තවත් මහා මැතිවරණයක් අවසාන වී නව රජයක් පිහිටුවා ඇත්තේ මෙරට දේශපාලන ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තබමිනි. මෙම මැතිවරණය තුළින් දේශපාලකයන් තැබූ වාර්තාවන්ට වඩා මෙම මැතිවරණ ක්‍රමවේදය මගින් රටටත්, ඡන්ද දායකයාටත් කෙතරම් සාධාරණයක් ඉටුවී ඇතිදැයි විමසා බැලීම වඩාත් වැදගත් වේ.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වරක් සංශෝධනය වුවද, රටක ජනතාවගේ ප්‍රබලම ප්‍රජාතන්ත්‍රවාදී අවිය සහ අයිතිය වූ ඡන්ද ක්‍රමය කාලානුරූපීව යාවත්කාලීන කිරීමට 1981 පසු මේ දක්වා බලයට පත් වූ කිසිදු රජයක් උත්සහයක යෙදී නැත. ඒ අනුව අප වසර ගණනාවක් මුළුල්ලේම දකිනුයේ එකම මුහුණු පෙළකි, යල් පැන ගිය එකම ක්‍රියාදාමයකි.
එසේ නම් එම ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ සමස්ත මැතිවරණ ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීමෙනි. මේ පිළිබඳව කාලයක් මුළුල්ලේ සිටම සිය හඬ අවදි කරමින් යුග මෙහෙවරක යෙදෙන තාරුණ්‍යයේ විචාරාත්මක දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘අද වෙත සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.
සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ කවදාවත් කිසිම පක්ෂයකට තුනෙන් දෙකක් ගන්න බැරි බවට මතයක් පැවතුණා. පසුගිය කාලයේ පැවති මහා මැතිවරණ අවසානයේදී එය පැහැදිලි ලෙස අපට දකින්නට ලැබුණා. නමුත් මේ මැතිවරණයෙන් ඒ ක්‍රමය උඩු යටිකුරු වුණේ කොහොමද?
සමස්තයක් වශයෙන් ලෝකයේ මෙතෙක් පවත්වා ඇති මැතිවරණ දිහා බැලුවොතින් කිසිම රටක නිර්වද්‍ය පරමාදර්ශී මැතිවරණ ක්‍රමයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වායේ කොතැනක හෝ අඩු පාඩුවක් පැවතිලා තියනවා. ඇමෙරිකාවේ ජෝර්ජ් බුෂ්ගේ පත්වීම පිළිබඳවත් අදටත් වාද විවාද පවතිනවා. මෙහිදී පරාජිත අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ විවිධ මතිමතාන්තර ඉදිරිපත් කරනවා. ඔබ අහන ප්‍රශ්නය එයටත් එහා ගිය කාරණයක්. මෙහිදී අපට පේන දේ තමයි සෑම අවස්ථාවකදීම සමානුපාතික නියෝජනයකදී ඡන්ද බෙදී යාමේදී ඒ ඒ දේශපාලන පක්ෂවලට සමගාමීව ඉදිරියට එන පුද්ගලයන් අතර පරස්පරයක් දකින්නට ලැබෙනවා. ඉතාමත් අඩු ප්‍රමාණයකින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඇතුළට එන විට ඊටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්න ආණ්ඩු බලය පිහිටුවන පැත්තේ අපේක්ෂකයා එළියට වීසි වෙනවා. මේ ප්‍රතිඵලය කාලාන්තරයක් සිට කතා බහට ලක්වී තිබෙන කතාවක්.
මෙහිදී මැතිවරණය මෙහෙය වන බලධාරීන්ට ඇඟිල්ල දිගු වෙන බව ඇත්ත. ඡන්ද ගණනය කරන ක්‍රියාවලියේ විනිවිද භාවය පිළිබඳව ඔබ කියන ආකාරයට ජනතාව තුළ යම් සැකයක් පවතිනවා. ඔවුන්ගේ පැත්තෙන් එය සාධාරණයි. කවර හෝ මැතිවරණයක් පැවැත්විය යුත්තේ මිනිස්සුන්ට තේරුම් ගැනීමේ සරල ආකාරයටයි. එහෙත් ශ්‍රී ලංකාවේ එවන් ක්‍රමයක් නැහැ. ඇත්තෙන්ම අපේ ඡන්ද ක්‍රමයේදී ඡන්ද පත්‍රිකාවේ ඉඳලා සියලු ක්‍රියාදාමයන් සංකීර්ණයි. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ එකිනෙකා සැකයට භාජනය වීම ආවේණික ස්වරූපයක්.
