දෙවැනි රැල්ල ඉවර වේගෙන යද්දී ඒ මත තුන්වැනි රැල්ලක් ඇති වීමට හැකියාවක් තිබෙනවා


කෝවිඩ් 19 වසංගතය පාලනය කරන්නට රටක් ලෙස ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවාද? සමාජය තුළ මිත්‍යාව හා අඳුරේ අතපත ගාන ස්වභාවයක් දක්නට ලැබෙනවා යැයි ජනතාව පවසන්නේ එම තීන්දු තීරණ වල පවතින අඩුපාඩු නිසාද? යන්න සමාජයේ බහුලව සාකච්ඡා වන්නකි. ශ්‍රී ලංකාවේ හිටපු වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විශේෂඥ  වෛද්‍ය නිහාල් අ‍බේසිංහ මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරුනේ එම ප්‍රශ්න වලට පිළිතුරු රැසක් අනාවරණය කර ගනිමිනි.

මිත්‍යාව හා කෝවිඩ්

ලෝකයේ මෙතෙක් ඉතිහාසයේ මතුවූ ඕනෑම වසංගතයක් පිළිබඳව පොදු තත්ත්වයක් වන්නේ මිත්‍යා අදහස් ඇතිකර ගැනීමයි. වසංගතයක් ලෝකයේ පැතිරෙන අවස්ථාවක සමාජයන් හැසිරෙන ආකාරයන් කිහිපයක් අපිට ලෝකයේ දැකගත හැකියි. මූලිකව ඔවුන්ට ඇතිවන්නේ බිය හා සැකය කියන දෙයයි. ඒ සමගම අපි වර්තමාන තත්ත්වය බැලුවොත් මාධ්‍ය නිසා මුළු ලෝකයම එකට බැඳිලා තිබෙනවා. අපි කෝවිඩ් 19 රෝගය චීනයේ පැතිරෙද්දී මාධ්‍ය හරහා දැක්කේ චීනයේ දැඩි සත්කාර ඒකකවල රෝගීන් දුක් විඳින ආකාරය හා ප්‍රතිකාර කරන ආකාරයයි. අපි දැක්කෙ නෑ රෝගීන් සුවය ලබා ගෙදර යන ආකාරය. කෝවිඩ් 19 රෝගය මාරාන්තිකයි කියන පණිවුඩයයි ලෝකයට ගියේ. ඒ නිසා මුළු ලෝකයම භීතියෙන් වැළලී ගියා. අපි බැලුවොත් H1N1 ඉන්ෆ්ලුවෙන්සා රෝගයේදී මේ තත්ත්වය ඇතිවුණේ නැහැ. 2009 වර්ෂයේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ගෝලීය වසංගතයක් බවට පත්වෙයි කියලා  ලෝක සෞඛ්‍ය සංවිධානයත් සූදානම් වුණා. නමුත් එයට අපේ රටවල් බය වුණේ නැහැ. මොකද ඝර්ම කලාපීය රටවල් දැනගෙන හිටියා ඉන්ෆ්ලුවෙන්සාව කියන්නේ අපිට අලුත් දෙයක් නොවන බව. ඒ නිසා එය අපි කාටවත් දැනුණෙ නැහැ. චීනයේ කෝවිඩ් පැතිරෙද්දී අපේ රටත් බය වුණා. මොකද අපි හිතාගෙන ඉන්නවා චීනය කියන්නේ අපේ කලාපයේ රටක් කියලා. ඒ නිසා අපිට එය වැඩි වශයෙන් දැනුණා. ගෝලීය වසංගතයක් පැතිරෙනකොට සාමාන්‍යයෙන් ලෝකයේ සිදුකරන දෙයක් තමයි එයට හේතුව සොයා බලන එක. ඉතින් සාමාන්‍ය මිනිස්සුත් හේතු හොයනවා වගේම විද්‍යාඥයනුත් හේතු හොයනවා. විද්‍යාඥයන් මෙයට හේතු හොයන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේයි. නමුත් සාමාන්‍ය ජනතාව හේතු හොයන්නේ ඒ ඒ අයගේ ක්‍රමවලට. මීට අවුරුදු 20කට විතර කලින් ජීවත් වුණ මිනිස්සු හූනෙක් ඇඬුවොත් ගෙදරින් එළියට බැස්සෙ නෑ. හූනා ඇඬූ අවස්ථාවක එළියට බැහැලා ගිය කෙනෙක්ට හිතාගන්න බැරි දෙයක් සිදුවුණා නම් මිනිස්සු ඒ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් ඇති කර ගත්තා. මේක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. දැනුම ඇතිව හෝ නැතිව හේතු සෙවීමට මනුෂ්‍යයා පෙළඹෙනවා. මෙහිදී තමයි මිත්‍යාව කියන දේ මතුවෙන්නේ. මොකද මිනිසා තමන්ට සමීප දෙය තමයි හේතු හොයන්න යොදා ගන්නේ.

