තවත් මහා ඡන්දයක් අත ළඟට පැමිණ තිබේ. මෙරට දේශපාලනය තුළ එදා මෙන්ම අදත් ඇසෙනුයේ අපි කැපුවත් කොළ, නිල්, රතු, සංවාදයකි. ඒ ඒ පාර්ශ්වයන්ට ඒ වෙනුවෙන් යම් සාධනීය හේතුද තිබේ. සෑම මැතිවරණයක්ම අවසානයේ පත්වන නව රජය කෙරෙහි ජනතාව අපමණ විශ්වාසයක් තබයි. එහෙත් ඒ විශ්වාසය කිරි කළයට ගොම බිඳක් දැමූ පරිදි යැයි එම ජනතාවගේ මුවින්ම ඇසෙනුයේ සති දෙක තුනක් ඉක්ම යාමටත් මත්තෙනි.
සතුට දනවන සිදුවීම ඛේදවාචකයක් වූ කලෙක
රට වෙනුවෙන් තමන්ගේ බලය දක්වා සුදුසු නියෝජිතයන් වෙත රට පත් කිරීම ජනතාවට සතුට දනවන කරුණක් විය යුතුය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තමන්ගේ මහජන නියෝජිතයා තෝරා ගැනීම අර්බුදයක් වන තැනට මෙරට දේශපාලනය සෝදා පාළුවට ලක්ව තිබේ. ඒ ඛේදවාචකය මැතිවරණ තුළ නොඇසිය යුතු කතාවක් බවට දේශපාලන නිරීක්ෂකයෝ අවධාරණය කරති. එය ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව විශ්ව මානව හිමිකම් ප්‍රඥප්ති තුළ කියවෙන භාෂණයේ ප්‍රකාශනයේ අයිතියද හෑල්ලුවීමක් ලෙසට ඔවුහු දක්වති.
සුදුස්සා සහ නුසුදුස්සා තෝරා ගැනීම
සමානුපාතික ක්‍රමය හරහා පක්ෂ මූලස්ථානය මගින් දූෂිත, ජනප්‍රිය සහ ධනය, බලය ඇත්තෝ ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය බවට පත්ව තිබේ. අපි කැපුවත් අහවල් පාට යැයි පවසන අය තම පක්ෂයට ඡන්දය දෙති. පුද්ගලයා නොව පක්ෂය තුළ අනිවාර්යයෙන්ම ඡන්ද දායකයාගෙන් පක්ෂයට ලැබෙන මනාප අඩුවීමක් එහිදී සිදුනොවේ.
එහෙත් මනාප විමසීමේදී දූෂිතයාට හෝ තම අකැමැති අපේක්ෂයන් වෙත මනාපය සටහන් නොකරන බැවින් ඔවුන් පත්වීමට ඇති අවස්ථාව පිළිබඳව දේශපාලන විද්වත්හු අවධාරණය කරති. ඒ නිසා පක්ෂය කුමක් වුවත් වඩා සුදුසු පුද්ගලයෙකුට හෙට දවසේ බලය ලබාදීමට ජනතාවට නොහැකියාවක් නොමැති බව ඔවුහු අවධාරණය කරති.
ඒ අනුව වඩාත් පැහැදිලි වනුයේ දූෂිතයන් පත්වූවා යැයි යමෙකු චෝදනා කරනුයේ නම් ඔවුන් පත් කළේ දූෂණයට අනුබල දෙන ඡන්ද දායකයන් විසින් බවයි. මෙවර ඡන්ද පොළේදී හෝ ඡන්ද දායකයා තීරණය කර, එය නිවැරදි නොකළහොත් ඒ වරද නැවත නිදොස් කළ නොහැකිය.
ගෙවී ගිය මෑත කාලය තුළ ජනතාව අතරින් ඇසුණු තමන්ගේ අපේක්ෂකයා පිළිබඳ මතවාද විවිධය. ඒවා මැතිවරණය අබියස රැඳී අවධාරණය කිරීම ඒ ඒ ඇත්තන් විසින් පෞද්ගලිකව කළ යුතු විනිශ්චයක් විනා මාධ්‍ය හරහා හෝ ප්‍රසිද්ධ සංවාදයේ යෙදීමට අවස්ථාවක් නොවන බවද විද්වත්හු අවධාරණය කරති. එහෙත් සමස්තයක් ලෙස රටට යමක් කළ මිනිසුන්ට වඩා, රට වෙනුවෙන් දුරදිග සිතා හරවත් යමක් කළ මිනිසුන් තෝරා ගැනීම අගෝස්තු 5 වැනි දිනට ජනතාවගේ වගකීමකි.
සෑමවිටම පක්ෂයක් දිනවීමට වඩා නිසි නිවැරදි පුද්ගලයන් තෝරා ගැනීම තුළින් යහපත් පුද්ගලයන්ගේ එකමුතුවකට ඇති අවස්ථාව ඉහළය. ශක්තිමත් තුනෙන් දෙකේ ආණ්ඩුවක් පිළිබඳව ඇසෙන යෝජනා අතර, රටට ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාව පිළිබඳ අරගලයක් තිබේ.
