප්‍රමාණයක්. එහි ප්‍රතිඵලයක් ලෙසත් කෝවිඩ් වාතාවරණය තුළ ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ ආදායම් උත්පාදන අංශ , රැකී රක්ෂා ලබාදීම , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍ර ආදිය යම් ආකාරයට දුර්වල වීමට තිබෙන ඉඩ වැඩිවෙයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්.

ආර්ථිකයට මුදල් පොම්ප කිරීම

ඒ නිසාම රටේ ආර්ථිකය ගොඩගන්න ආර්ථිකයට යම් ආකාරයක මුදල් යෙදවීමක් අවශ්‍ය වෙනවා. මුදල් යෙදවීම කියන දේ තුළින් අපි අදහස් කරන්නේ ආර්ථිකය තුළට මුදල් පොම්ප කිරීමක් සිදුකිරීමයි. ඒ තුළදී ආයෝජන විදිහට අපේ ආර්ථිකයට මුදල් යොමුකිරීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ආයෝජකයන් හරහා හෝ විදේශ ණය ගැනීම් යටතේ හෝ විදේශ ආධාර ලබා ගැනීම යටතේ ඊළඟ වර්ෂ කිහිපය තුළ ආර්ථිකයට මුදල් යෙදවීම අතිශය වැදගත් වෙනවා. දැනට තිබෙන උදාසීන ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීමට නම්  අවම වශයෙන් රුපියල් බිලියන 5000ක් පමණ ප්‍රමාණයක් ලංකාවෙ ආර්ථිකයට මුදල් යෙදවීමක්, එහෙමත් නැතිනම් පොම්ප කිරීමක් සිදුකළ යුතු වෙනවා. එහෙම කළොත් සංචාරක ක්ෂේත්‍රයේ අපනයන ක්ෂේත්‍රෙය් මෙන්ම රැකියා වෙළෙඳ පොළ තුළද යම් පිබිදීමක් ඇති වේවි.

ආයෝජන සහ ආයෝජනයට හිතකර පරිසරයක්

අපගේ ඉතිරි කිරීම් සහ වියදම අතර පරතරයක් තිබෙනවා වගේම රජයේ ආදායම සහ වියදම අතර පරතරයක් තිබෙනවා. මේ පරතරයන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉතාමත්ම වැදගත්වන දේ තමයි රජය රටක් විදිහට විදේශ ආයෝජන අද්දවා ගැනීම සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීම. එය ඉතාම වැදගත්. නමුත් මේ දේ අඩු වැඩි විදිහට සෑම රජයක්ම සිදුකර තිබෙනවා. එහෙම වුණත් රටට අවශ්‍ය ආයෝජන සඳහා සරිලන වටපිටාවක් තවම අපේ රටේ ඇතිවෙලා නැති නිසා මේ විදිහට ආයෝජන අද්දවා ගැනීම අපහසු වෙලා තිබෙන්නේ.

විශේෂයෙන්ම පසුගිය රජයේ සමයේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තිබුණු අවිනිශ්චිතතාව සහ ඊට පසුව පාස්කු ප්‍රහාරය සමග ඇතිවුණ වාතාවරණය වැනි කරුණු හේතු කරගෙන විදේශ ආයෝජන විශාල ලෙස අධෛර්ය වීමක් සිදු වුණා. මේ රජය යටතේ ආයෝජන තත්ත්වය යහපත් අතට හැරෙයි කියලා අපි හිතනවා. නමුත්  එසේ වීමට නම් සැපිරිය යුතු ප්‍රධානම කොන්දේසිය තමයි ඉතාමත්ම ශක්තිමත් හා තිරසාර ආයෝජන ප්‍රතිපත්තියක් සහිතව අයෝජන පරිසරය සකස් කිරීම.

