අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කිරීම වර්තමානය වනවිට ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක් බවට පත්ව තිබේ. කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් මෙම ගැටලුවට විසඳුම් ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂි ඉංජිනේරු විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා අදට සම්බන්ධ කර ගතිමු.
ලංකාවේ පිහිටි පාරිසරික කලාපයන් අතරින් මිනිස් ක්‍රියාකාරකම්වලින් කිසිදු බලපෑමකට ලක් නොකළ යුතු අතිසංවේදී පරිසර පද්ධතීන් ප්‍රමාණයක් අපට තිබෙනවා. විශේෂයෙන්ම උස් කඳු ආශ්‍රිතව දැනට ඉතිරිව තිබෙන වනාන්තර හා ජල සම්පත් මේ අතරින් ඉතාම වැදගත් කලාප වෙනවා. ප්‍රධාන ගංගා ගණනාවක මූලාරම්භය වෙන්නේ මධ්‍යම කඳුකරයයි. මධ්‍යම කඳුකරයේ, නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව පිහිටි පරිසර පද්ධති මත පහළ ජාලාධාර ප්‍රදේශවල ජල සැපයුම රඳා පවතිනවා.
අපි සෑම විටම ජල මූලාශ්‍ර රැකගන්න බලාපොරොත්තු වුණේ ප්‍රමාණාත්මකව. අපට වඩා වැදගත් වූයේ ජලය කෙතරම් ප්‍රමාණයක් වියළි කාලවලදී ප්‍රයෝජනයට ගත හැකිද යන්න පිළිබඳවයි. නමුත් වියළි කාලවලදී ජල ප්‍රමාණය අඩු වනවිට ඒ ජලයේ ගුණාත්මකභාවයත් අඩු වන බවට මේ වනවිට පැහැදිලි වී තිබෙනවා. ජලයේ ගුණාත්මකභාවය අඩු වීමට කසළ හා අපජලය බැහැර කිරීම විශේෂයෙන්ම බලපාන කරුණකි. නිවාස, කර්මාන්ත ශාලා, වෙළෙඳ ආයතනවලින් බැහැර කරන කසළ හා අපිරිසුදු ජලය හේතුවෙන් ජලයේ ගුණාත්මකභාවය අඩු වෙනවා.
අපිරිසුදු ජලයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මළ අපද්‍රව්‍ය. සාමාන්‍යයෙන් ලංකාවේ මළ අපද්‍රව්‍ය බැහැර කරන්නේ පූතික වළකට. නමුත් අවාසනාවකට බොහෝ නගරවල සහ අර්ධ නාගරික ප්‍රදේශවල ඇළ දොළ ආශ්‍රිතව පිහිටි නිවාස හා වෙළෙඳ ආයතනවලින් තරමක් දුරට මල අපද්‍රව්‍ය ජල මාර්ගවලට බැහැර කරනවා. එමගින් විශාල පරිසර හානියක් සිදුවෙනවා.
ඒ වගේම අසූචි මිශ්‍ර ජලය, ජල මූලාශ්‍රවලට එකතු වීම හේතුවෙන් මේ වනවිට නගර ගණනාවක පානීය ජලයට කෝලිෆෝම් බැක්ටීරියා එකතු වෙලා තියෙන බව පරීක්‍ෂණ මගින් සනාථ වෙලා තිබෙනවා. එය බරපතළ ගැටලුවක් වගේම ඒ මගින් යම් වසංගත තත්ත්වයක් ඇති වුවහොත් සමාජයක් හැටියට අපට බරපතළ ව්‍යවසනයකට මුහුණදීමට සිදුවෙනවා.
එමෙන්ම අප විසින් ඉවතලන කසළ බොහෝ විට බැහැර කරනු ලබන්නේ ගංගා, වැව් ආශ්‍රිත ප්‍රදේශවලට. එලෙස බැහැර කරන කසළවලින් පිටවන අපවිත්‍ර ජලයෙන් (Leachate) ලොකු පරිසර දූෂණයක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් අපට පේන්නේ මේ ජලය අවපැහැ ගැන්වී ගලන බවයි. නමුත් විද්‍යාත්මකව එය නිරීක්‍ෂණය කළ විට ඒ තුළින් අපට නොපෙනෙන ගන්ධයෙන්, රසයෙන් සොයාගත නොහැකි විශාල විෂ අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවා.
