උඩවැඩියා මල් වගාව මේ වන විට ලෝකය පුරා ඉතා ජනප්‍රිය වගාවක් ලෙස ප්‍රචලිත වෙමින් පවතින අතර, දේශීය වශයෙන් වැදගත් උඩවැඩියා වර්ග රාශියක් ශ්‍රී ලංකාව සතු වීම රටක් ලෙස අපට ආඩම්බර විය හැකි කරුණකි. ශ්‍රී ලංකාවට ආවේණික දේශීය උඩවැඩියා රාශියක් විවිධ පරිසර කලාපවල දක්නට ලැබෙන අතර, එසේ වුවද විවිධ පුද්ගලයන් විසින් සිදුකරන අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් දේශීය උඩවැඩියා වඳ වීමේ තර්ජනයකට මුහුණ දී තිබේ. ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් වනාන්තරවල වැඩෙන දේශීය උඩවැඩියා සම්පූර්ණයෙන්ම ගලවා විකිණීම සම්බන්ධ සිදුවීම් රැසක් මේ වන විට වාර්තා වෙමින් පවතී. දේශීය උඩවැඩියා සම්පත අප රැකගත යුත්තේ ඇයිද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ, ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ හිටපු ප්‍රධානී සමන්ත ගුණසේකර සමග සාකච්ඡා කළෙමු. දේශීය උඩවැඩියා වර්ග පිළිබඳ පර්යේෂණ කර ඇති ඔහු මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි.
දේශීය උඩවැඩියා සම්පත
දේශීය උඩවැඩියා සම්පත කියන්නේ ශ්‍රී ලංකාවට ඉතාම ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්. ඒ මොකද ලෝකයේ ජෛව විවිධත්වය ඉහළ ස්ථාන 34න් එකක් ලෙස ලංකාව හඳුනාගෙන තිබෙනවා.
ඒ වගේම ලෝකයේ ජෛව විවිධත්වය උච්චතම ස්ථාන 08ක් නම්කර තිබෙනවා. එම ස්ථාන අතරින් එකක් ලෙසත් ලංකාව හඳුන්වනවා. මේ නිසා ආසියාවේ ඉහළම ජෛව විවිධත්වයක් තිබෙන රට ලෙස ලංකාව හඳුන්වනවා (පක්ෂීන් හැර). ලංකාවේ තිබෙන ශාක වලින් තුනෙන් එකක් පමණ ලංකාවට ආවේණික ශාක. සිංහරාජයේ ශාක අතුරින් 87෴ක් පමණ තිබෙන්නේ ආවේණික ශාක. ඊට අමතරව ස්ථානීය ආවේණික ශාක රාශියක් තිබෙනවා. මේ නිසයි අපි අපේ පරිසරය රැකගත යුත්තේ.
උඩවැඩියා පිළිබඳ කතාකරන විටත් ලංකාවේ උඩවැඩියා ප්‍රභේද සුවිශේෂයි. දැනට ලංකාවෙන් දේශීය උඩවැඩියා විශේෂ 195ක් පමණ සොයාගෙන තිබෙනවා. පර්යේෂණ කරන තවත් උඩවැඩියා 20කට වැඩි ප්‍රමාණයක් හඳුන්වා දෙන්න තිබෙනවා. වියළි කලාපය, තෙත් කලාපය, කඳුකර කලාපය, කඳුකර උස්බිම් සහ මැද කඳුකර සහ පහතරට කලාප ඇතුළු ලංකාවේ සෑම කලාපයක් තුළ මේ උඩවැඩියා තිබෙනවා. ඒවා එකිනෙකට වෙනස්. ඒ වගේම අපේ පරිසර කලාප හරිම වෙනස්. ඒවා ලංකාවටම ආවේණික පරිසර කලාප. ඒ නිසා ඒවා විනාශ වෙන්න ඉඩදෙන්න නරකයි.
උඩවැඩියා කිසිවක් පිළිල නෙවෙයි
මධ්‍යම කඳුකරගේ උඩවැඩියා විවිධත්වය ඉතාම ඉහළයි. ඒ වගේම අපේ රටේ කඳුකරයේ, තැනිතලාවේ වගේම ශුෂ්ක ප්‍රදේශවලත් උඩවැඩියා හැදෙනවා. ඉතාම අලංකාර දේශීය උඩවැඩියා කිහිපයක්ම තිබෙනවා. නමුත් වැඩි වශයෙන්ම තිබෙන්නේ ඉතා කුඩා පුෂ්ප සහිත උඩවැඩියා වර්ග.
