ඕස්ට්‍රේලියාවේ හා ස්විස්හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිමවා1988 පළාත් සභාවලින් දේශපාලනයට පැමිණි මහින්ද සමරසිංහ අනතුරුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂ ප්‍රධාන සංවිධායකකම් හා කැබිනට් 05ක් ඇතුළු ඇමතිධුර 07ක් දැරුවේය. රටවල් 168කට අදාළ අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ ඡන්දයෙන් පත්වූ සභාපති ලෙස ද රටට ගෞරව ගෙනා ඔහුගේ ඇමෙරිකානු තානාපතිකම මගින් කළ කී දේ අපි කතා බහ කරමු.
Q ඇමෙරිකානු තානාපති භූමිකාව තුළ කළ කී දේ ගැන සෑහීමකට පත් වෙනවාද..?
ඔව්.දේශපාලනයට වඩා රටට වැඩි සේවයක් කරන්න මම පාර කපා ගත්තා.
Q මොකද්ද ඔබ අලුතෙන් කපා ගත්ත පාර....?
මගේ ජාත්‍යන්තර අත්දැකීම් හා සබඳතා ඊට මුල් වුණා. පහුගිය ඡන්දෙන් දිනලත් වසර 30 ක මගේ අත්දැකීම්වලින් පාලකයො වැඩ ගත්තෙ නෑ. හිටපු ජනපති ගෝඨාභය මට ආරාධනා කළා මේ තානාපතිකමට. ලෝකයේ බලවත්ම රටේ ලංකාවෙ නියෝජිතයා ලෙස විශාල සේවයක් කළ හැකි නිසා මම වැඩේ බාරගත්තා. හිතුවටත් වඩා වැඩි දෙයක් මම කළා.
Q කඩා වැටුණු ලංකා ආර්ථිකය නගා හිටුවන්න ඔබ දැක්වූ දායකත්වය කුමක්ද...?
මම උසස් අධ්‍යාපනයෙන් හා වෘත්තියෙන් ආර්ථික ක්ෂ්‍රේත්‍රයේ අත්දැකීම් ගොඩක් ලැබුවා. ඒ මත පදනම්වයි ඇමෙරිකාවෙදි ක්‍රියා කළේ. ලංකාවට ආර්ථික ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ලබන්න නම් IMF වැනි ලොව පිළිගත් සංවිධාන සමග වැඩ කළ යුතු වෙනවා. හිටපු ජනපතිගේ උපදෙස් මත එහි ප්‍රධානී එක්ක මම කතා කරල ලංකාවට ඇති අභියෝග පැහැදිලි කළා. IMF දෙන්නෙක් ලංකාවට ගිහින් හිටපු ජනපති එක්ක කතා කළා. ඒ දෙන්නගෙන් කෙනෙක් අද ද: කොරියාවෙ මහබැංකු අධිපතියි.
දින 2 - 3කින් IMF වැඩේට සූදානම් බව හිටපු ජනපති IMF ට කිව්වා. ඒ වගේම ලංකාව තුළ දේශපාලනික තීන්දු ගන්න රනිල් ජනපතිතුමා කැප වුණේ නැතිනම් IMF මූල්‍ය සහාය හා පිළිගැනීම ලංකාවට ලැබෙන්නෙම නෑ.
Q ඔබේ මැදිහත්වීමෙන් වෛද්‍ය හා සෙසු ක්ෂේත්‍ර හරහා ලංකාවට ලබාදුන් ප්‍රතිලාභ මොනවාද?
ඩොලර් නැතිවීමෙන් ලංකාවේ විශාල බෙහෙක් හිඟයක් ආවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය හරහා තානාපතිල දැනුවත් කළා ආධාර ලෙස බෙහෙත් ලබා දෙන්න කියලා. බෙහෙත් ලැයිස්තුත් එවා තිබුණා.
මම ඇමෙරිකාවේ ආයතන ප්‍රධානීන්ට හා මට සබඳතා ඇති අයට කරුණු පැහැදිලි කළා. ලංකාවට නොමිලේ බෙහෙත් දෙන්න ආයතන කිහිපයක් කැමති කර ගත්තා. කෙටි කාලයකින් ඩොලර් මිලි 53 ක ( රු කෝටි 1725 ) බෙහෙත් ලංකාවට යැවීමට හැකිවීම ගැන මම ඇතුළු වොෂින්ටන් එම්බසිය සතුටු වෙනවා. පිළිකා හෘද මොළය ඇතුළු රෝග සඳහා මිල අධිකම ඉහළම ප්‍රමිතියේ බෙහෙත් අපි යැවිවෙ. ප්‍රවාහන වියදම පවා ඇමෙරිකාවෙන් ලබා ගන්න අපට හැකිවුණා.
