ධනවාදය තිබෙන තාක් කල් මැතිවරණවලදී සැබෑ ජනමතය ප්‍රකාශයට පත්වෙන් නෑ


රට දියුණු කිරීමට නම් සමාජවාදය ඇති කළ යුතු බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට තුළ මතවාදයක් ඇතිකරමින් තිබේ. මේ පිළිබඳවත්, එම පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙන්ම වර්තමාන ආණ්ඩුව යටතේ ජනතාවට ලැබෙන දෑ සම්බන්ධයෙන් එම පක්ෂය දරන මතය පිළිබඳව %අද^ අප පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සමග කතාබහක නිරතවිය. 


සමාජවාදය වර්තමානයට

ධනවාදය අසාර්ථකයි කියලා ගෝලීය වශයෙන් අද වනවිට තහවුරු වෙලා තිබෙනවා. ලාංකේය අත්දැකීම් ගත්තම ගෙවී ගිය වසර 71 දිහා ආපසු හැරිලා බැලුවම ධනවාදය තුළ අර්බුද දැකගන්න පුළුවන්. ඒ කියන්නේ ‍සමාජ ආර්ථික ප්‍රශ්න වර්ධනය වෙලා තිබෙනවා. ජන ජීවිතය අභාවයට යනවා. පරිසරය බිඳවැටෙනවා. මේක ගෝලීය වශයෙනුත් අපි අත්විඳිනවා. ඒක නිසා පරිසර සාධකවලට අනුව සමාජ ආර්ථික තත්ත්වය ගත්තත්, පොදුවේ මහජනතාවගේ අවශ්‍යතා ගත්තත් මේ සෑම සියලුම තත්ත්වයන් තුළ ධනවාදය අසාර්ථක වෙලා තිබෙනවා. පොදුවේ කියනවා නම් ධනවාදයට මනුෂ්‍ය ජීවිත නගා සිටුවන්න බැහැ. 

සමාජවාදය තුළින් රට ගොඩගත හැකිද? 

සමාජවාදය පැවැති කලාපය ගත්තම සමාජවාදී කඳවුර බිඳවැටිලා තිබෙනවා. චීනය ආපහු ධනවාදයට යාම, ලංකාවේ වමෙයි කියාගත්ත ඇතැම් පක්ෂ ඔවුන්ගේ සමාජවාදී වැඩපිළිවෙළ අත්හැරලා ධනේෂ්වර වැඩපිළිවෙළවල්වලට පැමිණීම වැනි කරුණු නිසා සමාජවාදය පිළිබඳ මතවාදවල බිඳවැටීමක් තිබෙනවා. නමුත් ඒකෙන් සමාජවාදය අසාර්ථකයි කියන මතවාදය ඇති කරගත යුතු නැහැ. ඒකට හේතුව තමයි ධනවාදය මූලික වශයෙන් ලාභය, තරගය පදනම් කරගෙන යෑම. ඒක නිසා ලාභය හා තරගය පදනම් කරගත් සමාජ ක්‍රමයකට හැඩගැසිලා තියෙන්නේ. මේක මිනිස් සම්බන්ධතාවලට පවා බලපාලා තිබෙනවා. මෙතන වාසි අවාසි කියන එකත් ඉස්මතු වෙනවා. ඒ නිසා සාමූහික පදනමකට මාරුවිය යුතුව තිබෙනවා. ඒ තුළින් විතරයි සමානතාව, සමාජ සාධාරණය, ආර්ථිකය, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න පුළුවන් වෙන්නේ.

අපේක්ෂකයාට ලැබුණ ඡන්ද ප්‍රමාණය

මෙවර ජනාධිපතිවරණයේදී අපි සිදුකළේ සමාජවාදී වැඩපිළිවෙළ සමාජගත කිරීම. ඒක තමයි අපේ මූලික අරමුණ වුණේ. අපි මේ මැතිවරණයේදී ඡන්ද දායකයන් ඡන්දය භාවිත කරයි කියලා හිතුවේ නැහැ. මොකද ඒ වෙනකොට තිබුණ දේශපාලන තත්ත්වය පිළිබඳව අපිට වැටහීමක් තිබුණා, විග්‍රහයක් තිබුණා. විශේෂයෙන් ප්‍රධාන කඳවුරු දෙකක් ජනාධිපති වීම සඳහා තියුණු තරගයක නිරතවෙලා හිටියා. ඒ වගේම රටේ බහුතර ජනතාවක් ඒ කඳවුරු වෙත නැඹුරුවෙලා හිටපු වෙලාවක, තවත් තුන්වැනි පාර්ශ්ව ගණනාවක් ඉදිරිපත්වෙලා හිටපු අවස්ථාවක වාමාංශික මතවාදය, සමාජවාදී මතවාදය සංවාදයට ගැනීම තමයි අපේ අරමුණ වුණේ. ඒ නිසා පක්ෂයට පිටින් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණා කියලා හිතන්නේ නැහැ. ඒත් පාක්ෂිකයා හා ඒ වටා හිටපු අය අපිට ඡන්දය භාවිත කරලා තිබෙනවා.

