නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ විභාග අඩුයි


වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ දැනුම මත පමණක් පදනම් වූ පිරිසක් බිහිවී ඇති අතර, එම පිරිස අතර ප්‍රායෝගිකව වැඩ කළ හැකි පිරිස ඉතාම සීමිත බවත්, රටේ පවතින විභාග ක්‍රමය අසාර්ථක විභාග ක්‍රමයක් බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්  ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කරයි. මේ හේතුවෙන් ප්‍රායෝගික කටයුතු සඳහා පදනම් වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් මේ දිනවල කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වන ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කළෙමු.

කෝවිඩ් වසංගතය සමාජගත වීමත් සමග දුරස්ථ අධ්‍යාපන ක්‍රම වෙත සියලු පාර්ශ්ව යොමුවී තිබෙනවා. මෙම කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යාංශය නිරීක්ෂණය කර තිබෙනවාද?

කෝවිඩ් වසංගතය එකවර පැතිරුණ අවස්ථාවේ පාසල් වහන්න සිදුවුණා. නමුත් ඒ අවස්ථාවේදී අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා කරගෙන යාම සම්බන්ධයෙන් අපිට කිසිම පෙර සූදානමක් තිබුණේ නැහැ. නමුත් දුරස්ථ අධ්‍යාපනය සඳහා අපි අමාත්‍යාංශය විදිහට ඊ-තක්සලාව හඳුන්වාදී තිබුණා. එය අවුරුදු ගණනක ඉඳන් වැඩිදියුණු කරමින් පැවති ක්‍රමවේදයක්. දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ ජාතික වැඩපිළිවෙළ ලෙස ඊ-තක්සලාව පවත්වාගෙන යන්න කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී තිබෙනවා. එය කාලයක් තිස්සේ වැඩිදියුණු කරගෙන ආවත් කෝවිඩ් වැනි තත්ත්වයක් සඳහා මුහුණදෙන්න තරම් මට්ටමකට එය වැඩිදියුණු කර තිබුණේ නැහැ.

ගුරු හිඟය තිබෙන පාසල් සඳහා රූපවාහිනියෙන් ඉගැන්වීමට ඇති හැකියාව හොයලා බලන්න මේ කාලයේදීම ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් තිබුණා. මේ නිසා රූපවාහිනියෙන් ඉගැන්වීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද කියල හොයල බැලුවා. ගුරුගෙදර කියන සංකල්පය ඒ වනවිටත් තිබුණා. පසුව ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ සියලු රූපවාහිනී නාළිකා ප්‍රධානීන් සමග එක්ව මේ ගැන සාකච්ඡා කළා. නමුත් රූපවාහිනී නාළිකාවක වෙලාව ලබාගැනීම ලේසි නැහැ. පෞද්ගලික අංශයේ නාළිකාවලින් වෙලාව ලැබුණේ නැහැ. නමුත් රූපවාහිනී සංස්ථාවේ නාළිකා දෙකක පැය 16ක් බැගින් සාධාරණ මිලකට දෙන්න පොරොන්දු වුණා. ඒ අනුව පැය 16ක් උගන්වන්න භාෂා තුනෙන් විෂයන් වලට අදාළව පාඩම් මාලාවක් හදන්න ලොකු වෙහෙසක් ගත්තා. ඒ වෙනුවෙන් අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ගුරුවරුන් විශාල මහන්සියක් වුණා.

ඊ-තක්සලාව සේවාව අන්තර්ජලා සේවාවක්. එය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණක් තිබෙනවාද?

ඊ-තක්සලාව සඳහා ප්‍රවේශ වෙන්න පාසල් දරුවන්ට අවම වශයෙන් ටැබ් එකක් හෝ තිබිය යුතුයි. මේ උපකරණ පිළිබඳව තිබෙන අපහසුව වගේම බොහෝ තැන්වලට අන්තර්ජාල පහසුකම නැති නිසා මේ කටයුත්ත කරගන්න අපහසු වෙනවා. කොහොමඋනත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග සිදුකළ සාකච්ඡාවන් අනුව ළමයෙක් ඊ-තක්සලාව භාවිත කරනවා නම් එය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන්න එකඟතාවකයට පැමිණියා. ඒ අනුව ඊ-තක්සලාව තුළ 01 වසරේ සිට 13 වසර දක්වාම මාධ්‍ය තුනෙන්ම පාඩම් ඇතුළත් කරලා තිබෙනවා. ඊ-තක්සලාව ශක්තිමත් කරන්න අපි වෙනමම කටයුතු කරනවා.

2023 වසර අවසන් වන විට ලංකාවේ සියලුම ප්‍රදේශවලට 4G අන්තර්ජාල පහසුකම ලබාදෙන්නන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරමින් ඉන්නවා. කෝවිඩ් නිසා මේ තත්ත්වය ඉක්මන් වී තිබෙනවා. මේ මාර්තු මස 31දා වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ අන්තර්ජාල පහසුකම සම්පූර්ණ කරනවා. ඒ වගේම එහි සියලුම පාසල්වලට අන්තර්ජාල සම්බන්ධතාව ලබාදෙනවා.

