ශ්‍රී ලංකාවේ සෑම වසරකම මිලියන 1.2කට වැඩි පිරිසක් අනතුරුවලට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරනු ලබන අතර, අනතුරු හේතුවෙන් 12,000ක් පමණ වාර්ෂිකව මිය යති. වයස අවුරුදු 15-44ත් අතර, ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයේ මරණවලට ප්‍රධානතම හේතුවක් වන්නේද අනතුරුයි. අනතුරු හේතුවෙන් වින්දිතයාට පමණක් නොව, පවුලට හා සමාජයටද විනාශකාරී, දිගුකාලීන ප්‍රතිවිපාක ඇති වේ.
COVID 19 වසංගත කාලපරිච්ඡේදය තුළ නිවාස සහ ඒ ආශ්‍රිත පරිසරයේ ඇති විය හැකි අනතුරු වැළැක්වීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින්, අනතුරු වැළැක්වීම පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පිළිබඳ ඒකකය විසින් මෙවර අනතුරු වැළැක්වීමේ සතිය සංවිධානය කර ඇත. සෑම වර්ෂයකම ජූලි පළමුවැනි සඳුදා සිට සිකුරාදා දක්වා යෙදෙන සතියේ මෙම ජාතික අනතුරු වැළැක්වීමේ සතිය යෙදෙන අතර, මෙවර සමරන්නේ 6වැනි වරටය. මේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ජාතික අනතුරු වැළැක්වීම හා කළමනාකරණ වැඩසටහනේ වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා දැක්වූ අදහස්ය.
100%ක් වළක්වා ගත හැකි අනතුරු
මේ ජාතික අනතුරු නිවාරණ සතියේදී අපි සාකච්ඡා කරන්නේ සමස්ත අනතුරු නිවාරණය පිළිබඳවයි. මැයි මාසයේ අපි මාර්ග අනතුරු නිවාරණය පිළිබඳ සතියක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ එක්සත් ජාතීන්ගේ මාර්ග අනතුරු නිවාරණ සතියට සමගාමීවයි. නමුත් මේ සතියේ අපි ක්‍රියාත්මක කරන අනතුරු නිවාරණ සතිය අපි ජාතික වශයෙන් වාර්ෂිකව සංවිධානය කරන්නක්. මෙහිදී අපි සියලුම අනතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. මාර්ග අනතුරු, ගෘහාශ්‍රිත අනතුරු, වැඩිහිටි නිවාස ආශ්‍රිත අනතුරු, දරුවන්ට එනම් පාසල් හා පෙරපාසල් ආශ්‍රිතව සිදුවන අනතුරු, වැඩබිම් ආශ්‍රිත අනතුරු, විෂ වීම් ආදිය ඇතුළු සියලුම අනතුරු මෙයට ඇතුළත් වෙනවා. 2020 වසරේ මේ අනතුරු අතරට අපි දියේ ගිලීම් නිසා සිදුවන අනතුරුත් එකතු කළා. එයට හේතුව තමයි නොදැනුවත්ව සිදුවන අනතුරුවලින් සිදුවන මරණවලට හේතු අතරින් දෙවැනි තැන ගන්නේ දියේ ගිලීම්.
අනතුරු වළක්වා ගන්න නම් ජනතාව දැනුම්වත් කිරීම සිදුවිය යුතුයි. ඒ දැනුම අරගෙන තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන චර්යාවන් වෙනසකට ලක් කර ගැනීමට ජනතාව යොමු විය යුතුයි. එවිට අනතුරු 100%ක්ම වළක්වාගත හැකියි. නමුත් අපි වාර්ෂිකව දකිනවා අපේ ජනතාවගේ දැනුම්වත් බව අඩුයි කියන දෙය.
වාර්ෂිකව ලංකාවේ රෝහල්ගත වන අයගෙන් වැඩිම පිරිසක් වාර්තා වෙන්නේ අනතුරු සම්බන්ධවයි. ඒ අනුව බැලුවාම දළ වශයෙන් ලක්ෂ 13ක පිරිසක් අනතුරු නිසා රෝහල්ගත වෙනවා. රජයේ රෝහලකට ඇතුළුවන පිරිසගෙන් 1/5ක් හෝ 1/6ක්ම රෝහල්ගත වන්නේ අනතුරු හේතුවෙන්. මේ ලෙස අනතුරු වළක්වා නොගෙන ඉදිරියට ගියොත් 2025 වර්ෂය වනවිට අනතුරු නිසා රෝහල්ගතවන පිරිස ලක්ෂ 15.5ක් බවට පත්වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.
