ඔබ ජනපතිවරණයට තරග කිරීමට සිතුවේ ඇයි?
රටටත්, ජනතාවටත් තවදුරටත් මේ විදිහට ඉදිරියට යන්න බැහැ කියලා තහවුරු වී තිබෙනවා. ඒ වගේම පාලකයන්ට තවදුරටත් මේ විදියට පාලනය ගෙනියන්න බැහැ කියලා තහවුරු වී තිබෙනවා. මේ මූලික සාධක දෙක සම්පූර්ණ වුණාම සමාජය ඇතුළෙන්ම පරිවර්තනයකට විශාල ඉඩකඩක් නිර්මාණය වෙනවා. අප විශ්වාස කරනවා අපේ රට ඒ තත්ත්වයට පත්වෙලා තියෙනවා කියලා. මේ වෙනකොට රට තිබෙන දේශපාලනයේ විකාරරූපී නාඩගම් තත්ත්වයෙන් මුදාගෙන ඉහළට ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණයේදී තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් රටට අත්කරදීමේ හැකියාවක් තිබෙන බව අපි සිතනවා. පසුගිය අගෝස්තු 18 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවැති ජාතික ජනබලවේගයේ මහජන රුලියේදී ඒ වටා එකතු වූ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ, බුද්ධිමතුන්, කලාකරුවන්, විවිධ බලවේග නියෝජනය කරන බහුජන සංවිධාන ඒකමතිකව මා ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා තෝරාගනු ලැබුවාට මෙය පුද්ගලයෙක් ලෙස මාගේ ඉදිරිපත් වීමක් නෙමෙයි. මේ රට පාලනය කිරීම සඳහා අන් සියලු කණ්ඩායම්වලට වඩා සුදුසුම කණ්ඩායම මා නියෝජනය කරන ජාතික ජනබලවේගය වටා එකතු වී සිටින බවත් කිව යුතුයි.
ජනාධිපති මැතිවරණ වේදිකාවේ ලිහපු අති විශාල පොරොන්දු මල්ල ඉටු කරන්න ඔබට ඇති සැලසුම් මොනවාද?
රටත්, ජනතාවත් දුප්පත්භාවයෙන් මුදාගැනීම වෙනුවෙන් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කර තිබෙනවා. රටක ආර්ථිකය මනින සියලුම මිනුම්දඬුවලින් මේ වනවිට අප පහත්ම අඩියට වැටී තිබෙනවා. එයින් රටත්, ජනතාවත් ඉහළට ඔසවා තැබීම අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අරමුණයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ සමස්ත සමාජයත්, ඒ වගේම ඒ සමාජයේ විශේෂ අවධානය යොමුකළ යුතු සමාජ තීරු පිළිබඳවත් මූලිකත්වයේලා සැලසුම් සකස් කර තිබෙනවා.
ආබාධ සහිත වූවන්, රෝගීන්, වැඩිහිටියන්, ළමුන් හා කාන්තාවන් වැනි සමාජ තීරු ගැන විශේෂ අවධානය යොමුකර තිබෙනවා. අනෙක් පැත්තෙන් අපේක්ෂාභංගත්වයට පත් වී සිටින තරුණ පරපුර එයින් මුදාගැනීමේ මූලික අවධානය අපේ ප්‍රතිපත්ති තුළ තිබෙනවා. කාන්තාවන් සම්බන්ධයෙන් සහ ළමයින් සම්බන්ධයෙන්ද ඒ වගේමයි. අපේ දරුවන් මේ තරගකාරී අධ්‍යාපන පීඩනයෙන් මුදාගැනීමේ ව්‍යුහාත්මක අධ්‍යාපන වෙනස්කම් අපි සිදු කරනවා.
ඒ වගේම සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහනය වගේ සේවා ලබාගැනීමේ හැකියාව තමන්ගේ අතැති මුදලේ තරමට තීරණය කරන රටක් වෙනුවට අවශ්‍යතා සම්පූර්ණ කර ගත හැකි පරිදි රාජ්‍යයේ මැදිහත්වීම සැලසුම්සහගතව යොදවනවා.