කෙසේ නමුත් මෙතෙක් අපගේ ජල මූලාශ්‍ර පරිභෝජනයට නුසුදුසු අයුරින් විනාශයට පත්ව නැහැ. නමුත් අප දිගටම මේ ක්‍රමය පවත්වාගෙන ගියහොත් නුදුරු අනාගතයේදී ඉතිරිව තිබෙන ජල මූලාශ්‍ර ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වෙනවා. උදාහරණයක් ලෙස ගත් කළ ජල සම්පාදන මණ්ඩලය අද පිරිපහදු කරලා දෙන ජලයේ කිසිදු ගැටලුවක් නොමැත. නමුත් තව අවුරුදු 10ක් හෝ 15ක් ගතවන විට, මේ අයුරින්ම අප ජලය අපිරිසුදු කළහොත්, ඒ ජලය සාමාන්‍ය පිරිපහදු ක්‍රමවලින් පිරිසුදු කිරීමේ හැකියාවක් නොමැත. එබැවින් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරන ආයතනවලට එය විශාල අභියෝගයක්. එම තත්ත්වය ඉදිරියේදී ජනතාවට විශාල බලපෑමක් ඇති කරනවා.
බොහෝ නගරවල කසළ බැහැර කිරීම ඉතාමත් අවිධිමත් අයුරින් සිදුවන්නේ. මේ වනවිට අපට ඇළ දොළ, ගංගා ආශ්‍රිතව කසළ බැහැර කර ඇති අයුරු දැකගත හැකිය. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම පළාත් පාලන ආයතනවල පමණක් නොව මහජනතාවගේද වගකීමකි. අනෙක් කරුණ නම්, අපි කසළ කළමනාකරණය ලෙස පවසමින් සිදු කරනුයේ ඉවතලන කසළ වළ දැමීමයි. නමුත් අප කළයුතු වන්නේ කසළ ප්‍රතිචක්‍රීකරණයයි.
බොහෝ පිරිස් අපට ඒ සඳහා ප්‍රතිපත්තියක් නොමැති බව පැවසුවද, ලංකාවට කසළ කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තියක් තිබෙනවා. 2007 වසරේදී අප කසළ කළමනාකරණයට ප්‍රතිපත්තියක් එළිදක්වූ නමුත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන වගේම මහජනතාවත් දැනුවත් වූයේ නැහැ. ඊට අමතරව 2018 වසරේදී ඒ ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කර, වැඩි දියුණු කළා. ඒ ප්‍රතිපත්ති මත තමයි ලංකාවේ මෙන්ම ලෝකයේ සෑම ස්ථානයකම කසළ කළමනාකරණ ක්‍රමෝපායන් සකස් වෙලා තිබෙන්නේ. අප එය 3R සංකල්පය ලෙස හඳුන්වනවා. ඉන් අර්ථගන්වෙනුයේ කසළ ජනනය අවම කිරීම (Reduce), කසළ නැවත භාවිත කිරීම (Reuse) සහ කසළ ප්‍රතිචක්‍රීකරණයයි (Recycle).
මේ අතරින් මූලිකම කරුණ වනුයේ පුද්ගලයන් විදිහට, ආයතන විදිහට වගේම නගරයක් විදිහට කසළ ජනනය අවම කිරීමයි. කාලය, ශ්‍රමය, වියදම ආදී විශාල සම්පත් ප්‍රමාණයක් කසළ ජනනය අවම කිරීම තුළින් අපට ඉතිරි කර ගැනීමේ හැකියාව පවතින අතර, එය අපට ලැබෙන ඍජු ප්‍රතිලාභයකි.
උදාහරණයක් ලෙස ගත් කල අප ෂොපින් බෑග් භාවිත පාවිච්චි කරන්නේ නැතිනම්, ෂොපින් බෑග් කියන කසළ ජනනය වෙන්නේ නැහැ. එවැනි දේ භාවිත නොකිරීම හා ඊට විකල්ප භාවිත කිරීම තුළින් කසළ ජනනය අවම වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී අපට ඒවා භාවිත කිරීමට සිදුවෙනවා. එවිට අප දෙවැනි සංකල්පය භාවිත කරනවා. එනම් කසළ නැවත නැවත භාවිත කිරීමයි. එවිට ෂෝපින් බෑගයක් නම්, අලුතින් නොගෙන තිබෙන ෂොපින් බෑගය කිහිපවරක් භාවිත කිරීම තුළින් කසළ අවම කිරීමට හැකිය.
