කිසියම් පුද්ගලයෙකු සිය නිරෝගීතාවය මනිනු ලබන්නේ කායික වශයෙන් තිබෙන තත්ත්වය මත නම් එය සැබෑ නිරෝගීකමක් ලෙස පිළිගත නොහැකිය. මිනිස් සිරුර කායික මානසික යන වශයෙන් අන්තර් ක්‍රියාවක යෙදෙන බව ඇතැම් විට ඔබ පිළිනොගන්නවා විය හැකිය. සංගීතය තුළින් ලබන වින්දනය ඔබේ සිතට අදාල නමුත් එයින් ඔබට දැනෙන රිද්මය නර්ථනයක් බවට ශරීරය හරහා පත්වන්නේ ඔබේ මනස හා ශරීරය අන්තර් ක්‍රියා කරන බැවිනැයි පැවසුවහොත් එය ඔබට වඩාත් පැහැදිලි වනු ඇත මනස හා සිරුර අන්තර් ක්‍රියාකිරීම මත ඇතිවන ඔබේ නිරෝගීතාවය ට මානසික වශයෙන් පත්වන ආතති තත්ත්වය ඇතිකරන්නට ඉඩ ඇති පීඩනය සම්බන්ධයෙන් ඔබ ඇතැම් විට දැනුම්වත් නැතිනම් සමහර විට ඔබ මේවන විටත් කිසියම් ආකාරයකින් ඔබේ නිරෝගීබවට යම් තර්ජනයක් ඇතිකරගෙන සිටිනවා විය හැකිය . අද අප සාකච්චාවට බඳුන් කරනුයේ ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය සභාව විසින් පවත්වන ලද සැමරුම් උත්සවයේදී කතාබහට ලක්කෙරූ කාරනා ඇසුරින් ඔබේ කායින මානසික නිරෝගීතාවය පිළිබඳ වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙණි.
අපි සෑමවිටම උත්සහ දරනුයේ පහසුවෙන් ජීවත්වන්නට හා ආතතියකින් තොරව ජීවත් වන්නට යැයි පැවසුවහොත් ඔබ එයට එකඟ වෙනවාද? ඕනෑම අයෙකු තමන් ගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වඩාත් පහසුවෙන් ඉටුකරගන්නට හා පවතින කාර්යබහුල බවින් පීඩනයක් එල්ලවන්නේ නම් එයින් අත්මිදීමට හැකිවන අයුරින් ඔබේ ඇවතුම් පැවතුම් ආදිය හැඩගස්සවා ගන්නට උත්සහකරන බව රහසක් නොවේ. අප සෑම දෙනෙකුම උත්සහ කරන්නේ සැපෙන් ජීවත්වන්නටයි. මේ නිසාම සුඛෝපභෝගී භාණ්ඩ යනුවෙන් හඳුන්වන අපේ පහසුව සඳහාම නිපදවුනු විවිධ භාණ්ඩද වෙලඳ පොළට පැමිණ තිබේ. මේවා පරිහරණය තුළින් සැබවින්ම මිනිසාගේ කායික මානසික නිරෝගීතාවයට ඇතිවන සැපත කුමක්ද ? මේ සම්බන්ධයෙන් යම් කිසි අවස්ථාවක ඔබ දැනුම්වත්ව සිටීද ?
ජංගම දුරකථනය යන මෙවලමද මෙකළ බොහෝ දෙනාට සමීප වි සිටින එවැනි තාක්ෂණික මෙවලමකි. මුල් අවධියේදී වෙළඳ පොළට පැමිණි දුරකථනවල පැවති පහසුකම්වලට වඩා එන්න එන්නටම වෙලඳ පොළට පැමිණි සහ පැමිණෙමින් පවතින දුරකථනවල පවතින පහසුකම් වඩා ආකාර්ශණීය වන බැවින් බොහෝ දෙනා උත්සහ දරන්නේ සියළුම පහසුකම් පවතින දුරකථනයක් මිලට ගැනීමයි. එයින් ඔබ බලාපොරොත්තුවෙන්නේ කිසිවකු ඇමතීම නැතිනම් ඔබව කිසිවෙකු ඇමතීම කෙටි පණිවිඩ යැවීම එවීම පමණක්මද ? නැත ඔබ ගීතයක් අසන්නට, පිංතූරයක් ගන්නට ,රූපවාහිණිය නරඹන්නට , කිසියම් ක්‍රීඩාවක් කරන්නට, පුවත් විමසා බලන්නට රූපවාහිණිය නරඹන්නට ඊමේල් එකක් යවන්නට සහ බලන්නට මෙකී නොකී බොහෝ අවශ්‍යතාවයන් එකම මෙවලමකින් කරගන්නට උත්සහ දැරීම පරිපූර්ණ නිරෝගී මානසිකත්වයක ලක්ෂණ ඇතිකරගන්නට හැකි අවස්ථාවක් නොවේ. ඇබ්බැහිවීම යන කාරණය එහිදී ඔබේ අවධානයට ලක් විය යුතුම කාරණයයි.