එකම කණ්ඩායමේ ප්‍රශ්න මතු වෙලා තිබෙනවා. අපි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ ආයතනයක් ලෙස මේ මැතිවරණය සමස්තයක් වශයෙන් දූෂණයක් වුණා කියන නිගමනය කරන්නේ නැහැ. නමුත් සමාජය තුළ මෙවරත් ඇති වී ඇති කතා බහත් එක්ක මැතිවරණ කොමිෂන් සභාවට තමන් අනුදත් ක්‍රියා මාර්ග නිර්වද්‍යව පැහැදිලි කිරීමේ පූර්ණ වගකීමක් පවතිනවා. මේ මැතිවරණයේදී යාපනයේ සහ මහනුවර ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක් බලාපොරොත්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා එහෙත් තවමත් එයට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.
මේ මැතිවරණ ක්‍රමයෙන් සැබෑ ජනතා නියෝජනයක් නොලැබෙන බවට ජනතාවට පමණක් නොව දේශපාලන පක්ෂ තුළත් විචිකිච්ඡාවක් පවතිනවා. එසේ නම් මේ ක්‍රමය වෙනස් කළ යුතුයි නේද?
මැතිවරණ ක්‍රමයක් පැවතිය යුත්තේ පුළුල් ජනතා නියෝජනයක් ලබා දෙන ආකාරයටයි. 1977 ඉඳලා අපේ රටේ විවිධ දේශපාලන පක්ෂ හා පුද්ගලයන් මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. වෙනම පැකේජ් පවා ගෙනවා. නමුත් කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ හැම යෝජනාවකම පැවතුණේ තම අභිමථාර්ථයන් ඉටු කර ගැනීමේ දේශපාලන න්‍යායපත්‍ර කිව්වොත් නිවැරදියි. පසුගිය කාලයේ පළාත් සභා ඡන්ද ක්‍රමයට අදාළව නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඇත්තෙන්ම එහි අසාමාන්‍ය විකෘති ස්වභාවයක් අපි දැක්කා. එය සම්මත කරගත්තත් ක්‍රියාත්මක වුණේ නැහැ. පළාත් සභා මැතිවරණය වගේම එයත් අතුරුදන් වුණා.
එපමණක් නොවේ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ඉදිරිපත් කළා. සමානුපාතික ක්‍රමය සීයට පහේ සිට සීයට දොළහට යා යුතුයි කියලා. එය ඔහුගේ දේශපාලන පක්ෂ නියෝජනයට ප්‍රතිඵල දායකයි. එයින් සිදුවන්නේ දේශපාලනයට ප්‍රවිෂ්ට වීමට බලාපොරොත්තුවෙන් සිටින දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට මග ඇහිරී යාමයි. ඒ අනුව ඔවුන් තුළ ඇතිවන කලකිරීම නිසාම ඒ අසාධාරණයට එරෙහිව අවි ආයුධ අතට ගැනීමේ ප්‍රවණතාවට තල්ලු වෙන්නත් පුළුවන්.
මේ වෙනස තුළ ඔබ දකින සාධනීය විසඳුම කුමක්ද?
අපේ අධ්‍යයනය අනුව මම හිතන්නේ ලංකාවේ යම් වෙනසක් ඇතිවිය යුත්තේ නවසීලන්තයේ පවතින මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් අනුවයි. නවසීලන්ත පාර්ලිමේන්තුවේ ආසන 120 සඳහා මන්ත්‍රීවරු තේරී පත්වෙන්නේ දෙමුහුන් (හයිබ්‍රිඩ්) ක්‍රමය පාදක කරගෙනයි. මේ ක්‍රමය තුළ ඡන්දදායකයාට තමන්ට කැමති පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඔහුගේ පක්ෂයෙන් ඔහුට නොගැළපෙන අපේක්ෂකයෙක් සිටී නම් ඔහුට වෙනත් පක්ෂයක සිටින රටට වඩාත් ගැළපෙන බුද්ධිමත් අපේක්ෂකයෙකුට සිය මනාපය ලබා දිය හැකි වෙනවා.
