දේශපාලනඥයන් රාජ්‍ය සේවය විනාශකර දමනවා


පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවය බරපතළ ගැටලු ගණනාවකට මුහුණදී සිටින බව රාජ්‍ය සේවකයන් සඳහන් කරන කාරණයකි. මීට අමතරව අයවැයක් සම්මත නොවීම හේතුවෙන් ලබන වසරේ ජනවාරි මාසයේ සිට වැටුප් ලැබීම් පිළිබඳවත් රාජ්‍ය සේවය තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ. මේ නිසා මේ පිළිබඳව විමසීමට රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා සමග කතාබහක නිරත වීමට අද අප සිතුවෙමු.


ස්ථාන මාරු

ලබන වසරේ ජනවාරි පළමු වැනි දින සිට රාජ්‍ය සේවයේ ස්ථාන මාරු තිස්දහසක් පමණ සිදු වෙන්න නියමිතව තිබුණ අදාළ කටයුතු වෙනුවෙන් මාරු මණ්ඩල පවා රැස්වුණා. ඒත් පවතින දේශපාලන අර්බුදය නිසා ඒ සියලුම දේවල් මේ වනවිට ඇනහිටලා තියෙන්නේ. මේක බරපතළ කාරණයක්. මොකද යම් නිලධාරියෙකුට, සේවකයෙකුට තමන් සේවය කරන ස්ථානයෙන් වෙනත් ස්ථානයකට යන්න ලැබෙන්නේ වසර ගණනාවකට පසුවයි. ජනවාරි මාසය තුළ ස්ථාන මාරු සිදු නොවුණහොත් මෙම පිරිසට බරපතළ ගැටලු ගණනාවකට මුහුණදෙන්න සිදු වෙනවා.

වසර මැද ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම

වසර මැද ස්ථාන මාරු ක්‍රියාත්මක වුණොත් පොදුවේ රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට නව පාසලකට ඇතුළත්වීමේ ගැටලු ඇතිවනවා. මොකද වසර මැද දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සිදු නොවන නිසා. ඒ වගේම ගුරුවරුන් වසර මැද ස්ථාන මාරු වුණොත් ගුරුවරුන්ට වගේම දරුවන්ටත් දැඩි අසාධාරණයක් සිදු වෙනවා. මොකද තමන් ඉන්න පාසලේ ඉගැන්වීම් කටයුතු මාස හතරක් පහක් කරලා ඉන්පසුව වෙනත් පාසලකට යන්න වුණොත් අදාළ පාසලේ විෂය නිර්දේශ ඉගැන්වීම පිළිබඳව හැඩ ගැසෙන්න කාලයක් ගත වෙනවා. මේ නිසා රාජ්‍ය සේවයේ සියලුම දෙනාට ජනවාරි පළමු වැනි දින සිට 31 වැනි දින දක්වා කාලය තුළ ස්ථාන මාරුවීම ලබාදෙන්න කටයුතු සිදු වෙන්න ඕන.

මුදල් වියදම් කිරීම

දෙසැම්බර් 31 වැනි දින දක්වා මුදල් වියදම් කිරීම ගැන විශාල ගැටලුවක් නැහැ. ඒත් ජනවාරි පළමු වැනි දින සිට රාජ්‍ය සේවයෙන් රටට ඉටු විය යුතු වැඩ කිරීමට නම් අයවැයක් සම්මත වෙන්න ඕන. ඒත් මේ තියෙන තත්ත්වය මත කඩිනමින් එහෙම දෙයක් වෙවිද කියලා කියන්න බැහැ. අතුරු සම්මත ගිණුමක් අනුමත වුණත් එය මාස 03කට පමණ වලංගු වන්නේ. යම් ලෙසකින් අතුරු සම්මත ගිණුම අනුමත නොවුණහොත් විශාල ගැටලුවක් ඇති වෙනවා. රාජ්‍ය සේවයේ කටයුතු සිදු කරන්න වසරින් වසර ප්‍රමාණවත් මුදල් වෙන් කරනවා. ඒ දේ කරන්න අනිවාර්යෙන්ම අයවැයක් අවශ්‍ය වෙනවා. දෙසැම්බර් 31 වැනි දින දක්වා රාජ්‍ය සේවයේ මුදල් වියදම් කරන්නේ පසුගිය වසරේ සම්මත වූ අයවැය තුළින්.