අනතුරු නිසා රෝහල්ගත වන පුද්ගලයන්
අපිට මේ වාර්තා වෙන්නේ රජයේ රෝහල්වලට ඇතුළත් කරන අයයි. නමුත් අනතුරකින් පසු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබන, පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්න, ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්න අය, වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු නමුත් නිවසේදී ප්‍රතිකාර ලබාගන්න අයත් සිටිනවා. ඒ අනුව අපි බැලුවොත් අනතුරක් සිදුවෙලා ප්‍රතිකාර ලබාගන්නා මට්ටමේ සිටින අය ලක්ෂ 30ක්වත් ඉන්නවා. ලංකාවේ ජනගහනයෙන් 1/5ක් පමණ අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු අනතුරකට ලක්වෙනවා. දිනපතා දළ වශයෙන් 10,000කට අධික පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු අනතුරකට මුහුණ දෙනවා.
අපි බැලුවොත් බාහිර රෝගී අංශයෙන් ඉතාම සුළු අනතුරකට ප්‍රතිකාර ලබා යන රෝගියෙකු වෙනුවෙන් රජය දළ වශයෙන් රුපියල් 2000ක් පමණ වැය කරනවා. එහෙනම් මේ රෝහල්ගත වන ලක්ෂ 13ක පිරිස රෝහල්ගත නොවී සුළු ප්‍රතිකාර ලබා ගියා යැයි සිතුවොත් රජය දරන වියදම සුළුපටු නොවන බව පැහැදිලි වෙනවා. නමුත් මේ පිරිස අනතුරු නිසා රෝහල්ගත වෙනවා වගේම සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න යම් කාලයක් ගත කරන්න සිදුවෙනවා. ඒ අනුව රජයට විශාල මුදලක් මේ අයගේ ප්‍රතිකාර වෙනුවෙන් දරන්න සිදුවන බව පෙනෙනවා.
මීළඟට අපි මරණ ගැන බැලුවොත් අවුරුද්දකට 12,000ක් පමණ අනතුරු නිසා මිය යනවා. දවසකට මේ ගණන බැලුවොත් 30-35ත් අතර ගණනක්. නමුත් අපේ අවධානය යොමු වන්නේ රථවාහන අනතුරුවලින් දෛනිකව මිය යන 8ක් 9ක් වගේ පිරිස ගැනයි. නමුත් සියලුම අනතුරුවලින් මිය යන ප්‍රමාණය රථවාහන අනතුරුවලින් මිය යන ගණන වගේ තුන් හතර ගුණයක්. මේ අනතුරු නිසා අහිමි වෙන්නේ ආර්ථික වශයෙන් ඵලදායී පිරිසක්.
මේ සියල්ල සලකලා අපි අනතුරු සිදුවන ආකාර පිළිබඳ සලකා බලන්න තීරණය කළා. රෝහල් පද්ධතියේ නේවාසික ප්‍රතිකාර ලබන බහුතරය ප්‍රතිකාර ලබන්නේ වැටීම් නිසා සිදුවූ අනතුරු හේතුවෙන්. එය 25%ක අගයක්.
17%ක් රථවාහන අනතුරු.
16%ක් සතුන්ගේ සපා කෑම්.
ඉතිරිය විෂ වීම්, දියේ ගිලීම්, විදුලි සැර වැදීම් ආදියයි. ඒ වගේම වැඩි වශයෙන් අනතුරු සිදුවන ස්ථානය දෙස බැලුවාම 48෴ක්ම ගෘහාශ්‍රිත අනතුරු බවයි පෙනී යන්නේ. ඒ අනුව නිවාස ආරක්ෂිත යැයි සිතුවත් එය එසේ නොවන බව පෙනී යනවා.
කෝවිඩ් නිසා වැඩි වූ ගෘහාශ්‍රිත අනතුරු
සමස්ත අනතුරුවල යම් අඩුවක් පෙන්නුම් කළත් දැනට පවතින සංඛ්‍යාලේඛනවලට අනුව, කෝවිඩ් 19 වසංගත වැළැක්වීමේ උපායමාර්ගයේ කොටසක් ලෙස ක්‍රියාත්මක කළ සංචරණ සීමා කරන ලද කාලය තුළ නිවාස හා ඒ ආශ්‍රිතව සිදුවන අනතුරු සංඛ්‍යාව 48෴ සිට 62෴ දක්වා වැඩි වී තිබෙනවා. විශේෂයෙන් නිවසේ වැටීම්, සතුන් සපාකෑම් ඉහළ ගොස් තිබෙනවා.
