දුම්රිය සේවය ගැන මගීන්ගේ විශ්වාසය බ්ඳ වැටිලා


ශ්‍රී ලංකා දුම්රිය සේවය ආරම්භ කර මේ වනවිට වසර 154ක් ගතවී තිබේ. එහෙත් තවමත් දුම්රිය සේවාව සුළු හෝ දියුණුවක් ලබා නොමැති අතර, සිදුවෙමින් තිබෙන්නේ දිනෙන් දිනම දුම්රිය සේවය අර්බුදයට ලක්වීමය. පවතින අර්බුදකාරී තත්ත්වය නිසා මගීන් ගෙවන මුදලට සරිලන සේවාවක් නොලැබෙන බවද වාර්තා වේ. මේ පිළිබඳව %අද^ සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා සමග කතාබහක නිරත විය.


පොදු ප්‍රවාහන සේවය

පොදු ප්‍රවාහන සේවයේ ප්‍රධානම කාර්යභාරය පැවරී තිබෙන්නේ ලංගමයට හා දුම්රියට. මොකද මේ සේවා දෙකම නඩත්තු කරන්නේ ජනතාව. එහෙත් අද වන විට ලංගමයටත්, දුම්රියටත් මගී ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ රාජ්‍ය ප්‍රවාහන සේවය ලෙස වගකීම නිසි ලෙස ඉටුකිරීමට නොහැකි වීම. බස් සේවාව ගත්තම ලංගම බස් ධාවනයේදී විවිධ කාර්මික දෝෂවලට ලක්වෙනවා. ගමන්වාර හිටි හැටියේම අවලංගු කරනවා. දුම්රියේ තත්ත්වයත් මෙයට සමානයි. මේ ප්‍රවාහන සේවා දෙකම නඩත්තු කරන්නේ ජනතාව විසින්. හැබැයි ජනතාව ලබාදෙන බදු මුදලින් මේවා නිසි ලෙස නඩත්තු කරන්නේ නැහැ. ඒක නිසා පාලකයන් මේ සේවා දෙක නිසි ලෙස නඩත්තු කරලා රාජ්‍ය ප්‍රවාහන සේවය ලෙස රටේ ජනතාවට අවශ්‍ය සේවාව ලබාදිය යුතුයි.

දුම්රිය අර්බුදය

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව සැලකිය යුතු දුම්රිය ප්‍රමාණයක් තියෙනවා. රටේ ජනතාව ණයකාරයන් බවට පත්කරලා අලුතින් දුම්රියන් කිහිපයකුත් ගෙන්වාගෙන තියෙනවා. කොහොම උනත් දුම්රිය සේවාව තුළින් තවමත් මගී ප්‍රවාහන කටයුතු කරන්නේ සමස්ත මගීන්ගෙන් 5%ක් 6%ක් වැනි සුළු ප්‍රමාණයකට පමණයි.
ඒත් දුම්රිය සේවාව ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් තිබුණා නම් දුම්රිය සේවාවට මගී අවශ්‍යතාවයෙන් විශාල කොටසකට සේවාව සපයන්න තිබුණා. ඒත් වගකිවයුත්තන් වගකීම පැහැර හැරීම නිසා දුම්රිය එංජින් අමතර කොටස් ගෙන්වීමේදී ප්‍රමිතිය පිළිබඳ ගැටලු තියෙනවා. අදාළ මුදල පිළිබඳව ගැටලු තියෙනවා. මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව ඉබාගාතේ දිවෙන ආයතනයක් බවට පත්වෙමින් තියෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ආදායම් මාර්ග

