රටේ ඇති වී තිබෙන දේශපාලන පෙරළිය විශාලය. එය පෙර නොවු විරූ මට්ටමේ බිහිසුණු සංකීර්ණ තත්ත්වයක පවතී. මේ පිළිබඳ බොහෝ වාද විවාද රැසක් පවතින නිසා එම වාද ගැන කතා කිරීමට බොහෝ අය පෙළඹෙන බවද පෙනේ. එය මෙවන් අවස්ථාවක සාමාන්‍ය‘යෙන් නිර්මාණය වන ස්වභාවයකි. මම එහි එක් පැත්තක් උදෙසා හේතු දැක්වීමට ඉදිරිපත් නොවෙමි. මා මෙහිදී උත්සාහ ගන්නේ මෙම අර්බුදය ඔස්සේ ඉස්මතු වන තවත් අර්බුදයක් පිළිබඳ සාකච්ඡා කිරීමටයි. එය නම් නායකත්වයේ අර්බුදයයි.
නායකත්වයේ අර්බුදය ලෙස මා දක්වන්නේ දැනට ප්‍රධාන පක්ෂ නියෝජනය කරන නායකයන් සියලු දෙනාම අසාර්ථක වී ඇති බව දැන් ඉතා පැහැදිලිව පෙනී යන නිසාය. එය විශාල වශයෙන් එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය සම්බන්ධයෙන් අදාළය.
නායකත්වය යනු කුමන්ත්‍රණ කිරීම, නාහෙන් ඇඬීම හෝ තමන්ට බලය ලැබුණු විට මිතුරු කල්ලියකට සිත් සේ සොරකම් කිරීමට රාජ්‍ය‘යේ දොර අගුලු විවර කිරීම නොවේ. එනමුත් දැනට මේ පක්ෂවල කරළියේ ඉහළම වැජඹෙන නායකයන්ගේ මෑත කාලීන කටයුතු හා ඔවුන්ට ඉතා පැහැදිලි ලෙස එල්ලවන චෝදනා විමසා බලන විට ඔවුන් විසින් සිදු කර ඇත්තේ එවැනි දේවල්ය. මේ සියලු දෙනාගේ පොදු ලක්ෂණය වන්නේ තමන් ලබාගත් වගකීම ඉටු කිරීමට දක්වන බරපතළ නොහැකියාවයි. සරල බසින් කිවහොත් වගකීම් විරහිතභාවයයි. සාමාන්‍ය‘යෙන් මෙරට පවතින මතය නම් අපේ නායකයන් බල තණ්හාධිකයි. ඔවුන් බලය උදෙසා ඕනෑම දෙයක් කරන අය යන්නයි.
මම එය ඒ ආකාරයෙන්ම පිළි නොගතිමි. දේශපාලනය යනු, බලය ලබා ගැනීම සඳහා කරන සෙල්ලමකි. එසේම බල තණ්හාව දේශපාලකයාට තිබීම වරදක් නොවේ. එය හරියටම ගොවියා කුඹුරට, හේනට හා අස්වැන්නට කරන ඇල්ම වැන්නකි. එහෙත් ප්‍රශ්නය වන්නේ ලංකාවේ දේශපාලන නායකයන් හුදෙක් බලය ලබා ගන්නේ බලය ලබා වැජඹීමට මිස ලංකාව ඉදිරියට ගෙන යාමට නොවන නිසාය. ලංකාවේ දේශපාලන නායකයන් රටේ වැඩ කියා කරන්නේ හුදෙක් කොන්ක්‍රීට් සංවර්ධනය පමණි. එනම් රටට එතරම් අදාළ නැති හෝ යම් පමණක් අදාළ භෞතික දේවල් සංවර්ධනය කිරීමයි.
නමුත් ලංකාවට සැබෑ දේශපාලන නායකත්වයක් අවශ්‍ය වන්නේ රාජ්‍යයක් ලෙස පවතින පසුගාමී තත්ත්වයෙන් ගොඩ යෑමටයි. එය හුදෙක් භෞතික සංවර්ධනය මගින් පමණක් සිදු කළ හැකි ගොඩ යෑමක් නොවේ. නිර්භය ලෙස සමාජ ප්‍රතිසංස්කරණ මගින් සිදු කළ යුතු තරමක් පුරවැසි මනස සොලවාලන ගොඩ යෑමකි.