වැටුප් ඉහළ යෑමේ බලාපොරොත්තුව

රාජ්‍ය සේවකයාගේ වැටුප් ඉහළ යෑමේ බලාපොරොත්තුව මේ වනවිට සම්පූර්ණයෙන්ම බිඳ වැටෙමින් තියෙන්නේ. මොකද අයවැය යෝජනා තුළින් තමයි රාජ්‍ය සේවක වැටුප ඉහළ දමන්නේ. මේ නිසා පවතින ජීවන වියදමට සරිලන ලෙස වැටුප් ඉහළ දමන ලෙස රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති පසුගිය කාලයේදී මුදල් අමාත්‍යාංශයට යෝජනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළා. එම යෝජනා අතර රාජ්‍ය සේවක වැටුප රුපියල් පන්දහසකින් ඉහළ දැමීම පිළිබඳව විශාල කතාබහක් ඇති වුණා. ඒත් ඇති වී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය නිසා ඒ පිළිබඳව කිසිවෙක් කතාබහක්වත් කරන්නේ නැහැ. වැටුප ඉහළ දැමීමට නම් ඒ යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන.

ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප

ලබන වසරේදී සැලකිය යුතු වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වුණත් මේ වනවිට ලැබෙන වැටුපවත් ජනවාරි මාසයේ සිට ලැබේවිද කියන ගැටලුව මේ වනවිට ඇති වෙලා තියෙනවා. මොකද රාජ්‍ය සේවයේ වැඩ කරන්න මුදල් වෙන් කරන්නේ අයවැය තුළින් වගේම රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමටත් අය වැය තුළින් මුදල් වෙන් කරලා අනුමත කරන්න ඕන. නොවැම්බර් මස 05 වැනි දින ලබන වසරට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ. ඒත් පවතින අර්බුදකාරී තත්ත්වය නිසා එක සිදුවුණේ නැහැ. මේ නිසා නොවැම්බර් මාසය තුළදී අතුරු සම්මත ගිණුමක් අනුමත කරනවා කියලා කතා බහක් ඇති වුණා. දැන් දෙසැම්බර් මාසයත් ලැබුවා. ඒත් තාම එහෙම දෙයක්වත් නැහැ.

රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමභාවය

වසර ගණනාවක සිට ඒ පිළිබඳව කතාබහක් ඇති වෙලා තියෙනවා. පොදුවේ වෘත්තීය සමිති ලෙස අපි ඒ පිළිබඳව සොයා බැලුවා. මේ සොයා බැලීම්වලට අනුව එවැනි තත්ත්වයක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙන බවට පැහැදිලි වුණා. ඉන් පළමු කාරණය තමයි රාජ්‍ය සේවයට සිදුවන දේශපාලන ඇඟිලි ගැසීම්. කොච්චර හොඳ නිලධාරීන් හිටියත් වැඩක් නැහැ වැඩ සිදුකරන්න වෙන්නේ දේශපාලන උපදෙස්වලට අනුව නම්. අද වනවිට බොහෝ ආයතනවලට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. අනිත් කාරණය තමයි දේශපාලන හිතවත්කම මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම. දේශපාලන හිතවත්කම් මත බඳවා ගන්නා පුද්ගලයා හොඳ උගත් බුද්ධිමත් ක්‍රියාශිලී කෙනෙක් වෙන්න ඇති. ඒත් ඔහු රාජ්‍ය සේවයට බඳවාගෙන තිබෙන්නේ දේශපාලනඥයෙක් නිසා ඒ නිලධාරීයාට සේවකයාට දේශපාලනඥයා කියන දේවල් ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කරන්න වෙනවා. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේ නිසා රාජ්‍ය සේවයේ සියලුම බඳවා ගැනීම ආයතන සංග්‍රහයට අනුව ඒ ඒ ක්‍ෂේත්‍රවල පවතින බඳවා ගැනීම් පටිපාටිවලට, සේවා ව්‍යවස්ථාවලට අනුව සිදු කරන ක්‍රමය නැවත කඩිනමින් ඇති කරන්න ඕන. මීට වසර ගණනාවකට පෙර ඒ විදිහට තමයි බඳවා ගැනීම් සිදුකළේ. ඒත් ඒ ක්‍රමය දේශපාලනඥයන් විසින් විනාශ කරලා දැම්මා. අන්තිමට රාජ්‍ය සේවයත් අකාර්යක්ෂම තත්ත්වයට පත් වෙමින් තියෙන්නේ.

