දිවැස් වැකි තුළින් සිහි කැඳවන නූතන වසංගත අ භිභවා සමිඳු උපත අත්දකින්නට .....


” වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත.”

(ජෙරමියා 9:21)

මෙවර නත්තල ලෝකය පුරා වෙසෙන කිතුණුවන් සමරන්නේ ගෝලීය වසංගතයක් මධ්‍යයේය.සාමයේ කුමරාණන්ගේ උත්පත්තිය සමරන්නට වෙනදා මෙන් නොහැකි වුණත් දෙවිපියාණන් වහන්සේ ඒ තුළින්ද අපට ලබා දෙන පණිවිඩය කෙරෙහි ඇහුම්කන් දිය යුතුය.මේ සුපුවත අපට ඒ පිළිබඳ ගෙනහැර දක්වන පණිවිඩයයි.

නත්තලේ  අසිරිමත්  ජීවිත  පණිවිඩය  තුළ  දැහැන්ගත  වන්නට  මෙවර  කරන  ආරාධනාව  වෙසෙසින්ම  නවමු අයුරකින්   මං ගැන්වී  ඇති සෙයකි.  පුරාණ  ගිවිසුමේ  දිවැසිවරු  සිහි කැඳවු  සියළු  අර්බුද,  ව්‍යසන,  වසංගත අදටත් මතකයට නං වන්නේ මරුවා දැන් දැන්ම අප සමීපයට පැමින ඇති බවද අවබෝධ කරලමිනි.

නමුත් නත්තලෙහි  අද  කථාව  ඒ  සියළු  අපේ  කාලයේ  පැතිරී  පවත්නා  වසංගතද  ජයගත  යුතු  බව  මතක්  කරලමින් දිග  හැරෙන  මොහොතක  පවසන  නත්තල්  සුපුවතට  අවදි  වෙමින්  අද  සිසාරා  පවතින  වසංගතද  අවබෝධ කර ගන්නට  මෙනෙහි කිරීමට යෙදෙමු.

සොඳුරු    සිතල    රාත්‍රියේ    තමන්ගේම    නගරයේ    බෙත්ලෙහෙමි    පුරවරයේ    ජුසේ    හා    මරියා    දෙපළ ආගන්තුකයන්සේ සිටියහ, නන්නාඳුනන යුවළක් සේ ඉවත දමනු ලැබූහ. උණුසුම් පිළිගැනීමකට ලක් නොවන තරමටම  දුරන්ම  දුරස් කරනු  ලබන  තත්ත්වයකට  පත්  කරනු  ලැබූහ.  ඔවුනට  ධනය,  බලය  තත්ත්වය  හෝ කිසිදු ආකාරයක බලපෑමක් නොවීය. එහෙයින් ඔවුනට නවාතැනක් නොලැබුණි. මෙසේ නොසලකා හරිනු ලැබූ ඔවුනට  ගවගාලක  පිළිසරණක්  විනා  වෙනත්  සරණක්  නොවීය.  එම  ගවහලේ,  ගව  ඔරුවේ,  සකල  මිනිස් සත්ත්වයා හට විමුක්තිය ලබා දෙවන්නට  මනු බව ගත් දේව පුත්‍රයාණන් සතපනු ලැබීය.

දෙව් පුත් තම පුත් වන බව දැන සිටි මරියාවන්ට එය එතරම් ප්‍රශ්ණයක් නොවීය. එතුමිය කොතනක සිටියද ගැලවුම්  කාරයාණෝ  එතුමිය  සමඟම  වූහ.   මෙලොවට  බිහි  වූ  දේව  පුත්‍රයා  වෙනුවෙන්   වූ  දෙවිඳුන්ගේ මහිමාන්විත  සැලසුමේ  එතුමිය  මූලික  කොටස්කාරිය  වූවාය,  බෙත්ලෙහෙමෙහිදී  වූ  කිතු  උපත  සියලුම  දෙනා විසින් කොන්  කරනු  ලැබ  නොසලකා  හරිනු  ලැබ  සිටියදී  වීම  විමුක්ති  සැලසුමේ  විශේෂ  සිදුවීමක්  ලෙසින්.

