සර්වජන ඡන්ද බලය රට තුළ ක්‍රියාත්මක වීමෙන් පසු මේ රටේ පාලකයන් පත් කර ගනු ලබන්නේ ජනතා ඡන්දයෙනි. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු පාලකයන් පත්කර ගැනීමේ සුදුසුකමට පත්වන මේ රටේ ජනතාව ඡන්ද පොළට ගොස් ඡන්ද පත්‍රිකාවේ තම කැමැත්ත පළකිරීම තුළින් පාලකයන් පත් කර ගැනීම ප්රජාතන්ත්රවාදී ක්‍රමය ලෙසද හඳුන්වනු ලබයි.
ජනතාවට එකතු වී රට දියුණු කිරීමට තීන්දු තීරණ ගැනීමට නොහැකි නිසා තම කැමැත්ත මත මහජන නියෝජිතයන් පත් කර ගත්තද අද දවස වනවිට බල අරගල මගින් පාලකයන් පත් කර ගැනීමේ ක්‍රමවේදයක්ද මේ වනවිට රට තුළ ඇති වෙමින් තිබේ.
රජ සමයේදී සටන් කර පාලන බලය අල්ලා ගැනීම පිළිබඳව ජනප්රවාදයේ සඳහන් වුවත් ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළදී බළ පෙරළි කර පාලනය අල්ලාගත් සිද්ධීන් අසන්නේ ඉතාමත් කලාතුරකිනි.
එහෙත් අද දවස වනවිට ලංකාව තුළ තම බලය භාවිත කර රට පාලනය කළ පිරිස් ඉවත් කර දැමීමට මේ රටේ පාලකයා කටයුතු කර තිබේ.
දේශපාලන ගැත්තන්ට මෙය ඉතාමත් හොඳ ක්‍රමයක් ලෙස පෙන්නුම් කළත් රටක් වශයෙන් මෙය ඉතාමත් අහිතකර තත්ත්වයකි. රටේ තිබෙනා නීතිරීතිවලට, සම්ප්‍රදායට, සිරිත් විරිත්වලට අනුව ආණ්ඩුවක් වැරදි මාර්ගයේ ගමන් කරනවා නම් ඔවුන් ගෙදර යැවීමේ ප්‍රධාන වගකීම පැවරී තිබෙන්නේ මේ රටේ මහජනතාවටය. පාලක පන්තිය හොඳද නරකද කියා තීරණය කිරීමට මැතිවරණයක් පැවැත් විය යුතු අතර මැතිවරණයේදී ජනතා කැමැත්ත වැඩි වශයෙන් හිමි වන කණ්ඩායමට ආණ්ඩුව කරගෙන යෑමට අවස්ථාව හිමි වේ.
ජනතා කැමැත්තෙන් පත්වන ආණ්ඩු මුළු ලෝකයාම පිළිගැනීමද සුවිශේෂී ලක්ෂණයකි. ඒ හරහා රට දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට සමහර රටවල් කටයුතු කරනු ලබයි. එහෙත් බලපෙරළි සිදු වූ රටවලට එරෙහිව ජාත්‍යන්තරයේ දැඩි විරෝධය එල්ල වන අතර, සමහර අවස්ථාවල සම්බාධක පැනවීමටත් කටයුතු කර තිබේ.
ඔක්තෝම්බර් 26 වැනි දින මෙරට තුළ සිදු වූ බල පෙරළියත් සමග විදේශ රටවල් කිහිපයක් හා ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් තම මතය ප්‍රකාශයට පත් කර තිබේ.
ඔවුන්ගේ ප්‍රකාශ කිසිවක් රටට හිතකර ඒවාද නොවේ. කෙසේ නමුත් බල පෙරළිය සිදු වී අදට (08දා) දින 13ක් ගත වී තිබේ. එතරම් කාලයක් ගත වී තිබුණත් අදටත් රට තුළ ස්ථිර ආණ්ඩුවක් සකස් කිරීමට පාලකයාට නොහැකි වී ඇත.
එය රටට කිසිසේත්ම හොඳ තත්ත්වයක් නොවේ. දේශපාලනඥයන් දෙපැත්තකට බෙදී ගහ මරා ගනිද්දී රට අගාධයට ගමන් කරමින් තිබේ.
මෙම සූදුව නිසා සමස්ත රාජ්යයාන්ත්රණයම ඇනහිට තිබෙන අතර, ආයෝජකයන්ද යම් තැති ගැන්වීමකට පත්ව තිබේ. මීට අමතරව ලබන වසර තුළ රට පවත්වාගෙන යෑමට මුදල් අවශ්‍ය වන අතර, ඒ සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතුව තිබේ.