පෙළපොත් හා නිල ඇඳුම් ගැටලුව

අපිට වාර්තා වෙලා තියෙන්නේ හිටපු විෂයභාර අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පෙළපොතේ තිබෙන නිසා පෙළපොත් බෙදාහැරීම ප්‍රමාද කරා කියන එකයි. කොහොම වුණත් පෙළපොත් පාසල් දරුවන්ට ලබාදීම ප්‍රමාද කිරීම පිළිබඳව අපි විරෝධය පළ කරනවා. මොකද පෙළපොත් නිවාඩු මාසයට පෙර ලබාදීම තුළින් නිවාඩු කාලයේදී දරුවන්ට පෙළපොත්වලට පිට කවර දැමීමට හැකියාව තියෙනවා. ඒ වගේම ලබන වසරේ පාසල් ආරම්භ වනවිට දරුවන් පෙළපොත්වල පාඩම් වැඩ කරලා තියෙන නිසා අධ්‍යාපන කටයුතුවලට එය විශාල වාසියක් වෙනවා. ඒත් මෙවර නිවාඩුව ආරම්භ වීමට පෙර සම්පූර්ණයෙන්ම පෙළපොත් ටික බෙදා ගන්න බැරි වුණා. ඒකට පාලක පන්තිය වග කියන්න ඕන.

නිල ඇඳුම් රෙදි ලබාදීම හරහා නිවාඩු කාලයේදී දරුවන්ට නිල ඇඳුම් සකස් කර ගන්නා හැකියාව තියෙනවා. ඒත් මෙවර නිල ඇඳුම් ලබා දෙන්නේ ලබන වසරේ පාසල් වාරය ආරම්භ වුණාට පස්සේ. මේ නිසා දුප්පත් අම්මා තාත්තාගේ දරුවන්ට ලබන වසරේ පාසල් වාරය ආරම්භ වනවිට අලුත් ඇඳුම් ඇදගෙන එන්න ලැබෙන්නේ නැහැ. ඒක දරුවන්ට කරපු ලොකු අසාධාරණයක්. මේ නිසා සියලුම දෙනා එකතු වෙලා නිවාඩු මාසයේදී නිල ඇඳුම් රෙදි, පෙළපොත් දෙන කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි.රටේ ප්‍රශ්න කොච්චර තිබුණත් කවුරු හෝ මේ යුතුකම කරන්න ඕන. මොකද අනාගතයේ රට භාර ගන්න ඉන්නේ දරුවන් නිසා.

රාජ්‍ය සේවයේ උසස්වීම් ගැටලු

6/2006 චක්‍ර ලේඛයට අනුව සෑම රාජ්‍ය ආයතනයක්ම බඳවා ගැනීම හා උසස්වීම් පටිපාටි සකස් කළ යුතුව තිබුණා. ඒත් බොහෝ ආයතනවල මේ දේවල් සිදු කළේ නැහැ. මේ චක්‍ර‍ෙල්ඛය නිකුත් කළේ 2006 ජනවාරි පළමු වැනි දින සිට ක්‍රියාවට නැංවීමට. 6/2006 චක්‍ර ලේඛනයට අනුව කටයුතු නොකිරීම නිසා රාජ්‍ය සේවකයන්ට උස්සවීම් ගැටලු වගේම වැටුප් විෂමතාත් ඇතිවෙලා තියෙනවා. මේ හරහා රාජ්‍ය සේවකයන් අතිවිශාල ප්‍රමාණයකට දැඩි අසාධාරණයක් සිදු වෙලා තියෙන්නේ. මොකද පවතින තත්ත්වය තුළ තමන්ට හිමි විය යුතු උසස්වීම් ලැබෙන්නේ නැහැ. නියමිත වැටුප ලැබෙන්නේ නැහැ.

සේවා මූලික කර ගනිමින් වැටුප් වැඩි කිරීම

මේක බරපතළ කාරණයක්. සමහර වෘත්තීය සමිති තනිවම සටන් කරලා අදාළ සේවාවේ වැටුප ඉහළ දමා ගන්නවා. මේ හරහා සිදු වන්නේ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඇතිවීමයි. ඇතිවන වැටුප් විෂමතා විසඳා ගන්න ඉන් පසුව වෙනත් වෘත්තීය සමිති අරගල කරනවා. ඒක රටකට හොඳ නැහැ. මොකද රාජ්‍ය සේවයේ වැටුප් සකස් කරලා තියෙන්නේ යම් ක්‍රමවේදයකට අනුවයි. මේ ක්‍රමවේදයේ සුළු හරි වෙනස්කමක් වෙනවා කියන්නේ බරපතළ කාරණයක්. දැනට එවැනි ගැටලු ඇති වෙලා තියෙන්නේ. මේ නිසා එවා කඩිනමින් නිවැරදි විය යුතුයි.

රාජ්‍ය සේවක අවම වැටුප

කෙනෙකු රැකියාවක් කරන්නේ ජීවත් වෙන්න අවශ්‍ය ආහාර ටික, ඇඳුම, පැලඳුම ගන්න. ඉන්න නිවසක්, දරුවන්ට හොඳට උගන්වන්න. ඒත් පවතින ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප හා ඒ ආසන්න වැටුල ලබන පිරිස් දැඩි අසරණ තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. මොකද රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලක අවම මාසික වියදම රුපියල් හැට දහසක් බවට පෙන්වා දීලා තියෙනවා. ඒත් අම්මයි, තාත්තායි දෙන්නම රජයේ රැකියා කළත් දරුවන් දෙන්නෙක් ඉන්න පවුලක් නඩත්තු කරන්න තරම් වැටුපක් ලැබෙන්නේ නැහැ. මේ නිසා මිනිස්සුන්ට ජීවත් විය හැකි ලෙස වැටුප සකස් කරන්න ඕන. එහෙම නැත්තම් බඩු මිල පහළ දමලා අනෙකුත් සේවාවල පවතින මිල ගණන් පහත දමන්න ඕන.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප

2016 ජනවාරි පළමු වැනි දින සිට රාජ්‍ය සේවයේ පූර්ණ විශ්‍රාම වැටුප අහෝසි කරලා දැම්මා. ඒක දැඩි අසාධාරණ කටයුත්තක්. මොකද වසර තිහක් හතළිහයක් සොච්චම් වැටුපකට රටට සේවය කරන සේවකයාට විශ්‍රාම ගිය පසු පවුලේ පිරිස් සමග සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙන්න ඕන. පූර්ණ විශ්‍රාම වැටුප සුළු මුදලක් වුණත් ඒ හරහා පවුලට යම් රැකවරණයක් තිබුණා. ඒත් 2016 ජනවාරි මාසයේ සිට හඳුන්වලා දීලා තියෙන්නේ දායකත්ව විශ්‍රාම වැටුපක්. මේකෙන් වෙන්නේ රාජ්‍ය සේවකයා විශ්‍රාම ගිය පසු ඔහු මිය යනකන් පමණක් විශ්‍රාම වැටුපක් ගෙවීම. මෙතෙක් වෙන්නේ විශ්‍රාමිකයාගෙන් යැපුණු අනෙකුත් පාර්ශ්වවලට ජීවත් වෙන්න මාර්ගයක් නැති වෙන එක. මේ නිසා පූර්ණ විශ්‍රාම වැටුපක් දිනා ගැනීමේ සටන අඛණ්ඩව රාජ්‍ය සේවය තුළ සිදු වෙනවා.

විශ්‍රාම වැටුප

විශ්‍රාම යන කොට බොහෝ රාජ්‍ය සේවකයන් රෝගීන් බවට පත් වෙලා ඉන්නේ. ලංකාවේ ගෙවන විශ්‍රාම වැටුප තුළින් අවශ්‍ය ඖෂධ ටිකවත් ගන්න බැහැ. අනිත් එක තමයි ජීවන වියදමට සරිලන ලෙස විශ්‍රාම වැටුප ඉහළ නොයෑම නිසා විශ්‍රාම ගියදා සිට ඔවුන් ජීවත් වීමේ අරගලයක නිරත වෙන්න සිදු වෙලා තියෙන්නේ. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්.
රාජ්‍ය සේවයේ අනියම් ආදේශක තනතුරු ඇති කිරීම

මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. බොහෝ ආයතනවල ආදේශක අනියම්, කොන්ත්‍රාත් පදනමින් සේවාවලට බඳවා ගන්නවා. ඔවුන්ගේ රැකියා ස්ථිරතාවයක් නැහැ. රාජ්‍ය සේවයෙන් ලැබෙන බොහෝ වරප්‍රසාද නැහැ. රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනවලට අනුව මෙවැනි පිරිස් දින 180කින් ස්ථිර සේවයට ඇතුළත් කරගත යුතු බවට සඳහන් වුවත් සමහර ආයතනවල වසර හතර පහ සේවය කළත් ස්ථිර කරන්නේ නැහැ. ඒක නිසා මෙම සේවා ඉවත් කරලා රාජ්‍ය සේවයට බඳවා ගෙන දින 180ක් හෝ ඊට අඩු කාලයක් තුළ රාජ්‍ය සේවයේ ස්ථිර සේවයට ඇතුළත් කර ගන්න විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.



Recommended Articles