නිරන්තරයෙන් දුරකථන සංවාදවල යෙදෙන සහ දුරකථනයෙන් නිරන්තර සාකච්චා පවත්වන අයගේ බොහෝ විට කන් ඇසීමේ යම් දුර්වලතාවයක් ඇති වී තිබෙනු ඇතැම් විට අත්විඳින්නට ඉඩ තිබේ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා භාවිතවීම තුළ එයට ඇතිකරන ඇබ්බැහිය පුරුද්දක්වෙන්නට මානසිකත්වයද බලපෑ හැකි බව අමතක නොකරන්න. දැන් අප මනස තුළින් අවට පරිසරය හා අවධානම මොහොතකට අමතක කරනා දුරකථනයෙන් තමන්ගේම ඡායාරූප ගැනීම නැතිනම් සෙල්ෆි ගැනීම පිළිබඳ කරුණු කාරණා වැඩි දුර සාකච්චා කරමු. සෙල්ෆි ගැනීම අසාමාන්‍ය දෙයක් යැයි කියන්නට මෙයින් උත්සහ නොදරන අතර මෙවැනි මෙවලම් විසින් ඔබේ මානසික අවධානය වෙනස් කිරීම නිසා ඔබ අනතුරට පත්වීමට ඇති ඉඩ කඩ ගැන පමණක් අපි අවධානය යොමු කරවමු. ඕනෑම අයෙකු තමන් ලස්සනට පෙනෙන ඡායාරූපයක් ගැනීම ප්‍රියකරයි.එය අසාමාන්‍ය දෙයක් නොවේ. නමුත් ඡායාරූපය ලබාගන්නා විට ඔබේ ප්රෙව්ශම ගැන ඔබේ අවධානය මුළුමණින්ම ඉවත්ව යාම නිවැරදි නැත. ඒ සෙල්ෆි ලබාගැනීමේ උනන්දුව නිසා අකාලයේ අහිමි වී ගිය ජීවිත කොතරම්ද යන්න ඔබත් අසා ඇති. එසේම සෙල්ෆි ගැනීමේ ආශාව අවසානයේ සෙල්ෆි උමතුව යනුවෙන් හඳුන්වන්නට තරම් තත්ත්වයකට පත්වීම පිළිබඳව ඔබ මදක් සිතා බලන්න.
පිංතූරයක් ගැනීම පිංතූරයකට පෙනී සිටීම ඔබේ දෛණික ක්‍රියාවන් අතර ඉතාම සරල අහිංසක ක්‍රියාවක් විය හැකි නමුත් එය ඔබ අවධානමකට මුහුණ දී ඇති බව අමතක කරවීම, ඔබට අනතුරක් වෙන්නට ඉඩ ඇති බව දැන දැනම ඊට යොමු වීම මෙන්ම ඔබේ ප්‍රවේශම අමතක කරවන තරමට ඔබ සෙල්ෆී සඳහා ඇබ්බැහිවීම නිරෝගී මානසිකත්වයක ලක්ෂණයක් නොෙව්. එය නිසා ඔබ කායික වශයෙන් මුහුණ දෙන අනතුරු ඔබේ කායික නිරෝගීතාවය කෙරෙහිද එක එල්ලේ බලපාන්නට ඉඩ පවතී. දැන් අප ඔබගේ සිරුරට අවශ්‍ය ව්‍යායාම ඔබේ දුරකථනය නිසා අහිමි වී යන අවස්ථාවන් පිළිබඳවද දැනුම්වත් වෙමු. ඔබ කය වෙහෙසවා ක්‍රීඩාකරන විට එය ඔබේ නිරෝගීභාවය සම්බන්ධයෙන් ලබාදෙන ප්රතිලාභ බොහෝය. කය වෙහෙසවා කරන ව්‍යායාම නිසා ඔබේ සිරුරෙන් කොලෙස්ටරෝල තැන්පතු මතුවීම අත්හිටවෙයි.