දෙවැනි මනාපයෙන් තොරව ජනපති අශ්වයා කඩුල්ල පනියිද


උඩරට ප්‍රධානීන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් රොබට් බ්‍රවුන්රිග් අතර 1815 මාර්තු 02 වැනිදා අත්සන් කරන ලද ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ පරමාධිකාරී බලය බ්‍රිතාන්‍යයේ තුන්වැනි ජෝර්ජ් මහ රජතුමා වෙත පැවරුණි. ඉන්පසුව මේ රට පාලනය කෙරුණේ බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මගිනි. වරින්වර ඇති වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මත 1834 ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව පිහිටුවීමේ කෝල්බෘක් ආණ්ඩුක්‍රමයත්, 1931 සර්වජන ඡන්ද බලය සහිතව රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රියාත්මක කරන ලද ඩොනමෝර් ආණ්ඩුක්‍රමයත් මෙරට දේශපාලනයේ හා ව්‍යවස්ථා පරිණාමයේ ඉතා වැදගත් අවස්ථා ලෙස සැලකේ. ඉක්බිතිව 1947දි සෝල්බරි ආණ්ඩුක්‍රමය බිහි කිරීමත්, පාර්ලිමේන්තුව ඇති කිරීමත් එහි උපරිම තලයට ළඟාවීමක් විය. 1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස ප්‍රදානය කරන ලද අතර, එම නිදහස් ආණ්ඩුව තුළ වුවද රාජ්‍යයේ ඉහළම නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රාණ්ඩුකාරවරයාය. 


නිදහස ප්‍රකාශයට පත් කරන ලද දිනයේ අග්‍රාණ්ඩුකාර ධුරය භාරගත්තේ හිටපු ආණ්ඩුකාරවරයා වූ හෙන්රි මන්ක් මේසන් මුවර් මහතාය. ඔහුගෙන් පසු සෝල්බරි සාමි, සර් ඔලිවර් ගුණතිලක සහ විලියම් ගොපල්ලව යන මහත්වරු එම තනතුරු දැරූහ. මහජන ඡන්දයෙන් තේරුණු අගමැතිවරයා පසෙක සිටියදී ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය නායක ධුරය හිමි වූයේ පෙර කී පරිදි අග්‍රාණ්ඩුකාරවරයාටය. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් ඔහු අත්සන් කරනතුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුවද නීතිගත වූයේ නැත. විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී සන්නද්ධ සේනාවල සේනාධිනායක වූයේ ඔහුය. එකල පැවැති ක්‍රමය අනුව රාජ්‍යාරක්ෂක අමාත්‍ය ධුරය දැරුවේ අගමැතිවරයා වුවද සෑම අතින්ම අග්‍රාණ්ඩුකාරවරයා සිටියේ අගමැතිට ඉහළිනි. 

නමුත් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අග්‍රාණ්ඩුකාර තනතුර අහෝසි කරනු ලැබූ අතර, නාමමාත්‍රික විධායක තනතුර ඇති කිරීම නිසා එංගලන්තයේ රැජින, රාජ්‍ය නායක ධුරය දැරූ කාලය අවසාන විය. එතැන් පටන් නාමමාත්‍රික ජනාධිපතිවරයා රාජ්‍ය නායක තනතුරට පත් විය. ජනාධිපතිවරයා අගමැති උපදෙස් පරිදි ක්‍රියාකරනු ලැබීය. 1977දී කේවල ඡන්ද කොට්ඨාස පදනම් කරගනිමින් මැතිවරණ කොට්ඨාස 168කින් 140ක් ජය ගනිමින් ප්‍රකාශිත ඡන්දවලින් 50.91%ක ප්‍රතිශතයක් ලබමින් බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ නායක ඡේ.ආර්. ජයවර්ධන මහතා ඉහත එම බලය උපයෝගී කරගෙනම ජනාධිපතිවරණයක් නොතබා විධායක ජනාධිපති ලෙස 1978 පෙබරවාරි 04 වැනිදා දිවුරුම් දෙන ලදී.

ඒ වනවිට 1972 ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරමින් 1978 විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය ස්ථාපිත කර තිබුණත්, එම අවස්ථාව යටතේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකර තමන් ඉදිරිපත් කළ ව්‍යවස්ථාවට නව සංශෝධනයක් එක් කරමින් ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වනවිට සිටින අගමැතිවරයා වසර 06කට 1978 පෙබරවාරි 04 වැනිදා සිට විධායක ජනාධිපති ලෙස පත්වන බවට පමණක් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනිණි. ඒ අනුව ඡන්දයකින් තොරව විධායක ජනාධිපති වූ ඡේ.ආර්. ජයවර්ධන මහතාගේ නිල කාලය අහෝසි විය යුතුව තිබුණේ 1984දීය. ඒ වනවිට ප්‍රධාන විපක්ෂ නායිකාව වූ ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කර පාර්ලිමේන්තුවෙන්ද පිටමං කර සිටි අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයෙන් අර්බුදයට ගමන් කර තිබිණි. 