අද රාජ්‍ය සේවකයාත්, රජයේ සේවය ලබන්නාත් යන දෙදෙනාම අතෘප්තියෙන් ඉන්නේ. මේ තත්ත්වයෙන් රාජ්‍ය සේවය මුදාගෙන ජනතාව වෙනුවෙන් සාධාරණ සේවා සැපයීමේ තත්ත්වයට අපි පත්කරනවා. රාජ්‍ය සේවයේ කඩාවැටීම අපේ රටේ අධිකරණ ක්‍රියාවලියෙන් ඉතාම පැහැදිලි වෙනවා. නඩුවක් විභාග කර තීන්දුව ලබාදීම දීර්ඝ ක්‍රියාවලියක කොටසක් වෙලා. මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීම අපේ මූලික අරමුණයි.
ඒ වගේම මහජන ආරක්ෂාව තහවුරු කෙරෙන ජාතික සමගිය ගොඩනැගීම, විශේෂ අවධානය යොමු කළ තවත් ක්ෂේත්‍රයක්. උතුර-නැගෙනහිර ජනතාව ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් හෝ කතෝලික, බෞද්ධ, හින්දු, ඉස්ලාම් භේදයක් නැතිව සහෝදරත්වයක්, සහජීවනයක් සහිත සමාජයක් අපේ රටේ බිහි කිරීමට අදාළ සැලසුම් අප සතුයි.
මැතිවරණයේදී ප්‍රකාශ කළ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ඔබේ සැලසුම් මොනවාද?
රටක ආරක්ෂාවට ඇති විය හැකි තර්ජන දෙකක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තරව ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන. අභ්‍යන්තරව ඇති විය හැකි ගැටුම් සහ කෝලාහල තත්ත්වයන් හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වෙනවා. දෙවෙනි එක තමයි විදේශීය ආක්‍රමණ නිසා රටට එල්ල විය හැකි තර්ජන.
ඒ අතුරින් මෑතකාලීනව පේන්න තියෙන දේ තමයි, විදේශීය සන්නද්ධ හමුදා තර්ජනයක් එල්ල විය හැකි තත්ත්වයක් නැහැ කියන එක. ඒ නිසා අපි මුහුණදී තිබෙන්නෙ අභ්‍යන්තරික තර්ජනයක් පිළිබඳ අවදානමක් විතරයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වෙන කාලෙ ඔවුන් සංවිධානය වූ සන්නද්ධ හමුදාවක් හැටියට කටයුතු කළා. ඔවුන් රජයේ හමුදා එක්ක මුහුණට මුහුණ සටන් කළා. ඒක අභ්‍යන්තර ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙලා තිබුණා. ඒත් නැවතත් මේ මෑත යුගයේ එවැනි සන්නද්ධ කණ්ඩායමක තර්ජනයක් ඇති වෙයි කියල හිතන්න බැහැ.
අප්‍රේල් විසි එක ප්‍රහාරයෙන් පස්සෙ, අප තුළ ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට සැකයක් හදා තිබෙන්නේ මේ රටේ ජන කොට්ඨාස අතර ඉන්න අන්තවාදී කණ්ඩායම්වලින් එක් ජන කොට්ඨාසයක් විසින් තවත් ජන කොට්ඨාසයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරයි කියලා. සමහරු ගම්මාන ජාතිකත්වයන් අනුව බෙදල වෙන් කරලා, ඒ ගම්මාන වෙන් වෙන තැන්වලදි ජනතාව පරීක්ෂාවට ලක් කරලා, සන්නද්ධ හමුදාව සහ සන්නද්ධ රථ දවස පුරාම පාරෙ ගමන් කරලා ආරක්ෂාව හදන්න යෝජනා කරනවා.
හැබැයි ඒකෙන් කියන්නෙ රට නැවතත් අනාරක්ෂිතයි කියන එකයි. අපි ආරක්ෂාව කියන්නෙ ඒකට නෙමෙයි. මේ ජන කොට්ඨාස ඇතුළෙ කිසිදු අන්තවාදී කණ්ඩායමකට වර්ධනය වෙන්න, ඔවුන්ට අන්තවාදී කටයුතුවල නියැළෙන්න ඉඩකඩ නොදෙන එක තමයි මේ ඇති වෙලා තියෙන ආරක්ෂාවේ තර්ජනය නැති කරන්න තියෙන කෙටිකාලීන ක්‍රියාමාර්ගය. ඒක නැවත එවැනි තත්ත්වයන් උදා නොවන ජාතික සමගිය දක්වාම අරගෙන යන එක තමයි දිගුකාලීන විසඳුම වෙන්නෙ.
රටේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන්. ඔබ කාන්තා සුභසාධනය වැඩි කිරීමට ක්‍රියා කරන්නේ කෙසේද?
අද අපේ රටේ කාන්තාවන් මුහුණදී ඇති ගැටලු පැන නැගීමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපි සමාජයක් විදිහට මුහුණදී ඇති අර්බුදයන්ගේ පීඩාව. ඒ පීඩාවෙන් කාන්තාවන් පෙළෙමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් කාන්තාවන් වීම නිසාම මුහුණදෙන ගැටලු රුසකුත් තියෙනවා. ඒ පීඩාවේ ස්වභාවයනුත් දෙකක් තියෙනවා. තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව ඉන් එකක්. දෙවෙනි එක තමයි තමන්ගේ පීඩාව පිළිබඳ ගැටලුව.
රටක් විදිහට අපේ රටේ තීන්දු තීරණවලට කාන්තාවන් සහභාගි වෙන්නෙ ඉතාම අඩුවෙන්. ආයතන අධ්‍යක්ෂ මණ්ඩලවල, පුවත්පත්වල කර්තෘවරියන් ඉතාම අඩුයි. දේශපාලන ව්‍යාපාර තුළ, පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ගේ නියෝජනය අල්පයි. ඒත් රටේ ජනගහනයෙන් සියයට පනස් එකකට වැඩියෙන් ඉන්නෙ කාන්තාවන්. අඩුම තරමින් කාන්තාවන්ට විශේෂ වූ ගැටලු නිර්මාණය වෙන තැන්වලවත් ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් නැහැ. අපි යෝජනා කරනවා, මැතිවරණයකදි කාන්තාවන් 50%ක් හෝ අවම වශයෙන් ඉදිරිපත් කළ යුතුයි කියලා.
ඒ වගේම ලංකාවේ වසරකට ගබ්සා දෙලක්ෂ හතළිස් දාහක් සිදු වෙනවා. ඒ වාර්තාගත සංඛ්‍යාලේඛන පමණයි. ඒ අනුව දවසකට හයසිය තිස් අටකට ආසන්න සංඛ්‍යාවක් සිදු වෙනවා. කවුරුවත්, කුමන හෝ කලලයක් විනාශ කරන්න එකඟ වෙයි කියල මම හිතන්නෙ නැහැ. මානවවාදියෙක් හැටියට අපට ඒකට එකඟ වෙන්න බැහැ.
ඒත් අපි විශ්වාස කරන්නෙ ඒ දරුගැබ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය තියෙන්නෙ ඒ ගැබ දරා සිටින කාන්තාවට කියලයි. ඒක ඇයගේ අයිතියක්. ඒ වගේම කාන්තාවන් පොදු ප්‍රවාහනයේදී 90%ක් කවර හෝ ආකාරයක ලිංගික අඩත්තේට්ටම්වලට ලක් වෙනවා. එයිනුත් 70%ක් ශාරීරික ලිංගික හිංසනයට මුහුණදෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න අපි සූදානම්.
කාන්තාවන්ට මේ සමාජය තුළ සමාන පිළිගැනීමක් සහ අයිතියක් සහිත සමාජ සත්ත්වයෙක් හැටියට ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම ප්‍රධානම අරමුණක් බවට පත් වෙනවා.
සුළු ජාතීන්ගේ හා මහජාතිය අතර එකිනෙකා අතර ඇති සැකය දුරු කිරීමටත් නැවත කුමන හෝ ජාති - ආගම් මූලික කරගත් ගැටුම් සිදු නොවීමටත් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
අපේ පිළිගැනීම තමයි, ලංකාව කියන්නෙ භාෂාවල් කිහිපයක් කතා කරන, ආගමක් කිහිපයක් අදහන, ඔවුන්ටම වෙන් වූ සංස්කෘතික අනන්‍යතා තියෙන, බහුජාතික ජාතික රාජ්‍යයක් කියන එක. අපි ආවෙ කවදද, ආවෙ කොහෙන්ද, ආවෙ මොකටද කියන එක ඉතිහාසය. ඒත් අද ඒ හැම කෙනෙක්ම රටේ ජීවත් වෙන, මේ රටේ නිෂ්පාදනයට හවුල් වෙන, මේ රටේ පොළොවටම පස් වෙන එකම ජන කණ්ඩායමක්. හැමෝටම සමාන අයිතිවාසිකම් ඇති බව අපි පිළිගන්නවා. සුළු ජාතිය, මහ ජාතිය යන යෙදුම් පවා ජාතික සමගියට බාධා කරනවා.
යුද්ධයෙන් පසු ඒ ප්‍රදේශවල ජනජීවිතය යථාවත් කරන්නෙ කොහොමද කියන එක ගැන අපි අවධානය යොමු කර තියෙනවා. ඒකෙදි අපි කරන එක යෝජනාවක් තමයි උතුරු නැගෙනහිර ජනතාවට අයිති සියලු ඉඩම් යළි ඒ ජනතාවට ලබාදිය යුතුයි කියන එක. ඒ විතරක් නෙමෙයි, ඒ ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන සිටි කාලයට යම් නාමික හෝ වන්දියක් ගෙවීම. අනෙක් ප්‍රශ්නෙ තමයි අතුරුදහන් වූවන් සම්බන්ධ ප්‍රශ්නය.
මේ අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නයට ඉතා ඉක්මනින්ම නිවැරදි තොරතුරු ලබාදෙන්න අපි යෝජනා කර තියෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි අත්අඩංගුවට පත් වූවන්ගේ ප්‍රශ්නය. අපි යෝජනා කරනවා ඔවුන් සියලු දෙනා නිදහස් කරන්න කියලා. උතුරෙ ගෘහමූලිකයන් විදිහට කාන්තාවන් හැටදහසක් උතුරේ ඉන්නවා. ඔවුන් යුද වැන්දඹුවන්. ඔවුන් මේ රටේ පුරවැසියන් නෙමෙයිද? ඔවුන්ගේ ජීවිත යථාවත් කරන වැඩපිළිවෙළකුත් අපි යෝජනා කර තියෙනවා.
ජාතිකත්ව භේදයකින් තොරව හැමදෙනාටම රටේ පාලන ව්‍යුහයේ ඕනෑම තැනකට ඇතුළත් වීමට අයිතිය තියෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒ සඳහා ජනතා සභා වැනි ව්‍යුහයක් ඇතුළෙ ඔවුන් පාලනයට ඇතුළත් කර ගන්න වැඩපිළිවෙළකුත් යෝජනා කර තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලබාදීමේදී ජාතික සමගිය ඇති කරන අධ්‍යාපන වැඩපිළිවෙළක් ඇති කිරීම, ජාතිකත්ව අනුව බෙදී ඉගෙනගැනීම වෙනුවට සියලු ජාතිකත්වයන්ගේ තියෙන සංස්කෘතික, ආගමික වෙනස්කම් සියලුම දරුවන්ට ඉගැන්වීමටත් අපි කටයුතු කරනවා. මේ සියල්ලේ බලපොරොත්තුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන් එකට බැඳුණු ශ්‍රී ලාංකේය ජාතිය නිර්මාණය කරලීමයි.
ජනතා අධිකරණයෙන් දූෂිත යැයි චෝදනා ලැබූවන්ට ඔබගේ රජයක් යටතේ අත්වන ඉරණම කුමක් ද?
හැමදේටම කලින් මේ රට හදන්න නම් හොරකම නතර කරන්න ඕනෑ. අපේ වේදිකාවේ සිටින කිසිවෙක් මහජනයගේ සතයක් හෝ හොරකම් කර නැහැ. අනිත් වේදිකාවල ඉන්න ජනතා මුදල් හොරකම් කරපු අයට අපි ආණ්ඩුව ගත්තට පස්සෙ මාස දෙකක් ප්‍රකාශයට පත් කරනවා. ඒ මාස දෙක ඇතුළෙ තමන් හොරකම් කරපු දේපළ භාරදෙන්න අවස්ථාවක් දෙනවා. ඒ වෙනකොට භාරදුන්නෙ නැත්නම්, සහතික වශයෙන්ම ඒ දේපළ රජයට පවරාගන්නවා. ඒ වගේම අදාළ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කෙරෙනවා.
දූෂිතයන්ට නැවත වතාවක් කුමන හෝ අයුරින් දේශපාලනයට සම්බන්ධ වීමට ඉඩ නොදෙන බවට ඔබට සහතිකයක් දිය හැකිද? එය කරන්නේ කෙසේද?