කොහොම උනත් සාමාන්‍ය ප්‍රජාව අතරට පණිවුඩ ගෙනියන්න පුළුවන් හොඳම මාධ්‍ය රූපවාහිනිය ලෙසයි අපි දකින්නේ. ඉදිරි කාලයේදී මේ සම්බන්ධයෙන් තවත් වැඩි වශයෙන් කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුෂ්කර පාසල්වල අවම වශයෙන් රූපවාහිනී පංති කාමර එකක් හෝ නිර්මාණය කරන්න අපි උත්සාහ කරමින් ඉන්නවා. ළමුන් 100ට අඩු පාසල්වලට ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍ර එක බැගින් සහ ළමුන් 100- 200 අතර පාසල්වලට රූපවාහිනී යන්ත්‍ර දෙකකුත් ලබාදෙන්න අපි සැලසුම් කරගෙන යනවා. එවැනි පාසල් පන්දහස් ගණනක් තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා හරහා අධ්‍යාපන වැඩසටහන් ප්‍රචාරය කරන්නත් අපි සැලසුම් කර තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අමත්‍යාංශය මේ දිනවල කටයුතු කරනවා. මෙය සිදුවෙන්නේ කොහොමද?

ළමුන්ට ගුරුවරයාගෙන් අවම උදව් අරගෙන ඉගෙන ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල විෂය මාලාව සකස් කරන්න අපි සැලසුම්කර තිබෙනවා. ළමුන් වෙනුවෙන් ස්වයං අධ්‍යයන මොඩියුල සකස් කර තිබෙනවා. ඒ මොඩියුල සකස්කර තිබෙන ආකාරය අනුව ගෙදර ඉදන් උනත් අධ්‍යයනය කරන්න පුළුවන්. අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැනුම ගොඩනගා ගැනීම මිස දැනුම කටපාඩම් කරන එක නෙවෙයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරන්නේ ඒ මත පදනම් වෙමින්. ඒ අනුව ගුරුවරයාගේ භූමිකාවත් වෙනස් වේවි. ගුරුවරයා කළමනාකරුවෙක් බවට පත්වෙනවා. ඉගෙනුම් කරන්නේ ළමයා විසින්මයි. ඒ අනුව 2023 වන විට විෂය මාලාව හඳුන්වා දෙන්න අපි කටයුතු කරනවා.

මේ අනුව විභාග ක්‍රමයත් වෙනස් වෙනවද?

විභාගය කියන සංකල්පයේ බලාපොරොත්තුව අදාළ විෂය සම්බන්ධයෙන් ශිෂ්‍යයා දැනුමක් ලබාගෙන තිබෙනවාද නැද්ද කියන කාරණයයි. දැන් තියෙන විභාගය  අනුව එය ඉතාම පටු පරමාර්ථයක්. මොකද ළමයෙක් කියන්නේ අවුරුදු ගණනක් පාසල් අධ්‍යාපනය ලබාගත්තු කෙනෙක්. පැය දෙක තුනක විභාගයක් පවත්වලා එයින් ඔහු සමත්ද අසමත්ද යන්න පැවසීම ළමයෙකුගේ පැත්තෙන් හරිම අසාධාරණයි. නමුත් අපි මේ ගෙන එන ක්‍රමය එහෙම නැහැ. මේ මොඩියුල සෑම එකකම ළමයාගේ ඉගෙනීම ඇස්තමේන්තුකරණය වෙනවා. මේ අධ්‍යාපනය ස්වයං අධ්‍යාපනයක්. ඒ තුළ ළමයාට උත්තර දෙන්න ඇගයීම්කරණයක් හඳුන්වා දී තිබෙනවා.

මේ මගින් ප්‍රායෝගිකව කටයුතු කරන පිරිසක් බිහිකරන්න හැකි වේවිද?

වර්තමාන පරපුරේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔවුන්ට යමක් කරන්න පුළුවන්ද බැරිද කියන කාරණය සම්බන්ධයෙනුයි ගැටලුව තිබෙන්නේ. ඉගෙනගත්තු දරුවන්ට යමක් ප්‍රායෝගිකව කරන්න කුසලතා නැහැ. දරුවන් ප්‍රායෝගික කරවීමයි මේ මොඩියුල වල අරමුණ වෙන්නේ. ඒ නිසා මේවා විභාග ක්‍රමයෙන් වෙනස්. 21වැනි සියවසට අවශ්‍ය වෙන්නේ ප්‍රායෝගික මිනිස්සු. මේ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විෂය කොටස් 03කට වෙන්කර තිබෙනවා. ඒ තුළ සෑම දරුවෙක්ම ඉගෙන ගත යුතු කොටස් 50%ක් තිබෙනවා.  එවැනි තේමා 14ක් හඳුනාගෙන තිබෙනවා. දෙවැනි කොටස තුළ 35%ක් පමණ විකල්ප පාඩම් මාලා තිබෙනවා. එය දරුවාගේ හැකියාව සහ ළැඳියාව අනුව තෝරාගත යුතු වෙනවා. ඒවාට විභාග නැහැ. ඒ වගේම තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීම සෑම ළමයෙකුටම අනිවාර්යයි. අපි දැන් විෂය බාහිර කටයුතු කියලා හඳුන්වන කොටස තුන්වැනි කොටස විදිහටයි හඳුන්වා දී තිබෙන්නේ. ඇත්තටම ඒවා විෂය බාහිර කටයුතු නෙවෙයි. විෂය අත්‍යාවශ්‍ය කටයුතු.  වැඩ ලෝකයට යාවෙන විදිහටයි මේ සියල්ල සකස්කර තිබෙන්නේ. ඒ වගේම මූලික මට්ටමේ ලැප්ටොප් පරිගණකයක් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් දරුවන්ට ලැප්ටොප් පරිගණක දෙන්න පුළුවන්. එහෙම උනොත් පෙළපොත් වලට යන මුදල් සම්පූර්ණයෙන්ම නවත්වන්න හැකියාව තිබෙනවා.

පහ වසර ශිෂ්‍යත්වය විභාගය සම්බන්ධ තත්ත්වය කෙසේ වේවිද?

මේ අනුව පහ වසර ශිෂ්‍යත්වය වගේ අර්බුදයක් ඉදිරියට එන්නෙ නැතිවෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. පාසල් 1169ක් ජාතික පාසල්. දැනට ජාතික පාසල් වල ඉගෙන ගන්නේ ළමයින් 20%යි. මේ අලුත් පාසල් ටික එකතු උනාට පසුව මේ ප්‍රතිශතය 60%ක් දක්වා ඉහළ යනවා. 2024 වගේ වෙනකොට මේ රටේ ශිෂ්‍යත්වය කියා ප්‍රශ්නයක් නොතිබේවි කියලා අපි විශ්වාස කරනවා. පළමු පංතියේ සිට සියලුම ළමුන්ගේ පැතිකඩ දත්ත පද්ධතියකට ලබාගැනීම අපි දැන් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට ළමයින් ඇගයීම් සිදුකරනවා. මේ ඇගයීම් පළමු ග්‍රේණියේ සිට කරගෙන යද්දි කවුද දක්ෂ, කවුද අදක්ෂ කියලා පැහැදිලිව හොයාගන්න පුළුවන්. ඒකට පැයක දෙකක විභාගයක් පවත්වන්න අවශ්‍ය නැහැ. 04වැනි පංතියේදී කුසලතා මනින්න ජාතික මට්ටමේ පරීක්ෂණයක් පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් එය ශිෂ්‍යත්වය නෙවෙයි. ඒ ආකාරයටම 08වැනි වසරේදීත් ජාතික මට්ටමේ පරීක්ෂණයක් පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.

මෙවැනි වෙනස්කම් වලට අනුව ගුරුවරයාගේ වෙනස්කම් සිදුවන්නේ කෙසේද?

මේ තත්ත්වයන් මේ ආකාරයට වෙනස් වෙද්දි ගුරුවරයාගේ වෘත්තිය උසස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වෛද්‍යවරයෙක් වෙන්න අවම සුදුසුකමක් තිබෙනවා වගේම ගුරුවරයෙක් වෙන්නත් අවම සුදුසුකමක්  තිබිය යුතු වෙනවා. ලෝකය පිළිගන්නා ආකාරයට අධ්‍යාපනවේදී උපාධියක් හෝ  තිබිය යුතුයි. අවාසනාවකට අපේ රටේ ඒක සිදුවෙලා නැහැ. මොකද කුසලතා නැති මිනිස්සු ගරුවරු උනොත් ළමයින්ට කුසලතා දෙන්නත් බැහැ. මේ නිසා  ගුරුවන්ගේ වෘත්තීය මට්ටම  ඉහළනැංවිය යුතුයි. විද්‍යාපීඨ සහ  ගුරු අභ්‍යාස විද්‍යාලවල පාඨමාලා දියුණු කර ඔවුන්ට උපාධියක් ලබාදෙන්න  සැලසුම්කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපනවේදී උපාධිය ලබාදෙන්න කටයුතු කරනවා. ඒ අනුව අධ්‍යාපනවේදී උපාධි 14ක් අපි නිර්මාණය කරනවා. ඒ අනුව අධ්‍යාපන විශේෂඥයන් පිරිසක් නිර්මණය කරගන්න අපිට හැකිවේවි කියලා විශ්වාස කරනවා. ඒ වගේම අධ්‍යාපන පරිපාලන ක්‍රමයක් වෙනස් කළ යුතුයි. ඒ අනුව අධ්‍යාපන පරිපාලනය සරල කරන්න ක්‍රමයක් හදාගෙන යනවා.



Recommended Articles