රාජපක්ෂවරුන් හොරු කියන චෝදනාව ජනතාව පිළිනොගැනීම

මැතිවරණ ප්‍රතිඵලයකින් සැබෑ ජනමතය  ප්‍රකාශ වුණා කියලා අපි පිළිගන්නේ නැහැ. මේ තියන ධනේෂ්වර වාදය තුළ මොනම මැතිවරණයකින් වත් සැබෑ ජනමතය ප්‍රකාශ වෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් අපි කියන්නේ නැහැ යම් මතයක් ප්‍රකාශ නොවනවා කියලා. යම් මතයක් ප්‍රකාශ වෙනවා. හැබැයි සැබෑ ජනමතය ප්‍රකාශයට පත්වෙන්නේ නැහැ. 
සරල උදාහරණයක් ගත්තොත් ධනේෂ්වර පක්ෂ මැතිවරණයේදී විශාල මුදලක් වියදම් කරනවා. ඒ මුදල අපේ වගේ පක්ෂ එක්ක සංසදනය කළොත් ගණනය කළ නොහැකි ගණනක්. රුපියල් කෝටි විශාල ගණනක් වියදම් වෙනවා. ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. මාධ්‍ය භාවිතයේදී නැහැ රාජ්‍ය බලය භාවිත කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. සමාජ බලය භාවිත කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. ඒක නිසා මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදුවෙන්නේ නැහැ. ඒක නිසා බලෙන් ඔබ්බවන, ජනතාව මත පටවපු දේවල් තමයි ඡන්ද මගින් ප්‍රකාශ වෙන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීම

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයටත් අපි ඉදිරිපත් වෙනවා. එතනදිත් අපි කරන්නේ අපේ සමාජවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම. මොකද සමාජවාදී වැඩපිළිවෙළ අපේ උපාය මාර්ගික වැඩපිළිවෙළක්. ඒක මොන හේතුවක් නිසාවත් වෙනස් කරන්න අවශ්‍යතාවක් නැහැ. සමාජවාදී වැඩපිළිවෙළ කොහොමද ප්‍රා‘යෝගික යථාර්ථයක් වෙන්නේ. කොහොමද සමාජවාදී වැඩපිළිවෙළ තුළ මේ තියෙන ආර්ථික සමාජීය පාරිසරික ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ කියන ක්‍රියාකාරී සැලැස්මක් අපි මෙවර මැතිවරණයේදී ඉදිරිපත් කරනවා. 2015 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයට අපි ඉදිරිපත් වුණා. එතනදී අපි බලාපොරොත්තු වුණේ යම් නියෝජනයක්.

ප්‍රධාන පක්ෂ දෙක වටා ජනතාව වැඩි වශයෙන් එකතුවීම

ප්‍රධානම දේ තමයි ධනේෂ්වර පක්ෂ කොතරම් තිබුණත්, වෙන පක්ෂ කොතරම් තිබුණත්, දේශපාලන මතවාදයන් දෙකයි රටේ තියෙන්නේ. එකක් මේ ක්‍රමය පවත්වාගෙන යාම, අනෙක මේ ක්‍රමයට විකල්ප ක්‍රමයක් සෙවීම. අපි නියෝජනය කරන්නේ විකල්ප සමාජ ක්‍රමයක් ඇතිකිරීමේ දේශපාලන මතවාදී වැඩපිළිවෙළ. 

ඒ වගේම අනෙක් සමහර පක්ෂ ගත්තම මේ ක්‍රමය වෙනස් කරන්න යෝජනා කරන්නේ නැහැ. හැම දෙනාම යෝජනා කරන්නේ මේ ක්‍රමය පිළිසකර කිරීම, මේක පිරිපහදුවට ලක්කිරීම ගැන. ගෙවී ගිය 71 වසර පුරා අපි දැක්කා මේක පිළිසකර කරන්න බැහැ. පිරිපහදු කරන්න බැහැ කියලා. ඒක නිසා අපි යෝජනා කරන්නේ මේ ක්‍රමය වෙනස් කරන්නයි. ඒක සිදුකිරීම දුෂ්කරයි. මොකද සමාජය පුරුදු පුහුණු වෙලා තියෙන්නේ මේ සමාජ ක්‍රමය තුළ ජීවත්වෙලා. ඔවුන්ගේ සිතුම්පැතුම් සියල්ලම හා අධ්‍යාපනය පවුල කියන ඒවා පවා මේ සමාජ ක්‍රමය තුළ පවතින ආකාරයට ඔවුන් තල්ලු කරලා තියෙන්නේ. ඒක නිසා ඒකට විකල්පයක් තියෙනවා කියන එකත්, ඒකට එරෙහිව සමාජ ක්‍රමයක් තියෙනවා කියන එකත් සමාජය තුළ තහවුරු කිරීම දැවැන්ත අභියෝගයක්. නමුත් අපි මැතිවරණවලදීත්, මැතිවරණවලින් පිටතදීත්, සමාජ ජීවිතයේදීත්, අනෙකුත් සෑම සියලු ජනතාවගේ අරගලවලදීත්, මේ දේශපාලනය නියෝජනය කරනවා.