වියළි කලාපයේ වැඩෙන උඩවැඩියා වල ලෝකයේ හොඳම වර්ණ ආකාර තිබෙන්නේ ලංකාවේ උඩවැඩියා ප්‍රභේද වල. නමුත් මිනිසුන්ගේ නොදැනුවත්කම නිසා ඇතැම් උඩවැඩියා වර්ග බොහෝදෙනා ගලවා විසිකරනවා දැක තිබෙනවා. රාස්සන කියන උඩවැඩියා වර්ගය එයට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. කිසිම උඩවැඩියා වර්ගයක් පිළිල නැතිනම් පරපෝෂී ශාක නෙවෙයි. සෑම උඩවැඩියා ශාකයක්ම අපි ශාකයක්. බිම හැදෙන උඩවැඩියා සුළු ප්‍රමාණයක් තිබෙන්නේ. නමුත් පිළිල කියලා හිතලා බොහෝදෙනා මේ උඩවැඩියා ගලවලා විසි කරනවා.
ඒ වගේම උඩවැඩියා හැදෙන ඇතැම් දාරක ශාක විනාශ කරනවා. මේ උඩවැඩියා හැදෙන්නේ පලු, මී, මාර, හල්මිල්ල, බක්මී, බුළු වගේ සුවිශේෂී ගස්වල පමණයි. මේ දාරක ශාක කපා විනාශ කළොත් ආවේණික උඩවැඩියා විනාශ වී යන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම ඉතාම වැදගත්.
විවිධ සංවර්ධන ව්‍යාපෘති නමින් හෝ දැව ජාවාරම්කරුවන් විසින් විශාල ලෙස මේ ගස් කපලා දානවා. එහෙම උනත් විනාශ වෙන උඩවැඩියා ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නැහැ. අදාළ රාජ්‍ය ආයතනවලට අපි මේ ගැන අවස්ථා කිහිපයකදීම පෙන්වා දීල තිබුණත්, ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නොමැති වීම කණගාටුවට කරුණක්.
පෞද්ගලිකව මැදිහත්වෙලා මම උඩවැඩියා වර්ගයක් වන වැන්ඩා ටෙසලාටා වර්ණකාරක 50ක් පමණ හම්බන්තොට මිරිජ්ජවිල උද්භිත උද්‍යානයේ ප්‍රතිස්ථාපනය කරලා තිබෙනවා.
මහාමාර්ග ඉදිකිරීමේදී විශාල වශයෙන් උඩවැඩියා විනාශ වෙනවා. නමුත් ඉතාම සැලකිල්ලෙන් මේ දේවල් කළොත් මේ ශාක ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිස්ථාපනය කරන්නනත් පුළුවන්. මොකද දාරක ශාක ලෙස හඳුන්වන මේ ශාක විශාල ශාක ලෙස වර්ධනය වෙන්න වසර 100කට වැඩි කාලයක් ගතවෙනවා. නමුත් මේ දැව ජාවාරම මේ දවස්වල ලොකුවට සිදුවෙන නිසා උඩවැඩියා වලට ලොකු තර්ජනයක් ඇතිවෙලා තිබෙනවා.
වැන්ඩා ටෙසලාටා
වැන්ඩා ටෙසලාටා උඩවැඩියා වර්ගය මේ කාලයේ ලෝකයේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ශාකය. ඒ වගේම වැඩිම වර්ණ ගණනාවක් තිබෙන, අලංකාර මල් තිබෙන ශාකයක්. මේ සම්බන්ධ තොරතුරු මම පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම ප්‍රකාශට පත්කර තිබෙනවා.
නමුත් මේ වනවිට දේශීය උඩවැඩියා නීත්‍යානුකූල නොවන ආකාරයට ලබාගෙන අන්තර්ජාලය හරහා විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා.
කෝවිඩ් තත්ත්වය සමග අන්තර්ජාල මංකොල්ල වැඩිවෙලා තිබෙනවා. ජාත්‍යන්තර පොලීසිය, රේගු සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මේ සම්බන්ධයෙන් දැඩි අවධියෙන් සිටින්නේ.
ගුරුළුරාජ
දෙසැම්බර් ජනවාරි කාලසීමාව ගුරුළුරාජ කියන උඩවැඩියා වර්ගයේ මල් හැදෙන කාලය. ගුරුළුරාජ උඩවැඩියා වැඩියෙන්ම තිබුණේ මඩකලපුවේ. මේ උඩවැඩියා වර්ගය දැන් වඳ වෙලා ගිහින්. ඒකට හේතුව කිහිපයක් තිබෙනවා. මඩකලපුවේ තිබුණු දාරක ශාක සුළි සුළඟින් විනාශ වුණා. ඊටපසුව එල්ටීටීය වනාන්තර සුද්ධ කළා. පසුව හමුදාව සුද්ධ කළා. අනිත් ටික මිනිස්සු දරට කැපුවා. දැන් නිල්ගල පැත්තේ විතරක් මේ උඩවැඩියා වර්ගය ඉතුරුවෙලා තියෙවා. බඩඉරිඟු වවන්න ඒ කැලෙත් සුද්ධ කරනවා. ඒ වගේම ඖෂධ පැළෑටි විශාල ප්‍රමාණයක් තිබෙන නිල්ගල ප්‍රදේශය වටිනා පාරිසරික කලාපයක්. මේ ප්‍රදේශය තුළ ගුරුළුරාජ විශේෂ කිහිපයක්ම තිබෙනවා. මේවා ආරක්ෂා කරගන්න කැප විය යුතුයි.
