නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී පෙළපො​ත වෙනුවට මොඩුය​ල හඳුන්වාදීම යල්පැන ගිය ක්‍රමයක්


ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ ගැටලු රාශියක් මේ වනවිට නිර්මාණය වී ඇති බවත්, ඒවාට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ගැටලු තවදුරටත් උග්‍ර වන බවත් එම ගුරුවරු විදුහල්පතිවරු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සමග 'අද' අපි සාකච්ඡා කළෙමු.

ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් මේ දිනවල කතාබහක් ඇති වී තිබෙනවා. එයත් සමගම ගුරු විදුහල්පති සේවාවල ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් කතා කළොත්?

දැනට අවුරුදු 24කට වැඩි කාලයක්  විසඳුමක් නොමැති ප්‍රශ්නයක් ලෙස ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය ඇදි ඇදී තිබෙනවා. 1997 වසරේදී වැටුප් කොමිෂන් සභාව මගින් සමස්ත රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීම සිදුකළත්, ගුරු සේවය සම්බන්ධ වැටුප් වැඩි කිරීම් පසුව සලකා බලනවා කියලා එම කාරණය නතර කළා. එදා සිට අද තෙක් ඒ ගැටලුව තවමත් විසඳිලා නැහැ. ඒ වගේම ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ උසස්වීම් විවිධ ගැටලු මත අතරමග නැවතිලා තිබෙනවා. උසස්වීම්වලට අදාළව ගුරුවරුන්ට මොඩියුල ප්‍රමාණයක් දීලා තිබෙනවා. නමුත් එම මොඩියුල අවසන් කිරීම සම්බන්ධයෙන් සේවා සැලසීම සිදුවෙන්නේ නැහැ. ඒ වගේම දෙවැනි භාෂාව හැදෑරීමේ ප්‍රශ්න දීර්ඝකාලීන ලෙස තිබෙනවා. ගුරු සේවයේ ස්ථාන මාරුවීම්, විදුහල්පති සේවයේ ස්ථාන මාරුවීම් ආදිය විධිමත් ක්‍රමවේදයකට අනුව සිදුවෙන්නේ නැහැ. මේ සේවා දෙකටම ස්ථාන මාරුවීම් ප්‍රතිපත්ති තිබුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම සමස්තයක් ලෙස රට පුරාම 25,000ක පමණ විශාල ගුරු හිඟයක් තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් රටටම පෙන්වා දී තිබෙනවා. ගුරු විදුහල්පති සේවාව සඳහා කළමනාකරණ පුහුණුව වැනි පඨමාලා නැති නිසා ඔවුන්ගේ උසස්වීම් දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතිනවා.  ඒ වගේම ඉහළ තනතුරු සඳහා තරග විභාග නොපැත්වීම නිසා ගුරුවරුන්ට තිබෙන අවස්ථා අහිමි කර තිබෙනවා. දේශපාලන අවශ්‍යතා මත තනතුරු ප්‍රදානය කිරීම තවත් අභියෝගයක්. ගුරු සේවයට වගේම අධ්‍යාපන පරිපාලන සේවයට, විදුහල්පති සේවයට විවිධ ලැයිස්තු දාලා  පත්කිරීම් සිදුවෙනවා.

ගුරු වෘත්තිය සංවෘත සේවාවක් බවට පත්කරන බව රජය සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ අදහස කුමක්ද?

ගුරු විදුහල්පති සේවාවේ වැටුප් විෂමතා ඉවත් කරන්න ගුරු වෘත්තිය සංවෘත සේවාවක් ලෙස ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපිත් ගුරු සංගම් ලෙස ඉල්ලීම් කරන්නේ. එවිට බාධා ඉවත් කරන්න පුළුවන්. 2008 වසරේදී අධිකරණයේ පැවැති නඩු විභාගයකදීත් මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණියා. 2008 වසරේදී පත්කළ කැබිනට් අනුකමිටුවත් මේ සඳහා එකඟතාව ලබාදී තිබෙනවා. ඒ වගේම 2019 පැවැති ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර මේ ක්‍රියාවලිය අනුමත කළා.  අපේ සේවාව සංවෘත සේවාවක් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට දැන් කිසිම ගැටලුවක් නැහැ. එය සිදුකිරීමට අවශ්‍ය මූලික පසුබිම සහ නීතිමය රාමුව දැන් සකස් වී අවසන්. ගුරුවරුන් පවා එය පිළිගන්නට සූදානම්. මේ නිසා සංවෘත සේවාව ගැසට් කිරීම පමණයි දැන් කළ යුත්තේ.