විද්‍යාඥයන්ට සමීප දේ වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයයි.  මේ වසංගතය සම්බන්ධයෙන් ලංකාවේ පර්යේෂණය කරන ප්‍රධාන පුද්ගලයන් අතරට ඊමේල් පණිවුඩයක් ආවා. එහි සඳහන් වුණේ හොංකොං වල කෝවිඩ් 19 රෝගීන් මිය ගියාම අනුගමනය කරන්න නිකුත් කළ නිර්දේශ. මෙහි It is advisable to Cremate the Covid 19 patients යනුවෙන් සඳහන් වෙලා තිබුණා. මෙහි Advisable කියන වචනයේ තේරුම වඩා හොඳයි කියන එක මිසක් අනිවාර්යෙන් කළ යුතුමයි කියන එක නොවෙයි. නමුත් මේ වචනය එක එක අය එක එක විදිහට තේරුම් කරනවා. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට එය අර්ථ දක්වන්න උත්සාහ කරනවා. මෙහෙම තමයි මිත්‍යාව පැතිරෙන්නේ. කවුරුහරි හීනෙන් ඇවිත් කිව්වා ආදී කුමක් හෝ දෙයක් හදාගන්නවා. අපි දන්නවා මේ රෝගයට ප්‍රතිකාරයක් නැහැ කියලා විවෘතව බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රකාශ කර ඇති බව. එවිට අනෙක් අය උත්සාහ කරනවා වෙනත් ක්‍රමයකින් මෙයට යමක් කරන්නට. ඒ අනුව කොත්තමල්ලී, වෙනිවැල්ගැට හොඳ නැත්තේ ඇයි ආදී දේවල් හිතට එනවා. එකිනෙකාට සමීප දේවල් එක්ක තමයි මේ අය විසඳුම් හොයන්නේ. සාමාන්‍ය ජීවිතයක් ගතකරන පුද්ගලයෙක්ගේ ලෝකය හරිම පුංචියි. ඒ පුද්ගලයාගේ වපසරිය ඇතුළත සිදුවන දේ තුළින් තමයි මෙයට පිළියම් හොයන්නේ. මෙලෙස හොයන පිළියම් ගැන ඔවුන් දක්වන අදහස් මාධ්‍ය තුළින් පළ කළාට විද්‍යාත්මක දැනුම තිබෙන අය ඒවා පිළිගන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා විද්‍යාවෙන් එම කරුණු පිළිගන්න බැහැ කියලා. නාගයෙක් පොළව පළාගෙන මතුවුණා කිව්වම පිළිගන්න පිරිසක් ඉන්නවා. නමුත් විද්‍යාව දන්න මනුෂ්‍යයෙක් ඒවා ගැන හිතන්නවත් යන්නෙ නැහැ. පැණිය ගැන අපි වචනයක්වත් කතා කරන්න යන්නෙ නැත්තෙත් ඒ නිසයි. මොකද අපිට එය වැඩක් නැහැ. අපිට කතා කරන්න පුළුවන් ආයුර්වේදයෙන් හරි බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හරි විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කළොත්.  බිය සැක මතුවුණාම අපි ඒකට හේතු හොයනවා. ඒයට මොනවා හරි පිළියමක් හොයනවා. මෙන්න මෙහිදී තමයි මිත්‍යාවත් එයට එකතු වෙන්නේ. මේක තමයි ලෝක ස්වභාවය. අපි ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ උවමනා දේ  ලබාගැනීම පමණයි.

