දැවෙන ගැටලු මැද තැවෙන රාජාංගනය “උස්සාන” ගොවියෝ


උස්සාන වාරි ජලසම්පාදන ක්‍රියාවලිය සඳහා මෙරට තුළ ඇත්තේ නිදහසින් පසුව ගොඩනැගුණු ඉතිහාසයකි. එය යම්යම් ප්‍රදේශවලට ආවේණික වූවකි. දහසින් වැව් බැඳි රජරට ඓතිහාසික අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ උස්සාන වාරික්‍රම පිළිබඳව වැඩිමනක් අසන්නට ලැබෙනුයේ රාජාංගනය ප්‍රදේශයෙනි.

 

අනුරාධපුරය සහ කුරුණෑගල දිස්ත්‍රික් දෙමායිමේ පිහිටි රාජාංගනය ගොවි ජනපදයක් ලෙස සංවර්ධනය වී ඇත්තේ 1960 දශකයේ මුල් භාගයේදීය. රාජාංගනය මහවැව, අංගමුව වැව සහ තුඹුල්ලේ වැව මගින් ජලය සම්පාදනය කිරීමේ සැලැස්ම සහිතව සමස්ත ජනපදය ආවරණය වන පරිද්දෙන් මෙපරිද්දෙන් උස්සාන වාරික්‍රම එවක ආරම්භ කර තිබේ. එහෙත් දශක හයකට ආසන්න කාලයක ඇවෑමෙන් අද වනවිට මේ බොහෝ වාරි ව්‍යාපෘතිවලට අත්ව ඇති ඉරණම ශෝචනීය එකකි.

 

කලක් තිස්සේ රාජාංගනය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන නිමල් ජයවීර මහතා මින් මතුවිය හැකි ගැටලු පිළිබඳව මෙසේ පැහැදුවේය.

“2009 අවුරුද්දේ තමයි ඩීසල්වලින් දුවන පරණ මෝටර් වෙනුවට කරන්ට් එකෙන් දුවන මෝටර් හයිකෙරුවේ. ඩීසල් වියදමත් එක්ක බලද්දී අපි හිතුවේ ඒකෙන් ගොවියන්ට සහනයක් සැලසෙයි කියලා. ඒත් කරන්ට් බිල වැඩිවෙනකොට ඒ වාසිය නැතිව ගියා. රාජාංගනේ ගොවි ජනපදේ කියන්නේ හොඳින් සැලසුම් කරපු ව්‍යාපාරයක්. මඩින් අක්කර 03ක් දෙනකොට ගොඩින් අක්කර එක්හමාරක් දුන්නා ගොඩ ගොවිතැන් කරන්න. අක්කර භාගයක් වෙනම දුන්නා පදිංචි වෙන්න ගෙවල් හදා ගන්න. ඒ විදිහට ගොඩ ගොවිතැන් කරන්න තමයි ඒ කාලේ ගොවි ජනපදේ පුරාම උස්සාන වාරිමාර්ග පටන් ගත්තේ. දැන් මේ හොඳට හැදිලා තියෙන පොල්, පුවක්, කොස්, අඹ වගේ භෝග හැදුනේ උස්සාන ක්‍රමේට පින් සිද්ධ වෙන්න. දැන් වෙලා තියෙන්නේ මේවායේ නඩත්තුව සම්පූර්ණයෙන්ම ගොවියන්ට පැවරිලා තිබීම. ඇළ වේලි හදන්න කෙනෙක් නෑ. ඒකෙන් ඉස්සරහට උස්සාන ගොවිතැන නැත්තටම නැතිවෙලා යන තත්ත්වයක් තමයි මතුවෙලා තියෙන්නේ. ඇත්තටම ඒක හරි අපරාධයක්.

 

ජනපදය ආරම්භ කළ මුල් වකවානුවේ එනම් 1963 වර්ෂයේදී තරම් අතීතයේ ඉදිකොට ඇති සියලු උස්සාන වාරි ජලව්‍යාපෘතිවල ඇළ වේලි සමස්තයක් ලෙස මුළුමනින්ම මේ වනවිට අබලන් වී ඇත. ආරම්භක අවධියේ ඉන්ධන මගින් ක්‍රියා කරවීම සඳහා ඉදිකොට ඇති මෙහි ජල පොම්ප සඳහා මේ වනවිට විදුලි මෝටර් සවිකොට තිබේ.

එහෙත් විදුලි බිල දරාගත නොහැකි අන්දමින් ඉහළ ගොස් ඇති අතර, ගොවීන් එකතුකොට පිහිටුවා ඇති උස්සාන ගොවි සන්විධාන මගින් මෙම පොම්පාගාරවල නඩත්තු කටයුතුද සිදුකෙරේ. එනයින් බලන කල්හි සියලු බර ගොවීන්ටම දැරීමට සිදුව තිබේ. රාජාංගනය මහ වැවෙන් පෝෂණය වන ජනපදයේ දකුණු ඉවුර ප්‍රදේශයේ උස්සාන වාරි ජල ව්‍යාපෘති10ක් ආරම්භකොට ඇති අතර, වම් ඉවුර ප්‍රදේශයේ එම ව්‍යාපෘති15ක් පමණ තවමත් ශේෂව පවතී.

 

මේ බොහෝමයක් උස්සාන වාරි ව්‍යාපෘති නