දිළිඳුකම


දරිද්‍රතාව යනු පුද්ගලයෙකුගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් ද්‍රව්‍යමය සම්පත් හෝ ආදායමක් නොමැති වීම වශයෙන් හැඳින්වීමට හැකි වන අතර, සමාජ, ආර්ථික හා දේශපාලන පැතිකඩ ගණනාවක් යටතේ එය විග්‍රහ කිරීමට පුළුවන.

නිරපේක්ෂ දරිද්‍රතාව යනු ආහාර, ඇඳුම් පැලඳුම් සහ නවාතැන් වැනි මූලික පෞද්ගලික අවශ්‍යතා සපුරාලීමට කිසිසේත් ම ප්‍රමාණවත් හැකියාවක් නොමැති වීමයි. නිරපේක්ෂ දරිද්‍රතාව යන්න කිසියම් පුද්ගලයෙකු ජීවත් වන ස්ථානය අනුව තීරණය වන්නක් නොවේ. එහෙත්, සාපේක්ෂ දරිද්‍රතාව ඊට වෙනස් සංකල්පයක් වේ. එය එක් රටකින් තවත් රටකට හෝ එක් සමාජයකින් තවත් සමාජයකට වෙනස් වේ. 
ඇමෙරිකා එක්සත් ජනපදයේ දිළිඳු පුද්ගලයෙකුට ලැබෙන ආදායම අප්‍රිකානු රටක පොහොසත් යැයි සැලකෙන පුද්ගලයෙකුට ලැබෙන ආදායමට සමාන වීමට හැකිය. මෙහිදී පවතිනුයේ සාපේක්ෂ දිළිඳුකමකි. කාමර දෙකක් පමණක් ඇති නිවසක ජීවත් වන පුද්ගලයෙකු කාමර 4ක් ඇති නිවෙස්වල ජීවත් වන පුද්ගලයන්ට සාපේක්ෂ ලෙස දිළිඳු යැයි අර්ථ දැක්වීමට හැකිය. 

දිළිඳුකම පිටු දැකීම  සඳහා ලෝකය තුළ විවිධ වූ උපායමාර්ග ගැනීම සිදු වන අතර, ලෝක ජනගහනයෙන් මිලියන 700කට වැඩි පිරිසක් ජීවත් වනුයේ දිනකට ඩොලර් 1.9කට වඩා අඩු ආදායමක් ලබන තත්ත්වයේය. ලෝකයේ නාගරික ජනතාවගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ජීවත් වනුයේ මුඩුක්කුවලය. ලෝකයේ සෑම දහ දෙනෙකුගෙන් එක් අයෙකුම වැසිකිළි නොමැතිකමින් එළිමහනේ මළ පහ කරන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 

දිළිඳු බව පිටු දැකීම සඳහා විවිධ වූ ක්‍රියා මාර්ග ලොව පුරා අත්හදා බැලෙමින් තිබෙන අතර, යටිතල පහසුකම් වර්ධනය කිරීම ඒ අතරින් ප්‍රමුඛ වූවකි. මහාමාර්ග තැනීම මේ අතරින් විශේෂිත වන අතර, මහාමාර්ග නිසා නාගරික ප්‍රදේශවල ඇති සම්පත් ග්‍රාමීය ප්‍රදේශ වෙත ළඟා වීම පහසු වේ. 

එසේම, ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදන නාගරික ප්‍රදේශවලට ගෙන යෑමටද හැකි වේ. එසේම, ආහාර හිඟය මැඩ පැවැත්වීම සඳහා විවිධ වූ නවීන හා විද්‍යාත්මක කෘෂිකාර්මික ක්‍රම පසුගිය දශක කිහිපයේ දී හඳුන්වා දීම හේතුවෙන් ආහාර හිඟය සෑහෙන ලෙසින් පාලනය කර ගැනීමට හැකි වී තිබේ.

කාර්මික විප්ලවයෙන් අනතුරුව යුරෝපය ඇතුළු බොහෝ කලාපවල නිරපේක්ෂ දිළිඳුකම අඩු වූ අතර, සංහතික නිෂ්පාදනය වර්ධනය වීම හේතුවෙන් පසුගිය සියවස්වල සාමාන්‍ය මිනිසුන් ගෙවූ ජීවිතයට වඩා බොහෝ සුඛෝපභෝගී වූ ජීවිතයක් විඳීමට වර්තමාන ලෝකයට හැකි වී ඇත. 

ජන සමාජවල ඇති දිළිඳුකම පිටුදැකීම සඳහා ඇති බරපතළ බාධක අතරට සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රාග්ධනය වෙනත් රටවලට නීතිවිරෝධී ලෙස ගළා යෑමටද බලපායි. එසේම, දිළිඳු සමාජවල බුද්ධිමත් හා උගත් ජනතාව සංවර්ධිත සමාජවලට ඇදී යාම මෙන්ම ධනය සීමිත පිරිසක් අත රැඳී තිබීම වැනි දේ ද දිළිඳුකම වර්ධනය කිරීම සඳහා හේතුවේ. 
එබැවින්, කිසියම් සමාජයක් තුළින් දිළිඳුකම පිටු දැකීමට නම් සමාජ සාධාරණත්වයද නීතියේ ආධිපත්‍යයද සුරක්ෂිත කිරීම අවශ්‍ය වන අතර, ඒ ඔස්සේ නවෝත්පාදනයද මල් ඵල දරනු ඇත. සාධාරණත්වය හෝ නීතියේ ආධිපත්‍යය නොමැති රටක නවෝත්පාදනයද සිහිනයකි.



Recommended Articles