සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
ලාංකිකයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකර්මාන්තය සමග විවිධ හස්ත කර්මාන්තද සමාන්තරව මනා සහසම්බන්ධතාවකින් පැවති බව පැහැදිලිය. මෙම ගෘහ කර්මාන්තද මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් විය. ගොවියා බත සැපයූ අතර, හස්ත කර්මාන්ත ශිල්පියා මුළුතැන්ගෙට හා ගොවිපළට අවශ්‍ය උපකරණ හා මෙවලම් සම්පාදනය කළේය. මැටි වළං හෙවත් කුඹල් කර්මාන්තය ද එවැන්නකි.
රටම අර්බුදයට ගිය අවදියක මෙම සාම්ප්‍රදායික කර්මාන්තයට ප්‍රාණ වායුව පිඹීමට වෙහෙසෙන ගල්ගමුව, %පාළුගම^ ගමේ මැටි වළං නිෂ්පාදකයන් සොයා ඉකුත් දිනක අපි එහි ගියෙමු. කළගෙඩියේ සිට හට්ටි, මුට්ටි, ඇතිලි, මඩක්කු, කොරස්, නෑඹිලි, ගුරුලේත්තු, මල් බඳුන්, දර උදුන් ආදී මෙකී නොකී එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය බොහොමයක් භාණ්ඩ සකසා, සපයා දුන් මේ ගැමියන්ගේ වර්තමාන කතාව ආයාචනා සපිරි එකකි. පාළුගමේ 'ජේ.ඒ. කුමාරි' ඔවුනගේ ජීවිත අතෑර නොයන කම්කටොලු ගැන කීවාය.
“අපිට ස්ථිර මඩුවක් හදාගන්න වත්කමක් නැතිකම තමයි ලොකුම ප්‍රශ්නේ. පොල් අතු වහලා හදාගත්ත මඩු දෙකම දිරලා තියෙන්නේ. තහඩු ටිකක් ගහ ගන්න කියලා හිටියා. ඒත් තියෙන ප්‍රශ්නත් එක්ක ඒක කරගන්න බැරිවුණා. අපි හැමදේම කරගන්නේ මේ හම්බ කරන කීයෙන් හරි. එදිනෙදා ජීවත් වුණහම අමතර දෙයක් කරගන්න හරිම අමාරුයි. එහෙන් ලෙඩ දුක්. ඉතිං කවුරි හරි මේ කර්මාන්තේ දියුණු කරගන්න මොකක් හරි උදව්වක් කරනවා නම් ඒක ලොකු දෙයක්.”
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 77 කැලේගම ග්‍රාමනිලධාරී කොට්ඨාසයේ පිහිටි 'පාළුගම' මෙම කලාපයේ ඇති සාම්ප්‍රදායික ගමකි. මෙහි ඉතිහාසය සියවස් ගණනාවක් එපිටට දිවෙන බව ප්‍රදේශයේ ගැමියන්ගේ විශ්වාසය වී තිබේ. විවිධ අවශ්‍යතා සඳහා පොළොව කැණීමේදී මීට යාබද ගම් කිහිපයකින්ම පාෂාණගතව ඇති වළං කැබලි හමුවීම ගැමියන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කරවයි.
එනයින් බලන කල්හී එවැනි ඉතිහාසයක් සහිත කුඹල් කර්මාන්තයට ප්‍රකට තවත් ගමක් මේ කලාපයේ නැති තරම්ය. ගල්ගමුව නගරයට කිලෝමීටර් පහක් පමණ ඔබ්බෙන් ගම පිහිටා ඇත. මෙහි පවුල් 192ක හත්සියපනහක පමණ පිරිසක් විවිධ කම්කටොලු සමග දිවි ගෙවති. නේක මැටි නිෂ්පාදන සඳහා නිපුණතාවක් ඇති ජේ.ඒ. සුභාෂිනි සියලු උපද්‍රව සමග කර්මාන්තයෙන් යම් ප්‍රගතියක් ලැබූ තැනැත්තියකි.