Q ඔබේ මේ කටයුත්ත ලංකාවේ ඖෂධ මාෆියාවට හිසරදයක්. අභියෝග ආවෙ නැද්ද...?
ඇමෙරිකාවෙන් නොමිලේ බෙහෙත් හොයනවට වඩා අමාරු වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ම එවපු ලැයිස්තුවලට හොයපු බේත්වලට අනුමැතිය ගැනීමයි. මට ජනාධිපතිට පවා කීප වරක් කතා කරන්න වුණා.අවංක නිලධාරීන් උදව් කළා.
Q බෙහෙත් වැඩිපුර එවන්නේ ඉන් ඔබටත් පුතිලාභ ලැබෙන නිසාද....නැතහොත් ඇමෙරිකානු ඖෂධ පරීක්ෂණවල මීයන් බවට ලංකාවෙ අය පත් කරගෙන නිසාද..?
නොමිලේ දෙන බෙහෙත්වලට මොන ලෝකෙ ද කොමිස් දෙන්නේ. මිලදී ගන්නව නම් නේ දෙනව නම් කොමිස් දෙන්නේ....
ලෝකයේම භාවිත කරන ඉහළම බෙහෙත් අපි ඇමෙරිකාවෙන් එව්වේ. ඒවා සමහර රටවල වගේ පැදුරුවල දාල අව්වෙ වේලන බාල බෙහෙත් නෙවෙයි.
Q ඖෂධවලට අමතර සහායක් ඇමෙරිකාවෙන් ලංකාවට ලබා ගන්න බැරි වුණාද...?
US Aid එකෙන් ඩොලර් මිලියන 300 (රු කෝටි 9990) ක පමණ උදව් පසුගිය වසර 1 1/ 2 දි ලංකාවට ලැබුණා. මහ කන්නයට පොහොර ගත්තෙ ඒ හරහායි. DFC ආයතනය ඩොලර් බිලියනයක ( රු කෝටි තිස් දෙදහස් තුන්සියයක) විශාල මුල්‍ය පහසුකමක් ලංකාවට දුන්නා. කොළඹ බටහිර ජැටියට දුන් ඩො. මිලි. 553 ත් ඊට ඇතුළත්. ඒ ප්‍රධානියා එක්ක තව ආයෝජන රැසක් ලංකාවට ගේන්න කතා කරගෙන යනවා. තව ඇමෙරිකානු ආයතන හා සංවිධානවලින් ලංකාවට විශාල උදව් ලබා දෙන්න අපි මැදිහත් වුණා.
Q ඔබ හැම ආණ්ඩුවකම ඇමති, මන්ත්‍රී, තානාපති. එහෙම වෙන්නෙ කොහොමද.?
1987 පළාත් සභා හා 94 ඉඳල මම පාර්ලිමේන්තුවේ ඉන්නවා. ජනතාවයි මාව ගෙනාවේ. ඒ අතරෙ මගේ හැකියාවන් අඳුනාගත් සමහර නායකයන් හා සමහර ආණ්ඩු මගෙන් රටට වැඩ ගන්නවා. මට ඒ ගැන සතුටුයි.
Q මෙය මැතිවරණ වසරක්. ඔබ යළිත් දේශපාලනයට එනවාද...?
දේශපාලනයට වඩා වැඩි සේවයක් මෙවැනි තනතුරකින් කළ හැකියි. මම එය ඔප්පු කළ බව හුඟ දෙනෙක් කියනවා. එම සේවය තවදුරටත් රටට කරන්න මම සූදානම්. ඇමෙරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වඩාත් ගොඩනැගු නිසයි බොහෝ උදව් අද ලැබෙන්නේ. මෙක්සිකෝවෙත් වෙළෙඳ කටයුතු සඳහා ගිවිසුමක් අත්සන් කළා.
Q අසරණ වෙලා ඉන්න කළුතර දිසාව ඇතුළු ලංකාවේ ජනතාවට 2024 ට ලබා දෙන පණිවිඩය....?
ඉවසීම, නීති ගරුකවීම, එකමුතුකම රට වෙනුවෙන් කැපවීම හා නාස්තිය දූෂණය පිටුදැකීම නව වසරේ අධිෂ්ඨානය කරගනිමු. දියුණු රටවල් එතනට ආවේ මැජික්වලින් නොව එවැනි කැපවීම්වලින් බව ලංකාවම හිතට ගැනීම වටිනවා.
සංවාද මෙහෙවර
අශෝක ජයතුංග
(වොෂින්ටන් DC සිට)