සාමාන්‍ය ක්‍රම‘වේදයට අනුව මේ මස 05 වැනි දින අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, ඊට අදාළ මූලික කටයුතු ඔක්තෝබර් මාසය වනවිට අවසන් කර තිබූ බවද වාර්තා වේ. සිදුවූ මෙම බල පෙරළියත් සමග සකස් කළ අයවැය ලේඛනය අහෝසි වී ගොස් තිබේ.
මීට අමතරව රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තුව අකර්මණ්‍ය වී තිබෙන අතර, රටේ දේශපාලන කණ්ඩායම් වරින් වර විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයටත් තීන්දු තීරණ ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ.
නව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළත් තවත් පිරිසක් තමන් කැබිනට් අමාත්‍යවරුන් බවට ප්‍රකාශ කරමින් සිටියි.
නව අගමැතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළත් තමන්ද රටේ අගමැති බව රනිල් වික්‍රමසිංහ මහතා විසින් සඳහන් කරනු ලබයි.
මේ නිසා විවිධ තීන්දු තීරණ ගන්නා රජයේ නිලධාරීන්ට තමා පිළිපැදිය යුත්තේ කාගේ නියෝගයද යන්න මේ වනවිට ගැටලුවක් ඇති වෙමින් තිබේ. මේ නිසා පසුගිය අයවැයෙන් රටේ සංවර්ධනයට වෙන් කළ මුදල් යොදාගෙන සංවර්ධන කටයුතු සිදු කිරීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
සිදුකරන සංවර්ධන කටයුතු අවසන් කිරීමට හෝ ඉදිරියට පවත්වාගෙන යෑමට මුදල් නොලැබීම හේතුවෙන් මෙරට සංවර්ධන කටයුතු පවා ඇනහිට තිබේ. මේ අර්බුදය තවත් දින කිහිපයක් පැවැතියහොත් එය මුලින්ම බලපාන්නේ රටේ රෝහල්වලටය.
රට තුළට කාර්තු යටතේ ප්‍රධාන වශයෙන් ඖෂධ ගෙන්වීම සිදු කළත්, ඖෂධ හිඟවීමකදී එය ප්‍රා‘දේශීය වශයෙන් මිලදී ගැනීම සිදු කරනු ලබයි. එහෙත් සති දෙකක කාලයක් ගත වී තිබුණත් තවමත් සෞඛ්‍ය ඇමැතිවරයෙකු රටට නැත. (ඊයේ 07) රෝගී වන ජනතාවට බඩට කන්න නැතත් වතුර උගුරක් බී හෝ තම ජිවිතය රැක ගැනීමට ඖෂධ අවශ්‍යය.
එහෙත් දේශපාලන අර්බුදය තුළින් ජනතාවට තම ජීවිතය රැක ගැනීමට තිබෙනා සෞඛ්‍ය සේවාව පවා අර්බුදයකට ලක් වී ඇත. මීට අමතරව ලබන වසරේදී පාසල් ආරම්භ වීමට පෙර පාසල් දරුවන්ට පෙළ පොත්, නිල රෙදි ඇඳුම් ලබාදිය යුතුව තිබේ.
පැවැති ක්‍රමයට අනුව නිල ඇඳුම මිලදී ගැනීමට වවුචර ලබාදීමට සැලසුම් කර තිබූ අතර, එහෙත් වර්තමානයේදී පත්වී සිටින අධ්‍යාපන අමාත්‍යවරයා වවුචර වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට තීරණය කර තිබේ.
රෙදි ලබාදීම රටේ බහුතර ජනතාව අනුමත කරන ක්‍රියාවක් වන අතර, එහෙත් ගැටලුව වී තිබෙන්නේ පාසල් දරුවන් ලක්ෂ 43කට රෙදි ලබාදීමට කඩිනමින් රෙදි මිලදී ගැනීමට හැකියාවක් තිබේද යන්නය.
ඖෂධ හෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ක්ෂණික මිලදී ගැනීම යටතේ මිලදී ගැනීමට හැකියාව තිබුණත් රටට ගැළපෙන ආකාරයට සුදු රෙදි හා කළු, නිල් කලිසම් රෙදි ක්ෂණිකව මිලදී ගැනීමට හැකියාවක් නැත.
මීට අමතරව රෙදි මිලදී ගැනීම සඳහා යොදා ගන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් නිසා බදු මුදල් වියදම් කිරීම යම් ක්‍රමවේදයන්ට යටත්ව සිදු කළ යුතුය. කොටස් වෙළෙඳ පොළ රටේ ආර්ථිකය රඳා පැවැත්මට ප්‍රධාන වශයෙන් බලපාන ස්ථානයකි. කොටස් වෙළෙඳ පොළ කඩා වැටීම යනු රටේ ආර්ථිකය කඩා වැටීමකි.