අද වනවිට දූෂිතයන් හා වංචනිකයන් දේශපාලනයට අරක් ගෙන තිබෙනවා. මාරුවෙන් මාරුවට ජනතාවගෙන් බලය ඉල්ලන්නේ ඔවුන්. මේ දූෂිතයන් හා වංචනිකයන් දේශපාලන පොර පිටියෙන් ඉවත් කළ යුතුයි. මහජන නියෝජිතයන් දූෂණයට පොළඹවන පරිසරය අහෝසි කිරීමට අපි කටයුතු කරනවා.
පවුලේ අය කාර්යමණ්ඩලය සඳහා බඳවාගැනීම තහනම් කිරීම, මන්ත්‍රීවරුන්ට ඍජුව හෝ වක්‍රව ව්‍යාපාර හෝ කොන්ත්‍රාත්වල නියැළීම තහනම් කිරීම, වරප්‍රසාද අහෝසි කිරීම ඇතුළු යෝජනා ගණනාවක් අපි විසින් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් වයසේ සිටම රටේ දූෂණ විරෝධී සංස්කෘතියක් ඇති කිරීමට අප මැදිහත් වෙනවා. ඔවුන් දූෂණයෙන් උපයාගත් දේපළ ආපසු භාර නොදුනහොත් නීතියට මුහුණදීමටත් සිදු වන බවත් පැහැදිලියි.
ඇමෙරිකාව, චීනය හා ඉන්දියාව කේන්ද්‍රීයව ජාත්‍යන්තර සබඳතා පවත්වාගැනීමේදී ඔබගේ සැලසුම් මොනවාද?
අපගේ පාලනයක විදේශ ප්‍රතිපත්තියේ පුළුල් අරමුණ වන්නේ ස්වාධීන වූ, ජාතික ජනතා අභිලාෂයන් අනුව මෙහෙය වන, ජාත්‍යන්තර සාමය හා අන්‍යොන්‍ය සහජීවනය මත අපගේ රටේ හැකියාවන් ජාත්‍යන්තරය තුළ පිළිගැනීමට බඳුන් වන ලොව විශිෂ්ට රාජ්‍යයක් නිර්මාණය කරගැනීමයි. තානාපති සේවාව රටේ වුවමනාකම් ඉලක්ක කරනිමින් මෙහෙයවනවා. ලෝක බලවතුන්ට රටේ සම්පත් වරදාන ලෙස ලබාදීම වෙනුවට නොබැඳිභාවය, අදීනත්වය, සාමය, සහජීවනය හා යුක්තිය මත ක්‍රියාත්මක වන විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා.
දුගී දුප්පත්භාවය අවම කරමින් සංවර්ධිත රටක් හා අතමිට සරු ජනතාවක් බිහි කරන්නේ කෙසේද?
අපේ රටේ ආර්ථිකය ප්‍රධාන අර්බුද පහකින් පෙළෙනවා. ඒ අතරින් පළවෙනි එක තමයි ණය අර්බුදය. ඊළඟට ආනයන, අපනයන අර්බුදය. 2018දී පිටරටින් භාණ්ඩ ආනයනය කරන්න ඩොලර් බිලියන විසි දෙකයි දශම දෙකක් වැය වෙලා තියෙනවා. භාණ්ඩ අපනයනයෙන් අපට ලැබිලා තියෙන ආදායම ඩොලර් බිලියට එකොළහයි දශම අටයි. ඒ අනුව ආසන්න වශයෙන් ඩොලර් බිලියන දහයයි දශම හතරක හිඟයක් තියෙනවා.
තුන්වැනි ගැටලුව තමයි රාජ්‍ය ආදායම හීන වීම. හතර වෙනි ගැටලුව තමයි රටේ නිෂ්පාදනය බරපතළ විදිහට කඩාගෙන වැටීම. අපි මුහුණදීල තියෙන පස්වැනි ගැටලුව තමයි ආදායම් බෙදීයාමේ විෂමතාව. ඉහළම ආදායම් ලබන 10% රටේ ආදායමෙන් 38.4%ක් භුක්ති විඳනකොට පහළම ආදායම් සහිත 10%ටහම්බ වෙන්නෙ ජාතික ආදායමෙන් එකයි දශම එකයි.