ගෝලීය වසංගතයකදී විශ්වාස කළයුතු මූලාශ්‍ර

අපි බැලුවොත් මේ වගේ තත්ත්වයකදී අපිට තොරතුරු ගලාගෙන එනවා.මේ කාලසීමාවේ ප්‍රධාන මාධ්‍ය වලට මෙන්ම සමාජ මාධ්‍යවලටත් අවශ්‍ය උණුසුම් ප්‍රවෘත්තියි. මෙයට තරගයක් තිබෙනවා. ඒ අනුව විවිධ කරුණු ඉදිරිපත් කරනවා. ඇතැම් කරුණු දවසයි, දෙකයි තියෙන්නේ. ඊට වෙනස් කරුණක් ඊළඟ සතියේ වාර්තා කරනවා. මේ නිසා තමයි බොහෝ කරුණු ඇතිවෙලා නැතිවෙලා යන්නේ. මෙය සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ අනුව අපි දන්නවා මේක වෛරසයක් නිසා සිදුවන දෙයක් කියලා. ඒ අනුව අපිට තොරතුරු සපයන ප්‍රධාන ආයතන කිහිපයක් තිබෙනවා. ඒ ආයතන අතරිනුත් ප්‍රමුඛ ආයතන තිබෙනවා. මේ වගේ තත්ත්වයකදී අපි පිළිගන්න ප්‍රධාන ආයතනය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය. එයට අමතරව ඒ ඒ රටවල රෝග වැළැක්වීම පිළිබඳ පිහිටවූ  විවිධ අංශ තිබෙනවා. ඇමෙරිකාවට cdc ආයතනය තිබෙනවා වගේ අනෙකුත් රටවලටත් ආයතන හෝ අමාත්‍යාංශ තිබෙනවා. මේවායෙන් සපයන තොරතුරු ගැන වග වෙන්නට හා වග කියන්නට ඔවුන්ට සිදුවෙනවා. අපේ රට ගැන බැලුවොත් වසංගත විද්‍යා ඒකකය වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදි තොරතුරු රටට ගෙන ඒම සම්බන්ධයෙන් වන වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඒ අනුව මේ වගේ වග කියන ආයතන වලින් දෙන තොරතුරු පිළිගන්න අපට සිදු වෙනවා. මේ ආයතන වලට පරිබාහිරව මිනිසුන් ඉන්න පුළුවන් නිවැරදි තොරතුරු ලබාදෙන. ඒ අනුව අපිට ඒ තොරතුරු සාකච්ඡා කරන්න  භාවිත කළ හැකියි. නමුත් අපි හැම වෙලාවකම පිළිගත යුත්තේ වගකිව හැකි ආයතනයක් විසින් නිකුත් කරන තොරතුරුයි. ඒ හැර මාධ්‍ය තුළින් නිකුත් කරන හැමදෙයක්ම විශ්වාස කරන්න ගියොත් අපිට මොනවා වේවිද දන්නෙ නැහැ. ඒ අනුව අපි මේ වෙලාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දෙන තොරතුරු තමයි විශ්වාස කළ යුත්තේ. ලංකාවේ අපිට වසංගත රෝග විද්‍යා අංශය ලබාදෙන තොරතුරු විශ්වාස කළ හැකියි. නමුත් වර්තමානයේ අපේ රටේ වෙන දේ ගැන නම් ප්‍රශ්නාර්ථයක් තමයි තියෙන්නේ. අපිට පේනවා විද්‍යාත්මක ක්‍රමවේදයකින්ම නොවෙයි දැන් අපේ රටේ මේ කටයුතු සිද්ධ වෙන්නේ කියන එක. එතන තමයි අපිට ගැටලුව වෙන්නේ. දවස් දෙකකට වරක් වසංගත රෝග විද්‍යා අංශයෙන්  ජනතාවට තොරතුරු කියනවා නම් මේ ගැටලු මතුවෙන්නේ නැහැ. දැන් ගැටලුව වී තිබෙන්නේ මේ අංශය නිහඬ වෙලා තමන්ගේ වගකීමෙන් බැහැර වෙලා තිබෙන නිසයි. එවිට හැමදෙනාම කියන දේවල්  ඇත්ත කියලා හිතන්න මිනිස්සුන්ව පොළඹවනවා. එය තමයි මේ වෙන්නේ.