1982 සැප්. 17 වැනිදා එනම් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ උපන් දිනය දා ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවන දිනය ලෙස ප්‍රකාශයට පත්විය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විකල්පය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තම තරගකරුවා සොයාගැනීම ගැටලුවක් බවට පත් වූ අතර, වෙනත් අයකුගේ නම සලකා බැලුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට තරග කිරීමේ අයිතිය අහිමිව සිටි බැවිනි. ඒ අනුව ඡේ.ආර්. ජයවර්ධන මහතා සමග ජනාධිපති සටනට එස්.එච්.ආර්. කොබ්බෑකඩුව මහතාගේ නම ඉදිරිපත් කරන ලදී. ලංකා සමසමාජ පක්ෂයේ නායක කොල්වින් ආර්. ද සිල්වා මහතාත්, නව සමසමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර මහතාත්, ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර මහතාත් තරගයට අවතීර්ණ වූහ. 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවැති මැතිවරණයේදී 81.06%ක් ඡන්දය භාවිත කළ අතර ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 52.91%ක් ලැබූ, එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මහතා ඡන්දයෙන් පත් වූ ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට ලබාගත හැකි වූයේ 39.07෴ක ඡන්ද ප්‍රතිශතයකි. ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර මහතා ඡන්ද 273,428ක් ලබා ගත්තේය. එය ප්‍රතිශතයක් වශයෙන් 4.19%කි.
දෙවෙනි ජනාධිපතිවරණය පැවැති 1988 වකවානුව ශ්‍රී ලංකාව තුළ භීෂණය රජයමින් පැවැති සමයකි. අවි ආයුධ අතට ගත් සංවිධාන, පාතාල සාමාජිකයන් මෙන්ම ආරක්ෂක අංශ ද ඈඳුණු බොහෝ ඝාතන සහ අපරාධ සිදුවූ කාලවකවානුවක් විය. එම තත්ත්වය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට දැඩි බාධා එල්ල කළේය.

1988 නොවැම්බර් 10 වැනිදා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවූ අතර, ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් වූවාය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රණසිංහ ප්‍රේමදාස මහතා තරග කළේය. ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් ඔස්වින් අබේගුණසේකර මහතාද එවර තරගයට ඉදිරිපත් විය. 1988 දෙසැම්බර් 19 වෙනිදා පැවැති ජනාධිපතිවරණයෙන්, රණසිංහ ප්‍රේමදාස මහතා, 50.43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කළේය. ප්‍රතිවාදීන් වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 44.95%ක ඡන්ද ප්‍රතිශතයක්ද, ඔස්වින් අබේගුණසේකර මහතා 4.63%ක්ද ලබා ගත්හ.
ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 55.32%ක් පමණක් එවර ඡන්දය භාවිත කළහ. රට පුරා ඇවිළී ගිය භීෂණය මෙයට හේතු වූ අතර, අඩුම පිරිසක් ඡන්දය භාවිත කළ ජනාධිපතිවරණය ලෙස එය ඉතිහාසගත විය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ බලපෑමද මෙම කාලය තුළ දැඩි ලෙස බලපැවැත්වුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවද ඡන්දය භාවිත කළේ අල්ප වශයෙනි.

1993 වසරේ මැයි දින පෙළපාළියකදී එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මියයාමත් සමග එවකට අගමැතිව සිටි ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ධුරයේ වැඩ භාරගත්තේය. ඉන්පසුව පැවැති ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවනු ලැබුයේ 1994 ඔක්තෝබර් 07 වෙනි දිනය. ජනාධිපතිවරණය 1994 නොවැම්බර් 09 වෙනි දින පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඡන්ද 4,709,205ක් ලබාගත් අතර, එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 62.28%කි. එය මෙතෙක් ජනපතිවරණ ඉතිහාසයේ වාර්තාවක් ලෙස සටහන් වේ. මේ දක්වා පැවැති ජනාධිපතිවරණ ජයග්‍රහණ කළ අපේක්ෂකයන් කිසිවෙකුත් 60% ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට සමත් වූයේ නැත.