MCC ගිවිසුම

මිලේනියම් චැලේජ් කොමරේෂන් (mcc) ගිවිසුමට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේක පැහැදිලිවම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඕනෑ එපාකම් මත ලංකාවේ රාජ්‍යය මත බලෙන් පැටවූ ගිවිසුමක්. පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා, සජිත් ප්‍රේමදාසලා මේක අත්සන් කරන්න ලෑස්ති වුණා. ඒත් මැතිවරණ කාලයේදී මේක අත්සන් කිරීමට සිදුවුණ නිසා ඔවුන් පස්සට ගියා. ඒත් අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා, මහින්ද රාජපක්ෂ මහත්තයලා මේක අත්සන් කරන්න පසුබිම හදාවි කියලා. 

පැහැදිලිවම අපි දන්නවා අපේ රට අධිරාජ්‍යවාදී බලපෑමට යටත් වෙච්ච රටක්. දැන් කවුරු කිව්වත් දේශප්‍රේමී කියලා, මොවුන් ඊනියා දේශප්‍රේමීන්, ව්‍යාජ දේශප්‍රේමීන්. මේගොල්ලොන්ට අධිරාජ්‍යවාදීන් එක්ක ප්‍රශ්නයක් නැහැ. මූල්‍ය අරමුදලත් එක්ක ලෝක බැංකුවත් එක්ක ප්‍රශ්නයක් නැහැ. මේ ගොල්ලෝ කරන්නේ ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීම. ඒක නිසා ඉදිරියේදී අපිට දැකගන්න පුළුවන් කාගෙත් කෙරුවාව. 

අධිරාජ්‍යවාදීන්ට බණින කුමාර් ගුණරත්නම්

පැහැදිලිවම මම ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ගත්තා. ඒක වුණේ ආරක්ෂක හේතූන් මත. මම 2006 වර්ෂයේදී ලංකාවෙන් පිටත්වෙලා යම්කිසි කාලයක් ඕස්ට්‍රේලියාවේ පදිංචිවෙලා හිටියා. එහෙම කළේ මගේ ආරක්ෂාව නිසා. ඒ රටවල්වල දැන් ඉන්න පාලකයන් හරි, ඒ පාලකයන් ප්‍රදානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හරි ගත්තම සාපේක්ෂව යම් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවා. ඒවා එදා ඒ රටවල ජනතාව සටන් කරලා අත්පත් කරගත් දේවල්. ඒවායින් ටිකක් ඉතිරිවෙලා තිබෙනවා. ඒක අධිරාජ්‍යවාදීන් ප්‍රදානය කළ දෙයක් නොවෙයි. ජනතා අරගලයෙන් ලැබුණ දෙයක්. අපි හිතනවා ඒ නිදහස භුක්ති විඳින්න අපිට අයිතියක් තියෙනවා කියලා. 

එකමුතු රටක් ගැන කිව්වට උතුර දකුණ බෙදීම

ජාතිකවාදය ජාතිවාදය මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රධාන අවියක් බවට පත්වුණා. එක පැත්තකින් සිංහල ජාතිකවාදය සිංහල බෞද්ධ ජාතිකවාදය. එලෙසම ඊට ප්‍රතික්‍රියා ලෙස සුළු ජාතික ජාතිකවාදය ප්‍රකාශයට පත්කළා. යුද්ධය ඉවර වුණාම අපි කිව්වා ඒක තාවකාලික නිමාවක් කියලා. යුද්ධයේ එක් කොටසක් ඉවර වුණාට ජාතික ප්‍රශ්නය අවසන් වුණේ නැහැ. ඒක නිසා දේශපාලනඥයන් තමන්ගේ බලය වෙනුවෙන් ජාතිකවාදය භාවිතා කරනවා. විශේෂයෙන් බහුතර සිංහල ජනතාව ඇන්දවීම සඳහා සහ ගොනාට ඇන්දවීම සඳහා ජාතිකවාදය භාවිත කරනවා. ජාතිකවාදී දේශපාලනයයි, ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතයයි බොහොම ළඟින්ම අතිනත ගන්නවා. 