අදාළ නොවන අංශ අතට පාලනය ගොස් අනා ගැනීම

ඇත්තටම අපි මේක අනාගෙනයි ඉන්නේ. අනිත් එක තමයි අපි මොකක්ද මේ කරන්නේ? අපි මොකක්ද කළ යුත්තේ? කියන දේ පිළිබඳව පැහැදිලි අදහසක් නෑ කියන එක දැන් මුළු රටම දන්නවා. ඉතිහාසය ගත්තොත් 1959 වර්ෂයේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ වසංගත රෝග විද්‍යා අංශය පිහිටුවන්නේ. එදා සිට අවුරුදු 61ක් මේ අංශය වසංග රෝග තත්ත්ව ගණනාවකට මුහුණ දීලා අත්දැකීම් සම්භාරයක් ලබාගෙන තිබෙනවා. 1970 ගණන් වල සිට වසංගත රෝග විද්‍යා ඒකකය බෝවන රෝග පිළිබඳව සතිපතා වාර්තා කැඳවනවා. ඒක තවමත් සිදුකරමින් පවතිනවා. මම අවුරුදු 21ක් වසංගත රෝග විද්‍යා අංශයේ සේවය කළා. අවුරුදු 5ක් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා ලෙස සේවය කළා. මේ ආයතනය තමයි ඉතිහාසය පුරාම රටේ වසංගතයක් ආවම එයට නායකත්වය සැපයුවේ. වසංගත රෝග විද්‍යා අංශය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දෙන්නේ හා නායකත්වය ලබාදුන්නේ. ඔවුන් කියන දේවල් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යවරයා ක්‍රියාත්මක කළේ. වසංගත රෝග විද්‍යා අංශය කියන දේ තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම සෞඛ්‍ය ලේකම්වරයා ක්‍රියාත්මක කළේ. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අද වසංගත රෝග විද්‍යා අංශය පැත්තක තිබෙද්දී වෙනත් අය මේ සියලු දේ තමන්ගේ අතට අරගෙන කටයුතු කරන ස්වභාවයක් අපිට පේන්න තියෙනවා. අපි රටක් විදිහට අසාර්ථක වෙලා තියෙන්නේ ඒ නිසයි. පහුගිය අවුරුදු 60දීම වසංගත රෝග විද්‍යා අංශය තනියම නොවෙයි කටයුතු කළේ. ඒ අංශය මූලිකත්වය ගෙන කටයුතු කළා. මේ අංශයේ තිබෙනවා තාක්ෂණික කමිටුවක්. එය අවුරුදු 60ක් පාවිච්චි කළා. ඒ තාක්ෂණික කමිටුව තමයි තීරණ ගත්තේ. ඒ කමිටුවට අදාළ සියලුදෙනාම කැඳවනවා. සමාජ විද්‍යාඥයන්, වෛරස විද්‍යාඥයන්, බැක්ටීරියා විද්‍යාඥයන්, ආරක්ෂක සේවාවන් වල ප්‍රධානීන් ආදී ඕනෑම ක්ෂේත්‍රයක ප්‍රධනීන්ව මේ කමිටුවට කැඳෙව්වා. එතැනින් තමයි මේ දක්වා සියලුම තීන්දු තීරණ ගත්තේ. පෝලියෝ වළක්වන්න, පිටගැස්ම වළක්වන්න, සරම්ප වළක්වන්න, ඩෙංගු වළක්වන්න, ජැපනීස් එන්සපලයිටීස් වළක්වන්න, සෙංගමාලය වළක්වන්න කටයුතු කළේ මේ අංශයෙන්. මෙකී රෝග ගණනාවක් අවුරුදු ගණනාවක් පුරා පාලනය කරලා, අපේ රටෙන් තුරන් කරන්න මැදිහත් වුණ ආයතනය හා ඒ සංවිධිත ක්‍රමය තමයි අද අපි මේ බැහැර කර තිබෙන්නේ. අද වෙන්නේ අපිට පුළුවන් කියලා හිතන් ඉන්න කණ්ඩායමක් මේක පාලනය කරන්න අතට අරන් ඉන්න