ඡන්දය පක්ෂයටත්, මනාපය වෙනත් පක්ෂයකටත් යෑමෙන් පිරිසුදු උගත් බුද්ධිමත් නියෝජිතයන් තේරී පත්වෙනවා වගේම ඡන්ද දායකයාගේ තේරීමටත් එයින් ගරු කිරීමක් සිදුවෙනවා. එක් පැත්තකින් වගවීමක් වෙනවා වගේම එහි යම් විනිවිධ බවක්ද පැහැදිලි ලෙස පවතිනවා. මෙය අපේ රටට ආදේශ කර ගැනීමේදී ගැටලු ඇතිවෙන්නේ නැද්ද?
තවමත් අපි නව තාක්ෂණය නිසියාකාරව මැතිවරණයකට හුරු කරගෙන නැහැ. තාක්ෂණය පිළිබඳව මිනිස්සුන්ට තියෙන්නේ සැකයක් මෙයට හොඳම නිදර්ශනය තමයි 2010 ජනාධිපතිවරණය. එම මැතිවරණය අවසානයේදී ‘%කොම්පියුටර් ජිල්මාට්’ කියන වචනය කරළියට ආවා. කවුරුත් එය විශ්වාස කළා. නමුත් සරත් ෆොන්සේකා මහත්තයා ඉදිරිපත් කරපු ඡන්ද පෙත්සමේ කොතනකවත් ඒ බවක් සඳහන් වෙලා තිබුණේ නැහැ. ඒකෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ මේ නූතන තාක්ෂණය සම්බන්ධයෙන් පවතින සැකය හා ප්‍රාථමික මට්ටම නෙමෙයිද ? මේ සම්බන්ධව සමාජය දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම මෙයට හේතුවයි. සියලුම දේශපාලන පක්ෂ මේ ක්‍රමවේදයට ඈඳා ගන්න ඕනේ. ඉහත මා සඳහන් කළ හයිබ්‍රිඩ් ක්‍රමවේදය මගින් විනිවිද බවකින් යුත් මැතිවරණයක් වගේම ජන සම්මතය නිසි අයුරින් ප්‍රකාශ කරන්නත් අවස්ථාවක් ලැබේවි.
අපේ රටේ මැතිවරණ සමයක් කියන්නේ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් සමාජය තුළ සංසරණය වෙන අවස්ථාවක්. දූෂණය පටන් ගන්නේ එතනින් නේද?
ඔබ හරි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සමගාමීව මැතිවරණ වියදම් සීමා කිරීමේ නීතියක්ද අනිවාර්යෙන් පැන විය යුතුයි. හැම මැතිවරණයකම වගේ යහමින් වියදම් කරපු අය මේ පාරත් ඉදිරියට ආවා. අපේ නිරීක්ෂණයන් අනුව එක සිදුවීමක් මා පවසන්නම්. මාතර දිස්ත්‍රික්කයේ අවසන් මාසය තුළ ප්‍රචාරක කටයුතුවලට දිනකට රුපියල් කෝටියක් වැය කරලා තියෙනවා. එක රැස්වීමකට බස් 183 යොදා ගෙන තිබුණා. ඒ බස්වලට රුපියල් ලක්ෂ විසි හතක් වියදම් කරලා තිබුණා. මේ තත්ත්වය අනුව මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා නොකළොත් නිවැරදි පුද්ගලයා පාර්ලිමේන්තුවට යන්නේ නැහැ.
ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිවරයා පුන පුනා කිව්වේ පාර්ලිමේන්තුවට උගතුන් වියතුන් යවන්න කියලා. එතුමා වටා හිටිය %වියත් මගේ^ අය අපේක්ෂිත ලැයිස්තුවට ඇතුළත් වුණත් ප්‍රමුඛතාව ලැබුණේ පැරණි මුහුණුවලටයි. අවුරුදු තිස්නමයක් යල්පැනගිය මැතිවරණ පනතක් අනුවයි මේ මහා මැතිවරණයත් පැවැත්වුණේ. මෙයින් කියවෙන්නේ පසුගිය සියලුම පාලන තන්ත්‍රයන්ගේ අසමත්කමයි.
