දුප්පත් රටවල හැරෙන්න සෙසු සියලුම රටවල දුම් පානය අඩුවෙලා


ලෝකයේ සියලුම කලාප වල දුම්පානය අඩු වී ඇති බව ලෝක මට්ටමින් සිදුකළ සමීක්ෂණයදී සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇති බව දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ සංස්කාරක ප්‍රජා වෛද්‍ය විශේෂඥ, මනුජා පෙරේරා වෛද්‍යවරිය සඳහන් කළාය.

ඒ අනුව ලෝකයේ ආදායම අනුව දුප්පත් රටවල් වල හැර අනෙකුත් සියලුම රටවල දුම්පානය අඩු වී ඇති බව වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

අද (31දා) යෙදෙන ලෝක දුම්කොළ නිවාරණ දිනය වෙනුවෙන් සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තීයවේදීන්ගේ සන්ධානය විසින් සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍යවරිය මෙම අදහස් දැක්වූවාය.

"නිදහසට කැපවෙමු" යන තේමාව යටතේ මෙවර ලෝක දුම්කොළ නිවාරණ දිනය නම්කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය මනුජා පෙරේරා,

“කෝවිඩ් තත්ත්වය නිසා මිනිසුන් නිවෙස්වලට සීමා වුණා. මේ නිසා දුම්පානය කරපු පිරිසටත් ඒ සඳහා බාධා ඇතිවුණා. මේ තත්ත්වය ධනාත්මක පැත්තට හරවා ගනිමින් බොහෝ දෙනෙක් දුම්පානයෙන් ඉවත් වෙලා තිබෙනවා. ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේම මේ සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක් තිබෙනවා. යෞවන වයසේ පසුවන්නන් සම්බන්ධයෙනුත් මේ තත්ත්වය ඒ විදිහටම දකින්නට ලැබෙනවා.

ලෝකයේ අදායම අනුව දුප්පත් රටවල් වල හැරෙන්න අනිකුත් සියලුම රටවල දුම්පානය අඩුවෙලා තිබෙනවා. ඒ වගේම කලාප ලෙස ගත්විට අප්‍රිකානු සහ මැදපෙරදිග කලාප හැරෙන්න අනිකුත් සියලුම කලාපවල දුම්පානය අඩුවෙලා තිබෙනවා.

දුම්වැටි භාවිතය වැඩි කිරීමට දුම්කොළ සමාගම් විවිධ උපක්‍රම භාවිත කරමින් සිටිනවා. ඒ සඳහා පාරිභෝගිකයන් නොමග යැවීමට මේ සමාගම් කටයුතු කරමින් ඉන්නවා. මේ වන විට කෝවිඩ් වසංගතය ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. මේ වසංගතය නිසා මිය යන ප්‍රමාණය සැලකුවොත් වෛසරය ආසාදනය වුණ සියදෙනකු අතරින් තුන්දෙනෙකු වගේ ප්‍රමාණයක් මිය යනවා. නමුත් දුම්පානය කරන සියදෙනෙකු අතරින් පනස්දෙනෙකු මිය යනවා.  දුම්කොළ නිසා පසුගිය වසරේ මිය ගිය ප්‍රමාණය මිලියන අටක්. සෑම තත්පර හතරකට වරක්ම මිනිස් ජීවිතයක් අහිමි වෙනවා. මෙහි බරපතළකම කොහොමද කියා දැන් ඔබට වැටහෙනවා ඇති. නමුත් දුම්කොළ සමාගම් දිගින් දිගටම ජනතාව සහ රජයන් රවට්ටමින් ඉන්නවා. ලෝකයේ වගේම ලංකාවෙත් එය ඒ විදිහටම සිදුවෙනවා.

2004දී භූතානය දුම්පානය සම්පූර්යෙන්ම තහනම් කළා. ඒ කියන්නේ මුළු ලෝකයෙන්ම දුම්වැටි අලෙවි කිරීම, නිෂ්පාදනය තහනම් කරපු එක රට භූතානය. එය ඉතාම සාර්ථකව කරගෙන ගියා. නමුත් මේ දුම්කොළ සමාගම් එකතුවෙලා රජය නොමග යැව්වා. ඒ නිසා දැන් නැවතත් භූතානයේ දුම්වැටි අලෙවි කිරීම සිදුවෙනවා.

මේ ලොක්ඩවුන් තත්ත්වය තුළ මිනිස්සු අතට දුම්වැටි ලබාදෙන්න දුම්කොළ සමාගම් ගත්තු විවිධ උපක්‍රම හෙළිදරව් වෙලා තිබෙනවා. රටේ නීතිය අනුව වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයන්ට පමණයි දුම්වැටි අලෙවි කරන්න පුළුවන්. නමුත් දැන් ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඕනෑම කෙනෙක්ට මිලදී ගන්න පුළුවන් තත්ත්වයක් ඇතිකරලා තිබෙනවා.” යැයි පැවසුවාය.

දුම්පානයෙන් වළක්වා ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු මෙම ප්‍රජාවන් මේ තරම් මහන්සි ගන්නේ ඇයිදැයි යන්න පිළිබඳ මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ මනෝ වෛද්‍ය දියනාත් සමරසිංහ මහතා මෙසේ පැවසීය.

“පසුගිය අවුරුදු දහය තුළ ලංකාවේ දුම්පානය ශීඝ්‍ර ලෙස අඩුවෙලා තිබෙනවා. එතැනදී පුද්ගලයන් විසින්ම හිතලා බුද්ධිමත්ව තීරණ අරගෙන දුම්පානය නවත්වපු අය ඉන්නවා . ඒ විදිහට හිතලා තීරණ ගන්න අමාරු, දුම්පානයට ඇබ්බැහි වෙලා ඉන්න අයට එය නවත්වන්න අපි උදවු කළ යුතුයි. සෞඛ්‍ය අංශ ඇතුළු මේ සියලුදෙනා කටයුතු කරන්නේ ඔවුන් වෙනුවෙන්. මොකද මේ හැමදෙනාම මනුස්සයෝ. අපිට මනුස්සකමක් තියෙනවා නම් මේ සඳහා කටයුතු කළයුතු වෙනවා."



Recommended Articles