දේශපාලනඥයින් මහත්වීම ජනතාව කෙට්ටුවීම


දිනක් ඇමතිවරයෙකු අසනීපව සිටි තම ඡන්ද දායකයෙක් බැලීමට රෝහලට ගියේය. රෝගීව සිටි ඡන්ද දායකයා ඇමතිවරයා එන විට තම රෝහල් ඇඳෙහි කතා කර ගන්නටවත් අමාරුවෙන් සිටියේය. මොන ලෙඩක් තිබුණත් දේශපාලන උණක් ඇම්මක් තිබූ රෝගියා ඇමති දුටු සැණින් නැගී සිටියද ඔහුට කතා කර ගන්නට බැරි විය. ‘මොකද තමුසෙට වුණේ ඇමතිවරයා අසත්ම එතැන සිටි පුද්ගලයකු තම ලෙඩා වෙනුවෙන් කතා කළේය.

‘සර් මිනිහට රුපියලක් ගිලිලා’ ඇමති මේ බව අසා කීවේ ‘අයියෝ. රුපියලක් ගිලිලද ඕක මොකක්ද’ කියාය. ඇමති යන්නට හැර එතැන හිටපු අයෙක් කීවේ ‘ඔව් ඉතින් ඇමතියට නම් ඕක මොකක්ද. උන් ගිලින්නේ කෝටි ගණන්නෙ රුපියලක් ගිලුණු එක සුළු දෙයක් තමයි’ කියාය.

මේ කතාව අහන්නට ලැබුණේ මිතුරකුගේ සාදයක් අතරතුරදීය. මෙය විහිළු කතාවක් වුවත් කතාව ඇත්තය. දේශපාලනඥයන් මහත්වන්නට හැමදාම කටයුතු කළත් කවදාවත් කෙට්ටු ජනතාව මහත් කරන්නට කිසිවෙකුට අවශ්‍ය වූයේ නැත. ජනතාව වෙනුවෙන් කටයුතු කළ, බලය අනිසි ලෙස පාවිච්චි නොකළ දේශපාලනඥයන් වෙතොත් ඒ අතලොස්සකි.

යූ.බී.වන්නිනායක එවකට හිටපු මුදල් ඇමතිධුරය හෙබ වූ අතර, ඒ 1964 – 1970 හත් හවුල් ආණ්ඩුවේය. දිනක් මහජන බැංකුවේ ලිපිකරු පත්වීමක් සඳහා අයදුම්පතක් ලැබී තිබුණේ වන්නිනායක නම් තරුණයෙකුගෙනි. අවශ්‍ය සුදුසුකම් තිබූ හෙයින් ඔහුට කැඳවීමක් ලැබිණි. සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳ වූ අවස්ථාවේදී එහි නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කළේය. ඔහොම ප්‍රශ්න අසමින් යන අතරේ පියා පිළිබඳ විමසන අවස්ථාවේ ඔහු තම පියා රටේ මුදල් ඇමති බව කීවේය. නිලධාරීන් සියල්ල කලබලයට පත්විය. මෙහි ඇති හොඳම කාරණය නම් වන්නිනායක මහතාගේ පුතා අඩුම තරමින් ඉල්ලුම් පත්‍රයක් දැම්මාවත් කියා නිලධාරීන් දැනුවත් හෝ නොකර සිටීමය.

සිරිමාවෝද එහෙමය. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය ධුරය දරන කාලයේදී තම දරුවන්ගේ ප්‍ර‘යෝජනය සඳහා එක් පෞද්ගලික මෝටර් රථයක් වෙන් කර ගත්තාය. නමුත් දිනක් චන්ද්‍රිකා මවගේ ප්‍ර‘යෝජනයට තිබූ නිල රථයක් මිතුරියක් බැලීමට යෑමට යොදා ගත්තාය. මේ බව දැනගත් සිරිමාවෝ දුම්මල වරම අතට අරගෙන චන්ද්‍රිකාට හොඳටම දෙහි කැපුවාය.

මේ සියල්ල වෙනස් වෙන්නේ 1977 ජේ.ආර්ගේ ආගමනයත් සමගය. දිනක් ජේ.ආර්. විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රධානෝත්සවයකදී තම විධායක බලතල පිළිබඳ මෙසේ කීවේය.

‘මම ඡන්දයෙන් තේරුණු පළමුවැනි විධායක ජනාධිපති. රාජ්‍ය නායක. ආණ්ඩු නායක. එය ප්‍රබල පදවියක් වන අතර වගකීම් සහිත පදවියක්. මෙම පදවිය අන්‍යයන්ද ඉදිරි කාලයේ දරනු ඇති. එසේ පදවි කාලයේදී අනුගමනය කිරීමට වටිනා පූර්වාදර්ශ සපයමි.’

ජේ.ආර්. දුන් පූර්වාදර්ශයක් නැත. ඔහු පැවසුවේ මේ ව්‍යවස්ථාවෙන් කරන්න බැරි ගැනියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගැහැනියෙක් කරන්නත් විතරයි කියාය. ජනාධිපතිවරයාට හිමි ධුර කාල දෙක තුළ පාර්ලිමේන්තුවට හෝ ජනතාවට හෝ වෙනස් කළ නොහැකි සර්වබලධාරී බලයක් ඔහු ආරෝපණය කරමින් බලය තමන්ට සිතැඟි පරිදි හැසිර වූ අතර බලය උපරිමයෙන් ප්‍රදර්ශනය කරමින් උපරිම ලෙස භුක්ති වින්දේය.

