දේශපාලනඥයන්ගේ මාධ්‍ය සංදර්ශනවලින් රට අරාජික වීම


තිස් අවුරුදු යුද්ධය පැවති කාලයේදී අප රට එකම මළගෙයක්  බවට පත්විය. යුද්ධයකදී ජීවිත අහිමි වීම සාමාන්‍ය දෙයක් වුවත්, ශාපලත් යුද්ධය නිසා අප රටේ අහිංසක නිරායුධ ජනතාවට විශාල වශයෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූහ. ජීවිතයෙන් වන්දි ගෙවීමට අමතරව වෙඩි උණ්ඩයට, බෝම්බයට හා ත්‍රස්තවාදීන්ගේ තියුණු ආයුධවලට අතපය, ඇස් අහිමිකර ගැනීමටත් සිදුවිය. එහෙත් තිස් අවුරුදු යුද්ධය 2009 වසරේදී අවසන් වූ අතර, මේ නිසා රටට වැඩදායී මිනිසුන් රටේ අනාගතය භාර ගැනීමට සිටිනා තරුණ තරුණියන් හා කිරිසප්පයින්ගේ ජීවිත අකාලයේ අහිමි වී යාම නවතිනු ඇති බවට බොහෝදෙනා සැනසුම් සුසුම් හෙළීය. නමුත් එකී ජනතා බලාපොරොත්තු සුන්කර දමමින් අද දවසේදී දිනපතා මිනිස් ජීවිත අකාලයේ අහිමි වී යමින් තිබේ.


තිස් අවුරුදු යුද සමයේදී තරම් දෛනිකව මිනිස් ජීවිත පොළවට පස් නොවුණද ආසන්න වශයෙන් රිය අනතුරු නිසා දිනකට මිනිස් ජීවිත 8-10ත් අතර ප්‍රමාණයක් අහිමි වී යයි. එමෙන්ම පොදුවේ වසරක කාලයක් තුළ සිදුවන රිය අනතුරුවලින් තුවාල ලබන ප්‍රමාණය ගණනය කිරීමේදී දෛනිකව 15-20ත් අතර ප්‍රමාණයක් බරපතළ තුවාල ලබන බවද වාර්තා වේ.

වෙඩි තැබීම්වලින්, තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම දෛනිකව ගණනය නොකළත් මේ වසරේ ජනවාරි පළමුවන දින සිට ජූලි 10 වන දින දක්වා කාලය තුළ මෙවැනි ඝාතන 220ක් සිදුව තිබේ.
ජූලි 09 වන දින පමණක් වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයන් තිදෙනෙකු මියගිය අතර, තියුණු ආයුධවලින් පහරදීම නිසා ඝාතන දෙකක් සිදුවිය. පොදුවේ 2017 වසරේදී ඝාතන 452ක් සිදුව තිබෙන අතර, 2016 වසරේදී එම ප්‍රමාණය 502කි. 2015 වසරේදී ඝාතන 476ක් හා 2014 වසරේදී ඝාතන සිද්ධීන් 548ක්ද, 2013 වසරේදී ඝාතන සිද්ධීන් 586ක්ද වාර්තා වී තිබේ.

මෙම ඝාතනවලින් සැලකිය යුතු ඝාතන ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ ගිනිඅවි භාවිත කිරීමෙනි. රටේ පවතින නීතියට අනුව ගිනි අවි භාවිත කළ හැක්කේ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට පමණි. ඊට අමතරව වනසතුන්ගෙන් තම වගාවන් ආරක්‍ෂා කිරීමට හා ධනවත් පුද්ගලයන්ට තම ධනය ආරක්‍ෂා කර ගැනීම සඳහා රජයේ අවසරය මත සාමාන්‍ය ගිනි අවියක් භාවිත කළ හැකිය.

මීට අමතරව පෞද්ගලික බැංකුවල ආරක්‍ෂාව සඳහා යොදවා සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් සුළු පිරිසකට ආයුධ භාවිත කිරීමට අවස්ථාව ලබාදී ඇත. බලපත්‍ර මත ගිනිඅවි නිකුත්කර තිබුණද මිනිස් ජීවිත අහිමි වන ආකාරයට අවි ආයුධ භාවිත කිරීමට මෙම පිරිසට අවසර නැත. මෙම කණ්ඩායම්වලට අමතරව සමහර දේශපාලනඥයන් තමන්ගේ පැවැත්ම සඳහා කිරි පොවා ආරක්‍ෂා කරන යම් යම් පුද්ගලයන් අතද ගිනිඅවි තිබෙන බවට ගෙවී ගිය කාලය පුරාම දැකගත හැකිවූ කාරණයකි. අදාළ දේශපාලනඥයා ආරක්‍ෂා කිරීමට අමතරව ජනතාවගෙන් කප්පම් ගැනීම, තම විරුද්ධවාදීන් වෙඩි තබා ඝාතනය කිරීම, ස්ත්‍රී දූෂණ සිදුකිරීම  වැනි ක්‍රියාවලටත් මෙම අවි ආයුධ භාවිත කරනු ලබයි.