“ඇත්තටම අපි හදන වළංවලින් ලොකුම ලාබෙ ගන්නේ අතරමැදි වෙළෙන්දෝ. ලොකු කළගෙඩියක් අපෙන් රුපියල් එකසිය පනහකට විතර අරගෙන ඒගොල්ලෝ රුපියල් තුන්සිය පනහකට විතර විකුණනවා. අපටම මේ දේවල් විකුණගන්ඩ මොකක් හරි සාධාරණ ක්‍රමයක් හදන්න පුළුවන් නම් අපේ දරුවන්ට වෙන රස්සා ඕන නෑ.”
“දැන් මේ වහින කාලේ රස්සාව කරන්නේ කොහොමද?” දුබල මඩුවල අරුමය මා ඇගෙන්ද අසමි.
“ඒක තමයි ප්‍රශ්නෙ. ගමේ ගොඩක් අය රස්සාව කරන්නේ එහෙන් මෙහෙන් හදාගත්ත මඩු ඇතුළෙ ඉඳගෙන. වළං පුච්චන පෝරණුව තියෙන්නෙත් ඒ මඩුව ඇතුළේ. වැහි කාලෙට මඩු දෝර ගලනවා. එහෙන් හිරිකඩ. වහිනකොට වළං නොතෙමී තියාගන්න විදිහක් නෑ. එතකොට රස්සාව අතෑරල දාන්න තමයි වෙන්නේ. පායනකොට අව් රස්නෙට හදන වළං පුපුරනවා. කවුරු හරි හොඳ මඩු හදාගන්න උදව් කරනවා නම් ඒක ලොකු හයියක්.*
ගමේ බොහෝ දෙනෙකුට නැති විදුලියෙන් ක්‍රියාකරවිය හැකි සකපෝරුවක්ද සුභාෂිණී සතුව ඇත. විදුලි සකපෝරුවේ වැඩ යම් පමණකට පහසුය. එය කාලය සහ වෙහෙස පිරිමහයි. එහෙත් රුපියල් හතළිස්දහසක් තරම් මුදලක් එකවර දැරිය හැක්කේ මේ ගැමියන්ගෙන් කීයෙන් කී දෙනාටද?
“මොනවද ඔය ගෑස් වළං කියන්නේ?” මා හිටිහැටියේ මතක් වූ පැනයක් ඇය වෙත යොමු කළෙමි.
“ගෑස් වළං කියන්නේ අච්චුවලින් හදන වළං වලට. දැන් කළගෙඩි, මුට්ටි ඇරුණහම අනෙක් හැම එකක්ම හදන්න අච්චු තියෙනවා. ඒක ඉතිං ලේසියි. කර්මාන්තෙ ගැන වැඩිය නොදන්න කෙනෙකුට උනත් අච්චුවෙන් වළං හදන්න පුළුවන්. හැබැයි ඉතිං හරියට මැටි පදම් කරගන්න ඕන. අච්චු ගන්නත් ඕන සල්ලි තමයි. සහන ක්‍රමේකටවත් හම්බවෙනව නම් ලොකු දෙයක්.”
“මොකක් ද ඔය වළං දෙවර්ගේ අතර තියෙන වෙනස.”
“එකම වෙනස අච්චුවල හදන වළං ඝනකම අඩුයි. ඒ කියන්නේ තුනීවට හදන්නේ. අතින් හදන වළංවල ඝනකම වැඩියි. අච්චුවෙන් හදන වළං වලින් දර ළිපේ උයන්න අමාරුයි. තුනී වැඩි නිසා පුපුරන්න බලනවා. අතින් හදන ඝනකම වැඩි වළං වලින් ගෑස් ළිපේ උයන්ඩ ගියහම ගෑස් වියදම වැඩි වෙනවා.” සුභාෂිණී පැවසුවාය.
වර්තමානයේ මෙරට ග්‍රාමීය කුඩා කර්මාන්ත බොහෝමයක් අද අලුක්කාල් ගණනට වැටී තිබේ. ඒ පිරිහීම ක්‍රමික ගමනක ප්‍රතිඵලයකි. පාළුගමේ පොළොව මත ඇසෙන සහ දකින සාධක ඒ සඳහා නොඅඩුව දෙස් දෙයි. ගැමියන්ගේ කර්මාන්තයේ පහසුව සඳහා 2012 වර්ෂයේදී ගම තුළ ඉදිකොට ඇති මැටි පදම් කිරීමේ යන්ත්‍රය සහ ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වී පණ අදිමින් තිබේ. ඒ නිසි නඩත්තුවක් නොවීම හේතුවෙනි. එහි වරද ගැමියන්ගේද වෙනත් වගකිව යුත්තෙකුගේද යන්න නිරවුල් නැත. එහෙත් සිය කර්මාන්තයට අත දිය හැකි නිලදරන්නවුන් කිසිවෙකු කලකින් ගමට නොපැමිණි බව නම් ගැමියන්ට හොඳින්ම මතක තිබේ. ජේ.ඒ. චන්ද්‍රලතා මහත්මිය සකපෝරුවේ කැරකෙන දිවිසැරිය ගැන කීවේ මෙවැනි කරුණුය.