නමුත් කිහිපවිටක් භාවිත කළ පසු තවදුරටත් ඒක භාවිත කිරීමට නොහැකි වනවිට අපට එය කසළ රැඳවුමකට බැහැර කිරීමට සිදුවනවා. නමුත් අප එය එලෙස බැහැර නොකර, දහනය නොකර, එහි තිබෙන අමුද්‍රව්‍ය යම් නිෂ්පාදන ක්‍රියාවලියකට යොදා ගන්නේ නම්, අප එය ප්‍රතිචක්‍රීකරණය ලෙස හඳුන්වනවා.
එමෙන්ම ප්‍රතිචක්‍රීකරණයේ වර්ග දෙකකි. එක් ප්‍රතිචක්‍රීකරණයක් තමයි ඒ මගින් අමුද්‍රව්‍ය ලබාගැනීම. ප්ලාස්ටික් බෑග්වලින් ප්ලාස්ටික් හදලා ඒවා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කර නැවත නිෂ්පාදනයක් සිදුකිරීම. නමුත් ඒ සඳහා සීමාවක් තිබෙනවා. කිහිපවරක් එය සිදු කිරීමේදී එහි රසායනික සංයුතිය වෙනස් වීම නිසා තවදුරටත් එය අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීමට නොහැකි වෙනවා. ඒ අවස්ථාවේදී අපට එය දහනය කර බලශක්තියක් ලෙස ලබාගන්න පුළුවන්.
අප උදාහරණයක් ලෙස ආහාර ගත්තහොත් මේ සංකල්පයම තමයි එහිත් තිබෙන්නේ. අප ආහාර නාස්ති නොකර අවශ්‍ය ප්‍රමාණයට පමණක් පිළියෙල කරනවා. අවශ්‍ය ප්‍රමාණයට බෙදාගෙන ආහාරයට ගන්නවා. එක වේලක් ඉතුරු වුණොත් අපි ඊළඟ වේලට කනවා. එතැනදී නැවත භාවිත කිරීම සිදු වෙනවා. නැතහොත් සතෙකුට දෙනවා.
තුන්වැනි මට්ටමේදී අපි ප්‍රතිචක්‍රීකරණය කරනවා. ප්‍රතිචක්‍රීකරණය කරන්නේ, ආහාර ද්‍රව්‍යවල තියෙන පෝෂක ප්‍රමාණයෙන් අපි කොම්පෝස්ට් හදනවා. නැත්නම් අපි බයෝගෑස් හදනවා. බයෝගෑස් හදලා අපි කරන්නේ ඒකේ තියෙන ශක්තිය ජීවවායුවක් ලෙස ලබා ගැනීමයි. සෑම දෙයකටම මෙම 3R සංකල්පය භාවිත කිරීමේ හැකියාව තිබෙනවා.
එනමුත් තවමත් මේ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවීම කනගාටුවට කරුණකි. කසළ හා මල අපද්‍රව්‍ය බැහැර කිරීම් අපට නිරන්තරයෙන් දැකගත හැකිවනුයේ එබැවිනි. විශේෂිත කරුණ නම්, නිවාස තුන හතරක මල අපද්‍රව්‍ය, යම් ඇළ මාර්ගයකට ඍජුවම බැහැර කරන්නේ නම්, ඒ ප්‍රමාණයෙන් සම්පූර්ණයෙන්ම ඇළ දූෂණය වෙනවා. අද අපි අත්දකින්නේ එවැනි තත්ත්වයක්. මේ තත්ත්වය මහජනතාවගේ සෞඛ්‍යයටත් බරපතළ තර්ජනයක්. නමුත් තවමත් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු වී නොමැති බව දක්නට ලැබෙනවා.
මෙවැනි අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම්වලට එරෙහිව කටයුතු කළ හැකි නීති පද්ධතියක් පළාත් පාලන ආයතනවලට තිබෙනවා. එනමුත් සියලු දේ වගේම නීතිය ක්‍රියාත්මක වීමේදී දුර්වලතාවක් පවතිනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා නම්, මෙවැනි අවිධිමත් බැහැර කිරීම් අවම කරගැනීමේ හැකියාව තිබෙනවා. සෑම ප්‍රධාන නගරයකම, අර්ධ නාගරික ප්‍රදේශයකම ප්‍රසිද්ධියේ මෙම තත්ත්වය දැකගත හැකිය. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට හැකියාව තිබෙනවා මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට. නමුත් ඇතැම් නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව වගේම එවැනි රාජකාරී ඉටු කිරීමේදී එල්ල වන විවිධ බලපෑම් හේතුවෙන් මේ සඳහා මැදිහත් නොවීමට ඔවුහු කටයුතු කරති.
