නගරබද පිහිටි බොහෝ විහාරස්ථානවලට අවශ්‍ය සියලු පහසුකම් පැවතියද, ග්‍රාමීය මට්ටමේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි බොහෝ විහාරස්ථාන සතුව එවැනි පහසුකම් නොමැත. නගරබද මෙන් ග්‍රාමීය මට්ටමේ පිහිටි විහාරස්ථාන සතුව මිලමුදල් යහමින් ඇති දායක දායිකාවන්ද නැත. අද අප පාඨක ඔබේ අවධානයට යොමු කරන්නේද විශාල අඩුපාඩුකම් හා දුෂ්කරතා රැසක් මධ්‍යයේ අධ්‍යාපනය ලබන කුඩා හිමිවරුන් 65ක් වැඩ සිටින විහාරස්ථානයක් පිළිබඳවය.
හම්බන්තොට නගරයේ සිට කිලෝමීටර් 06ක් පමණ තංගල්ල දෙසට පැමිණෙන විට හමුවන කටුවැව හන්දියෙන් දකුණට හැරී, වල්සපුගල මාර්ගය (කුරුළු උයන මාර්ගය) ඔස්සේ කිලෝමීටර් 05ක් පමණ ගිය පසු අපට මෙම විහාරස්ථානය හමුවිය. හම්බන්තොට නාගර්වැව නැමති අති දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති මෙම විහාරස්ථානය හඳුන්වනු ලබන්නේ නාගර්වැව සුමේධාරාම බුදුරජ වෙහෙර මහ පිරිවෙන් විහාරය ලෙසය. අප එහි යන විටත් ගුරු හිමියන් හා කුඩා භික්ෂූන් වහන්සේලා අබලන් වී ගොස් ඇති පිරිවෙන් ශාලාවක් සකසමින් සිටියේය.
2009 වසරේදී භික්ෂූන් වහන්සේ 07නමකින් ආරම්භ කර ඇති මෙම විහාරස්ථානය අද වන විට මහා පිරිවෙන් විහාරස්ථානයක් බවට පත්ව ඇත්තේ විහාරාධිපති හිමියන්ගේ සහ මෙහි වැඩ සිටින කුඩා ස්වාමීන් වහන්සේලාගේ අප්‍රතිහත කැපවීම නිසාවෙනි. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මෙම විහාරස්ථානයට දානමානාදිය රැගෙන ආ දායක දායිකාවන්ගෙන් ලද උපකාරද ඊට හේතු වූ බව පැවසිය යුතුමය. භික්ෂූන් වහන්සේලා 07 නමකින් ආරම්භ කෙරුණු මෙම විහාරස්ථානයේ අද වන විට වැඩ සිටින කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය 65 නමකි. විහාරාධිපතීන් වහන්සේ පිරිවෙන් විහාරයේ ගුරු මණ්ඩලය ඇතුළුව විහාරස්ථානයේ වාසය කරන සම්පූර්ණ පිරිස 81 නමකි.
හම්බන්තොට නාගර්වැව වැනි ඉතා දුෂ්කර, වනඅලින්ගෙන් බැටකමින් ජීවත් වෙන ගොවීන් පිරිසක් සිටින ප්‍රදේශයක පිහිටා ඇති මෙම විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට දාන වේලක් ලබාදීමට තරම් වත්කමක් දායකයන් ඉතා සුළු පිරිසකට හැර බහුතරයකයට නොමැත. එවන් පසුබිමක් තුළ මෙම විහාරස්ථානය පිළිබඳව දන්නා කොළඹ, ඇඹිලිපිටිය, රත්නපුර, තංගල්ල, කහවත්ත, ගාල්ල, මාතර වැනි දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි දානපතියන් මෙම විහාරස්ථානයට පැමිණ කලක් තිස්සේ දානමානාදිය සිදුකරගෙන ගියේ, ශාසනයේ උන්නතිය වෙනුවෙන් මෙම භික්ෂූන් වහන්සේලා සිදුකරන කැපවීම නිසාවෙන්මය. එහෙත් වර්තමානයේ රට තුළ පවතින සෞඛ්‍ය ගැටලුව හමුවේ වෙනදා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මෙම විහාරස්ථානයට පැමිණි දායක පිරිසට පැමිණීමට නොහැකි වී තිබේ. ඒ හේතුව නිසා මෙහි වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට මාසයේ වැඩි දවසක් සිය දානය විහාරස්ථානය තුළදීම සකසා ගැනීමට සිදුව තිබේ. එක් වේලක් සඳහා හාල් කිලෝ 15ක් පමණ පිළියෙළ කෙරෙන අතර, එළවළු එක් වර්ගයකින් කිලෝ 05 බැගින් දානය සඳහා සකස් කෙරෙයි. දානය නොමැති දිනවලදී මෙම ප්‍රමාණයට දානය පිළියෙළ කිරීම සිදුකරන්නේද කුඩා හිමිවරු විසින්ම වීම විශේෂත්වයකි. මෙහිදී ඇතැම් දිනවලදී ව්‍යාංජන සඳහා ලුණු වැඩි වෙන අතර, ඇතැම් දිනවලදී බත අමුවීම් හා බෙරි වීම්ද බහුලය. එහෙත් සියලුමදෙනා එක්ව මෙම සකසා ගන්නා දානවේල ඉතා සතුටින් වළඳා ඉක්මනින් පිරිවෙන් යාමට සූදානම් වෙන්නේ ඉගෙනීමේ කටයුතු සඳහා මෙහි වැඩ සිටින භික්ෂූන් වහන්සේලා දැඩි දක්ෂතාවයක් දැක්වීම නිසා විය යුතුය.
