මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව පාර්ලිමේන්තුවේ ආසන හිමිකරගන්නා අාකාරයත්, පසුව ජාතික ලයිස්තු මන්ත්‍රී ආසන පක්ෂවලට බෙදී ගිය ආකාරයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර අවසන්ය.
එලෙස පක්ෂවලට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සඳහා මන්ත්‍රීවරුන් පත්කර ගැනීමට නොහැකිව ඇතැම් පක්ෂවල අර්බුද පවා හටගෙන තිබේ.
මේ අතර මැතිවරණයෙන් කිසිදු ආසනයක් හෝ ලබා නොගත් ඇතැම් පක්ෂ වෙතද ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර හිමිව ඇති බැවින් ජාතික ලයිස්තුව පිළිබඳ මේ වනවිට කතාබහක් ඇතිව තිබේ. එක් එක් පක්ෂ වෙත ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර හිමිවන ආකාරය පිළිබඳ මෙම ලිපිය මගින් සාකච්ඡා කෙරේ.
මෙවර මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ ආසන 225 තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 145ක් හිමිව තිබේ. ඒ මැතිවරණයෙන් ආසන 128ක් සහ ජාතික ලැයිස්තුවෙන් ආසන 17ක් අත්කර ගනිමිනි.
සමගි ජන බලවේගය මැතිවරණයෙන් ආසන 54ක් දිනාගත් අතර, එම පක්ෂයට මැතිවරණයෙන් ආසන 47ක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසන 07ක් හිමිවිය.
ජාතික ජන බලවේගය මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 02ක් දිනාගත් අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය මන්ත්‍රී ආසන 09ක් දිනා ගත්තේය. මෙම පක්ෂ දෙකටම ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධුර 01 බැගින් හිමිව තිබේ.
අහිල ඉලංගෙයි තමිල් කොංග්රස් පක්ෂය මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 01ක් දිනාගත් අතර, ඔවුනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 01ක් හිමිවිය. ඊ.පී.ඩී.පී. පක්ෂය මැතිවරණයෙන් ආසන 02ක් හිමිකර ගත්තද ඔවුනට ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ආසන හිමි වී නොමැත. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය මැතිවරණයෙන් කිසිදු ආසනයක් දිනා නොගත්තද ජාතික ලයිස්තුව තුළින් මන්ත්‍රී ආසන 01 බැගින් හිමිවිය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තමිල් මක්කල් විදුදලෙයි පුලිකාල් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය , තමිල් මක්කල් තේසිය කුට්ටනි , සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ මැතිවරණයෙන් ආසන 01 බැගින් හිමිකර ගත්තද ඔවුන්ට ජාතික ලයිස්තු මන්ත්‍රී ආසන හිමිවී නොමැත.
මේ අනුව පාර්ලිමේන්තුවට තේරී පත්වන මුළු ජාතික ලයිස්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 29ක් වන අතර, එය බෙදී යනුයේ මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් එක් එක් පක්ෂ ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව බෙදා 29න් ගුණ කිරීමෙන් ලැබෙන අගය අනුවය. එම අගය මගින් ඒ ඒ පක්ෂවලට හිමිවන ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන ගණන තීරණය වේ.
මෙම ගණනයෙන් අනතුරුව ආසනයක් හෝ දෙකක් ඉතිරිව පවතී නම් එය මීළඟට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති පක්ෂ වෙත ඒවා පිරිනමනු ලබයි. ඒ අනුව අදාළ පක්ෂට රට පුරාම ලබා ඇති මුළු ඡන්ද සංඛ්‍යාව සලකා බලා මෙම ගණනය කිරීම සිදුවන අතර, ඡන්ද සංඛ්‍යාව වැඩි පක්ෂ සඳහා වැඩි වශයෙන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර හිමිවේ.
මෙවර ජාතික ලයිස්තු මන්ත්‍රී ආසන බෙදී ඇත්තේ මෙසේය.
මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,690ක් ලබාගත් අතර මෙවර ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 11,598,929කි. ඒ අනුව පොදුජන පෙරමුණ වෙත හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ප්‍රමාණය වනුයේ,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ;
(6,853,690/11,598,929) x 29 = 17.13 ♎ 17
සමගි ජන බලවේගය මෙවර මැතිවරණයෙන් ඡන්ද 2,771,980 ක් ලබාගත් අතර ඒ අනුව එම පක්ෂය වෙත හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර ගණන වනුයේ,
සමගි ජන බලවේගය ;
(2,771,980/11,598,929) x 29 = 6.93 ♎ 7
මේ ආකාරයට ඡන්ද 445,958 ක් ලබාගත් ජාතික ජන බලවේගයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර ගණන වනුයේ
ජාතික ජන බලවේගය ;
(445,958/11,598,929) x 29 = 1.11 ♎ 1
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂ ඡන්ද 327,168ක්ද, එක්සත් ජාතික පක්ෂය 249,435ක්ද, අපේ ජන බල පක්ෂය ඡන්ද 67758ක්ද, ලබාගත් අතර ඔවුන්ට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර ගණන වන්නේ,
ඉලංගෙයි තමිල් අරුසු කච්චි ;
(327,168/11,598,929) x 29 = 0.81 ♎ 1
එක්සත් ජාතික පක්ෂය ;
(249,435/11,598,929) x 29 = 0.62 ♎ 1
අපේ ජන බල පක්ෂය;
(67 758/11,598,929) x 29= 0.16
(මීළඟට ඡන්ද වැඩිම පක්ෂය බැවින් එම මන්ත්‍රී ධුරය ලබාදී ඇත)
මැතිවරණයේදී එක් ආසනයක් හෝ නොලැබූවද සමස්ත ඡන්ද ප්‍රමාණය වැඩිවීම මත මේ ආකාරයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර හිමිවී තිබේ. මේ ආකාරයට ජාතික ලයිස්තු මන්ත්‍රී ආසන 29ක් පක්ෂ අතර බෙදීගොස් තිබේ.