දිනක්, දෙකක් කොටස් වෙළෙඳ පොළේ කටයුතු ඉහළ ගියත් දැනට සිදුවන විවිධ ජාවාරම් නිසා මෙම කටයුත්ත ජාවාරම් ක්‍රියාවක්ද යන්න පිළිබඳවත් ප්‍රශ්නයක් ඇති වී තිබේ.
රුපියලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වීම සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට කිසිසේත්ම හොඳ නැත. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම යම් තරමකින් හෝ පාලනය කිරීමට ස්ථිර ආණ්ඩුවක් තිබිය යුතුය.
එහෙත් අද වනවිට ආණ්ඩුව කුමක්ද, විපක්ෂය කුමක්ද කියා රටේ ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි වී තිබේ. මේ නිසා රට අද වනවිට හබල කැඩී ගිය ඔරුවක් බවට පත් වී ඉබාගාතේ පාවෙමින් යන තත්ත්වයකට පත්ව ඇත.
රට මේ තත්ත්වයට පත් කර තිබෙන්නේ රට දියුණු කිරීමට ජනතා ඡන්දයෙන් පත් වූ දේශපාලනඥයන් විසිනි. රට පත්ව තිබෙන තත්ත්වයට අනුව මුලින් සෞඛ්‍යයට, අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඉන් පසුව කොටස් වෙළෙඳ පොළ හා රුපියල දිගින් දිගටම කඩා වැටීමකට ලක්වේ.
මීට අමතරව රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් විශාල ප්‍රමාණයක් ගෙන්වනු ලබන්නේ විදේශ රටවල්වලින් වන අතර, රට තුළ තිබෙන භාණ්ඩ අපනයනය කිරීම ඉතාමත් වැදගත්ම සිදුවීමකි. මෙම කටයුතු දෙක සිදු කිරීමට ව්‍යාපාරිකයන් සිටියද එම කටයුතු සිදු කිරීමේ මග පෙන්වීම සිදු කළ යුත්තේ පාලකයන් සහ ආණ්ඩු විසිනි.
මේ නිසා අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට කටයුතු නොකළහොත් ආනයන, අපනයන කටයුතුවලට බාධා එල්ල වීමද වළක්වා ගත නොහැකි වන කාරණයකි. මෙවැනි අනතුරක් රට හමුවේ තිබුණත් පාලකයාට හෝ දේශපාලනඥයන්ගෙන් අතිබහුතරයකට ඒ ගැන වගේ වගක් නොමැත.
මේ රටේ යම් යම් දේශපාලනඥයන්ට මෙම අර්බුදය ඉතාමත් වාසි සහගත තත්ත්වයක්ද උදා කර දී තිබේ. ඒ තම මහජන නියෝජිතකම රුපියල් කෝටි ගණන්වලට අලෙවි කර ගැනීමට හැකිවීම නිසාය. මෙම ක්‍රමය තුළ නීතිවිරෝධී ලෙස උපයා ගත් ධනයටත් වටිනාකමක් ඇති වී තිබේ. එය රට තුළ කතාබහට ලක්වන්නේ කළු සල්ලි සුදු කිරීමක් වශයෙනි. සල්ලිවලට හෝ වෙනත් වරප්‍රසාද නොමැතිව පිල් මාරු කළත් එයද රටේ සදාචාරයට ගැළපෙන්නේ නැත.
යම්කිසි පුද්ගලයෙකු ජනතාව විසින් තම නියෝජිතයා ලෙස පත්කර ගන්නේ අදාළ පුද්ගලයාගේ හා ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුවය. මේ නිසා ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන් තම නිල කාලය අවසන් වන තුරුම පක්ෂයේ වැඩපිළිවෙළ, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතුය. පක්ෂය මාරු කිරීම තුළින් තමන්ට ඡන්දය ලබාදුන් ජනතාවගේ බලාපොරොත්තු සුන් වී යෑමද සිදු වේ.
මේ නිසා මෙම තත්ත්වය වෙනස් කිරීමට මීට පෙර අවස්ථා ගණනාවකදී යෝජනා ඉදිරිපත් වී තිබුණත් මෙතෙක් ඒ සඳහා නීතියක් සකස් කර ගැනීමට නොහැකි වී ඇත. මීට අමතරව ඔළුගෙඩි මාරුවෙන් ආණ්ඩු සකස් කිරීම රටට ගැළපෙන ක්‍රමයක් නොවේ.