රට තුළ පවතින සෞඛ්‍ය වාතාවරණය හමුවේ වුවත් කුඩා හිමිවරුන්ගේ එකදු දානවේලක් නොවරද්දා කුඩා සාමණේර හිමිවරුන්ගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකරදීමට මහත් සේ වෙහෙසක් දැරීමට විහාරාධිපති හිමියන්ට සිදුව ඇත්තේ මහත් දුෂ්කරතා රැසක් මධ්‍යයේය.
එමෙන්ම විහාරස්ථානයේ වැඩසිටින කුඩා භික්ෂූන් වහන්සේලා සඳහා නිසි පහසුකම් වලින් යුතු ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම්ද මෙම විහාරස්ථානය සතුව නොමැති අතර, භික්ෂූන් වහන්සේලා අධ්‍යාපන කටයුතු සිදුකරන්නේද මුක්කු ගැසූ කඩා වැටීමකට ලක්වෙමින් ඇති ඉතා අනාරක්ෂිත ශාලාවක් තුළය. මෙතෙක් විහාරස්ථානයේ දියුණුව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින දායක දායිකාවන්ගේ සහය හිමිවූ නමුත් කෝවිඩ් වසංගතය හමුවේ ඔවුන්ගේ පැමිණීමද සිමා වී තිබේ. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් වලින් යුක්ත සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කළද, එහි කටයුතු අද වන විටත් අතරමග නැවතී තිබේ. මේ හේතුව නිසා ඉතා කුඩා කාමරයක භික්ෂුන් වහන්සේලා දහ දොළොස් නමකටම වැඩ සිටීමට සිදුව තිබේ.
හම්බන්තොට නාගර්වැව සුමේධ බුදුරජ මහා පිරිවෙන්හී විහාරයේ විහාරාධිපති හා කෘත්‍යාධිකාරී පූජ්‍යපාද පනාමුරේ සුනන්ද හිමිපානන් වහන්සේ මෙලෙස පැවසූහ.
&මේ විහාරස්ථානය මම ආරම්භ කළේ 2009 වර්ෂයේදී. එවකට මම මේ විහාරස්ථානය ආරම්භ කළේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 06 නමකගෙන්. එදා මම මේ ප්‍රදේශයට එන විට මේ පැත්තේ හිටියෙ කෘෂිකර්මාන්තයේ නියැළෙමින් තාවකාලිකව මේ ප්‍රදේශයේ ජීවත් වුණු ගොවි ජනතාවක් විතරයි. විහාරස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයට යන්න කිලෝමීටර් 05ක් විතර පයින් යන්න තියෙනවා. යන්න එන්න වාහනයක් නැති නිසා මේ කිලෝමීටර් 05ක දුර අපි පා ගමනිනුයි ගියේ. මේ යන ගමනේදි අපිට වනඅලින් හමු වූ අවස්ථා බොහෝමයි. මගේ ශිෂ්‍යයන් වහන්සේලා 06නමක් මුලින්ම පිරිවෙන් ගියේ හම්බන්තොට නගරයේ පිහිටි පිරිවෙනට. එහිදී මේ කුඩා ස්වාමීන් වහන්සේලා දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. පිරිවෙන් යන්න බස් එකට ගියාම මේ අයට බස් නවත්වන්නේ නැහැ. මොකද වාඩිවෙන්න සීට් දෙන්න වෙන නිසා. හම්බන්තොටින් බස් එකකට නැග්ගත් කොන්දොස්තරලා ඇවිත් පොඩි නමලා බස් එකෙන් බස්සවනවා. දිගින් දිගටම මේ විදියේ තාඩන පීඩන වලට මගේ මේ කුඩා ස්වාමීන් වහන්සේලා ලක්වීම නිසා මම මේ ස්ථානයේ පිරිවෙනක් ආරම්භ කළා. මෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දැක්වූ දක්ෂතාවයන් නිසා අද වෙනකොට එය මහා පිරිවෙනක් බවට පත්ව තියෙනවා.