තනි සුදු මල් සහිත ගුරුළුරාජ විශේෂය අද ලංකාවෙන් සම්පූර්ණයෙන් වඳ වී ගොස් තිබෙනවා. නමුත් අපේ රටෙන් මේ පැළ අරගෙන ඒවා වගා කරලා ආරක්ෂා කරගෙන තායිලන්තය අද ලෝකයටම පැළ බෙදනවා.
අලුත්ම තර්ජනය
වනාන්තරවලින් මේ පැළ ගලවාගෙන ඇවිත් අන්තර්ජාලය හරහා විකුණනවා. අලුත්ම ජාවාරම වී තිබෙන්නේ එයයි. මේ උඩවැඩියා විශේෂ සම්පූර්ණයෙන්ම ගලවාගෙන ඇවිත් විකුණනවා. ඒක නොකළ යුතු දෙයක්. මොකද ඔවුන් කැලයෙන් පැළ ගලවද්දි පඳුරකින් කොටසක් ගැනීම වෙනුවට මුළු පඳුරම ගලවනවා. සම්පූර්ණයෙන්ම ඒවා ගලවනවා. එතකොට නැවත ඒ පැළ හැදෙන්න අවස්ථාවක් නැහැ. මේ නිසා ලංකාවට ආවේණික මෙම උඩවැඩියා විශේෂයත් සම්පූර්ණයෙන්ම වඳ වෙලා යයි. මොකද මේ විදිහට අනවසරයෙන් මේවා ගලවද්දි, සංවර්ධන කටයුතු කියලා ගස් විනාශ කරද්දි මේ ශාක සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. නැවත වගා කිරීමක් සිදුවෙන්නෙත් නැහැ.
මේ උඩවැඩියා සම්පත අපේ රටේ සම්පතක්. අපි ඒක ආරක්ෂා කරගත යුතු වෙනවා. නමුත් ඒ සඳහා රාජ්‍ය ආයතන හෝ මැදිහත් වීමක් සිදුනොවීම කණගාටුවට කරුණක්. උඩවැඩියා සංරක්ෂණය සම්බන්ධයෙන් එම ආයතන මීට වඩා වැඩි අවධානයකින් කටයුතු කළ යුතුයි. ඒ සඳහා අදාළ ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. රක්ෂිතවල, වනාන්තරවල තිබෙන ගස් සියල්ලම කපලා, ස්වාභාවික කැලය විනාශ කරලා පසුව පාරවල්වල ගස් හිටවලා වැඩක් වෙන්නේ නැහැ. ස්වාභාවික වනාන්තර වලින් කරන කාර්යය පාරවල් වල ගස් හිටවලා කවදාවත් සිදුවෙන්නේ නැහැ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ගස් කපලා ඉවරවෙලා ඒ ගානට ගස් හිටෙව්වාම හැමදේම හරියනවා කියලා. ඒ ගැන හැමදෙනාම අවධානය යොමු කළ යුතුයි. මොකද මේ උඩවැඩියා විශේෂත් විනාශ කරලා ගෙවල්වල මිදුල්වල තියාගත්තා කියලා ඒක ජෛව විවිධත්වයට වැඩක් වෙන්නේ නැහැ. අනිත් උඩවැඩියා වර්ග ආරක්ෂා කරගන්නත් මේක බොහොම වැදගත්.
මෙවැනි කටයුතු සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය ආචාර්ය නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් විමසූ අතර ඔහු මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
&ලංකාවේ තිබෙන සියලුම උඩවැඩියා විශේෂ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 42වැනි වගන්තිය යටතේ තිබෙන 08වැනි උපලේඛණයට ඇතුළත් කර තිබෙනවා.
මේ නිසා කිසිම දේශීය උඩවැඩියාවක් කිසිම ආකාරයකින් විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ එවැනි පරමාර්ථයක් සඳහා ස්වාභාවික පරිසරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී වෙනවා. අන්තර්ජාලයේ විකුණනවා නම් ඔවුන්ව නීතියට හසුකරගන්න පුළුවන්. නීතිය ආරක්ෂාකරන ආයතන වලට ඒ දේ කරන්න පුළුවන්. මෙවැනි දේවල් පිළිබඳව අදාළ ආයතන දැනුම්වත් කිරීම පුරවැසියන්ගේත් වගකීමක් වෙනවා.*
දේශීය උඩවැඩියා සම්පත රැකගැනීම අප සියලුදෙනා සතු වගකීමකි. ඒ වෙනුවෙන් කැපවීම අවශ්‍ය මොහොත එළැඹී ඇත.