සංවිධානාත්මක අපරාධ සිදුකරන බොහෝ කණ්ඩායම් තම අවශ්‍යතා සඳහා මුදල් සොයා ගැනීමට හෙරොයින් ජාවාරම අඩු නැතිව රට තුළ සිදුකරමින් තිබේ. අවි ආයුධ ජාවාරම් පිළිබඳව සලකා බැලීමේදී 2017 වසර තුළදී ආරක්‍ෂක අංශ සාමාජිකයන් සිදුකළ මෙහෙයුම්වලදී T. 56 ගිනි අවි 34ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙරට ආරක්‍ෂක අංශ වැඩි වශයෙන්ම භාවිත කරනු ලබන්නේද මෙම ගිනි අවියයි.

එමෙන්ම පිස්තෝල අවි 23ක්, රිවොල්වර් අවි 22ක්, ගල්කටස් අවි 17ක් හා වෙනත් අවි 798ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන තිබෙන මුළු ජීව පතොරම් ප්‍රමාණය 2882කි. මේ වසරේ ජනවාරි පළමු වන දින සිට මැයි 31 වන දින දක්වා කාලය තුළදී T. 56 ගිනි අවි 14ක්, පිස්තෝල 11ක්, රිවොල්වර් 10ක්, ගල්කටස් 16ක්, වෙනත් අවි 284ක් හා උණ්ඩ 7375ක් අත්අඩංගුවට ගෙන තිබේ. 

පොදුවේ 2017 වසරේදී ගිනි අවි 798ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මේ වසරේ පළමු මාස 05 තුළදී ගිනි අවි 335ක් අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ කල්ලි හා බැඳී පවතින අනෙක් ජාවාරම් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. 2017 වසරේදී සිදුකළ වැටලීම් 29,282ක ප්‍රමාණයකදී හෙරොයින් කිලෝ 278 ග්‍රෑම් 378 මිලිග්‍රෑම් 162ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ජූලි 10 වැනිදා දක්වා කාලය තුළ හෙරොයින් කිලෝ 150කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව මෙම කාලය තුළ කංසා කිලෝ 2,750කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, පසුගිය වසර තුළ කංසා කිලෝ 4,660ක් අත්අඩංගුවට ගෙන ඇත.
2017 වසරේදී කොකේන් කිලෝ 220 ග්‍රෑම් 697 මිලිග්‍රෑම් 530ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ජූලි 02 වැනිදා දක්වා කාලය තුළ %හෂීෂ්^ මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 979 මිලිග්‍රෑම් 150ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ කොකේන් කිලෝ 11 ග්‍රෑම් 560 මිලිග්‍රෑම් 454ක් අත්අඩංගුවට ගෙන ඇත. 

සංවිධානාත්මක අපරාධකරුවන් හා බැඳී පවතින තවත් ජාවාරමක් වන්නේ ස්ත්‍රී අපයෝජනයයි. සාමාන්‍ය නූගත් පුද්ගලයන් අතින් හා ප්‍රේම සම්බන්ධතා මතද ස්ත්‍රී අපයෝජන සිද්ධි වාර්තා වේ. මේ අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා කාලය තුළ ස්ත්‍රී අපයෝජන සිද්ධි පිළිබඳ පැමිණිලි 734ක් ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබේ.  

2017 වසරේදී ආරක්‍ෂක අංශවලට ලැබී තිබෙන ස්ත්‍රී අපයෝජන සිද්ධි ප්‍රමාණය 1,732කි. 2014 වසරේදී එම ප්‍රමාණය 1,996කි. 2015 වසරේදී පැමිණිලි 2,033කි. 2014 වසරේදී පැමිණිලි 2,008ක් හා 2013 වසරේදී පැමිණිලි 2,181ක් වාර්තා වී තිබේ. එක් පැමිණිල්ලකට එක් අපයෝජන සිද්ධියක් අයත් වන අතර, ඇතැම් කාන්තාවන් තමන්ට අපයෝජනයක් සිදු වුවද, ලංකාවේ පවතින සමාජ තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂක අංශ වෙත පැමිණිලි නොකරන බවද වාර්තා වේ. අප රට තුළ මෙවැනි සිද්ධි කෙතරම් වාර්තා වුවද, රටේ ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කළ යුතු පාලකයන් හා දේශපාලනඥයන් ගෙවීගිය කාලය පුරාම සිදු කරනු ලැබුවේ පසුගිය වසරට වඩා අපරාධ අඩුවී ඇති බවට පාරම්බෑම පමණි. සිදු විය යුතුව තිබුණේ පසුගිය වසරට සාපේක්‍ෂව අපරාධ අඩුවී තිබෙන බවට කයිවාරු ගැසීම නොවේ, මනුෂ්‍යත්වයෙන් පිරුණු සමාජයක් ගොඩනැගීම සඳහා රට තුළ ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමය. 