මීළඟට අපි දකිනවා නිවසේ කුඩා දරුවන් අනාරක්ෂිත ළිංවලට, මාළු ටැංකිවලට, බේසම්වලට වැටී අනතුරු සිදුකර ගන්නා ආකාරය. කුඩා දරුවන් නිවසක ඉන්නවා නම් අනිවාර්යෙන් දරුවාව නාවපු වතුර බේසම පිළිබඳ වුණත් සැලකිලිමත් විය යුතුමයි. නහය මට්ටමට වතුර තිබෙන තැනක් හොඳටම ඇති දරුවෙක් ගිලී මිය යන්න. ඒ වගේම විෂ වීම් පිළිබඳ බැලුවොත් නිවසේ වැසිකිළි පිරිසුදු කරන සේදුම්කාරකයේ සිට සියලුම දේවල් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. තවද විවිධ විසිතුරු පැළ වර්ග විෂ සහිතයි, මනි ප්ලාන්ට්, ලකී ප්ලාන්ට්, විසිතුරු හබරල වර්ග විෂ වී පැමිණෙන රෝගීන් සිටිනවා. නමුත් අපේ වැඩි අවධානය තියෙන්නේ කනේරු හා නියඟලා විෂ වීම් ගැනයි. මේ නිසා කියන්න ඕන හැමදෙයක් ගැනම ඉතාම විපරමින් හා අනතුරක් වේ යැයි සිතා අනතුර වළක්වා ගැනීමට උත්සාහ කළ යුතුයි.
2021 මැයි - ජූනි මාසවල සංචරණ සීමා පවතින කාලය තුළ අනතුරු නිසා රෝහල්ගත වූ රෝගීන් සලකා බැලීමේදී ඒ ඒ අනතුරුවල ප්‍රතිශත අනුව මෙලෙස අගයන් ඉදිරිපත් කළ හැකිය.
වැටීම් - 24.4%
සතුන් සපාකෑම් - 17.1%
උපකරණ නිසා සිදුවූ අනතුරු - 15.3%
ඇනීම් හෝ කැපීම් - 11.9%
පහරදීම්/ගැටීම් - 11.3%
ප්‍රවාහන අනතුරු - 9.1%
විෂවීම් - 3.1%
සත්ත්ව දෂ්ඨන - 1.6%
අනතුරු සිදුවූ ස්ථාන සම්බන්ධයෙන් දත්ත සලකා බලන විට සංචරණ සීමා පැවැති කාලසීමාවේ ගෘහස්ථ අනතුරු ඉහළ ගොස් ඇත. ඒ අනුව 2021 වර්ෂයේ මැයි -ජූනි මාසවල අනතුරු සිදුවූ ස්ථාන අනුව අනතුරු සිදුවීම්වල ප්‍රතිශත මෙසේය.
නිවස - 62.1%
මාර්ග/ අධිවේගී/ මාවත් - 16%
නවාතැන් ස්ථාන - 3.8%
රැකියා ස්ථාන - 3.8%
විනෝද ස්ථාන - 2.1%
වැටීම් නිසා සිදුවන අනතුරු, අනතුරු අතර ප්‍රමුඛතම අනතුර වන අතර, වැටීම් සිදුවන ස්ථාන අනුව ගෘහස්ථ වැටීම් ඉහළ අගයක් ගනී. එය සංචරණ සීමා පැවැති මැයි-ජූනි මාස සම්බන්ධව බලන විට ඉහළගොස් ඇති බව පෙනී යන්නකි. ඒ අනුව ඒ කාලසීමාවට අනුව වැටීම් නිසා රෝහල්ගත වූ සිදුවීම්වල ඒ ඒ ස්ථාන සම්බන්ධව අගයන් මෙසේය.
නිවසේදී සිදුවූ වැටීම්- 72.3%
නේවාසික ස්ථානවලදී සිදුවූ වැටීම් -3.4%
විනෝදාත්මක ස්ථානවල සිදුවූ වැටීම් -3.3%
මහ මග වැටීම්-8.2%
රැකියා ස්ථානවල වැටීම්- 2.1%
මීළඟට සත්ත්ව සපාකෑම් නිසා සිදුවන අනතුරු සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමේදී සංචරණ සීමා පැවැති මැයි - ජූනි අතර කාලසීමාවේදී ගෘහාශ්‍රිත සිදුවීම් ගණන ප්‍රතිශතාත්මකව ඉහළ අගයක් ගෙන ඇත. මේ ඒ සම්බන්ධ තොරතුරුය.
නිවසේදී සත්ත්ව සපාකෑම් - 68.5%
නවාතැන් ගෙන සිටින ස්ථානවලදී - 6.9%
මාර්ගවලදී සතුන් සපාකෑම් - 15.1%
මෙලෙස බලන විට 2021 වර්ෂයේ සංචරණ සීමා පැවැති කාලසීමාවේ ගෘහාශ්‍රිත අනතුරු සිදුවීම් ඉහළගොස් ඇති බව පෙනී යන්නකි.