මැතිවරණය තීරණාත්මක ප්‍රවේශයක්
මෙවර මැතිවරණය තීරණාත්මකය. ඒ රටේ කොරෝනාව සමග ඇති වූ අභ්‍යන්තර අර්බුදය ජාත්‍යන්තර වශයෙන්ද නව පාර්ලිමේන්තුවක ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී බලපෑ හැකි හෙයිනි. එහිදී රටේ බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට උපක්‍රමශීලී සහ ඥානාන්විත දැක්මක් ඇති දේශපාලකයන්ගේ අවශ්‍යතාව මතු වේ.
මැතිවරණ ප්‍රතිඵලය ලංකාවට පමණක් ආවේණික කරුණක් නොවේ. එය දෙසිය විසිපහකින් ඔබ්බට යා යුතු යැයි දේශපාලන විද්වත්හු පෙන්වා දෙති. ඒ ජාත්‍යන්තර සබඳතා තුළින් බැහැරව සහජීවනයත්, ජාතික ආර්ථිකය උදෙසා අන් රාජ්‍යයන්ගේ අනුබලයත් ලබාගත නොහැකි වන බැවිනි. පත්වන පාලකයන් සහ ඔවුන්ගේ හැසිරීම් අනුව විදේශීය සබඳතා ඇති කරන බලපෑම මෙහිදී වැදගත් වේ.
අර්බුද හමුවේ ජනතා වගකීම
ආණ්ඩුව අත්තනෝමතික වනුයේ පාලක ආණ්ඩු පක්ෂයට වැඩි බලතල ලබාදීම, නුසුදුස්සන් පත්කර යැවීම සහ එකම පාර්ශ්වයක් අතර බලය දෝලනය වන ස්වභාවය නිසාය. එසේ නම් ජනතාව පළමුව තම ඇස් බැඳි කඩතුරා ඉවත් කළ යුතුය. ඉනික්බිති පියවි ඇසින් ලෝකය දෙස බැලීම වැදගත්ය.
මෙහිදී පැරැන්නන් අතර ඇති අපූරු කියමනක් විද්වත්හු සිහිපත් කරති. එය නම් “පිස්සෙක් රජ වුණත් එකයි. රජුට පිස්සු වුණත් එකයි* යන්නයි. ඒකාධිපතිත්වය තුළ නීති පැනවීමේදීත්, නීතිය ක්‍රියාත්මක කරවීමේත් බලය එකම පුද්ගලයා සතු විය. එම අවදානම තුළ පිස්සෙක් රජ වුවද, රජු පිස්සෙකු වුවද ඇතිවිය හැකි අවදානමට මුහුණ දුන්නේ රටත්, ජාතියත්, ජනතාවත්ය.
නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය තුළ ජනතා නියෝජිතයන් සකසාගත් ව්‍යවස්ථා අනුව රාජ්‍ය පාලක නායකයා (රජු) යනු මහජන නියෝජිතයෙකි. ජනතාව වෙනුවෙන් නීති සාදනුයේ පාර්ලිමේන්තුව මගිනි. එබැවින් රජුට පිස්සු තිබුණද නීති හදන තැන ඇත්තන්ට රජු පාලනය කිරීමටද බලය ලැබේ. එබැවින් තම ජනතා පරමාදර්ශී සේවය ඉටු කිරීමට හැකි මහජන නියෝජිතයන් තෝරා ගැනීම මැතිවරණයක් තුළ සිදුවිය යුතු දෙයක් බවට දේශපාලන විද්වත්හු අවධාරණය කරති.
අපේක්ෂකයන් රටේ නීතිය ප්‍රසිද්ධියේ කඩ කිරීම
රටේ අණපනත් නොතකා මැතිවරණ ව්‍යාපාරයේ නිරත වීම මෙවරද වෙනත් වසරවලට වඩා ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් පවසයි. මහමග අනතුරුවලට අත වනන නොමනා රිය පැදවීම සහ මාර්ග නීතිවලට පටහැනිව ධාවනය වන දේශපාලකයන්ගේ යාන වාහන දකින ජනතාවට ඇත්තේ පිළිකුලකි. ගෙවී ගිය තුන් මාසයකට වැඩි කාලය තුළ කොරෝනා මර්දනයේ සෞඛ්‍ය පිළිවෙත් සහ නීති කඩ කරමින් ඇතැම් දේශපාලකයන් ජනතාව අවදානමට පත්වන පරිදි කටයුතු කළ ආකාරයද මෙහිදී කලකිරීමෙන් යුතුව සිහිපත් කළ යුතුය.
මැතිවරණ නීතියට ගරු නොකොට රාජ්‍ය බලය අවභාවිත කළ දේශපාලකයන් පිළිබඳව ජනතාව අතර ඇති වූ සංවාදය රටේ නීතිය කොයි පැත්තටදැයි යන ගැටලුව මතු කරන්නකි. ඒ අතර සිවිල් සහ අපරාධ නීති නොතකමින් බලය වෙනුවෙන් පොදු නීතියට පටහැනිව ක්‍රියා කළ අපේක්ෂකයන් සම්බන්ධයෙන්ද එල්ල වන චෝදනාවකි.