එතුමිය භාර ගත්තාය. එය දේව ආදරය අනාවරණය වූ තවත් අවස්ථාවක් විය. දෙවිඳුන් මිනිසාට තිබූ ආදරය නිසාම  මිනිසත්  බව  ගත්  සේක.  මිනිසකු  ලෙසින්  සිට  අපේ  දුක,  වේදනාව,  සතුට,  සන්තෝෂය  මෙන්ම  අප අතින්  සිදුවන  පාපයේ  බරපතළකම  ආදී  සියලුම  දේ  ඔවුන්  වහන්සේද  අත්දුටු  සේක.  මරියාවන්ගෙන්  උපත ලද  ඔවුන්  වහන්සේ  මිනිසකු  ලෙසින්  මෙවැනි  ජීවිත  සංසිද්ධීන්  අත්දුටු  සේක. 

ජේසුස්  ක්‍රිස්තුන්  වහන්සේට කාන්තාරයේ  කුසගින්නේ  සිටි  ජන  සමූහයා  දැක  ගන්නට  දෙඇස්  ද,  ජෙරිකෝවේ  අන්ධයාගේ  හෝ  ලාදුරු රෝගීන්ගේ යාතිකා  අසා ගන්නට දෙසවන්  ද, කුඩා දරුවන්  සනසවන්නට, ආසිරි ගන්වන්නට දෙඅත්ද, නැති වූ බැටළුවන් සොයා ඇවිද යන්නට දෙපා ද අත්වූයේ මරිය වහන්සේ නිසාය, ජීවිතය ලබාදුන් මරිය වහන්සේ ජේසුස්  වහන්සේට  මිනිසකු  ලෙසින්  ජීවත්  වන්නට  මඟ  පාදා  දුන්නාය.  මිනිස්  ගුණධර්මවල  හරයාත්මක පැතිකඩ  නංවමින්  යහපත්ව  වචන  කතා  කරන්නට  ද,  දේව  මැවිල්ල  තුළ  අසිරිය  දැක  ගන්නටද,  ස්වභාව සෞන්දර්යයේ  විසිතුරු  දැක  ගනිමින්  අගය  කරන්නට  ද  එතුමිය  ජේසුස්  වන්සේට  ඉගැන්වීය. 

එපමණකින් නොනැවතී ආදී දිවැස්වරුන්  කී වැකි අනුව ඊශ්‍රායෙල් ජනතාවගේ ද දෙවිඳුන්ගේ ද අභිමතය අනුව එපැතුම් ඉටු  කරන්නට  මං  ගැන්වීමේ  යෙදුණාය.  නොසලකා  හරිනු  ලැබ  පීඩා  විඳින  අය  වෙනුවෙන්  අනුකම්පාව  හා දයාව දැක්වීමටද ඊශ්‍රායෙල් ජනතාවගේ ජිවන ක්‍රමය අවබෝධ කර ගැනීමට ද සහාය වූවාය. මෙසේ ක්‍රිස්තුන් වහන්සේගේ වචනයෙන් සහනයක් සැනසීමක්  ලබා දෙන්නටද, හදවතින්  දුක, වේදනාව හා සතුට බෙදා හදා ගන්නට  ද,  සනසන්නට  ද ජේසුස්  ක්‍රිස්තුන්  වහන්සේ  එතුමියන්ගෙන්ම  ඉගෙන  ගත්  සේක.  එසේ  මරියාවන්ගේ කාර්යය  දෙව්  පුතුන්  ලොව  බිහි  කිරීමට  පමණක්  සීමා  නොවී  විමුක්තියේ  පුතණුවන්  හට  පිරිපුන්  පුහුණුවක් ලබා  දෙවන්නට  ද කැපවූවක්ම  විය.  එවන්  දෑ  තුළින්  දේව  ආදරය  තහවුරු  කරන්නට  ක්‍රිස්තූන්  වහන්සේ  සිය ජීවිත කාලයම වැය කළ අයුරු ඔවුන්  වහන්සේගේ දෙසුම්  තුළින්ම මනාව පැහැදිලි වෙයි.