ජේ.ආර්.කළේ තම දේශපාලන ආධාරකරුවන්ට වගේම ගජ මිතුරන්ටද රටේ පොදු දේපොළ කොල්ලකන්නට ඉඩදීමයි. 1986දී ජයවර්ධන ජනාධිපති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රජයේ නිලධාරීන්ට එරෙහිව ඇති අල්ලස් හෝ චෝදනා පරීක්ෂා කර බැලවීම සඳහා කොලින් තෝමේ විනිසුරුගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කළ අතර එම කොමිසමට පැමිණිලි දහස් ගණනක් ලැබිණි. 1987දී කිසිදු හේතු දැක්වීමකින් තොරව ජනාධිපති ජයවර්ධන එම කොමිසම අහෝසි කළේය. මෙමගින් ජේ.ආර්.ජයවර්ධන පෙන්නුවේ රටේ පාලකයා විදියට පොදු දේපොළ තමන්ට කැමති විදියට අත්පත් කර ගන්නත් ඒවා තමුන්ට කැමති විදියට ප්‍රදානය කරන්නත් හැකි බවය.

ප්‍රේමදාස හා චන්ද්‍රිකා යුගයන්ද එසේමය. ප්‍රේමදාසට සාපේක්ෂව චන්ද්‍රිකාගේ කාලය දේශපාලනඥයන් හා තමාට හිතවත් දේශපාලන හෙංචයියන් මහත් කරවීමට දැඩි ප්‍රයත්නයක් ගත් යුගයකි. 1990 – 2003 අතර රජයේ ව්‍යාපාර 94ක් පෞද්ගලීකරණය කළේය. විශේෂයෙන්ම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේද සමහර රජයේ දේපොළ වික්කේ හිතුවක්කාරී ආකාරයටය. ටෙන්ඩර් කැඳ වූ අවස්ථාවලදී ඉහළම ඉල්ලුම්වලට පවා ටෙන්ඩර් ලබා දුන්නේ නැත. මෙය එකල ලංකාවේ තානාපති ක්‍රීක් මෝර්ගේ පවා විමතියට හේතු වී තිබිණි.

චන්ද්‍රිකා තම හිතවතුන්ට හිතේ හැටියට නටන්න ඉඩ දුන්නේය. ඒ වගේම චන්ද්‍රිකා 1994 අගමැති වුණු වහාම කිව්වේ සමාගමකින් ඩොලර් ලක්ෂ ගණනක පගාවක් දෙන්න ගියා මම ප්‍රතික්ෂේප කළා කියාය. ඇය වහෙන් ඔරෝ කීවේ වර්තමානයේ සුප්‍රසිද්ධ සමාගමක් ගැනය. නමුත් අවසානයේ චන්ද්‍රිකා අදාළ සමාගමට පිටි ඒකාධිකාරිය පවා ලබාදී තිබිණි.

මහින්ද රාජපක්ෂ යුගයත් එහෙමය. මහින්ද රට බේරාගත් නායකයාය. ඒ ගැන තර්ක නැත. මහින්දව කෑවේ වටේ හිටපු අයය. මහින්දත් තමන්ගේ එකාව රැක ගැනීමට අවැසි නිසා ඒවා ගැන බලන්න ගියේ නැත. වටේ හිටපු උදවිය මහින්ද රජෙකුට අන්දවා තම තමන්ගේ හොරකම් යහමින් කරගෙන ගියේය. නමුත් මහින්දට මේවා නවත්වන්ට බැරි විය.

යහපාලන ආණ්ඩුවත් ආවේ දූෂණ නැති කරන්නටය. නමුත් මහා බැංකුවේ බැඳුම්කරයෙන් ආණ්ඩුව හොඳටම නා ගත්තේය. මේ ගැන ප්‍රශ්න කළාම ආණ්ඩුව කිව්වේ ඇයි මේවා ගැන අහන්නේ. පසුගිය ආණ්ඩුව කරපු හොරකම් ගැන අහන්න කියාය. එහෙම අහන්නෙ නැත්තේ ඇයි කියන එක ආණ්ඩුවට තාමත් තේරිලා නැත. යහපාලනය කීවේ දූෂණය නතර කරනවා කියාය. දූෂණ නැති කරන ආණ්ඩුවකට දූෂණ චෝදනා එල්ල වන විට තත්ත්වය ටිකක් භයානකය.

පොහොට්ටුවද, යූ.එන්.පී, ජේ.වී.පී.ද නිදහස් පක්ෂයද කියා වෙනසක් නැත. හැමදාම සිද්ධ වන්නේ බලයට එන ඕනෑම පක්ෂයක දේශපාලනඥයන් මහත් වී ජනතාව කෙට්ටු වීමය. අතරින් පතර හොඳ දේශපාලනඥයන් සිටියද වැඩි හරියක් ඉන්නේ තමන්ගේ මහත්වීම ගැන හිතන අය පමණය. කෙට්ටු නිසා රුපියලත් අහම්බෙන් ගිලුනත් ජනතාවට අමාරුය. මහත නිසා කෝටි ගාණක් ගිල්ලත් දේශපාලනඥයන්ට ගාණක් නැත.

නිපුන් ඒකනායක

 

 



Recommended Articles