ඒ වගේම මැතිවරණ දෙපාර්තමේන්තුව කොමිසමක් බවට අලුත් වුණත් තවමත් ඔවුන් යැපෙනුයේ යල් පැනගිය ක්‍රමවේදයන් මතයි. බලන්න වාර්ෂිකව ඔවුන් අලුත් නාමලේඛන ලියාපදිංචි කරන්න කෝටි ගණනක මුදලක් වැය කරනවා. ඇයි ඔවුන්ට මේ සඳහා නව තාක්ෂණය උපයෝගී කරගන්න බැරි.
කාලයක් මුළුල්ලේ සිටම මැතිවරණයකට ඉදිරිපත්වෙන ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණයෙන් වැඩි වෙමින් පවතිනවා. මෙය එක්තරා විදිහක මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් බවට පත්වෙලා. ඇත්තෙන්ම මෙය පාලනය කරන්න බැරිද?
ඔබේ කතාව ඇත්ත. මේ යල් පැනගිය මැතිවරණ ක්‍රමය මගින් ප්‍රජාතන්ත්‍රවාදය නීත්‍යණුකූල පදනමකින් අවභාවිතා කරන එක අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. පසුගිය මැතිවරණයට විතරක් කණ්ඩායම් තිස්පහක් ඉදිරිපත්වී තිබුණා. ඇතැම් උදවිය බඩු ගන්න කඩේ යන ගමන් නාම යෝජනා පත්‍රයට අත්සන් කරලා තිබුණා. ඒ නිසාම මෙය වෙනස් විය යුතුමයි. මේ හැම කණ්ඩායමක්ම පසුබිමේ ඉන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ බව නොරහසක්. ඔවුන්ට ඡන්ද පොළ සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි නියෝජිතයන් වැඩි කර ගන්න වක්‍රාකාරයෙන් මේ ක්‍රමවේදයට අනුගත වෙලා තියෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදයත්, ඡන්ද ක්‍රමයත්, ඡන්ද දායකයාවත්, හාස්‍යයට හා හෑල්ලුවට ලක් කෙරෙන ආකාරයේ සිදුවීම් පසුගිය මැතිවරණයේදී අප දුටුවා?
ශ්‍රී ලංකාවේ කෝටිපතියෙකු වෙන්න නම් මාධ්‍ය බලපත්‍ර ලාභියෙකු වීම හෝ දේශපාලන පක්ෂයක හිමිකාරිත්වයක් හොඳටම ඇති. පසුගිය කාලයේ දේශපාලන පක්ෂ හා නියෝජිතයෝ කෝටි ප්‍රකෝටි ගණනට අලෙවි වූ බව නොරහසක්. දේශපාලන වෙළෙඳ පොළේ මේ අය මාකට් කරන ඒජන්තවරුන්ද සිටිනවා. වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ බල කරළියේ මේ රංගනය ප්‍රධාන ගැටලුවක් බවට පත්වී හමාරයි. ඒ නිසාම
මැතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සංඛ්‍යාව අනිවාර්යෙන්ම සීමා කළ යුතුයි. එහෙම සීමා කරන්නේ කොහොමද?
හරිම සරලයි. පාර්ලිමේන්තු මැතිවරණයකදී අපේක්ෂකත්වය ලබා දිය යුත්තේ පළාත් සභා හෝ ප්‍රාදේශී සහ නගර සභා මැතිවරණයකින් ජයගෙන තියෙන පක්ෂයකට හෝ පුද්ගලයෙකුටයි. එම සුදුසුකම අනිවාර්ය කළ යුතුයි. මේ පූර්වාදර්ශය අපට ඉන්දියාවෙන්ම ගන්න පුළුවන්. මැතිවරණ කොමිසම වහාම මේ සඳහා ක්‍රියාත්මක විය යුතුයි දේශපාලන පක්ෂ හුරතල් නොකර පිරිපහුදු කරලා වාර්ෂික ගිණුම් වාර්තා නොදෙන දේශපාලන පක්ෂ අත්හිටුවිය යුතුයි. කොමිසමේ නම්‍යශීලීත්වය ප්‍රයෝජනයට අරගෙන ඒවගේ පක්ෂ හිල්වලින් රිංගලා ගිහින් කොමිසමටම පහර දෙනවා. මැතිවරණ කොමිසම සතුව ශක්තිමත් නීතිරීති පද්ධතියක් තිබෙනවා. නමුත් එය මෙතෙක් නිසි අයුරින් ක්‍රියාත්මක වී නැහැ. ඒ නිසා වැරදි පාරේ යන අය වැඩිවෙලා.