වත්මන් ආණ්ඩුව 2020 ජනවාරි 17 ගුරු සංගම් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ගුරුවරුන් සම්බන්ධයෙන් තිබෙන මූලික බාධාව ඉවත්ව තිබෙන නිසා අතුරු වැටුප ගෙවන්න එතැනදී සාකච්ඡා වුණා. පැවැති ආණ්ඩුව වැටුපක් ලෙස එය ගෙවන්න එකඟ වෙලා තිබුණා. එය අපහසුයි කියලා වත්මන් ආණ්ඩුව අතුරු වැටුපක් ලෙස එය ගෙවන්න එකඟ වුණා. ඒ අතුරු වැටුප මේ අවුරුද්දේ ජනවාරි සිට දීමනාවක් ආකාරයට ලබාදෙන්න වත්මන් ආණ්ඩුව එකඟ වුණා.ජමේ නිසා %සංවෘත සේවාව^ කියන කාරණය මත සිට ආණ්ඩුව කටයුතු කරයි කියන විශ්වාසය මත අපි කටයුතු කරනවා.

සම්මුඛ පරීක්ෂණයකට පමණක් ලක්කර විදුහල්පති තනතුරු ලබාදීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් සංගමයේ අදහස කුමක්ද?

ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට තිබෙන ගැටලු අතර මෙය ප්‍රධානම ගැටලුවක්. දීර්ඝ කාලයක් පුරාවට මේ ගැටලුව තිබුණා. 1994දී චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත් වූ විට දේශපාලන පළිගැනීම් ලැයිස්තුවක් හදලා ගුරු සහ විදුහල්පති අධ්‍යාපන පරිපාලන සේවාවන්වලට පුද්ගලයන් පත් කළා. ඒ වගේම 2006–2015 කාලය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ ආකාරයටම දේශපාලන පළිගැනීම් ලැයිස්තුවක් හැදුවා. වැඩබලන විදුහල්පතිවරුන් සේවයට ඇතුළත් කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඒ ආණ්ඩුව ඉදිරිපත් කරන විට අපි එයට විරුද්ධව නඩු පැවරුවා. එම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව 2010-11-30 පසුව ලංකාවේ වැඩබලන විදුහපතිවරුන් පත්කරන්න බැහැ කියලා තීන්දුවක් දුන්නා. එහෙම තියෙද්දිත් වැඩබලන විදුහල්පතිවරුන් 4600ක් ඉන්නවා කියලා ඔවුන්ගේ තොරතුරු සකස් කරලා සරල ක්‍රම මගින් විදුහල්පති සේවයට එන්න උත්සාහ කරනවා. වාර්ෂිකව තරග විභගයක් පවත්වලා ඒ අනුව විදුහල්පති සේවාව සඳහා බඳවා ගන්නා ක්‍රමවේදය සකස් කර තිබෙනවා. නමුත් මේ සියල්ල පැත්තකට දාලා වැඩබලන ගුරුවරු කියා දේශපාලන හෙංචයියලා විදුහල්පති තනතුරුවලට පත්කරන්නයි මේ උත්සාහ කරන්නේ. විදුහල්පති විභාගයට කිහිප සැරයක්ම ඉදිරිපත් වෙලා විභාගය අසමත් වුණ අය තමයි මේ විදිහට ඇතුළත් කරන්න හදන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. 2010 අධිකරණ තීන්දුව නැවත බලන්න සහ සේවා ව්‍යවස්ථාව නැවත බලන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

ආණ්ඩුව කියන විදිහට විදුහල්පති සේවයේ III, II සහ I ශ්‍රේණිවලට දැන් බඳවා ගන්න යන්නේ. එහෙම වුණොත් වෙන්නේ දැන් මේ ශ්‍රේණිවල කටයුතු කරන පුද්ගලයන්ට ඉදිරියට ඒමේ අවස්ථා ඇහිරීමයි.

මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අනිත් එක ආණ්ඩුව එහෙම කළොත්, ඒක අධිකරණයට අපහාස කිරීමක්. ඒ නිසා මේ සඳහා තිබෙන විසඳුම තමයි යම් කෙනෙක් විදුහල්පති සේවයට එන්න බලාපොරොත්තු වෙනවා නම්, තරග විභාගයක් පවත්වා එය සමත්ව විදුහල්පති සේවයට එන්න ඉඩහරින එක. ඒ හැර වෙනත් සරල ක්‍රම හොයන්න ගියොත් ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

කෝවිඩ් තත්ත්වය යටතේ පාසල් පවත්වාගෙන යාමේදී සිදුවන අපහසුතා පිළිබඳව කතා කළොත්?

කෝවිඩ් නිසා 2020 වර්ෂයේ දරුවන්ට නිසි පරිදි අධ්‍යාපන කටයුතු කරගන්න බැරි වුණා. ගුරුවරුන් විවිධ කැපකිරීම් කරලා විෂය නිර්දේශය ආවරණය කරන්න උත්සාහ කළා. නමුත් එය එතරම් සාර්ථක වුණේ නැහැ. මේ සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා අපි ආණ්ඩුවට දිගින් දිගටම කිව්වා. කෝවිඩ් තත්ත්වය උපරිමයෙන් වර්ධනය වුණ යුරෝපා රටවල අධ්‍යාපනය නිසි පරිදි පවත්වාගෙන යන්න ඒ රටවල් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළා.

නමුත් ලංකාවේ තුනෙන් දෙකක පිරිසකට සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය අහිමි වෙලා තිබුණු වටපිටාවක මේ වර්ෂයටවත් සැලසුමක් ඉදිරිපත් කළේ නැහැ. පාසල් පද්ධතිය තුළ කෝවිඩ් ව්‍යාප්තිය වළක්වා ගන්න 2020 වර්ෂයේ රුපියල් මිලියන 187ක් පමණයි අතිරේක මුදලක් ලෙස ආණ්ඩුව වෙන් කළේ. 2021 වර්ෂයට කිසිදු මුදලක් වෙන් කර නැහැ. මේ වර්ෂය තුළ පාසල්වල කෝවිඩ් ආරක්ෂක වැඩපිළිවෙළක් හදන්න මුදල් වෙන් කර තිබෙනවා නම් එය ප්‍රකාශ කරන්න කියලා මම ආණ්ඩුවට අභියෝග කරනවා. එහෙම කරලා නැහැ. පාසල් පොකුරක් ඇතිවීම වළක්වමින් අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ බොහොම අමාරුවෙන්. විවිධ වැඩ ක්‍රියාත්මක කරනවා කියලා අධ්‍යාපන ඇමතිවරයා කියනවා. නමුත් ඒවා වචන විතරයි. නව ආණ්ඩුව බලයට පත් වූ පසුව පාසල් පද්ධතියේ භෞතික සම්පත් සංවර්ධයට පවා විධිමත් සැලැස්මක් නැහැ. මේ අනතුරුදායක තත්ත්වය තුළ අධ්‍යාපන පද්ධතිය පවත්වාගෙන යන්නත් විශේෂ සැලැස්මක් නැහැ.

අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ආණ්ඩුව කළ යුත්තේ නව ලෝකයට ගැළපෙන ආකාරයට අධ්‍යාපනය දියුණු කිරීමයි. ඒ සඳහා අඩුම අවුරුදු 05ට ගැළපෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා අපි යෝජනවා කරනවා. එයට අවශ්‍ය යෝජනා ගුරුවරු ලෙස, ගුරු සංගම් ලෙස අපි ඉදිරිපත් කරන්න සූදානම්. මම සේවය කරන්නේ දුෂ්කර පළාතක් වන උතුරු මැද පළාතේ. මේ පළාතේ අතිදුෂ්කර පාසල්වලට පවා ගොස් දුෂ්කරතාවන් දන්න කෙනෙක් විදිහට කිසිසේත්ම ආණ්ඩුව අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ.