එකයි. ඒක තමයි පවතින අවුල. මේක අනාගෙන, අවුල් කරගෙන දැන් තීන්දු තීරණ ගන්නේ කවුද කියලවත් දන්නෙ නැති තැනට ඇවිල්ලා. එයට හොඳම උදාහරණය තමයි එංගලන්තය අලුත් වෛරස ප්‍රභේදයක් ඔවුන්ගේ රටේ පැතිරෙන බව නිවේදනය කළාට පසුව අපේ රට විදේශකයන් සංචාරයන් සඳහා ගෙන එන තත්ත්වය. යුරෝපා රටකින් තමයි අපි මේ සංචාරකයන් ගෙන එන්නේත්. ඒකත් අපි දන්නවා යුරෝපයේ පැතිරෙන වෛරස් ප්‍රභේදය දැන් පැතිරෙන ප්‍රභේදයට වඩා 70%කට වැඩි වේගයෙන් බෝ වෙන බව. එහෙම දැන දැනත් අපි යුරෝපා රටකින් සංචාරකයන් ලංකාවට ගේනවා. මේවා ගැන කතා කරන්නේ කොහේද? කවුද මේවාට තීන්දු තීරණ ගන්නේ?

දිනෙන් දින අලුත් වෙන කෝවිඩ් වෛරසය

ඕනෑම වෛරසයක් විකෘති වෙන්න පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන්. අපි දන්නවා කෝවිඩ් 19 වෛරසය සතුන් තුළ තිබිලා පරිණාමනය වෙලා මනුෂ්‍යයාට හානිකර තත්ත්වයකට පත්වුණා කියලා. මේ වෛරසය චීනයේ වූහාන් වලින් පටන්ගෙන මුළු ලෝකෙටම පැතිරිලා තිබෙනවා. මේ වෛරසය තමන් ඉන්න පරිසරය අනුව අනුවර්තනය වන ක්‍රම ඕනෑ තරම් තියෙනවා. අපි පරිසරයකට අනුවර්තනය වෙනවා වගේම වෛරසත් පරිසර වලට අනුවර්තනය වෙනවා. අපි මෙයට පරිණාමනය කියන වචනය නොවෙයි මෙහිදී පාවිච්චි කරන්නේ Mutation කියන එකයි. නමුත් එහි අවසාන අදහස තමයි පරිණාමනය කියන එක. ඒ කියන්නේ වෙනස්කම් වලට භාජනය වීමයි. එය පොදු දෙයක්. මෙය වෛරසයකට වගේම බැක්ටීරියා වලටත් පොදුයි. සමාජයේ වෛරසයක් පැතිරෙනවා නම් එය වෙනස්කම් වලට ලක්වෙනවා. මේ වෙනස්කම් නිසා විවිධ දේ සිදුවෙන්න පුළුවන්. එක්කෝ මේ වෛරසය පැතිරෙන එක වේගවත් වෙනවා. නැත්නම් වේගය බාල වෙනවා. නැත්නම් මාරාන්තික ස්වභාව වැඩි හෝ අඩු වෙනවා. එලෙස ඕනෑම දෙයක් සිදුවෙන්න පුළුවන්. ඒ අනුව ලංකාවේ පැතිරුණත්, යුරෝපයේ පැතිරුණත් සිදුවන්නේ එකම දෙය. ගෝලීය සංචරණ තත්ත්වය මත එක රටක තිබෙන වෛරසයක් තවත් රටකට පහසුවෙන් ගමන් කරන්න තියෙන හැකියාව වැඩියි. මොකද මේ වෛරසය අරන් යන්නේ පුද්ගලයන් හෝ භාණ්ඩයි. භාණ්ඩ පැය 72ක් ඇතුළත රටකින් රටකට ගෙන යනවා නම් රටකින් රටකට මේ වෛරසය පැතිරෙන්න පුළුවන්. නමුත් භාණ්ඩ හරහා වෛරසය බෝ වෙද්දී සිදුවන්නේ මතුපිට පෘෂ්ඨය මත තැවැරුණු වෛරසය තවත් පුද්ගලයෙකුගේ ශරීරයේ තැවරිලා ආසාදනය වීමයි. ඒ හැර බාහිර පරිසරයේදී වෛරසය ඛණ්ඩනය වීමක් හෝ ගුණනය වීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා වෛරස ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. ඉතින් භාණ්ඩ හරහා සිදුවන්නේ එක් තැනක තිබෙන වෛරසය තවත් තැනකට ගමන් කිරීමයි.