මීට දශකයකට දෙකකට පෙර කාලය ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ලැබෙන මාර්ග ගණනාවක්ම තිබුණා. ඒ කියන්නේ දුම්රියන් මගින් ඉන්ධන, සිමෙන්ති, පිටි, හුණුගල් වැනි භාණ්ඩ ප්‍රවාහනය කරලා දීලා විශාල ආදායමක් ලබාගත්තා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉඩම් විශාල ප්‍රමාණයක් රට පුරා තියෙනවා. ඒවා නිසිලෙස බදු ලබාදීලා මුදල් උපයාගත්තා. දැන් ඒ සියලුම දේවල් දෙපාර්තමේන්තුවට අහිමි වෙමින් තියෙන්නේ. ඒ වගේම ටිකට්පත් වෙන් කිරීමේ සේවය දෙපාර්තමේන්තුවට සිදුකළ හැකිව තිබියදී එය පෞද්ගලික අංශයට දුන්නා. මේ ආකාරයට දෙපාර්තමේන්තුවට ලැබිය යුතු විශාල ආදායම් ප්‍රමාණයක් අහිමිවෙලා තියෙනවා. දැන් මගී ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම, පාර්සල් ප්‍රවාහනය වැනි දේවල් වලින් පමණයි ආදායම් ලැබෙන්නේ. දුම්රිය ආපන ශාලා ටිකවත් නිවැරදි ලෙස බදු ලබානොදීම නිසා අපේක්ෂිත ආදායම ලැබෙන්නේ නැහැ.

දුම්රිය කෞතුකාගාර ගැටලුව

කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය දෙපාර්තමේන්තුව සතුව තිබෙන සම්පතක්. දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයෙකුට කෞතුකාගාරයට ගිහිල්ලා අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්. එහෙම තියෙද්දි දුම්රිය මූලස්ථානය පිහිටි ටෙක්නිකල් හන්දියේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු භූමිය තුළ කෞතුකාගාරයක් ඉදිකිරීම සිදුකළා. මෙම කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තු කාර්යාල ගණනාවක් ඉවත් කළා. කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රාජ්‍ය බැංකු 03ක් රුපියල් කෝටි තුන්සීයක ප්‍රදානයක් කළ බවටත් වාර්තා වෙනවා. එහෙම තියෙද්දි දුම්රිය කෞතුකාගාරයේ කටයුතු පෞද්ගලික සමාගමක් විසින් සිදුකරනවා. මෙම කෞතුකාගාරය තුළ තැන්පත් කරන්නේ දුම්රිය සතු පෞරාණික දේවල්.

පාර්සල් ප්‍රවාහනයේ ගැටලු

පාර්සල් ප්‍රවාහනයේදී දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය නියාමකවරුන් අතර රාජකාරීමය වශයෙන් යම් යම් මතභේදයන් ඇතිවෙනවා. මේ නිසා දුම්රිය ශ්‍රේණිවල සුහදතාව ඇතිකිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන. පාර්සල් ප්‍රවාහනය නිසා දිනකට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල්  පන්ලක්ෂ පහළොස්දහසකට අධික මුදලක් ලැබෙනවා. වසරකට ගත්තම එම මුදල රුපියල් කෝටි දහඅටකට අධිකයි.

දුම්රිය ගාස්තු ඉහළ දැමීම

දුම්රිය සේවාව දියුණු කරන්නේ නැතිව ගාස්තු ඉහළ දැමීම අප වෘත්තීය සමිතිය අනුමත කරන්නේ නැහැ. මොකද රාජ්‍ය ප්‍රවාහන සේවාව ලෙස දුම්රියේ ප්‍රධාන වගකීම වෙන්නේ සේවාව සැපයීම. මේ නිසා දුම්රිය සේවයේ ලාබ පාඩු ගණනය කරන්න කාටවත් අයිතියක් නැහැ. කොහොම උනත් දුම්රිය නඩත්තුවට රජයෙන් රුපියල් කෝටි හාරසීයකට අධික මුදලක් යොදවනවා. මෙහෙම කරන්න වෙලා තියෙන්නේ දුම්රිය මගීන්ට සේවා සැපයීම නිසාම නෙවේ. මේ තුළ සිදුවන වංචා, දූෂණ නිසා මුදල් නාස්ති සිදුවෙනවා. වංචාව, දූෂණය, අක්‍රමිකතාවන් නවතා දැමීමට කටයුතු කරනවා නම් දුම්රිය සේවයට මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. මේ නිසා ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව මගී ජනතාවට නිසිලෙස සේවාවක් ලබාදීමට බලධාරීන් කටයුතු කළයුතු වෙනවා. 