එමෙන්ම ජනපති සටනට ප්‍රථම වතාවට කාන්තාවන් ඉදිරිපත් වූයේද 1994 ජනාධිපතිවරණයේදී ය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රීමා දිසානායක මහත්මිය ඡන්ද 2,715,283ක් ලබාගත් අතර, එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 35.91%කි. මෙහිදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හඩ්සන් සමරසිංහ මහතාට ලබා ගැනීමට හැකි වූයේ 0.78%ක් වැනි ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයක් පමණි. සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයෙන් තරග වැදුණු හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ඡන්ද 0.43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර, ස්වාධීන අපේක්ෂකයෙකු වූ ඒ.ජේ. රණසිංහ මහතා සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරමින් නිහාල් ගලප්පත්ති මහතා 0.30% බැගින් ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්හ. එවර ප්‍රධාන පක්ෂවලින් තරග වැදුණු අපේක්ෂකයන් දෙදෙනා සහ අනෙකුත් අපේක්ෂකයන් අතර විශාල ඡන්ද පරතරයක් දක්නට ලැබිණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය බලය ලබා ගැනීමට යැයි පවසමින් සිය ධුර කාලය ඉකුත්වීමට වසරකට පෙරාතුව ජනාධිපතිවරණයක් කැඳවීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ක්‍රියා කළාය. 1999 නොවැම්බර් 16 වැනිදා නාමයෝජනා කැඳවූ අතර, අපේක්ෂකයන් 13 දෙනෙකු තරග වැදුණු එම ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාම සාකච්ඡා පැවැත්වීමට ක්‍රියා කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දුව විය. කෙසේ නමුත්, ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට දින තුනකට පෙර කොළඹ නගර සභා පිටියේ පැවැති අවසාන ප්‍රචාරක රැලියේ දී බෝම්බ ප්‍රහාරයකට හසු වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ දකුණු ඇසට බරපතළ හානි සිදු විය.

1999 දෙසැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 51.12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත්තේ 42.71%ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක මහතාට 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ අතර, අන් කිසිදු අපේක්ෂකයෙකුට 1% ඡන්ද ප්‍රතිශතය පසු කිරීමට නොහැකි විය. 

නියමිත කාලයට වසරකට පෙරාතුව ජනාධිපතිවරණය පැවැත්වීම නිසා, සිය දෙවෙනි ධුර කාලයට එය එකතු විය යුතු බව පවසමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ නමුත් පෙත්සම නිශ්ප්‍රභ කළ අධිකරණය, මැතිවරණය පැවැත්වීමට ක්‍රියා කරන ලෙස තීන්දුවක් ප්‍රකාශ කළේය. ඒ අනුව 2005 ඔක්තෝබර් 07 වැනිදා  නාමයෝජනා කැඳවිණි. 2005 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා තරග වැදුණු අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.

ෆෙඩරල් ක්‍රමයක් ප්‍රතික්ෂේප කිරීම පොරොන්දු මත ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික හෙළ උරුමයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබා දුන්හ. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ වතුකරය නියෝජනය කරන දෙමළ පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළහ.

මහින්ද චින්තන ප්‍රතිපත්ති මාලාව එළිදක්වා 50.29෴ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් 2005 නොවැම්බර් 17 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සටන ජය ගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා 48.43%ක ප්‍රතිශතයක් ලබා ගත් අතර, තෙවැනි අපේක්ෂකයා වූ එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය මහතාට ලබාගත හැකි වූයේ 0.36ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතේ තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස අණ කෙරී තිබූ අතර, ඡන්දය දීමට යන පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙන බවද පවසා තිබිණි. මේ හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් වැසියෝ බොහෝ දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකුණහ. සමස්ත ඡන්ද ප්‍රතිඵලයට මෙය දැඩි ලෙස බලපාන්නට ඇති බව පසුකාලීන දේශපාලන විග්‍රහයන් තුළ බහුලව පෙනෙන්නට විය.

2009 වනතෙක් පැවැති දරුණු සටන්වලින් පසු එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වීම නිසා, ඔහු අතිශය ජනප්‍රියත්වයට පත් වී සිටියේය. මේ හේතුවෙන් නියමිත ධුර කාලයට වසරකට පෙර මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපතිවරණයක් සඳහා, 2010 දෙසැම්බර් 17 දින නාමයෝජනා කැඳවීය. එවර විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරිණි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සහායද ලබමින් හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා, හංසයා ලකුණෙන් පොදු අපේක්ෂකයා ලෙස ජනපති සටනට ඉදිරිපත් විය.