මළමිනී වලින් වැළලී අනාගතයට යන වෛරස

සීත දේශගුණික තත්ත්ව මත හිම කඳු අස්සේ වෛරස නොනැසී තිබුණාද, බැක්ටීරියා නොනැසී තිබුණාද කියන එකට සවිස්තර උත්තරයක් මට ලබාදෙන්න බැහැ. ඒ කලාපවල රටවලට එවැනි ගැටලු ඇතිවෙන්නට පුළුවන්. ඒ පිළිබඳ යමක් ප්‍රකාශ කරන්න පෙර අපි විද්‍යාත්මකව තිබෙන තොරතුරු හා දත්ත ගැන අධ්‍යයනය කරන්න අවශ්‍යයි. නමුත් ඝර්ම කලාපයේ රටවල එහෙම තත්ත්වයක් නැහැ. කෝවිඩ් වසංගත තත්ත්වය මත Evidence base medicine නමින් අධ්‍යයනයක තොරතුරු  පසුගිය සතියේ පළකර තිබුණා. එහි තිබුණෙත් සීත පරිසරවලදී වෛරසයක හැසිරීම වෙනස් බවත්, ඝර්ම කලාපීය රටවල වෛරසයක හැසිරීම වෙනස් බවත්. විශේෂයෙන් ඝර්ම කලාපීය උෂ්ණ රටක පරිසරයේ වෛරසය තිබුණත්, ඉතාම කෙටි කාලයයි එය පවතින්නේ. එසේම උෂ්ණාධික පරිසරයක වෛරසයකට දිගු කාලයක් ජීවත් වෙන්න බැහැ කියන තොරතුර තමයි අපි දන්නේ. උෂ්ණාධික පරිසරයකට මෙවැනි වෛරසයක් නිරාවරණය වුණාම ඉතාම ඉක්මනින් මිය යනවා. පරිසරයේ ශීත බවක් තිබුණෙ නැත්නම් වෛරසය පරිසරයේ රැඳෙන කාල සීමාව ඉතාම අඩුයි. මළ මිනී ගැන තිබෙන ප්‍රශ්නය ගැන බැලුවොත් පුද්ගලයෙක් අවසානයට ජීවත් වන මොහොත නැත්නම් මරණ මොහොතේදී එම පුද්ගලයා තුළ යම් රෝගයක් පවතිනවා නම් ඒ වෛරසය ඔවුන්ගේ ශරීරයේ තිබෙන්නට පුළුවන්. මරණ මොහොතේ ඒ පුද්ගලයාගේ ශරීරයේ අදාළ වෛරසය තැවරී තිබෙනකොට, ඇතිරිලිවල තැවරී තිබෙනකොට, ඒ වෛරසය ගුණනය වීමක් සිදුවන්නේ නෑ. ඛණ්ඩනය වෙන්නෙ නෑ. සිදුවිය හැකි වෙන්නේ වෛරසය තව කෙනෙකුගේ අතේ හෝ ශරීරයේ තැවරීමක් පමණයි. එයත් සිදුවන්නේ මෘතශරීරයේ කටයුතු සිදුකරන ක්‍රමවේදය අනුවයි. කෙනෙක් මිය ගියාට පසුව කෙටි කාලයකින් වෛරසය මිය යනවා. රෝගියෙක් මිය ගියාට පසු කොහොමටවත් වෛරසය ගුණනය වීමක් හෝ ඛණ්ඩනය වීමක් සිදුවන්නේ නැහැ. ජීවී සෛලයක් නැතිව මේ වෛරසයට ජීවත් වෙන්න බැහැ. ඒ සාධකය මත තමයි අපි කියන්නේ පසට එකතු වෙලා, ජලයට එකතු වෙලා තව කෙනෙකුට බෝ වෙන්නේ නැති බව. මොකද මේ වෛරසය ජලයෙන් බෝ වෙන වෛරසයක් නොවෙයි. ඒ නිසා මේ ලෝකයේ තවම නිශ්චිතව සොයා ගත් සාක්ෂි නැහැ මළ මිනියක් වැළලුවාම මේ රෝගය ව්‍යාප්ත වෙනවා කියන එක සම්බන්ධව. අපි කියන්නේ විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. යම් අයුරකින් මළ මිනී වැළලුවාම පසට මේ වෛරසය එකතු වෙලා, ජල මූලාශ්‍රවලට එකතු වෙලා පැතිරෛනවා කියලා කවුරුන් හරි විද්‍යාත්මකව ඔප්පු කළොත්, අපිට එහි කරුණු සොයා බලලා එයට එකඟ වෙන්න පුළුවන්. නමුත් දැනට කෝවිඩ් රෝගය සම්බන්ධයෙන් 85,000කට අධික විද්‍යාත්මක අධ්‍යයනයන් කර තිබෙනවා. ඒ කිසිම අධ්‍යයනයක මෙකී තොරතුරු නැහැ. ඒ අනුව කෝවිඩ් ආසාදිත මළමිනියක් වැළලුවාම  එයින් වෛරසය පැතිරෙනවා කියන එක පිළිබඳව අපිට පිළිගන්න බැහැ. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් පිළිගත් ආයතන එවැනි තොරතුරක් සඳහන් කරන්නේ නැහැ. ඔවුන් කෝවිඩ් 19 ආසාදිතයෙකුගේ මළසිරුරක් ආදාහනය කළ යුතුමයි කියලා සඳහන් කරන්නෙත් නැහැ. ඔවුන් කියන්නේ ආදාහනය හෝ භූමදානය කළ හැකියි කියන දෙයයි. ඉතින් ඇයි අපේ රට විතරක් එතැනින් වෙනස් වෙන්නේ. අපිට වෙනස් වෙන්න ඕන නම්  කවුරුන් හෝ ඉදිරිපත් කරන ප්‍රබල සාක්ෂි මත පදනම්වයි වෙනස් වෙන්න ඕන. එසේ නැතිව මිත්‍යාව මත ඉඳලා නෙවෙයි. මළසිරුරු භූමදානය කරලා තව අවුරුදු 10කින් මේ ගැන නිවැරදි තොරතුරක් ආවම අපි මොකක්ද දෙන පිළිතුර කියලා ඇතැමුන් අපෙන් ප්‍රශ්න කරනවා. එහෙම දේවල් ඕනෑතරම් වෙන්න පුළුවන්. අපි දන්නවද තව මාසයකින් අපේ රටේ ලොකු ස්වාභාවික විපතක් වෙනවා කියලා? නැහැ. නමුත් අපිට විවිධ දේවල් හිතෙන්න පුළුවන්. හීනෙන් පේන්න පුළුවන්. ඒවා මත තීන්දු තීරණ ගත්තොත් අපිට ජීවත් වෙන්න බැරි වෙයි. එහෙනම් අපිට ගෙදරින් එළියට බහින්නෙ නැතිව අත් හෝද හෝද ගෙවල් ඇතුළට වෙලා ඉන්නයි සිදුවෙන්නේ. අපිට කන බොන ඒවා සපයන්න වෙන කවුරු හරි ඉන්න වෙනවා. නමුත් එහෙම වෙන්නෙ නෑනේ. අපිට එදිනෙදා වැඩ කරගන්න සිදුවෙනවා. එහිදී අපිට තිබෙන තොරතුරු පාවිච්චි කරලා තමයි මේ තීන්දු තීරණ ගන්න සිදුවෙලා තිබෙන්නේ. එහෙම බැලුවාම තිබෙන දත්ත පදනම් කරගෙන අපි තීන්දු තීරණ ගනිමු. තොරතුරු වෙනස් වෙන දවසක අපි අපේ තීරණ වෙනස් කරමු.