සිරුර තරබාරුවීමද වැළකෙන අතර සිරුරේ හැඩයද මනාව පවත්වා ගන්නට උපකාරවෙයි. මේ නිසා ඔබට මානසික වශයෙන් හොඳ සැහැල්ලුවක්ද ලබාගැනීමට හැකිවෙයි. නමුත් දැන් දැන් තරුණ සහ මැදිවියේ බොහෝ දෙනා සෙල්ලම් කරනවා යන්නෙන් අදහස් කරන්නේ කය වෙහෙසවා ක්‍රීඩාකිරීම හෝ ව්‍යායාම සඳහා ක්‍රීඩාකිරීම නොවේ. දුරකථන තිරයේ මතුකරගන්නා කිසියම් ක්‍රීඩාවක් වෙත නතුවෙමින් පැය ගණන් එය සමග ගතකිරීමයි. එහිදී මුළුමණින්ම කය වෙහෙසවීම නවතන අතර ඔබ තෝරාගන්නා ඇතැම් ක්‍රීඩාවන් ඔබේ මනසටද බලපෑම් එල්ලකරනු ඇත. සමහර ක්‍රීඩාවන් සැකසී ඇත්තේ ප්රචණ්ඩත්වය පසුබිම් කරගෙනය.
වෙඩි තබා ගැනීම් ආදිය ක්‍රීඩාවක් සේ සලකන්නට ඇසට පෙනෙන දසුන තුළින් සැකසූ විට නිරන්තරයෙන් එහි ඇලී ගැලී සිටීම මනසට යම් තරමක පීඩාකාරීබවක් ගෙන දෙන්නට සමත්වනු නියතය. දෙනෙත්වලත් බිඳ බිඳ පෙනුම අඩුවී යාමටද එය බලපෑ හැකියි. මෙය වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට බලපෑම් එල්ලකිරීමට ඉඩ තිබේ. ඒ නිසා ඔබේ දරුවා නිරන්තරයෙන් දුරකථනයේ බාගත කරගත් ඇප්ලිකේෂණයක් හරහා පරිගණක ක්‍රීඩාවන් සමග දවස ගෙවන්නේ නම් දරුවාගේ දඟය මෙල්ල කරන්නට එය හොඳ පිළියමකැයි සිතා එහිම ඇලී ගැලී සිටින්නට දරුවාට අනුබල නොදෙන්න. එවිට දරුවාගේ මතක ශක්තිය ආදී කාරණාවන්ට එම ඇබ්බැහිවීම නරක ආකාරයෙන් බලපාන්නට ඉඩ තිබේ.තවත් අවාසියක් නම් මෙවැනි අවස්ථාවල ඇතැම් දරුවන් එක්කෝ ආහාර අමතක කිරීම හෝ හැඟීමකින් තොරව ආහාර ගැනීමට පෙළඹීමයි. එයින් ඇතැම්විට මන්ද පෝෂිතවීම මෙන්ම අධි පෝෂණයටද දරුවන් බිලිවීම සිදුවෙන්නට හැකි බව දෙමාපියන් සිහිතබා ගත යුතුවෙයි.කෙසේ නමුත් මතක ශක්තිය හීනවීමට බොහෝ දුරට එකම දේ කෙරෙහි පමණක් මනස යොමුවීම බලපෑ හැකි අතර ඔබේ දරුවාට කාටූන් බලන්නට ගීත අහන්නට ටෙලිෆෝනය හුරුකිරීම එතරම් සුදුසු පියවරක් නොවන බව අවබෝධ කරගන්න.