මේ ඉන්න කුඩා කුඩා සාමණේර හිමිවරුන් සියලුමදෙනා අධ්‍යාපන කටයුතු සඳහා ඉතා දක්ෂයි. පිරිවෙන අරම්භ කිරීමත් එක්ක මේ වන විට 11නමක් විශ්වවිද්‍යාල වරම් ලබා තියෙනවා. මෙවර පැවති මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහාත් 15නමක් ඉදිරිපත් වුණා. විහාරස්ථානයේ තියෙන ලොකුම අඩුව තමයි අපිට මේ තියෙන පිරිවෙන් ශාලාව සකස් කර ගැනීම. මේ ඉන්න හාමුදුරුවරු එකතුවෙලා පිරිවෙන් ශාලාවේ බිත්ති බැඳලා අවසන් කරලා තියෙනවා. නමුත් අපිට එහි ස්ලැබ් එක දමාගන්න තරම් වත්කමක් නෑ. පුළුවන් අයෙක් ඉන්නවා නම් මේ පුංචි හාමුදුරුවන්ට අධ්‍යාපනය ලබන්න නිසි සෙවනක් ලබාදෙන්න. එය මහා පිංකමක් වෙනවා.*
විහාරස්ථානයට ගිය අපටද දැකිය හැකි වූයේ කුඩා කුඩා සාමණේර හිමිවරු තැන තැන පාඩම් කරන අයුරුය. අධ්‍යාපනයට මහත් සේ කැපවෙන සාමණේර හිමිවරු සිටින පිරිවෙන් විහාරයේ වාර්ෂික පිරිවෙන් ප්‍රතිඵලද 100%ක් වීම තවත් අගය කළයුතු කරුණකි. ඒ අන් කිසිවක් නිසා නොව දුෂ්කරතා රැසක් මධ්‍යයේ මෙම කුඩා හිමිවරු මෙලෙස අධ්‍යාපනය ලැබීමය.
විහාරස්ථානයේ මාසික විදුලි බිල රුපියල් 10,000කට ආසන්න වන විට, වතුර බිලද රුපියල් 8000කට ආසන්නව ගෙවීමට විහාරාධිපති හිමියන්ට සිදුව තිබේ. මීට අමතරව දිනපතා විවිධ අසනීප තත්ත්වයන්ට ලක්වෙන කුඩා හිමිවරු ප්‍රතිකාර සඳහා රැගෙන යාම වෙනුවෙන්ද විශාල මුදලක් දැරීමට සිදුව තිබේ. විහාරස්ථානය සතුව වාහනයක්ද නොමැති වීම නිසා නිරතුරුවම මුදල් ගෙවා කුලී වාහනයක් ගෙන්වා ගැනීමට සිදුවේ. එවන් පසුබිමක් තුළ කුඩා ඩීමෝ බට්ටා වර්ගයේ ලෝරි රථයක් හෝ ලබාදීමට යම් වැඩපිළිවෙළක් සැකසිය හැකි නම් එයද මහත් වූ පිංකමකි.
එමෙන්ම රටේ ප්‍රසිද්ධ විහාරස්ථානවලට විවිධ ව්‍යාපාරිකයන් පැමිණ ලක්ෂ ගණන් ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවද්දී රටට, ශාසනයට භික්ෂූන් වහන්සේලා නිර්මාණය කරන මෙවැනි දුප්පත් විහාරස්ථානයකට පිහිට වීම බෞද්ධ අප කාගේත් යුතුකමකි. මෙම පිරිවෙන් විහාරස්ථානය සඳහා යම් අයෙකුට දායක විය හැකි නම් පහත දුරකථන අංකය ඔස්සේ විහාරාධිපති පූජ්‍යපාද පනාමුරේ සුනන්ද හිමිපාණන්ව සම්බන්ධ කරගත හැකිය.
047-4450150 / 0713 989038
සටහන හා සේයා රූ - සූරියවැව නුවන් ජයසේකර