මෙවර අනතුරු නිවාරණ සතියේදී අනතුරු හා කෝවිඩ් සම්බන්ධ විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. එයට හේතුව වන්නේ COVID 19 සඳහා විශේෂයෙන් අවදානමක් ඇති පුද්ගලයන්ට, විශේෂයෙන් නිවසේදී, අනවශ්‍ය ලෙස අනතුරු සිදුවුවහොත්, COVID 19 වැළැක්වීමේ උපායමාර්ග අභියෝගයට ලක්විය හැකි වීමයි. විශේෂයෙන් කොඳු ඇට පේලියේ ආබාධවලට ලක්වන අය කෝවිඩ්වලට ගොදුරු වීමේ අවදානම් සහිත ප්‍රජාවක් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම පහත අවදානම් සාධකත් මෙසේ හඳුනාගෙන තිබෙනවා.
සෞඛ්‍ය ආයතනවලින් ප්‍රතිකාර ලබාගැනීමට අපේක්ෂා කරන අනතුරුවලට ලක්වූවන්, COVIDවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.
අනතුර සිදුවූ ස්ථානයට මහජනතාව ඒකරාශී වීම තුළින් COVID 19 වැළැක්වීමේ මාර්ගෝපදේශ අනුගමනය කිරීමට අපොහොසත් විය හැකි බැවින්, ඔවුන් COVID 19 නිරාවරණය වීමේ අවදානම වැඩි වීම.
වෛරසයට ගොදුරුවේ යැයි යන බිය නිසා අනතුරට ලක්වූවන්ට උදව් කිරීමට, ප්‍රථමාධාර ලබාදීමට හෝ අනතුරට ලක්වූවන් ප්‍රවාහනය කිරීමට සාමාන්‍ය ජනතාව අකමැති විය හැකි බැවින්, අනතුරට ලක්වූවන්ගේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත.
වින්දිතයාට හදිසි ප්‍රතිකාර අවශ්‍ය නම්, වින්දිතයාගේ COVID නිරාවරණ මට්ටම අධ්‍යයනය නොකර වින්දිතයාට ප්‍රතිකාර කළහොත්, එවැනි අවස්ථාවලදී සෞඛ්‍ය සේවකයන් COVID 19 සඳහා ගොදුරු වීමට වැඩි අවදානමක් ඇත.
COVID 19 සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැඩියෙන් සෞඛ්‍ය සම්පත් භාවිත කිරීමට සිදුවුවහොත්, අනතුරුවලට ලක්වූ අය සඳහා රෝහල්වල සම්පත්වල සීමාවන් තිබිය හැකිය.
සමාජ සේවා කටයුතු ඇනහිටීම හේතුවෙන් රෝග තත්ත්වයන් හා ආබාධිත තත්ත්වයන් දරුණු අතට පත්වීමේ වැඩි හැකියාවක් පවතී.
එම නිසා, මෙම ගෝලීය වසංගත කාලය තුළ බොහෝවිට නිවසේ රැඳී සිටින බැවින්, අනතුරු වැළැක්වීම සහ ඉන් ආරක්ෂා වීම පිළිබඳ වැදගත්කම කෙරෙහි අවධානය යොමුකිරීම අත්‍යවශ්‍යයි.
ඒ අනුව අනුගමනය කළයුතු කරුණු තුනක් මෙලෙස සඳහන් කරන්න පුළුවන්.
සිදුවිය හැකි අනතුරු සඳහා ඔබේ වටපිටාව පරීක්ෂා කරන්න.
ඔබ ජීවත් වන පරිසරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා හඳුනාගත් උපද්‍රව නිවැරදි කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්න.
සැමවිටම සිහියෙන් සිටින්න. සිදුවිය හැකි සියලු අනතුරු වළක්වා ගැනීමට ඔබට කළ හැකි සෑම දෙයක්ම කරන්න.
රථවාහන අනතුරු
රථවාහන අනතුරු යම් ප්‍රමාණයකට අඩු වී ඇත. පසුගිය වර්ෂයේ මාසයක කාලයක් රට වසා දැමූ අවස්ථාවේ මාර්ග අනතුරු 11෴ක අගයක් ගත්තා. ඒ වගේම පසුගිය මැයි මාසයේ සංචරණ සීමා පැනවූ කාලය ගැන බැලුවොත් (මැයි 14 වෙනිදා සිට ජූනි 18 දක්වා කාලය සලකා බලන ලදී) මාර්ග අනතුරු 9෴ක් දක්වා අඩු වී තිබුණා. නමුත් මෙය අපේක්ෂිත මට්ටමට වඩා වැඩි අගයකි. මේ අනුව ජනතාව නීතියට අනුගත වීම කොතරම්දුරට සිදුකරනවාද යන්න පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකියි.