දේශපාලන පළිගැනීම්


ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාමත් සැලසුම්ගත වැඩපිළිවෙළක් යටතේ මුහුණදෙමින් ඉදිරියට ගමන් කරමින් සිටියි. අපගේ ප්‍රතිවාදී පාර්ශ්වය වන එක්සත් ජාතික පක්ෂයට, එසේත් නොමැති නම් එක්සත් ජාතික පෙරමුණට මේ සටහන ලියන අවස්ථාව වනවිටත් අපේක්ෂකයෙකු පත්කර ගැනීමට නොහැකිව සිටියි.  

එක්සත් ජාතික පක්ෂයට තම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමේ ගැටලුව විසඳා ගැනීම සඳහා මේ තාක් කාලයක් ගතවෙනවා නම් රටේ අනෙකුත් ප්‍රශ්න ඔවුන් කෙසේ විසඳයිද යන්න දැන් ජනතාව තේරුම් අරගෙන තිබේ. එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සීතල යුද්ධයක් තිබේ.

ඒ අනුව පක්ෂයද දෙකඩ වී තිබේ. ඔවුන් දෙදෙනා වෙන වෙනම තමන්ට සහාය දක්වන පාර්ශ්ව සොයාගැනීමට කාලය ගත කරමින් තිබේ. මෙහි එක් අවස්ථාවක් ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය තමාට ලබාගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.

මේ වනවිට අපේක්ෂකයන් බුරුතු ගණනින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට සමාජය තුළත්, මහජනතාව තුළත් මතයක් ඇතිව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවමත් තීරණයක් ගත නොහැකිව තිබේ. කුමන කරුණක් වුවත් අවසානයේදී ආණ්ඩු විරෝධී හා ආණ්ඩු පක්ෂග්‍රාහී ලෙස බල කඳවුරු දෙකක අපේක්ෂකයන් දෙපැත්තකට බෙදෙනු ඇත.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ සුවිශේෂී කඩඉමක් මේ වනවිට ගෙවීයමින් තිබේ. රට ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික ආදී වූ අවපාතයකට ලක්ව තිබේ. මේ සියලු ගැටලු සඳහා විසඳුම් ලබාදිය හැක්කේ ජාතික නායකත්වයක් යටතේ ජාතික වැඩපිළිවෙළක් සකස් කරමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් හා ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට ගොඩනැගීමේ මෙම වැඩපිළි‍වෙළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන සකස්කර තිබේ. එහි අවසන් කටයුතු මේ වනවිට සූදානම් වෙමින් පවතින අතර, නොබෝ දිනකින්ම එය ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කරමු.

මෙවර ජනාධිපතිවරණයේදී බොරු මඩ ප්‍රචාර වෙනුවෙන් ඉඩක් නොමැත. රටේ බහුතරයක් වූ සබුද්ධික ජනතාව මෙවර මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇත්තේ අතීතයේදී වැඩ කර පෙන්වූ, අනාගතය වෙනුවෙන් නියමාකාරයේ දැක්මක් ඇති අපේක්ෂකයෙකු වෙනුවෙනි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, පසුව කොළඹ වෙනස් කිරීමේ නියමුවා ලෙසත් කටයුතු කරමින් තමන්ට වැඩ කළ හැකි බව පෙන්වා තිබේ. දැන් අපට ඉතිරිව ඇත්තේ රටේ අනාගතය පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමය.
ඒ අනුව රට ගොඩනගනවාද, නැද්ද යන තීරණය ජනතාව නොවැම්බර් 16 වැනිදා ප්‍රකාශයට පත් කරනු ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පවා එය කල් දැමීමේ උත්සාහයක් ආණ්ඩුව පැත්තෙන් දක්නට ලැබිණි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර පැය කිහිපයක් යන්නට මත්තෙන් විධායක ජනපති ධුරය අහෝසි කිරීම පිළිබඳ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරන්නේ ඒ හේතුවෙනි.

කෙසේ වුවත් ආණ්ඩුවේම අමාත්‍යවරුන්ගේ දැඩි විරෝධය හමුවේ එම යෝජනාව කැබිනට් මණ්ඩලයෙන් විසි විය. මෙම කැබිනට් රැස්වීම කැඳවීම හා කැබිනට් යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එකිනෙකාට චෝදනා කරමින් සිටිති. මෙය පසුගිය වසර කිහිපයේදීද කැබිනට් මණ්ඩලයේ සිදු වූ දෙයයි.
කැබිනට් මණ්ඩලය එකිනෙකාට චෝදනා කරගත් අතර ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා එකිනෙකාට චෝදනා කර ගන්නට වූහ. චෝදනාවෙන්ම කාලය ගත කළා මිස රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කිරීමට ඔවුන්ට කාලයක් නොවීය.

මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධ හඬ පටයට යොමුව තිබේ. අප දිගින් දිගටම සඳහන් කළේ ආණ්ඩුව රාජපක්ෂ පවුලෙන් හා පවුලට සම්බන්ධ අයගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම් සිදුකරන බවයි.

එම කරුණ යළි යළිත් තහවුරු වූ අවස්ථාවක් ලෙස දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ හඬ පටය හඳුනාගත හැකිය. ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු හුදෙක්ම පළිගැනීමේ චෝදනාවෙන් කළ දේවල් වෙයි. එවැනි ආකාරයට අල්ලස් කොමිසම මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් විය. රාජපක්ෂ පවුලට දමා ඇති අනෙක් නඩුද මේ ආකාරයේම දේශපාලන නඩු වෙයි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් පංච පුද්ගල කොමිසමක් පත්කිරීමට කටයුතු කළේය. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ දෙවැනි කොමිසම මෙය වෙයි. මීට අමතරව පාර්ලිමේන්තු තේරීම් කාරක  සභාවක්ද පත්ව තිබේ. කෙසේ වෙතත් මේ කොමිසම් කිසිවකින් පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු හෝ එයින් වින්දිත පාර්ශ්වයන්ට කිසිදු සාධාරණයක් ඉටුවන බවක් පෙනෙන්නට නොමැත.

ඉදිරියේදී පත්වන අපේ රජයක් යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු ජනතාව වෙත හෙළි කිරීම වෙනුවෙන් පූර්ණ බලැති කොමිසමක් පත් කිරීමට අප කටයුතු කරන බවද මෙහිදී ඔබට ප්‍රකාශ කරමු.

ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!



Recommended Articles