යුද්ධය අවසන් වී සාමය ඇතිවීම

යුද්ධය අවසන් වීම ගැන කතාකරන කොට යුද්ධය නිර්මාණය කළේ මේ රටේ පාලකයෝ. ජාතිවාදය තමයි යුද්ධයට ප්‍රධාන හේතුව. තිස් අවුරුදු යුද්ධය ගත්තත් ඒක එහෙමයි. පාස්කු ප්‍රහාරය ගත්තත් එහෙමයි. ඒවා ජාතිවාදී ප්‍රකාශනයන්. ජාතිවාදය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය. ඒක නිර්මාණය කළේ සිංහල, දෙමළ, මුස්ලිම් පාලකයෝ. ජාතිවාදය තමන්ගේ දේශපාලන බලය සඳහා ඉතාමත් නග්න ලෙස භාවිත කරනවා. ජනතාව අතර සැකය, අවිශ්වාසය, විරසකභාවය වර්ධනය වුණේ ඒක නිසා. දේශපාලනඥයන් නිර්මාණය කළ දේ තුළ ජනතාව ගොදුරක් බවට පත්වුණා. ඊට පස්සේ විවිධ හේතු නිසා යුද්ධය නතර වුණා. ඊට පස්සේ මේකේ ජයග්‍රහණය තමන් විසින් ගෙනාපු දෙයක් කියලා කිව්වා. ඒත් මගේ තර්කය තමයි දේශපාලනඥයෝ නිර්මාණය කරපු යුද්ධ විශාල විනාශයන්වලට පස්සේ නතර වුණා කියන එක. ඒක නිසා ඔවුන් දැන් කියනවා සාමය ගෙනාවා කියලා. මේක සාමය නොවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව මත විසඳනකම් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

ජාතික ආරක්ෂාව

පාසලක් ඉදිරිපිට හමුදා නිලධාරීන් දෙන්නෙක් ඉන්න එක හරි. රෝහල ඉස්සරහා ආරක්ෂක නිලධාරීන් ඉන්න එක නෙවෙයි ජාතික ආරක්ෂාව කියන්නේ. ජනතාවට නිදහසේ කිසිදු බලපෑමක් නොමැතිව ජීවත් වෙන්න ඕන. ජාතික ආරක්ෂාව කියන්නේ මූලික වශයෙන් ජනතාවගේ ආර්ථික, සමාජ ආරක්ෂාව. ඒක තහවුරු වුණාම තමයි අපි හිතන්නේ ජාතික ආරක්ෂාව තියෙනවා කියලා. ඒත් ඇත්ත ආරක්ෂාව ලබාදෙන්න මේ රටේ පාලකයන්ට බැරිවෙලා තිබෙනවා.

සහනාධාර ලබාදී මේ රට ගොඩනැගීම

ස්ථිරවම සහනාධාර ලබාදීලා රටක් ගොඩනගන්න බැහැ. රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගන්න නම් නිෂ්පාදන ආර්ථිකය ඉහළ දමන්න ඕන. අනෙකුත් මූල්‍ය ක්ෂේත්‍ර‘යත් වර්ධනය වෙන්න ඕන. නමුත් අපේ රටේ ණය බර එන්න එන්න වැඩිවෙලා තිබෙනවා. රුපියල් බිලියන දහතුන් දාහක් ණයයි. ඒ සඳහා මාසික වාරිකයයි පොලියයි ගෙවන්න විශාල මුදලක් හොයාගන්න වෙලා තිබෙනවා. මේ ණය උගුලෙන් ගැලවෙන්න පාලකයන්ට වැඩපිළිවෙළක් නැහැ. 

වර්තමාන ආණ්ඩුවේ සහනමල්ල

ඉදිරියේ මැතිවරණයක් එන නිසා වැට් හා උපයන විට අයකරන බදු අයකර ගැනීම සීමා කළාට ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්. මොකද දින 100 ආණ්ඩුවත් විශාල පැකේජයක් ජනතාවට දුන්නා. නමුත් දින 100 පස්සේ මොකද වුණේ කියලා ජනතාව දැක්කා. ඒ යථාර්ථයටම මෙවරත් ජනතාවට මුහුණදෙන්න පුළුවන්. 
මේ ආණ්ඩුවේ උපායවෙලා තියෙන්නේ තනි බදු ප්‍රතිපත්තියකට ගෙන ඒම. ඒ බදු ප්‍රතිපත්තියෙන් ජනතාවට වෙන අසාධාරණය ගැන අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්.



Recommended Articles