දෙව්  පුතු  මනු  බව  ගෙන  මනුලොව  බිහි  කිරීමෙන්  පසු  දෙව්  සැලැස්මෙන්  දෙවි  බව  හෝ  දුක්  විඳ  කුරැසියේ මරණය හා උත්ථානයෙන් පසු ජෙසුස් වහන්සේගේ කාර්යය එතකින් නිමාවට පත් නොවීය. ඔවුන්වහන්සේගේ ශ්‍රාවකයන්  හා  අනුගාමිකයන්  වූ  අපෝස්තුළුවරු  ඔවුන්  වහන්සේගෙන්  පසු  එම  ගැලවීම  දායක  දහම්  මඟ ඉදිරියට  ගෙන  යන්නට  ඇප  කැප  වූහ.  ජුවාම්තුමාට  දෙව්  මවු  තම  මව  මෙන්  සලකන්නැයි  ජේසුස්  වහන්සේ කීයේ  මෙවැනි  අදහසක්  ඇතිවය. 

එනම්  ජේසුස්  වහන්සේගේ  ගැලවීමේ  කාර්යයට  පුරුදු  පුහුණු  කළ  දෙව් මවගේ සැලකිල්ල ඔවුන් වහන්සේගෙන් පසු දහම් සේවාව ඉදිරියටම ගෙන යන්නට ශ්‍රාවකයනට ලබා දීමටය. එම  දෙව්  මවගේ  අද  පැතුම  අප  තුළ  ක්‍රිස්තුන්  වහන්සේ  බිහිකරලීමයි.  ඔවුන්  වහන්සේ  අප  තුළ  බිහිවෙමින් අප සියලු ක්‍රියාකාරීත්වයන්  තුළින්  ක්‍රිස්තුන්වභන්සේ හඳුන්වා දීමට මරියාවන් ඉත සිතින් පසුවෙනු නියතය අත්දකින  නොයෙකුත්  සත්‍ය  සිද්ධීන්  අමතක  කර  දැමීම  අපට  පහසු  නොවේ. 

ස්වභාවධර්මයේ  විපත්  තුළින් හා  ව්‍යසන  තුළින්,  අනාථ  වූවෝ  සහ  අතරමං  වූවෝ  ද,  විරැකියාව  නිසා  බඩගින්නේ  පසුවන්නෝ  ද,  බලය සාධාරණය  හා  වගකීම්  කෙරෙහි  රැඳවූ  විශ්වාසය  මුසු  පැතුම්  කඩවීම  නිසා  අතරමං  වූවෝද,  විවාහයේ තිරසාර  බව  හා  විශ්වාසය  දෙදරා  යෑම  නිසා  මවුපියන්  අහිමි  වූ  දූ  දරුවෝ  ද,  මවුපිය,  ආදරය,  සෙනෙහස හා සැලකිල්ල නොලැබ මහමඟ අතරමං වූ ළමා ළපටියෝ ද, ජීවන මාර්ගයක් හෝ අවංක දැහැමි ජීවිතයක් ගෙන  යාමට  මඟක්  නොමැතිව  අපරාධයට  හුරු  වී  සිටි  තරුණ  කොටස්ද.  දරු  සෙනෙහස  නිසාම  කුසගින්න නිවීමට කරන අරගලයේදී වරදෙහිබැඳෙන මවුවරු ද, විශේෂාකාරයෙන් කැප වූ දිවියක සරණ ගිය, එහෙත් එම දිවියෙන් ඈත් වී යාමට උත්සාහ ගන්නා පිරිස් ද අද සමාජයේ අපට හමුවෙති.

ඒ අතරේම කුරුස ගසේ  දී  පණ  පිදූ  ක්‍රිස්තූන්  වහන්සේ  දෙසූ  දහම  අන්තවාදී  හා  මූලධර්මවාදී  මත  හා  ආකල්ප  තුළ  පටලවාගෙන සුපුවත විකෘති කිරීමට වැර දරන පිරිස් ද. ඒ අතරම දේශපාලන වශයෙන් ඹද්දල් වුනු පිරිස් අතර මිනිස්කම හෑල්ලු  කොට  මනුෂ්‍ය  චින්තනයට  සරදම්  කරන පිරිස්  වලද හිඟයක්  නොමැත.  අන්ත  අසරණ  කම්  නිසා  අත පාන තත්ත්වයේ ජිවිත ගත කරන්නට සිදු වුවද නිරවුල් මනස් ඇතිව දිවි ගත කරන අය අතර නැගෙන හඩ ශබ්ද  බිත්ති  සිසාර  හමා  යන  කාලයක්  වුවද  එය  අසන්නට  තරම්  සමත්  සමාජ  පද්ධතියක්  තවමත්  බිහි  වී නොමැති ගානය.

කොරෝනා වසංගතය නිසා බලාපොරොත්තු රහිත සමාජ තලයක් නිර්මාණය වී ඇති අතර අනාගතය දෙස ඉතා සැකයෙන් ම බලන දරු පරපුරක් බිහි වී සිටීම කනස්සල්ලට කරුණකි. ඒ අතර මිත්‍යා මත හරහා ජනතාවක් මුලා කරන්නට මෙන් සමාජ බලවේග මෙන්ම ධන කුවේර මාධ්‍ය අධිපතින් පෙරට ඒමත් සමාජය නැවතත් අතීතයක් කරා ගෙන  යන සරදමක් වැනිය.

විකල්ප දේශපාලනයක කිසිදු සේවාවක් දැන් දැන්නම් නැති ගානය. දේශපාලන ලෝකය දෙස ජුගුස්සාජනක හැගීමකින් බලන වාතාවරණයක් දැන් බිහිවී ඇත. සියළු රාමු වෙත සැකය මෙන්ම අවිශ්වාසය මුසු බැල්මකින් බැලීමට  සියලු  තරාතිරම්වල  ජනයා  දැන්  පුරුදු  වී  ඇති  ගානය.  මුදලට  සියල්ල  යට  කල  හැකිය  යන  තීව්‍ර අදහසක්  දැඩිව  සනිටුහන්  වී  තිබීම  මත  කළු  මුදල්  සංසරණය  දෙස  ගිජු  නෙතින්  බලන්නෝ  එමට වෙති.  මේ සියල්ල නත්තලෙහි පසු සේයාවෙහි දිස්වී තිබීම මේ වකවානුවේ ජන සමාජයන් ලැබු මහත්ම පරාජයකි.

දැවෙන  ප්‍රශ්ණ  කථා  කොට  විසදාගත  හැකි  සමාජ  දැනුම්වත්කරණයක්  හා  දේශපාලන  බල  රාමුවක්  දෑස් ඉදිරියෙහි  දිස්  නොවන  කළ  ඇති  වන  කල  කිරීම  හමුවේ  සියළු  පංති  නියෝජනය  කරන  ජනතාවක්  අසරණ වන  යුගයක  මෙවර  නත්තල  ගැඹුරින්ම  පවසාලන  පණිවිඩය  තේරුම්  ගන්නට  කතෝලිකයා  මෙන්ම  අන් ලබ්ධිකයින්ද  යම්  ශක්ති  මට්ටමක්  ඇති  කරගන්නේ  නම්  ජේසු  සමිඳු  මැනවින්  දක්නට  මේ  නත්තල  තුළ  ඒ කොයි කවුරු හටත් හැකිවනවා යන්න නිසැකවම පවසාලිය හැකියි.

ඔබ සැමට සුභ නත්තලක් වේවා

ගරු. ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා. පමුණුගම මිසම් සේවක.



Recommended Articles