“මට මතක හැටියට 2012 අවුරුද්දේ චන්ද්‍රිකා නෝනගේ ආණ්ඩුව කාලේ ලාල්කාන්ත මහත්තයා ඇමති වෙලා ඉන්න කාලේ තමයි අපිට මැටි පදං කරන මැෂින් එකක් ගමට දුන්නේ. දැන් ඒක කැඩිලා අවුරුදු ගානක් වුණා. මේ වෙනකන් හදලා දෙන්න කවුරුවත් මැදිහත් වුණේ නෑ. කුඩා කර්මාන්ත සංවර්ධන එකෙන් ඉස්සර නම් නිලධාරි ගමට ආවා. දැන් අවුරුදු ගානකින් කිසි කෙනෙක් ආවෙ නෑ.”
“මැටි පදම් කරන්න මැෂින් එකක්ම ඕනද ?” මා නොදන්නාකමට ඇසුවෙමි.
“ඇත්තටම මැටි පදම් කරන මැෂින් එක කැඩිච්ච එක ගමට ලොකු පාඩුවක්. හරියට මැටි පදම් කරගන්න බැරිවුණොත් පුච්චනකොට වළං පුපුරනවා. මුළු මහන්සියම අපතේ යනවා. හොද මැටි හොයාගන්න එක ලේසි නෑ. වළං පුච්චන්න දර, පොල් ලෙලි, පොල්පිති, දහයියා වගේ දේවල් ගන්නෙත් සල්ලි දීලා. දර මිලත් එන්න එන්නම වැඩිවෙනවා. කනබොන එකේ ඉඳලා අනිත් හැමදේම කරගන්නෙත් මේ හම්බ කරන කීයෙන් හරි. ඉතුරුවක් කරගන්න එක ලේසි නෑ. ඉතිං ඔය ඔක්කොම දේවල් ඉවරයි නේද හරියට මැටි පදං කරගත්තේ නැත්නන්.” චන්ද්‍රලතා එසේ විමසයි.
කර්මාන්තයේ රස, නීරස අත්දැකීම් සමග වයසට ගිය ජේ.ඒ. කරුණාවතී අම්මා වචන එකතු කළාය.
“ගමට එන්න තියෙන ඇතුළෙ පාරවල් ඔක්කොම කැඩිලා තියෙන්නේ. ඒකත් මේ රස්සාව කරන අපිට ලොකු කරදරයක්. මේ වල ගොඩැලි උඩින් අරගෙන යනකොට සමහර වෙලාවට වළං බිදෙනවා. මේ හින්දා වෙළෙන්දොත් ගමට එන්න වැඩි කැමැත්තක් නෑ. කාටවත් බරක් නැතිව කරන මේ දෑතේ රස්සාව ලොකු නිදහසක්. ඒත් අපෙන් පස්සේ නම් මේ කර්මාන්තෙ කරගෙන යන්න කෙනෙක් ඉතුරු වෙන එකක් නෑ. මොනව හරි දෙයක් කරනව නම් හොඳයි. අපේ නම් දැන් කාලෙ ඉවරයි.”
මේ ගැමියන් පහදන කතාවේ එක් අන්තයක ඇත්තේ ඔවුන් අනවරතව යෙදෙන ජීවන අරගලයයි. අනෙක් අන්තයේ එල්ලී ඇත්තේ පණ අදින සාම්ප්‍රදායික කර්මාන්තයකට පණ දෙන්නට වෙහෙසෙන කඳුළින් ජීවිතය වියන මිනිසුන්ගේ ශෝකාලාපයයි. හිරු සැඟව ගිය අහස යට අඳුර රජයමින් තිබේ.