බලය අවභාවිත කරමින් සැපයෙන පූර්වාදර්ශය
මේ හැම දෙයකින්ම පැවසෙනුයේ අපේක්ෂකයන් විසින් කැලෑ නීතිය රජ කරවමින්, වැරදි පූර්වාදර්ශ සැපයීමට එරෙහිව ජනතාවගෙන් එල්ල වන අප්‍රසාදයයි. එසේ නම් රටේ නීති හදන තැනට එසේ හිතාමතා තම බලය අයථා ලෙස භාවිත කරන්නවුන් තෝරා පත්කර යැවිය යුතුදැයි යනුවෙන් ජනතාව අතරින්ම නැගෙන සංවාදය යුගයේ මාතෘකාවක් ලෙස දේශපාලන නිරීක්ෂකයෝ දක්වති.
තමන්ගේ බලය වෙනුවෙන් අනුන් විපතට හෙළා, රටේ නීතිය කඩ කරන පුද්ගලයන් බලය ලැබුණු දා ක්‍රියා කරන ආකාරය ඒ ඒ සිදුවීම් ඇසුරෙන් ගෙන විවරණය කිරීම ඡන්දපොළට යාමට පෙර ජනතාව ගත යුතු වැදගත් පියවරකි.
සෝද සෝදා මඩේ දැමීමේ ජන වරම
ගෙවී ගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 225 අතරින් 208 දෙනෙකු මෙවරද මහජන නියෝජිතයන් ලෙස තරගයට පිවිස තිබේ. හිටපු ඇත්තන් කළ දෙයක් නැතැයි විලාප නැඟූ අයට මෙවර ඒ අය අතර සිටින නුසුදුස්සන් පන්නා දැමීමට සහ අත්‍යවශ්‍ය පුද්ගලයන් රඳවා තබා ගැනීමටද මෙය හොඳම අවස්ථාවක් කරගත හැකිය.
ඒ අනුව මෙවර මැතිවරණය තීරණාත්මක වේ. ඒ රට, ජාතිය මෙන්ම ජාතික සම්පත් රැකගැනීම ඇතුළු මතු පරපුර වෙනුවෙන් සම්පාදනය විය යුතු ගෙවී ගිය දශක හතර තුළ විධිමත් ප්‍රතිපත්තියක් නීතියක් යටතේ ක්‍රියාත්මක නොවීමේ වරද නිවැරදි කළ හැකි අවසාන අවස්ථාවක් විය හැකි යැයි ජාතික නායකත්වය ඇසුරෙන්ම ඇසෙන යෝජනා චෝදනා හේතුවෙනි.
දක්ෂ ආණ්ඩුවක් සහ සාර්ථක විපක්ෂයක්
එසේම විපක්ෂය වශයෙන් ගත් කලද ඒ විපක්ෂය තුළ එකිනෙකා කුළල් කා ගැනීම හෝ භේද භින්න වීම වෙනුවට, ජනතා අයිතීන් උදුරා මර්දනය කෙරෙන ක්‍රියාකාරකරම්වලදී හෝ ජාතික ධනය, පොදු දේපළ, ජාතික ආරක්ෂාව ඇතුළු කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑම් කළ හැකි විපක්ෂයක් දක්වා තහවුරු කිරීම ඡන්ද දායකයාගේ වගකීම බවට නිදහස් මතධාරීහු අදහස් දක්වති.
එසේ නම් අගෝස්තු පස්වැනිදා
හැමදාමත් සිදුකළ පරිදි මෙම අගෝස්තු 05 දින කතිරය ගැසිය යුත්තේ පක්ෂ පාට පුද්ගලයන් බැබළවීමට නොවේ. මෙහිදී කවුරුවත් අපිට කරන්නේ නැතැයි කියනු වෙනුවට අපිට කරන කවුරුහරි යන මතය තුළ එසේ ජනතාවට නොකර, තමන්ට පවුලට ගෝල බාලයන්ට පමණක් කර ගත් අය පන්නා දැමීමට ජනතාව ක්‍රියාත්මක විය යුතු යැයි දේශපාලන විද්වත්හු පෙන්වා දෙති.
එබැවින් රටේ මතු දරු පරපුරක නිදහස් නිවහල් රැකවරණයත්, ආරක්ෂාවත්, ජාතික සම්පත් සහ පොදු දේපළ විනාශයට අනුබල දෙන දේශපාළුවන්ගෙන් රට රැක ගැනීමත් සැබෑ දේශහිතෛෂී ඡන්ද දායකයන්ගේ වගකීමකි. එසේ නොවන්නේ නම් අගෝස්තු 05 වන දින මතු පරපුර වෙනුවෙන් සිදුකෙරෙන වරදක් නැවත නිවැරදි කළ නොහැකි වනු ඇත.
ලාල් ජයසුන්දර