බොහෝ පිරිස් සිදු කරන්නේ පරිසර දූෂණය පැත්තෙන් නොසිතා තමන්ගේ යහපත වෙනුවෙන් පමණක් සිතා තමන් අතින් සිදුවන වැරදි සැඟවීමය. මෙතැන්දී මහජනතාවට වගකීමක් තියෙනවා මේ සිදුවන පරිසර දූෂණ තුළින් තමන් යම් පීඩාවකට පත්වෙන්නේ නම්, ඊට ඍජුව මැදිහත් වී එය වළක්වා ගැනීමට. ඒ සඳහා නීතිමය පසුබිමක් තිබෙන බැවින් මහජනතාව මේ සම්බන්ධයෙන් වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි.
එසේම බොහෝ පළාත් පාලන ආයතනවලට තිබෙන විශාලම ගැටලුව මූල්‍යමය හා තාක්‍ෂණික දුර්වලතාව. විශේෂයෙන්ම නගර සභා වැනි ආයතන ගතහොත්, අද වනවිට ලංකාවේ තියෙන නගර සභා ගණනාවක ප්‍රධාන කාර්ය වන්නේ කසළ කළමනාකරණයයි. නමුත් මීට අවුරුදු පනහකට, සියයකට පෙරදී නගර සභා පිහිට වනවිට ජල, විදුලි සැපයුම්, මාර්ග නඩත්තුව වැනි දේ අයිතිව තිබිණි.
කෙසේ නමුත් මේ වනවිට එම ආයතනවලට අයිති මූලිකම දේ වී ඇත්තේ කසළ කළමනාකරණය. ඒ ආයතනවල අයවැය පිරිවැයෙන් 30෴ක, 40෴ක ප්‍රමාණයක් වගේම ඉන්න සේවක සංඛ්‍යාවෙන් 50%ක පමණ ප්‍රමාණයක් කසළ කළමනාකරණයට යොදවනවා.
මේ වනවිටත් ලංකාවේ කසළ බැහැර කරන්නන් විසින් ඍජු පිරිවැයක් ඒ සඳහා නොදරන අතර, කිසිදු ආයතනයක් ඒ වෙනුවෙන් මුදලක් ගෙවීමක් සිදුනොකරයි. නමුත් ඇතැම් පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ සහ පළාත් සභාවේ අනුමැතිය ලබාගෙන කසළ බද්දක් හඳුන්වලා දී තිබෙනවා. එය විශේෂයෙන්ම ආයතන සඳහා හඳුන්වා දී ඇති අතර, මේ පිළිබඳ පරීක්‍ෂණ මට්ටමේ සිටින්නන් ලෙස අප දන්නවා ඒ වගේ යම් පිරිවැයක් දරන්න වෙන බවට හැඟීමක් යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ඇති වූ විට එම පිරිස් කසළ අඩු කරගැනීමට උත්සාහ කරනවා. ඒ අනුව ඔවුන් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට නැතිනම් කොම්පොස්ට් නිර්මාණ කර ගැනීමට කටයුතු කරනවා. එබැවින් එය උපක්‍රමයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇත.
ඒ වගේම පළාත් පාලන ආයතනවලට කසළ කළමනාකරණයේ තවත් පියවරක් ඉදිරියට යන්න අවශ්‍ය පිරිවැය සොයාගන්න ක්‍රමයක් ලෙස භාවිත කරන්නට හැකි නමුත්, බදු සම්බන්ධයෙන් මහජනතාවගෙන් නැගෙන විරෝධය හේතුවෙන් බොහෝ පළාත් පාලන ආයතන ඒ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන ප්‍රමාණය අවම වී තිබෙනවා.
අනිත් කාරණේ තමයි පළාත් පාලන ආයතන තුළ මෙවැනි උපක්‍රම ක්‍රියාත්මක වීමේදී ඇතැම් මහජන නියෝජිතයන්ගේ පටු ආකල්ප, කසළ කළමනාකරණය ඇතුළු අනෙකුත් කාර්යයන් අවුල්සහගත වීමට හේතු වෙනවා.