ඒ තුළ ව්‍යාපාර කිරීමට අදාළ පිරිවැය වන ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය වන ලියාපදිංචි කිරීම්, මූලික සේවා ලබා ගැනීම්, අනෙකුත් අවසර ලබා ගැනීම් , ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබා ගැනීම් ආදිය පහසු කිරීම වැනි අංශ කෙරෙහි රජය වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවාවන් කාර්යක්ෂමව සිදු නොවීම නිසා ආයෝජකයන් අපහසුතාවට ලක්වෙනවා. මේ නිසා ඔවුන්ට අවශ්‍ය වටපිටාව සකස් කර දීම ආදිය සිදුකළ යුතු වෙනවා.

ඒ වගේම ප්‍රවාහනය, විදුලිය වැනි පහසුකම් සපයා ගැනීමේදී පවා විවිධ අර්බුදවලට මුහුණ දෙන්න සිදුවෙනවා. විදුලිය මිල ඉහළයි. රට තුළ ප්‍රවාහනය හොඳ තත්ත්වයක නැහැ. සන්නිවේදනය හා මානව සම්පත් තුළ විවිධ ප්‍රශ්න තිබෙනවා. රට තුළට ආයෝජන ඇද ගැනීමට නම් මේ කියන ක්ෂේත්‍රවල තිබෙන අර්බුධකාරී තත්ත්වයන් වෙනස් කර සංවර්ධනය කළ යුතු වෙනවා. රට තුළ එවැනි සංවර්ධනයක් කෙටි කාලීනව සිදුවේවි යැයි බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගේම කෙටි කාලයක් තුළ සැලකිය යුතු ආයෝජන රටට ගලාගෙන එයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.

වරාය නගරය වැනි ස්ථාන ආයෝජන ගෙන්වා ගැනීම සඳහා පවතින ඉතාම හොඳ ස්ථාන. නමුත් වරාය නගර වැනි ස්ථානවලින් බැහැරවත් රට තුළට ආයෝජන ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. කෝවිඩ් වසංගත තත්ත්වය තුළ ඉතාම කෙටි කාල සීමාවකදී සැලකිය යුතු ආයෝජන ප්‍රමාණයක් ලැබෙයි කියලා අපිට හිතන්න අමාරුයි. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙවැනි කාලයකදී ආයෝජකයෝ වුණත් ආයෝජනය කරන්න යම් මැලිකමක් දක්වන නිසා.

විදේශ ආධාර ලබාගැනීම

විදේශ ආධාර ලබා ගැනීමට යොමු වීම මේ අවස්ථාවේදී වැදගත් කාරණයක්. එහිදී රජය ආපසු ගෙවිය යුතු නොවන ආකාරයේ ආධාර වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මූලික වශයෙන්ම මේ වනවිට ලංකාවට අධාර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන එම්.සී.සී (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්) වැඩසටහන සම්බන්ධයෙන් සැලකිලිමත් වීම හොඳයි කියලා මම හිතනවා.

එවැනි ආධාර වැඩසටහනක් තුළ ආයෝජකයන් දිරි ගැන්වීමේ වටපිටාවක් සකස්කර ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් එම්.සී.සී ගිවිසුම තුළ රටට අහිතකර දේවල් ඇතුළත් බවට යම් යම් සාකච්ඡාවක් පවතිනවා. මෙම ගිවිසුමට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන අය මූලිකවම එවැනි අදහසක් ඉදිරිපත් කරනවා. එවැනි අහිතකර තත්ත්වයන් තිබෙනවානම් ඒවා යම් ආකාරයකට විසඳාගෙන එම අධාර වැඩසටහන සිදුකරන රාජ්‍යය සහ ආයතනය සමග සාකච්ඡා කර එවැනි ගැටලු සහගත තත්ත්වයන් මගහරවා ගැනීමට කටයුතු කිරීම වැදගත්. එලෙස මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා හැකිනම් එය ඉතාමත්ම වාසි සහගත තත්ත්වයක් උදා කරනවා. ඒ මක්නිසාද විශේෂයෙන්ම ඒ හරහා විසඳීමට බලාපොරොත්තුවන ඉඩම් මැනීම් කටයුතු ඉඩම් අයිතිය ලබාදීම ඉඩම් පිළිබඳ විද්‍යුත් වාර්තා ලබාගැනීම් ආදිය ඉතාම වැදගත් වෙනවා.