රටේ ජනතාවගෙන් බහුතර කැමැත්ත ලැබෙන පිරිස් ආණ්ඩු කිරීමට පත්වන අතර, ඔළුගෙඩි මාරුවෙන් ආණ්ඩු වෙනස්වීම හරහා රටේ ජනතාවගේ කැමැත්තද විකෘති තත්ත්වයට පත් වේ. මේ රටේ පත් වූ සෑම පාලකයෙකුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දු වන්නේ රට දියුණු කර වර්තමානයටත් අනාගතයටත් සුරක්ෂිත රටක් ගොඩනගන බවත්ය. එහෙත් බලයට පත් වූ පසු එම පොරොන්දු අමතක වී යන අතර අවසානයට සිදු වන්නේ තම දේශපාලන ගමන ශක්තිමත් කර ගැනීමට හොඳින් හෝ නරකින් වැඩ කටයුතු කිරීමය. අද දවසේදී පෙන්නුම් කරමින් තිබෙන්නේ මෙම න්‍යායයි.
එය රටට කිසිසේත්ම ගැළපෙන්නේ නැත. ගමේ ගොඩේ භාෂාවෙන් කියනවා නම් එය විකෘති තත්ත්වයක ලැජ්ජා සහගත ක්‍රියාවකි.
මේ රටේ දේශපාලනඥයන් මුලින්ම තේරුම් ගත යුතු කාරණය වන්නේ තම තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රටක් අවශ්‍ය යන්නය. උපක්‍රම සිදු කිරීමට රටක් සේම ජනතාවත් අවශ්‍යය.
එහෙත් මේ රට ඉතියෝපියාවක්, සෝමාලියාවක් බවට පත්වුවහොත් මේ රට පාලනය කිරීමට දේශපාලනඥයන්ටද අවස්ථාවක් නැත. ඉන්පසුව රට පාලනය කරන්නේ මංකොල්ලකරුවන් හා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්ය. එවැනි තත්ත්වයකට පත්වන කිසිදු රටකට ජාත්‍යන්තරයේ සහයෝගය ලැබෙන්නේ නැත.
ලෝකයා දියුණුවීමත් සමග කිසිදු රටකට හුදෙකලා වී ජිවත්වීමට හැකියාවක් නැත. මේ නිසා ජාත්‍යන්තරයට බම්බු ගහ ගන්න කියන දේශපාලනඥයන් තේරුම් ගත යුතු එක් දෙයක් තිබේ. එනම් අප රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ජාත්‍යන්තර ගිවිසුම් ගණනාවකට තමන් අත්සන් කර ඇති බවයි. එම ගිවිසුම් කඩ කිරීම බරපතළ කාරණයකි. එය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුතු කාරණයකි.
මත්පැන් බී ගත් පුද්ගලයෙකු ගමේ ගොඩේදී දාන චණ්ඩි පාට් ජාත්‍යන්තරයට දැමිය නොහැක. අද වනවිට ජාත්‍යන්තරයෙන් හා ප්රජාතන්ත්රවාදයට ගරු කරන අතිමහත් වූ ජනතාවගේ ඉල්ලීම් දෙකක් තිබේ.
ඉන් එක් ඉල්ලීමක් වන්නේ පාර්ලිමේන්තුව කැඳවීමය. අනෙක් ඉල්ලීම වී තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම පිළිබඳවය. පවතින ක්‍රමවේදයන්වලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් වී මාස 54ක් යනතුරු පාර්ලිමේන්තුව සෘජුව විසුරුවා හැරීමට නීතිමය ක්‍රමවේදයක් නොමැතිය. මේ නිසා සිදු කළ යුතු හොඳම ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුව රැස් වී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට සියලුම මහජන නියෝජිතයින් එක් වී තීරණයක් ගැනීමය. අඩුම වශයෙන් සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරුන් 150ක් එකතු වී එම තීරණය ගත යුතුය.
එසේ නොමැතිව පාර්ලිමේන්තුවේ බලය පෙන්වීම තුළින් පවතින අවුල් සහගත තත්ත්වය විසඳා ගැනීමට හැකිවන්නේ නැත. මීට අමතරව කණ්ඩායම් දෙක එකතු වී වරින් වර තම පාක්ෂිකයන් මහපාරට බැස්ස වීම තුළින් රටට යහපත් හෙට දවසක් උදා වන්නේ ද නැත. මේ නිසා සියලුම දේශපාලනඥයන් පක්ෂ දේශපාලනය අමතක කර රට ගැන සිතිය යුතුය.
ඉන්දික හේවාවිතාරණ