ලංකාවේ කොවිඩ් පාලනයේ සාර්ථක අසාර්ථක බව

ඕනෑම රටක තීන්දු තීරණ ගන්නේ ඒ රටේ ආණ්ඩුව. ආණ්ඩුවක් ගන්න තීන්දු තීරණ මත තමයි ජනතාවගේ හැසිරීම තීරණය වෙන්නේ. අපිට රටක තත්ත්වය හොඳද? නරකද? කියන එක මනින්න සිදුවෙන්නේ යම් නිර්ණායක මත පිහිටලයි. අපේ රටේ මාර්තු - අප්‍රේල් කාලය දිහා බැලුවාම පළමු රැල්ල පාලනයට අපි මොනවද කළේ කියල බලමු. අපි නිර්ණායක ලෙස භාවිත කළේ රෝගය වැලඳුණු පුද්ගලයන් සංඛ්‍යාව, රෝගය වැලඳී රෝහල් ගත කළ සංඛ්‍යාව, වෛරසය වැලඳී මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව ආදියයි. මේ නිර්ණායක මත අපේ රටේ ඔක්තෝබර් මාසයේ පළමු සතිය වෙනකන් මාස 7ක කාලය තුළ කෝවිඩ් 19 රෝගීන් වාර්තා වුණේ තුන්දහස් හත්සිය පනහක් වැනි ගණනක් පමණයි. මරණ 13යි. රෝහල් වල බරපතළ ගැටලු තිබුණේ නැහැ. අද වෙද්දී අපේ නිර්ණායක වලට මොකක්ද වෙලා තියෙන්නේ. අද වෙද්දී රෝගීන් ගණන 43,000 ඉක්මවා ගිහින්. ඒ කියන්නේ එදා හිටිය රෝගීන් ප්‍රමාණය 10 ගුණයකට වඩා වැඩි වෙලා. 13ක් විදිහට තිබ්බ මරණ ගණන අද 225ක් වෙලා. 16 ගුණයකින් මරණ වැඩි වෙලා. මේ වෙද්දී රෝහල් ගත කරන පුද්ගලයන් සංඛ්‍යාව හත්දාහකට වැඩියි. ප්‍රතිකාර මධ්‍යස්ථාන වල පරීක්ෂණ ධනාත්මක වූ අය දහස් ගණනක් ඉන්නවා. අහඹු පරීක්ෂණයන්ට භාජනය කළොත් අවම තරමේ පුද්ගලයන් පහකට වඩා ධනාත්මක වෙනවා. කොයි අතින් බැලුවත් ඔක්තෝබරයට පෙර රටේ තිබ්බ තත්ත්වයට වඩා හාත්පසින් දරුණු තත්ත්වයක් අද තිබෙන්නේ. ඒ අනුව අපිට කිසිසේත්ම රටේ කෝවිඩ් තත්ත්වය ගැන සතුටු වෙන්න බැහැ. මෙයින් වෙන්න පුළුවන් දේ තමයි දිනකට 600-700ක් මරණ 3-4ක් වාර්තා වෙලා ක්‍රමයෙන් අඩුවීම. එසේ නැත්නම් ක්‍රමයෙන් මේ රැල්ල ඉවර වේගෙන යද්දී ඒ මත තුන්වැනි රැල්ලක් ඇති වීම. මොකද අපේ රටේ එන්නත් ලබාදීමේ යාන්ත්‍රණය තව මාස කිහිපයක් කල් යාවි. ඒ වගේම එන්නත්කරණයේ ප්‍රතිඵල සාර්ථකද, අසාර්ථකද කියන එක තාම ලෝකයම හරිහැටි දන්නෙ නැහැ. ඒ අනුව අපිට මොන ප්‍රතිඵල ලැබෙයිද කියලා කියන්න බැහැ. අපිට ඒ අනුව සතුටු වෙන්නත් බෑ. අසතුටුයි කියලා කරන්න දෙයකුත් නෑ. මේ කටයුතු ස්වේච්ඡාවෙන් භාරගන්න සිදුවන ආයතනය තමයි රජය කියන්නේ. ඒ අනුව ආණ්ඩුව තුළ 69 ලක්ෂයකට අධික මනාප ගත්ත ජනාධිපතිවරයෙක් සිටිනවා. 2/3ක ආණ්ඩු බලයක් සහිත පාර්ලිමේන්තුවක් තියෙනවා. 20වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිට ඕනෑම තීන්දුවක් ගන්න බලයක් ලැබිලා තිබෙනවා. පළාත් සභා ඡන්දය තිබ්බොත් ඒවායේ බලයත් රජයට ලැබේවි. කෝවිඩ් සම්බන්ධීකරණ කටයුතු සඳහා දිස්ත්‍රික්ක 25ටම මේජර් ජෙනරාල්වරු පත්කර තිබෙනවා. මේ මොනවා තිබුණත් ලංකාවේ කෝවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය වෙලා නැහැ කියන තත්ත්වය තමයි අපිට නිර්ණායක වලින් පෙනී යන්නේ.