2023 සිට අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේවාට ගුරුවරුන් සම්බන්ධ වී තිබෙනවාද? මේවා ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුම්වත්ද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2023 සිට ක්‍රියාත්මක කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙනවා. මේ වන විට ඒ සඳහා අවශ්‍ය කෙටුම්පත් පවා සූදානම් කර අවසන්. ජනාධිපතිවරයා පත් කළ අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය හරහා තමයි මේ යෝජනාව එන්නේ. කොළඹ ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන් කිහිපදෙනෙකුත්, අධ්‍යාපන සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන කිහිපදෙනෙකුත් තමයි මේ වැඩේ ඉන්නේ. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ගුරු සංගම්  සමග කිසිම සාකච්ඡාවක් කරලා නැහැ. නමුත් 2016 ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරි අධ්‍යාපන සැලැස්ම ප්‍රකාශයට පත්කළා. විෂය මාලා, භෞතික සම්පත්, පාසල් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ක්‍රමෝපායන් ගණනාවක් ඇතුළත්වයි එය ඉදිරිපත් වෙන්නේ. ඒ තුළ හොඳ අදහස් ගණනාවක් තිබෙනවා. නමුත් ඒ සියල්ල පැත්තකට දාලා අලුත් යෝජනාවලියක් දැන් ගෙනැවිත් තිබෙනවා.

දැන් ආණ්ඩුව ගෙනෙන යෝජනා ගිනිකොණ ආසියාවේ මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල්වල මීට අවුරුදු 30කට විතර කලින් ක්‍රියාත්මක වුණ ක්‍රමවේදයන්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් වන විට විෂය මාලා, ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රමවේද, භෞතික සම්පත්, ප්‍රතිපත්ති ක්‍රමෝපායන් කියන මේ දේවල් ගැන විධිමත්ව සැලසුම් සකස් විය යුතුයි. ඒ කාරණා සම්බන්ධව අලුත් අදහසක් මේ ප්‍රතිසංස්කරණවල නැහැ.

මේ ප්‍රතිසංස්කරණ යෝජනාවල එක් යෝජනාවක් තිබෙනවා පෙළපොත වෙනුවට ළමයින්ට මොඩියුලයක් හඳුන්වාදීමට. මේවා ලෝකය තුළ කාලයක් තිබිලා ඊට පස්සේ ඉවත් වෙලා  ගියපු ක්‍රමවේදයන්. ඒවා අසාර්ථකයි කියලා ඒ රටවල් ඉවත් කරපු ක්‍රමවේදයන්. මහජන අදහස්වලට ඉඩක් නොතබා ප්‍රතිසංස්කරණ සිදුකිරීම අපේ තිබුණු ලොකුම අඩුපාඩුවක්. මේ ප්‍රතිසංස්කරණවලටත් මහජන අදහස් විමසීමක් සිදුකර නොමැති නිසාම හොඳ අදහස් ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ.

2023 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේනවා නම් මේ කාලයත් ඇති හැමෝම කතා කරලා මේ ගැන සංවාදයක් ඇතිකර ගන්න. ඒ නිසා රට තුළ පුළුල් සංවාදයක් ක්‍රියාත්මක කරලා, රටට ගැළපෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවද කියලා හඳුනාගත යුතුයි. එහෙම නැති වුණොත් මේ ප්‍රතිසංස්කරණත් අසාර්ථක නිලධාරීන්ට විදේශ සංචාර සඳහා අවස්ථාව සැලසෙන හුදු ක්‍රියාමාර්ගයක් විතරක් වේවි. මේ ආකාරයේ ප්‍රතිසංස්කරණවලට ගියොත් සිදුවෙන්නේ ලාංකේය සමාජය තවදුරටත් අනතුරට ලක්වීම පමණයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් පටු දැක්මක් නැතිව පුළුල් දැක්මක් පැවතිය යුතුයි.

 



Recommended Articles