කෙසේ වෙතත්, 2010 ජනවාරි 26 වැනිදා 57.88%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. මෙතෙක් සිටි සෑම ජනාධිපතිවරයෙකුටම සිය පළමු ධුර කාලයට වඩා දෙවැනි ධුර කාලවලදී ලබන ඡන්ද ප්‍රතිශතය අඩු වීමක් දක්නට ලැබුණද, මෙවර එහි වෙනසක් සිදු වීය. ජෙනරල් සරත් ෆොන්සේකා මහතා, 40.15෴ක් ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී තෙවෙනියා වශයෙන් මොහොමඩ් කාසීම් මොහොමඩ් ඉස්මයිල් මහතාට හිමි වූයේ 0.38%ක ඡන්ද ප්‍රතිශතයකි.

නැවත වරක් සිය ධුර කාලය දීර්ඝ කරගැනීමේ බලාපොරොත්තුවෙන් මහින්ද රාජපක්ෂ මහතා නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් කැඳවීය. එවර නාමයෝජනා කැඳවූයේ 2014 දෙසැම්බර් 08 වෙනි දිනය. ඔහු ඉදිරිපත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි. නමුත් මෙවරද එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකතුවකින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරිණි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ සෞඛ්‍ය ඇමති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා එම අපේක්ෂකයා විය. ජනාධිපතිවරණය 2015 ජනවාරි 08 වැනිදා පැවැත්වුණු අතර, ප්‍රබල තරගයකින් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 6,217,162ක් ලබා 51.28෴ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ගත්තේය. මහින්ද රාජපක්ෂ මහතාට හිමි වූයේ 47.58%ක ඡන්ද ප්‍රතිශතයකි. අපේක්ෂකයන් 19 දෙනෙකු තරග වැදුණු එම ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම සිටි දෙදෙනා හැර අන් කිසිවෙකුටත් 0.15෴ සීමාව පසු කිරීමට නොහැකි විය.

මේ වනවිට නැවතත් ජනාධිපතිවරණයකට නාමයෝජනා කැඳවා ඇත. 2019 ඔක්තෝබර් 07 වැනිදා නාමයෝජනා කැඳවූ අතර, මෙවර ජනාධිපතිවරණය සඳහා 35 දෙනෙකු නාමයෝජනා භාර දී ඇත. ඒ අනුව 2019 නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.

මෙවර ජනාධිපතිවරණය සඳහා වලංගු වන්නේ 2018 ඡන්ද හිමි නාමලේඛනයයි. එයට අනුව පුද්ගලයන් 15,992,096 දෙනෙක් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. මෙවර වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය ඉදිරියෙන් සිටියි. එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 1,751,892කි. කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 1,670,403 කි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය අඩුම ජන්දදායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි දිස්ත්‍රික්කය වන අතර එම සංඛ්‍යාව 281,114කි.
දිවයින පුරා ඇති ඡන්ද කොට්ඨාස 160න් වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මස්කෙළිය ඡන්ද කොට්ඨාසයේය. එහි ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 325,030කි. එම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව සමහර දිස්ත්‍රික්කවල සමස්ත ඡන්ද සංඛ්‍යාවද අබිබවා යන අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 281,114 වනවිට වන්නි දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 282,119කි. ඒ අනුව එම දිස්ත්‍රික්කවලට වඩා වැඩි ඡන්දදායකයන් ප්‍රමාණයක් නුවරඑළිය මස්කෙළිය ඡන්ද කොට්ඨාසයේ ලියාපදිංචි වී ඇත. දිවයිනේ වෙනත් කිසිදු ඡන්ද කොට්ඨාසයක ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා නැත. එසේම අඩුම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති ඡන්ද කොට්ඨාසය යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් වන අතර, එහි ලියාපදිංචි ඡන්ද ප්‍රමාණය 23,351කි. 

මෙවර ජනාධිපතිවරණය සඳහා 2018 වසරේ අලුතින් ලියාපදිංචි වූ ඡන්දදායකයන් 231,229ක් ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටින අතර, එම ඡන්ද සංඛ්‍යාව 2017 වසරට සාපේක්ෂව 1.46෴ක වැඩිවීමකි. පසුගිය ජනාධිපතිවරණ හතේදීම ජයග්‍රහණය කළ පුද්ගලයා 50%ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත. එසේ නොවුවහොත් දෙවැනි ස්ථානය දිනාගත් අපේක්ෂකයාගේ සහ සෙසු අපේක්ෂකයන්ගේ දෙවැනි මනාපය ගණන් කළ යුතුව තිබේ. කෙසේ වුවත්, 2019 නොවැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා මෙරට ජනතාව විසින් තෝරා පත් කරගැනීමට නියමිතය.

සටහන හා ඡායාරූප - නුවරඑළිය සම්පත් ජයලාල්



Recommended Articles