රටේ සෞඛ්‍ය අංශය මේ වෛරසය පාලනය සම්බන්ධ කටයුතු කරගෙන යන ආකාරය ගැන බැලුවාම සම්බන්ධීකරණ කටයුතු වල බරපතළ ගැටලු තිබෙන බව පෙනී යනවා. මොකද සමහර දේවල් සඳහා කමිටු ගණනාවක් තිබෙනවා. උදාහරණ ලෙස කෝවිඩ් ආසාදිත මළ සිරුරු වැළලීමද? ආදාහනයද? කියන එක සම්බන්ධව සොයාබලන්න රජය විසින්ම කමිටු දෙකක් පත්කර තිබෙනවා. මේ කමිටු දෙකේ තිබෙන්නේ මත දෙකක්. ඒ මත දෙක නිසා හරි තීන්දුවක් ගන්න බැරිව රජය බලන් ඉන්නවා. තීන්දු තීරණ ගැනීමේ බරපතළ දුර්වලතා තිබෙන බව මුළු යාන්ත්‍රණය දිහා බැලුවාම පේනවා. ඒක තමයි අපේ රටේ තිබෙන බරපතළම අවුල් තත්ත්වය. එය සෞඛ්‍ය අමාත්‍යාංශයටත් පොදුයි, ආණ්ඩුවටත් පොදුයි. මේ තීන්දු තීරණ ගැනීම කිසිසේත්ම මේ රෝගය පාලනයට බලපෑමක් නෑ. වහාම මේ තීන්දු තීරණ ගන්නා ස්වභාවය වෙනස් විය යුතුයි. අපිට වැරදුණේ කොහෙද? අපි හරියට කළේ මොනවාද? කියන එක ගැන පසු විපරමක් කරලා අපේ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කිරීමේ වැඩපිළිවෙළකට රට වහාම යා යුතුයි. ආණ්ඩුවවත් සෞඛ්‍ය අමාත්‍යාංශයවත් නොවෙයි මුළු රටම එතැනට යා යුතුයි. එසේ නැතිව අපිට මේ වසංගතයෙන් ගැලවෙන්න කෙටි ක්‍රියාමාර්ග නැහැ. සමූහයක් ලෙස අපි මේ විපතට මුහුණ දෙන්න ඕන. නිවැරදි තීන්දු තීරණ නොගත්තොත්, සමස්ත රටම බරපතළ තත්ත්වයකට ඇද වැටෙනවා.

රටේ සාමාන්‍ය ජනතාව කටයුතු කරන ආකාරය ගැන අපි බැලුවොත් ඔවුන් පළමු රැල්ලේදී වසංගතය පාලනය කරන්න විශාල සහයක් ලබදුන්නා. නමුත් වර්තමානයේ අපේ ජනතාවගේ ප්‍රතිචාර දිහා බැලුවම ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ මේ රෝගය පාලනයට බලධාරීන් ගන්නා පියවර අනුව බව පෙනී යනවා. මාර්තු - අප්‍රේල් මාස වල රටේ තදින් නීති ක්‍රියාත්මක වුණා. කෝවිඩ් ආසාදනය වුණොත් දින 14ක් අනිවාර්යෙන් රෝහල්ගත වෙන්න ඕන, තවත් දවස් 14ක් නිරෝධායනය වෙන්න ඕන කියන දේ අපි දැනගෙන හිටියා. ඒ වගේම මුළු ලෝකයම මේ රෝගයේ ඊළඟට මොකද වෙන්නේ කියන එක ගැන අවධානයෙන් හිටියා. නමුත් ඇමෙරිකාව, යුරෝපය වගේ රටවල මිනිස්සු දහස් ගණන් මිය යද්දී ශ්‍රී ලංකාවේ සීමිත පිරිසක් තමයි මරණයට පත්වුණේ. මේ නිසා පොදුවේ ආණ්ඩුවත්, සාමාන්‍ය ජනතාවත් මේ ගැන තිබෙන උනන්දුව මඟහරවා ගත්තා. ජූනි, ජූලි, අගෝස්තු මාස වල අපි ගණන් ගත්තේම නෑ. වෙනස් ප්‍රභේදයක් ඇවිත් අනතුරක් ඇතිකරන්න පුළුවන් කියලා හිතන්නේ නැතිව අපි සරල නිදහස් ජීවිතයකට අනුගත වුණා. එදිනෙදා පුරුදුත් එක්ක කෝවිඩ් 19 වෛරසයෙන් වැළකෙන සෞඛ්‍ය පුරුදු අවශ්‍ය නෑ කියන මතයට අපි ආවා. තාමත් ජනතාව අතරින් පිරිසක් ඉන්නේ ඒ මතයෙයි. දවසකට හතරක් පහක් මැරුණා කියලා ඔවුන්ට දැනෙන්නේ නෑ. තමන්ගේ පවුලේ කෙනෙක්ට වෙනකන් කාටවත් මේක දැනෙන්නේ නැහැ. ඒ වගේම පවුලේ කෙනෙක් මැරිලා ආදාහනය හෝ භූමදාන කරලා ටික දවසක් ගියාම නැවත ඒ පවුලේ අයට මේ අවදානම අමතක වෙලා යනවා. මේ ස්වභාවය තමයි නව ලිබරල් ආර්ථික ක්‍රමය තුළ දැකගන්න පුළුවන් වෙන්නේ. අපේ ප්‍රමුඛතා වෙනස් වෙන නිසයි මෙහෙම වෙන්නේ. ඉතින් මහජනතාව ලෙස තමනුත් මේ රෝගයට ගොදුරු වෙන්න තිබෙන සාධක වළක්වාගෙන, අනෙකාට බෝවෙන සාධකත් වළක්වා ගත්තා නම් මේ වසංගතය අපිට සාර්ථකව පාලනය කරගත හැකියි.



Recommended Articles