අපි අපේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කරලා තියෙන්නෙ මේ අර්බුද පහ සමනය කරගන්නෙ කොහොමද කියන එක සැලකිල්ලට අරගෙන. අපේ රටේ පිහිටීමත් එක්ක අපේ නාවික කර්මාන්තය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනෑ. ප්‍රතිඅපනයන කර්මාන්තය ගැන හිතන්න ඕනෑ. නාවික කර්මාන්තය දියුණු කිරීම මගින් රටට ආදායම් ගෙන ඒමේ සැලැස්මක් අපට තියෙනවා.
විශේෂ වටිනාකම් තියෙන ස්වාභාවික සම්පත් කිහිපයකුත් අපට තියෙනවා. එයින් එකක් තමයි මිනිරන්. ඒවා නිසි කළමනාකරණයක් සහිතව යෙදවෙන්නෙ නැහැ. එතනට කර්මාන්ත ශාලාවක් ගෙනාවොත් කිලෝ එකක් ඩොලර් පන්දාහකට විකුණන්න පුළුවන් තත්ත්වයට ගේන්න පුළුවන්. ඛනිජ වැලි කියන්නෙත් ඒ වගේ තවත් විශේෂිත සම්පතක්. මේ වගේ තවත් ඕනෑ තරම් නිෂ්පාදන තියෙනවා දියුණු කරන්න පුළුවන්.
අපට තියෙන ප්‍රධානම සම්පත තමයි මානව සම්පත. සංවිධිත අධ්‍යාපනයක් තියෙන, හැකියාවන් රැසක් තියෙන, වඩා හොඳින් දියුණු කරන්න පුළුවන් මානව සම්පතක් අපට තියෙනවා. දියුණු ශ්‍රම වෙළෙඳ පොළ අත්පත් කරගන්න හැකියාව තියෙනවා. ලෝකයට අවශ්‍ය මානව සම්පත අපි ගොඩනගන්න ඕනෑ. ඒ වගේම රාජ්‍ය අංශය මැදිහත් වියයුතු සහ අත්හැරිය යුතු අංශ මොනවද කියන එක හොඳින් වටහාගෙන ඒ අනුව රාජ්‍යය විසින් ආර්ථිකය හොඳින් කළමනාරණය කළ යුතු වෙනවා. එවැනි පූර්ණ ආර්ථික සැලැස්මක් ඇතුළෙ තමයි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වෙන්නෙ.
අධිකරණයේ හා මාධ්‍යයේ ස්වාධීනත්වය සුරැකීම පිළිබඳ ඔබට ලබාදිය හැකි සහතිකය කුමක්ද?
අපේ රටේ නීතියේ, විධානයේ ආධිපත්‍යය අද තියෙන්නෙ ධනවත්, සහ බලවත් අයට නීතිය ක්‍රියාත්මක නොවෙන, දුප්පත්, දුබල අයට නීතිය හොඳින්ම ක්‍රියාත්මක වෙන තැනක. ඒ නිසා අපේ රට ගොඩනගනවා නම් ධනවත්ද, බලවත් ද, දුප්පත්ද, දුබලද කියන එක නොසලකා නීතිය ක්‍රියාත්මක වෙන තත්ත්වයක් ඇති කරන්න ඕනෑ.
යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන් පර්යේෂණ කරන ආයතනවලින් හෝ නඩු ගොනු කරන ආයතනවලින් හෝ ඒවා විභාගයට ලක් කරන ආයතනවලින් ගැලවීමට හැකි තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. මේ ස්ථාන තුනේම දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒත් ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්න බැරි තත්ත්වයට දේශපාලන බලපෑම්වලට නතු වෙලා. ඒ නිසා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න නම් මේ ආයතන තුනම විධිමත් ප්‍රතිස්ංස්කරණයට ලක් කළ යුතුයි.
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතීන් සහ නිදහස තහවුරු කර, ජනමාධ්‍ය නිදහසට ගරු කරමින් හා ඒවායේ ස්වාධීන භාවිතයට ඉඩ සලසමින් ජනමාධ්‍ය ප්‍රකාශනයේ අයිතියත් ජනතාවගේ නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතියත් සමාන ලෙස තහවුරු කිරීම අවශ්‍ය වෙනවා. වඩා යහපත් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම මගින් මාධ්‍ය ක්ෂේත්‍රය ගුණාත්මක තලයකට ඔසවා තැබීමටත් ජනමාධ්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීමටත් අ