සේවක හිඟය  

මේ මොහොත වන විට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු හයදහසකට අධික ප්‍රමාණයක් තියෙනවා. සේවක පුරප්පාඩු වලින් කම්කරු පුරප්පාඩු තුන්දහසක් පමණ විවිධ ක්‍රම මගින් යටපත් කරලා තියෙනවා. එහෙම කරලා අනියම් ආදේශක පදනමින් බඳවාගත් සේවකයන්ගෙන් අදාළ රාජකාරී කටයුතු සිදුකරගන්නවා. හැබැයි සිදුවිය යුත්තේ පුරප්පාඩු ප්‍රමාණය සලකා බලලා ස්ථිර සේවයට සේවකයන් බඳවාගැනීමයි. අනියම්, ආදේශක තනතුරු යටතේ සමහර සේවකයන් වසර 05කට අධික කාලයක් මේ දෙපාර්තමේන්තුවට සේවය කරලා තියෙනවා. ලංකාවේ පවතින නීතිරීතිවලට අනුව දින 180ක සේවා කාලයකින් පසු ස්ථිර සේවයට ඇතුළත් කරගත යුතු වෙනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තු ඉහළ තනතුරු ගත්තම දුම්රිය සාමාන්‍යාධිකාරී, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (පරිපාලන), ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත), ප්‍රධාන ඉංජිනේරු (සංඥා) නිලධාරීන් විතරයි ස්ථිර නිලධාරීන් ලෙස ඉන්නේ. අනෙක් සියලුම නිලධාරීන් ඉන්නේ රාජකාරී ආවරණ. 

දුම්රිය මැදිරි අපවිත්‍ර වීම හා අබලන් වීම

මේකට කාරණා ගණනාවක් බලපානවා. දුම්රිය අපවිත්‍ර වීමේදී මගීන්ගේ පැත්තෙන් අඩුපාඩු තියෙනවා. මොකද දුම්රිය මැදිරි තුළ විවිධ ද්‍රව්‍ය දැමීම නිසා මෙම තත්ත්වය ඇතිවෙනවා. ඒ වගේම දුම්රිය මැදිරි පිරිසුදු කිරීමට ප්‍රමාණවත් තරම් සේවකයන් නොමැති වීම නිසා නිසියාකාරව මේ කටයුතු කරගෙන යන්න බැරිවෙලා තියෙනවා. ඒ වගේම දුම්රිය නඩත්තු කිරීමට අවශ්‍ය තරම් සේවකයන් නැහැ. නඩත්තු කිරීමට නිසි වැඩපිළිවෙළක් නැහැ. දුම්රිය මැදිරියක් වසර 05න් 05ට වත් අලුත්වැඩියා කටයුතු කරන්න ඕන. ඒත් සමහර දුම්රිය මැදිරි වසර 10කින් වත් අලුත්වැඩියා කටයුතු කරලා  නැහැ. ඒ වගේම මැදිරි එංජින් නඩත්තු කිරීමට අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය හිඟය තියෙනවා. එහෙම තියෙද්දි අවශ්‍ය නොවන උපාංග විශාල ලෙස ගෙන්වනවා.

දුම්රිය ප්‍රමාදය

මේකට හේතු ගණනාවක් බලපානවා. එකක් තමයි සමහර නිලධාරීන් වගකීම් ඉටු නොකිරීම. දුම්රිය මාර්ග නඩත්තුවේ විශාල අඩුපාඩු තියෙනවා. මුහුදුබඩ දුම්රිය මාර්ගය ගත්තම දුම්රිය පීලි දිරලා තියෙන්නේ. අලුතින් පීලී ලබාදෙන්නේ නැහැ. උපකරණ දෙන්නේ නැහැ. ඒත් මාර්ග අංශවල ඉන්න සේවකයන් ආරක්ෂිතව දුම්රියක් ගමන් කරවීමට විශාල කැපකිරීමක් කරනවා. මේ නිසා තමයි දුම්රියන් ප්‍රමාද වෙලා හරි ධාවනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දුම්රිය කලට වේලාවට නොපැමිණීම නිසා මිනිස් ශ්‍රමය දෛනිකව විශාල ලෙස අපතේ යනවා. අනෙත් කාරණය තමයි වසර 05ක් ගිහිල්ලත් ස්ථිර සේවයට ඇතුළත් කර නොගත් කම්කරු තනතුරු ප්‍රමාණය දෙදහසකට අධිකයි. මෙය කම්කරු නීතිරීති උල්ලංඝනය කිරීමක්.    