මීට අමතරව සංවිධානාත්මක අපරාධකරුවන් දේශපාලනඥයන්ගේ සුරතලුන් බවට පත්ව තිෙබ්. පොලීසිය මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඉන් පසුව බන්ධනාගාරගත කළද, එම පිරිස් බන්ධනාගාරය තුළ සිටිමින් ජාවාරම් සිදු කිරීම සිදුකරනු ලබයි. වැරදිකරුවන්ට යම් දඬුවම් ලබා දෙන්නේ බාහිර සමාජයෙන් එම පුද්ගලයා ඈත්කර තැබීමටය.

එහෙත් මේ වන විට වාර්තා වන සිද්ධිවලට අනුව සමහර බන්ධනාගාර ජාවාරම්කරුවන් ජාවාරම් කිරීමට තිබෙන තෝතැන්නක් බවට පත්ව ඇත. මෙහි තිබෙන භයානකම තත්ත්වය වී ඇත්තේ මරණ දඬුවම නියම වී එල්ලුම් ගස අබියස සිටින පිරිස් පවා සිරගෙදර සිට ජාවාරම් සිදු කිරීමය. රටේ පවතින නීතියට අනුව ජනාධිපති පොදු සමාව නොලැබුණොත් කිසිදාක ඔවුන් සාමාන්‍ය සමාජයට එක් නොවන කණ්ඩායමකි. එල්ලා මැරීම හෝ වෙනත් මාර්ගයකින් මරණ දඬුවම ක්‍රියාත්මක නොකළද, ඔවුන්ට මිය යන්නට සිදු වන්නේ සිරමැදිරියක් තුළදීය. එවැනි තත්ත්වයකට පත්වන පුද්ගලයෙකුට මුදල් අවශ්‍ය වන්නේ නැත. බලය අවශ්‍ය වන්නේද නැත.

එහෙත් මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයන් මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාත්මක කිරීමට අමතරව සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවන බවද දැන් ප්‍රසිද්ධ කරුණක් වී තිබේ. බන්ධනාගාරයේ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහයෝගය මත සිදු කරන මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.

මෙහිදී සොයා බැලිය යුතු ප්‍රධාන කරුණ වන්නේ මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයෙකුට සමාජගත වීමට නොහැකි බවට දැන දැනත් සිරවී සිටිමින් මුදල් සොයන්නේ ඇයිද යන්නය. මෙලෙස මුදල් උපයා ගැනීමට ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් තිෙබන බවට අනුමාන කළ හැකිය. ඉන් එක් අරමුණක් වන්නේ මරණ දඬුවම නියම වී සිටියද, කෙදිනක හෝ ඔවුන්ව සමාජගත විය හැකිය යන බලාපොරොත්තුව තිබෙන නිසාය.

අනෙක් කාරණාව වන්නේ බන්ධනාගාරය තුළදී අතමිට මුදල් ගැවසෙනවා නම්, ඒ හරහා දූෂිත නිලධාරීන් මුදලට ලබාගෙන අවශ්‍ය සැප සම්පත් විඳීමටය. මීට අමතරව වසර ගණනාවකට සිරගත වූවන් මෙවැනි ජාවාරම් සිදු කරනු ලබන්නේ තමන් නිදහස් වී ගිය පසු වියදම් කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට විය හැකිය.

මේ නිසා වසර ගණන්වලට සිරගත වී සිටින පුද්ගලයන් සිරගෙදර තුළදී යම් වෘත්තීය පුහුණුවකට යොමු කිරීම හා සුළු වැරදි සම්බන්ධයෙන් සිරගත වී සිටින පුද්ගලයන් රජයේ පොදු වැඩවලට යොදවා ගැනීම හරහා ඔවුන්ගේ මානසිකත්වය වෙනස් කිරීමට හැකියාව ලැබේ. එහෙත් අද දවසේදී සිදු වන්නේ නියමිත ප්‍රමිතිවලට අනුව ආහාරපාන ලබාදී නොමිලේම නැවතුම් පහසුකම් ලබාදී ජාවාරම්කරුවන්ව ආරක්‍ෂාව යටතේ ජාවාරම් කිරීමට අවස්ථාව සලසා දීම පමණි.