මොකද ආයෝජකයෝ ඉඩම් ලබාගැනීමේදී එය ඔවුන්ට පහසුවක් වෙනවා. ඒ වගේම මේ වැඩසටහන යටතේ සිදුකිරීමට බලාපොරොත්තුවන ප්‍රවාහන සංවර්ධන ක්‍රියාවලිය රටට ඉතාමත්ම වැදගත් වෙනවා. කොළඹ සහ සංවර්ධනය අඩු ප්‍රදේශ යා කරමින් සංවර්ධනය නොවූ ප්‍රදේශ සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට එය ඉතාම වැදගත් වෙනවා. සංවර්ධනය ගමට ගෙනයන්න එහෙම නැතිනම් සංවර්ධනය කොළඹින් බැහැරව රට මැදට ගෙනියාමට අදාළ වටපිටාව සකස් කිරීමට අදාළ අඩිතාලම දැමීමද මේ හරහා සිදු කිරීමේ හැකියාව මෙම සංවර්ධන වැඩසටහන තුළ පවතිනවා. මේ නිසා මෙම වැඩසටහන සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීම ඉතාම අත්‍යවශ්‍යයි කියලා කියන්න පුළුවන්.

ණය ගැනීම

ණය නොවන විදේශ ආධාර ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්නේ නැතිනම් ලංකාවට තිබෙන අවසාන විසඳුම තමයි ණය ගැනීම. ණය ගැනීමට අදාළව තිබෙන බරපතළ තත්ත්වය මේ වනවිට පොදු මහජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් මනාව අවබෝධ කරගෙන තිබෙනවා. ලංකාවට අවශ්‍ය වන්නේ ණය නෙවෙයි  අයෝජන අවශ්‍ය බව පසුගිය දිනක ජනාධිපතිතුමා පවා ප්‍රකාශ කළා.

ඒ තුළින් පවා ගම්‍ය වෙන්නේ ණය ගැනීම තුළ ලංකාව යම් ආකාරයක ණය උගුලක හසුවීමක් සිදුවෙලා තිබෙනවා කියන කාරණයයි. රටක් යම්තාක් දුරකට  ණය ගැනීම කළ යුතුව තිබෙනවා. නමුත් ණය මත දැඩි රැඳියාවක් ඇතිකර ගැනීම හේතුවෙන් දැනට පවතින ආර්ථික අර්බුදය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට ගෙන යාමට හේතුවෙන්න පුළුවන්.

ලෝක මූල්‍ය වෙළෙඳ පොළෙන් ස්වෛරීත්ව බැඳුම්කර හරහා ණය ගැනීම වගේම අනෙක් අතට චීනය ඉන්දියාව වැනි ඉහළ පොලිය යටතේ ණය ලබාදෙන ණයකරුවන්ගෙන් ණය ලබාගැනීම හරහා ලංකාව ණය උගුලකට හසුවීමට තිබෙන ඉඩ වැඩියි. උදාහරණයක් විදිහට හම්බන්තොය වරාය විකිණීමේ තත්ත්වයට පත්වුණේ ලංකාව එක්තරා ආකාරයකට ණය උගුලක හසුවීමේ ප්‍රතිඵලයක් නිසයි. චීනය, ඉන්දියාව වැනි රටවල්වලින් ණය ගැනීම තුළ මේ ආකාරයට දේශීය ආර්ථිකයට වැදගත්වන වත්කම් වෙනත් රටකට පැවරීමේ දිශාවකට ගමන් කිරීමේ ඉඩකඩ වැඩියි.