මෙවර අප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයේ ප්‍රවණතාවක් දකිනවා මෙයට හේතු මිනිස්සු තුළ පවතින කලකිරීමද?
1947 පැවතුන පළමු මහා මැතිවරණයේදී ඡන්ද හිමි සංඛ්‍යාව ලක්ෂ තිහයි. මෙයින් ලක්ෂ දහඅටකට වැඩි ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශිත වුණා. ප්‍රතිශතය 52෴යි. ඕනෑම ඡන්දයකදී ඡන්දය ප්‍රකාශය නොකරන පිරිසක් ඉන්නවා. මෙයට බොහෝ දුරට හේතු වන්නේ ඡන්දය භාවිත කිරීමට පහසුකම් නොමැති වීමයි. මෙවර පැවති මහ මැතිවරණයේදී එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසූ පහක් ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වී තිබුණා. එයින් එක්කෝටි විසිතුන් ලක්ෂ අසූ දෙදෙහස් තුන්සිය අනූ දෙකක් ඡන්ද භාවිත කර තිබුණා. ඒ අනුව තිස්නම ලක්ෂ විසි එක් දහස් හාරසිය අනූ තුනක් ඡන්දය භාවිත කරලා නැහැ. සමස්තයක් වශයෙන් එය 24.11෴ ප්‍රතිශතයක් ලෙස දැක්විය හැකියි.
මේ අප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් පැහැදිලිවම ලක්ෂ දහසයක් පමණ මැදපෙරදිගත්, තවත් හාරලක්ෂයකට වැඩි ප්‍රමාණයක් යුරෝපා රටවලත් ඉන්නවා. සමස්තයක් වශයෙන් මේ විදේශගත වී සිටින ප්‍රමාණය ලක්ෂ විසි හතරක් පමණ වේවි. අනෙක් ලක්ෂ පහළොවම ඉන්නේ ශ්‍රී ලංකාවේ. මේ අයගෙන් කටුනායක බියගම ඇතුළු වෙළෙඳ කලාප 13ක සේවය කරන පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දුෂ්කර පළාත්වල සිට මෙහි පැමිණිලා රැකියා කරන අයයි. ඔවුන්ට සිය ගම්බිම්වලට ගිහින් එන්න රුපියල් පන්දහසක් පමණ වියදම් වෙනවා. මෙවැනි මුදලක් වියදම් කරල ඡන්දය දාන්න යන්න ඔවුන් උනන්දු නොවන හේතුව තමයි මේ දේශපාලන ක්‍රමයේ පවතින කලකිරීම. ඔවුන්ගේ වටිනා ඡන්දය දෙන්න වටිනා අපේක්ෂකයෙක් නොමැති වීමත් වෙන්න පුළුවන්.
ඒ වගේම පුද්ගලික ආරක්ෂක අංශයේ ලක්ෂ ගණනාවකුත්, ප්‍රධාන අධිවේගී මාර්ගවල රැකියාවේ නිරත තවත් පිරිසක් සහ තවමත් වරදකට චෝදනා නොලැබූ රක්ෂිත රැඳවියන්, මුහුදු ගොස් සිටින ධීවරයන්, රෝහල්ගතව සිටින රෝගීන් මේ ඔක්කොම එකතු වුණාම තමයි මෙවර අප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. මෙයට අමතරව ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 744000ක් ඡන්දය ප්‍රතික්ෂේපිතයි. එයත් ඉතාමත් ගැටලු සහගතයි.
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