කම්කරු නොවන සේවාවල පුරප්පාඩු ප්‍රමාණය

දුම්රිය රියදුරු සහායක සේවාව ගත්තම අනුමත සේවක සංඛ්‍යාව 520 යි. එම ප්‍රමාණයෙන් 339ක් පුරප්පාඩුයි. ලිපිකරු හා සමාන්තර ශ්‍රේණිවල සේවක ප්‍රමාණය ගත්තම 1560ක් ඉන්න ඕන. ඒ ප්‍රමාණයෙන් 661ක්ම පුරප්පාඩුයි. තාක්ෂණ ශිල්පී සේවාව තුළ 5250ක් ඉන්න ඕන. ඒකෙත් 3054ක් පුරප්පාඩුයි. ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තනතුරු ප්‍රමාණය 60යි. ඒ තනතුරු 60 පුරප්පාඩුයි. මෙම ගැටලු විසඳන්න අප යෝජනා අතිවිශාල ප්‍රමාණයක් බලධාරීන්ට ලබාදීලා තියෙනවා.

දුම්රියේ ගැටී  මියයාම

දුම්රිය මාර්ගයකට අනවසරයෙන් පැමිණීම සපුරා තහනම්. ඒත් සමහර පිරිස් ඒ පිළිබඳව අවධානය යොමු නොකර මාර්ගවල ගමන් කරනවා. ඒ වගේම ආරක්ෂිත ගේට්ටු වසා තියෙද්දි ඒ හරහා ගමන් කරන්න යනවා. ඒක නිසා ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙනවා. ඒ වගේම කියන්න ඕන දුම්රිය මාර්ගයේ ඇවිදගෙන යාම ජනතාවට තහනම් නිසා ජනතාවට දුම්රිය මාර්ගයට පැමිණීමට නොහැකි වන ආකාරයට වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන.  

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 2013 වසරේ අගෝස්තු මාසයේදී. වසර තුනක් තුළ ඉදිකිරීම් කටයුතු නිම කරලා මාර්ගය 2016 අගෝස්තු මාසය වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබුණා. ඒත් ඉදිකිරීමේ සමාගමේ අකාර්යක්ෂමතාව නිසා ඒ දිනේට මාර්ගය භාරදෙන්න බැරිවුණා. ඒක නිසා 2017 දෙසැම්බර් දක්වා ඔවුන්ට කාලය දුන්නා. ඒත් ඒ දිනේටත් දුන්නෙ නෑ. පස්සෙ 2018 දෙසැම්බර් දක්වා ඔවුන්ට කාලය දුන්නා. ඒත් 2019 පෙබරවාරි මාසෙ වෙලත් තාම මාර්ගය දෙපාර්තමේන්තුවට භාරදෙන්න වැඩ ඉවර කරන්න බැරිවෙලා තියෙනවා. දැනට ලැබෙන  තොරතුරුවලට අනුව තව මාස 06ක් ගියත් මාර්ගය දෙපාර්තමේන්තුවට  දෙන්න බැහැ. නියමිත දිනයට මාර්ගය ඉදිකර දුන්නෙ නැති නිසා ප්‍රමාද ගාස්තු අයකර ගන්න පුළුවන්. ඒත් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළෙත් නැහැ.

එම මාර්ගයේ සංඥා පද්ධතිය ඇති කිරීම

දුම්රිය ස්ථාන 05ක් පමණයි මෙම දුර ප්‍රමාණය තුළ තියෙන්නේ. මෙම ස්ථාන 05 අතර සංඥා පද්ධතිය සකස් කිරීමට වියදම් ගණනය කිරීමේදී රුපියල් මිලියන 700කින් පමණ එය සිදුකළ හැකි බවට තහවුරු වුණා. මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම කටයුතු කරන්න උත්සාහ කළා. ඒත් ඒ පිළිබඳව කිසිදු සොයාබැලීමක් නොකර මාර්ගය ඉදිකරන සමාගමට සංඥා පද්ධතිය ඇතිකරන්න කොන්ත්‍රාත් එක ලබාදුන්නා. මේ අනුව ඔවුන්ට රුපියල් මිලියන 1200ක් ගෙවනවා. මාර්ගය නියමිත දිනයට ඉදිකරන්න බැරිවුණ නිසා ඒ සමාගම අසාදු ලේඛන ගත කළ යුතුයි. නමුත් වෙන්නේ තව තව ඉදිකිරීම් කටයුතු ඔවුන්ට ලබාදීමයි.    



Recommended Articles