යම් ආකාරයකට හෝ ණය ගන්නවානම් ලෝක බැංකුව ආසියානු සංවර්ධනය බැංකුව හෝ ජපානය වැනි රටවල්වලින් ණය ගැනීමට වැඩි අවධානයක් යොමු කිරීම හොඳයි කියලා මම හිතනවා.

වැඩි කතාබහකට ලක් වූ එම්.සී.සී ගිවිසුම

එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ලංකාවේ විශේෂඥයෝ පිරිසක් වාර්තාවක් ලබාදුන්නා. එම වාර්තාව මතුකරන කාරණා කිහිපයක් තිබෙනවා. මෙම ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනි බව සහ ඇමෙරිකානුවන්ට විශේෂ මුක්තියක් ලැබෙන බව එහි සඳහන් වෙනවා.

ඒ වගේම ලංකාවේ ඉඩම් විදෙස් සමාගම්වලට අයිති කරගන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙනවා කියලා මේ වාර්තාව කියනවා. මෙවැනි තත්ත්වයන් පිළිබඳ ගැඹුරින්ම සලකා බැලිය යුතුයි. නමුත් මෙම ගිවිසුම තුළින් ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි කරුණු නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනුමත කිරීමක් කළ බව පාර්ශ්ව කිහිපයකින්ම සඳහන් කළා.

මේ ගිවිසුම තුළින් යම් අර්බුදකාරී තත්ත්වයක්, ව්‍යවස්ථා විරෝධී තත්ත්වයක් තිබෙනවානම් එම්.සී.සී සමාගම සමග සාකච්ඡා කරලා ඒවා වෙනස් කරගෙන ඉදිරියට යා යුතුයි කියලා මම හිතනවා.  මොකද මේ එම්.සී.සී ගිවිසුම මේ වනවිට රටවල් ගණනාවක ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒවාබොහොම විනිවිධ භාවයකින් සිදුවෙනවා. ඒ වගේම ලංකාවේදී එම්.සී.සී වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තෝරාගෙන තිබෙන ක්ෂේත්‍ර දෙක වන ඉඩම් සංවර්ධනය සහ ප්‍රවාහනය දියුණු කිරීම ඉතාමත්ම වැදගත් අංශ දෙකක්.

මේ ක්ෂේත්‍ර දෙකේ දියුණුව රටේ සංවර්ධනයට වැදගත්වන ප්‍රධාන අංශ දෙකක්. රටේ ඉඩම භුක්ති විඳින පිරිසට ඉඩම් අයිතිය ලබාදිය යුතුයි කියලා ජනාධිපතිතුමා පවා මෑතකදී සඳහන් කළා. ඉඩම් අයිතිය ලබානොදීම තුළ සංවර්ධනයට දායක වීමක් සිදුවන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. මේ නිසා මේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් එම්.සී.සියට අදාළව ක්‍රියාත්මක වීමේ ප්‍රශ්නයක් තිබෙනවානම් මේ පිළිබඳව ඇමෙරිකාව සහ එම ආයතනය සමග සාකච්ඡා කිරීම කළ යුතුයි.

එහෙම සාකච්ඡා කරලා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීම කළ යුතුයි. මේ හරහා කරන්න බලාපොරොත්තු වෙන සංවර්ධන වැඩසටහනෙන් රටේ ආර්ථිකයට ඉමහත් දායකත්වයක් ලැබෙනවා කියලා රජය එකඟ වෙනවානම් මේක කරන්නේ කොහොමද කියලා අපි සොයා බැලිය යුතුයි. රටේ තිබෙන නීති යාන්ත්‍රණය මගින් මේ පිළිබඳව තවදුරටත් සොයා බලමින් ඇමෙරිකා එකසත් ජනපදයේ අවධානය යොමු කර මෙය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගනුයේ කොහොමද කියලා රටක් ලෙස අපි අවධානය යොමු කළ යුතුයි.