එනමුත් ඒ සඳහා මහජනතාවත් යම් ප්‍රමාණයකින් වගකිව යුතුවන අතර, තමන් සෑම දෙයක්ම පිළිබඳම දැනුවත් යැයි සිතා සිටින යම් ප්‍රමාණයක් වන මහජන නියෝජිතයන් එතැනට පත් කර ඇත්තේ මහජනතාව විසිනි. එය ජනතාවගේ තෝරාගැනීම පිළිබඳ ගැටලුකි.
ලංකාවේ මෙන්ම මෙවැනි සමාජ පවතින ඉන්දියාව, පාකිස්තානය වැනි රටවලත්, අප්‍රිකානු රටවලත් අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය පවතිනවා. ඇතැම් තාක්‍ෂණික තීරණ ගැනීමේදී, නිවැරදි තාක්‍ෂණික තීරණය, වැඩියෙන්ම මහජනතාවට ප්‍රතිලාභ ලැබෙන තීරණය නෙවෙයි බොහෝ විට අවසාන තීරණය වෙන්නේ. ඊට තරමක් හෝ වෙනස් වූ, දේශපාලනමය වශයෙන් වඩා ජනප්‍රිය හෝ ඉක්මන් ප්‍රතිලාභයක් ලැබෙන විසඳුමක් එහිදී ප්‍රමුඛ වෙනවා.
මේ දේශපාලන ක්‍රමය තුළ අවුරුදු දහයකින්, පහළොවකින් ලැබෙන ප්‍රතිලාභයක් ගැන සිතනවාට වඩා අවුරුදු හතර පහක කාලයක් ඇතුළත තමන්ට කරන්න පුළුවන්, විශාල ව්‍යාපෘති ලෙස සිදු කළ හැකි දේ පිළිබඳ ඔවුහු බොහෝ වෙලාවට සැලසුම් කරති.
එය ප්‍රාදේශීය මෙන්ම ජාතික මට්ටමෙත් දේශපාලනයේදී තියෙන ප්‍රශ්නයක්. මහවැලි වැනි ව්‍යාපෘතියක් ගතහොත් ඒක අවුරුදු 20ක විතර ව්‍යාපෘතියක්. නමුත් ඒ ව්‍යාපෘතිය අවුරුදු තුන හතරකින් කරනවා කියන්නේ, සැලසුම් කළ දේට වඩා වෙනස් දෙයක් සිදුවන්නේ. කසළ කළමනාකරණය වුවත් එලෙසයි. අපි හිතමු කසළ දහනය සම්බන්ධයෙන්. ලෝකයේ හොඳම තාක්‍ෂණික කසළ දහනයක් හදලා දැනට අවුරුදු පනහකටත් වැඩි කාලයක් ගතව තිබෙනවා. නමුත් අපට ඒක අලුත් දෙයක්.
එවැනි කසළ දහනයක් අපි නිර්මාණය කරනවා නම්, පාරිසරික ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් හදන්න අවශ්‍යයි. ඒ වගේම තාක්‍ෂණික ඇගයීමක් සිදුකළ යුතුයි. ඒ සඳහා අවම වශයෙන් අවුරුද්දක් පමණ කාලය ගත වෙනවා. මෙය ක්‍රියාවට නංවන්නේ නම් අධික මුදලක් මේ සඳහා වැය වන අතර, ඊයට ණය ලබා ගැනීමක්ද සිදුකළ යුතුවෙනවා.
එසේම මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අවුරුදු හත අටක් ගතවන බැවින් මෙවැනි දීර්ඝකාලීන ව්‍යාපෘති සඳහා බොහෝ අවස්ථාවලදී ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ ඉඩකඩ අවමය.
ඇතැම් දේශපාලනඥයන් විසින් තම ධුර කාලය තුළදී ව්‍යාපෘති ආරම්භ කර, විවෘත කිරීමට අපේක්‍ෂා කරන නමුත්, ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම සඳහා සිදු කරන අවුරුදු දෙක තුනේ ක්‍රියාකාරකම් හේතුවෙන් එම ව්‍යාපෘති අතරමග නතර කිරීමට කටයුතු කරනු ලබනවා. කසළ කළමානකරණයට අදාළවත් එවැනි අත්දැකීම් අපට ඕන තරම් තිබෙනවා.
නුවරඑළිය - සම්පත් ජයලාල්