ඒ සඳහා ඊට අදාල මෙවලම් සකසා තිබෙන බැවින් ඔබ ඒ ඒ අදාල උපකරණ භාවිතයෙන් දරුවාට ඒ අවැසි මානසික විවේකය ලබාදෙන අතර ඔබේ දරුවා සහ ඔබ ද ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හැකි තාක් දුරට නවතා ගන්න. දැන් අප මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී විශේෂයෙන් අවධාරණය කළ කරුණක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරවන්නට අදහස් කරමු. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්ණාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මියගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ ඔබේ ජංගම දුරකථනය නිදාගන්නා සයනය මත හෝ ඒ අසල තබාගැනීම හානිකර බවයි. දුරකථනය මෙන්ම ලැප්ටොප් පරිඝනක සහ පරිඝනක ආදී විද්‍යුත් මෙවලම් ක්රියාකිරීෙම්දී කිරණ වශයෙන් ක්‍රියාකරන නිසා ඒවා ඔබේ නිදන කාමරයට ගැලපෙන්නේද යන්න පළමුව සිතා බලන්න නින්ද යනු ඔබේ කායික මානසික නිරෝගීතාවය වෙනුවෙන් සලසා දිය හැකි විවේකයයි. සිරුරේ ගෙවී ගිය පටක නැවත අලුත්වැඩියාව සඳහා ශරීරට නින්ද කියන කාරණය අත්‍යවශ්‍ය වන බව ඔබ කවුරුත් දන්නා දෙයක්.
දිනකට වැඩිහිටි අයෙකු නම් පැය හයකවත් නින්දක් ලැබිය යුතු බව ඔබ අසා ඇති. ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් එන හැමවිටම නාදය නිසා ඔබේ නින්ද අවසන් වී ඔබ අවදිවෙන අතර ඒ නිසා ඔබට එක දිගට නින්දක් ලබන්නට නොහැකිවීම පසුවදා වඩා කාර්යශීලීව දවස අරඹන්නට බාධාවක්ද විය හැකියි. නියමිත ආකාරයෙන් සකස් නොවූ දුරකථන හෝ පරණවීම හේතුවෙන් අහිතකර කිරණ නිකුත්වී පැතිරෙන්නට ඉඩ ඇති දුරකථන මෙසේ ඔබේ හිස අසල තබාගැනීම නිසා එයින් නිකුත්වන නැතිනම් ලීක්වෙන එම අහිතකර කිරණවලට ලක්වීමේ අවධානම ඔබටත් තිබෙනවා. එයින් ඇතිවන අහිතකර තත්ත්වයන් ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයට යම් බලපෑමක් එල්ලකරන්නට ඉඩ ඇතිවීම වළක්වා ගන්නට ඔබ කළ යුත්තේ දුරකථනය විසන්ධිකර එය නිදන කාමරයෙන් පිටත තැබීමයි. එමෙන්ම ලැප්ටොප් පරිඝණකයද ටැබ් ආදියද මේ ආකාරයෙන් නිදන කාමරයෙන් බැහැරව තබන්න. ඔබේ නින්දට ප්‍රථම මනස සැහැල්ලු කරගන්නට කිසියම් සිහින් සංගීතයකට භාවනාවකට හෝ නතුවූවාට කමක් නැත.
එයින් ඔබට වඩාත් සැහැල්ලු නින්දක් ලබාගන්නටද හැකියාව ලැබේවි. නමුත් කිසිවිටෙක ඔබේ මනස දුරකථනය නිසා අවුල් කරගන්නට එපා. එය ඔබ වැනි තවත් මනුෂ්‍යයෙකු නොව මෙවලමක් පමණකි. එහෙයින් මිනිස් ඇසුරෙන් ලද යුතු මනසට ගෙනෙන සතුට විද්‍යුත් මෙවලම් ඇසුරෙන් විඳින්නට සොයන කෘතිම මිනිසෙකු වෙන්නට එපා . එයින් ඔබට ඔබගේ කායික මානසික ක්‍රියාකාරිත්වයේ නිරවුල් බව හා නිරෝගීබව අහිමි වී යා හැකියි. දුරකථනය ඒ අදාල කාරියට පමණක් භාවිත කරන්න. නමුත් නින්ද අහිමිකර ගැනීම සඳහා භාවිත කරන්නට එපා. එමෙන්ම දුරකථනය ඔබට මානසික පීඩාවක් වෙනවා නම් එය බලෙන් ඉවසා සිටීමට උත්සහ දරන්නටත් එපා. ඔබගේ ඇබ්බැහිවීම් නිසා දැනටමත් ඔබ යම් පීඩනයක් විඳින්නේ නම් වහාම මනෝ වෛද්‍ය උපදෙස් පිළිපදින්න.
සටහන - නාලිකා රාජපක්ෂ