අපි යා යුත්තේ ඒ වෙනුවෙන්. මොකද මම දකින ආකාරයට කෝවිඩ් ආර්ථිකයෙන් පසුව ඇතිවෙලා තිබෙන නව ආර්ථික යතාර්ථය තුළ ලංකාවට ඉතාමත්ම වාසිසහගත ආර්ථික වැඩසටහනක් ලෙස එම්.සී.සී ආධාර වැඩසටහන හඳුන්වන්න පුවවන්. මෙවැනි තත්ත්වයක් තුළදී මේ පිළිබඳව තවදුරටත් කල්මැරීමකින් තොරව උනන්දුවකින් කටයුතු කළ යුතුයි කියලා මම හිතනවා. එහෙම නොකරන තත්ත්වයකදී අපි ණය අර්බුදයකට ගිහින් ලංකාවේ වත්කම් විදෙස් රටවලට පවරාදීමේ තත්ත්වයකට තල්ලු වෙන්න පුළුවන්. ණය අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියන කාරණය බලධාරීන් ඇතුළු සියලුදෙනා කල්පනා කර බැලිය යුතුයි.

දේශීය ආර්ථිකය බලගැන්වීම

දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීම වරදක් විදිහට මම දකින්නේ නැහැ. නමුත් මූලික වශයෙන්ම අපේ මිලදී ගැනීමේ හැකියාව තීරණය වන ප්‍රධානම බලපෑම සිදුකරන්නේ ලංකාව කොතෙක් දුරටකට අපේ භාණ්ඩ හා සේවා ලෝකයේ අනෙක් රටවල පුද්ගලයන්ට විකුණනවාද කියන එක තුළයි. ඒ කියන්නේ අපනයනය හරහා තමයි අපිට ඉහල මිලක් ලබාගත හැකි වන්නේ.  අපේ ඕනෑම භාණ්ඩයක් ලංකා‍වේ විකුණනවාට වඩා දහගුණයක පමණ ප්‍රමාණයකට වැඩිකර වෙනත් රටක විකුණන්න පුළුවන්.

මේ නිසා රටක ආර්ථික වර්ධනයට අදාළ ප්‍රමුඛතම හැකියාව තියෙන්නේ රට කොතෙක් දුරට විදේශ වෙළෙඳ පොළට භාණ්ඩ සපයනවාද කියන කාරණයට තුළයි. එහෙම නැතිව දේශීයව භාණ්ඩ නිෂ්පාදනය කිරීම තුළ පමණක් ආර්ථික වර්ධන වේගයක් ඇතිකරන්න අපිට හැකියාවක් නැහැ. නමුත් කෝවිඩ් වසංගතය තුළ ඇතිවුණ නව ආර්ථික අර්බුදය තුළ සේවා ව්‍යයුක්තියට අදාළ තත්ත්වය හා අනෙකුත් ගැටලු ගැන අවධානය යොමු කරලා ලංකාව තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පරිසරය සකස් කිරීම වැදගත්. මධ්‍යකාලීන සහ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට නම් අනිවාර්යෙන්ම ලංකාව අපනයනය සඳහා නිෂ්පාදනය කිරීම ඉතාම වැදගත්.

අපනයනය අමතක කරලා දේශීය නිෂ්පාදන සහිත ආවෘත ආර්ථිකයකට ගියොත් සිදුවෙන්නේ දුප්පත්කමට සමානව රට තුළ බෙදාහදා ගැනීම පමණයි. සංවර්ධනයක්, ආදායම් වර්ධනයක්, රැකියා උත්පාදනයක් ඒ තුළ සිදුවෙන්නේ නැහැ. රට තුළ ආර්ථික වර්ධනයක් ඇතිකර ගන්නවානම් මේ සියලුදේ පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා.



Recommended Articles