සිරගත වූවන්ට සිදු කිරීමට වැඩකොටසක් තිබෙනවා නම් ඔවුන්ට වෙනත් දේවල් සිදු කිරීමට කාලයක් වෙන් වන්නේ නැත. එසේත් නොමැති නම්, සිත යොමුවන්නේද නැත. මේ නිසා අඩුම තරමින් රෝහල්වල බාහිර රෝගී අංශවලට අවශ්‍ය ඖෂධ කවරවල සිට අවශ්‍ය බහාලුම් සියල්ල බන්ධනාගාර හරහා ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.

මීට අමතරව අද දවස වන විට ලංකාව තුළ නිෂ්පාදනය කළ හැකි කැටපෝලය, පහන් කූඩුව, සරුංගලය, විල්බැරෝව, තාච්චිය වැනි සුළු උපකරණ පවා විදේශ රටවලින් ගෙන්වනු ලැබේ. මේ නිසා බන්ධනාගාර හරහා මෙවැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කර ගැනීමටද හැකියාව තිබේ. එළිමහන් කඳවුරු තුළදී වගා කටයුතු කිරීම, සත්ත්ව පාලනය, බේකරි නිෂ්පාදනය, ගඩොල් කැපීම වැනි කර්මාන්තවල නිරත වීමට සිරකරුවන්ට සිදුව තිබේ. මේ නිසා සුළු වැරදි සම්බන්ධයෙන් මාස තුන, හය හා වසරක් දෙකක් වැනි කෙටි කාලවලට සිරගත කරන පුද්ගලයන් මෙවැනි ස්ථානවලට යොමුකර අදාළ සුභසාධන කටයුතු සිදු කළ හැකිය. 

සිරගත වූවන් පුනරුත්ථාපනය කිරීමට අමතරව අද දවස වන විට සමස්ත සමාජයෙන් අතිබහුතර ප්‍රමාණයක් පුනරුත්ථාපනය කළ යුතු තත්ත්වයට පත්ව තිබේ. මේ නිසා පන්සල, පල්ලිය, කෝවිල මුල්කර ගනිමින් මෙවැනි වැඩපිළිවෙළ සකස් කළ යුතුය. ඒ තුළින් ග්‍රාමීයව හා නාගරිකව සිදුවන සියලුම නීතිවිරෝධී ක්‍රියා අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මීට අමතරව රිය අනතුරුවලින් ජනතාව බල්ලන්, බළලුන් සේ මිය යෑම වළක්වා ගැනීම සඳහා නිවැරදි රිය පුහුණුවක් හා මාර්ග නීති කඩකිරීම්වලට ලබාදෙන දඬුවම ඉහළ දැමිය යුතුය. එහෙත් අද වන විට රට තුළ සිදුවෙමින් පවතිනුයේ මාර්ග නීති උල්ලංඝනය කරන්නන් යහමගට ගැනීමට වැඩපිළිවෙළක් නොවේ. සිදුකර තිබෙනුයේ රටේ ආදායම් වැඩිකර ගැනීම සඳහා දඩ මුදල් වැඩි කිරීමේ ජාවාරමකි.
පොදුවේ යම් යම් පිරිස් නීතිවිරෝධී කටයුතු සිදු කරන්නේ නම් එය ජාවාරමක් වනවා සේම, ආණ්ඩුව ජනතාවගේ මුදල් කඩාවඩා ගැනීම සඳහා යමක් සිදු කරනවා  නම් එයද ජාවාරමකි.

අද දවස වන විට ආණ්ඩුව එම ජාවාරම් ක්‍රියාත්මක කර තිබේ. සිදු කළ යුතුව තිබුණේ මාර්ග නීති කඩ කරන්නන්ට දැඩි දඬුවම් ලබාදෙන ක්‍රමයක් හා රිය බලපත්‍රය අහෝසි කර දැමීම සඳහා නීති දැඩි කිරීමය. එහෙත් සිදු වූයේ අලුතින් ස්ථානීය දඩ වර්ග 10ක් හඳුන්වා දී දඩ මුදල් ඉහළ දැමීමය.  

මුදල් වියදම් කර උප්පැන්න සහතිකය, චරිත සහතිකය, උපාධි සහතිකය, රියදුරු බලපත්‍රය සකස් කර ගැනීම වැනි ක්‍රියා සිදු වන රටේ දඩ මුදල් ඉහළ දමා ගැනීම තුළින් යහපත් රියදුරෙකු බිහිවීම නොෙව්. මේ නිසා අභියාචනාවලදීත් මරණ දඬුවම නියම වූ වැරදිකරුවන්ව දඬුවම ක්‍රියාත්මක කළ යුතු කාලය එළැඹ තිබෙන අතර, රජයේ ආදායම් අමතක කර සෞභාග්‍යමත් රටක් බිහි කර ගැනීම සඳහා පාලකයන් හා ආගමික නායකයන් පෙරමුණ ගැනීමට කාලය එළැඹ තිබේ. 



Recommended Articles