වර්තමාන දේශපාලන අර්බුදයෙන් පෙනී යන්නේ කුමක්ද, දැනට බලයේ සිටින හා පක්ෂවල ඉහළම තලයේ සිටින නායකයන් බොහෝ දෙනා එවැනි රැඩිකල් එහෙත් රටට අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කෙරෙහි දක්වන්නා වූ ඉමහත් භීතියයි. මේ දේශපාලන පෙරළියම නූතන ලෝකයට වෙනස් වන ලෝකයට ආත්මීයව සම්බන්ධ වීමට නොහැකි නිසා සිදු වූ අලකලංචියකි.
ජනාධිපතිතුමා තම ජාතිය ඇමතීමේදී ඒ බව මැනවින් පැවසුවේ තමාට මේ ජාතික ආණ්ඩු දීගය සංස්කෘතික වශයෙන් ගැළපෙන්නේ නැතිකම මේ බිඳීමට විශාල වශයෙන් හේතු වූ බවයි.
ජනාධිපතිවරයා 56 පෙරළිය ඔස්සේ ගමෙන් වැඩී මධ්‍ය මහා විද්‍යාල තුළින් වැඩුණු දරුවකු ලෙස හැඳින්විය හැකිය. ඔහු සමග බිඳ වැටුණු දේශපාලන දීගය කෑ රනිල් මහතා නාගරික පරිසරයක ඉංග්‍රීසි උගත් ප්‍රභුවේ නිෂ්පාදනයක් විය හැකිය. මේ දෙදෙනාම එකම වයස් කාණ්ඩයට අයත් පුද්ගලයෝය. එසේ නම් මේ කියන නොපෑහීම ඇති වූයේ කෙසේද?. ඉතා පැහැදිලිවම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය, පවුල් ක්‍රමය හා පක්ෂ ක්‍රමයේ වැරැද්දකි. පක්ෂ ක්‍රමය යැයි මා මෙහිලා සඳහන් කළේ ඒ දෙදෙනා වැඩුණු එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය යන පක්ෂ දෙකයි. මේ දෙකටම වෙනත් පැළැන්තියක තමාට වඩා වෙනත් සමාජ පසුබිමක් සහිත මිනිසුන් ඇසුරු කළ හැකි නායකයන් ගොඩ නැගීමේ හැකියාව නැති බව මෙයින් පෙනේ.
එජාපයටද වඩා මෙම තත්ත්වය ගැඹුරින් පවතින්නේ ශ්‍රීලනිපය තුළින් බව මෛත්‍රීගේ තුන් අවුරුදු හැසිරීමෙන් පැහැදිලි වෙයි. තම කණ්ඩායමට වඩා වෙනස් චර්යාවන් ඇති කණ්ඩායමක් සමග ඉතා බලවත් දේශපාලන කාරණයකදී පවා හැසිරීමට ඔහු අසමත්ය.
මෙබඳු තත්ත්වයක් යටතේ දැන් ලංකාව යාන්තමින් හෝ ඉදිරියට ගෙන යා හැක්කේ එකම පක්ෂයක දිගින් දිගටම වාසය කළ පක්ෂවාදියකුට නොවේ. විවිධ දේශපාලන ධාරා සමග ගැටෙමින් සම්මිශ්‍රිතව තම තම දේශපාලන ගමන ඉදිරියට ගෙන ආ අයෙකුට පමණි. එවැන්නකු ප්‍රධාන පක්ෂ දෙක තුළ ඉහළට මතු වුවහොත් 2015 දී තනන්නට හැදූ පොදු දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී විවෘත තත්ත්වය නැවත නව වටයකින් ගොඩ නැගීමට හැකිවන බවයි. දැන් මේ සඳහා නව නායකත්වයක අවශ්‍යතාව ප්‍රබල ලෙස දැනෙමින් පවතී.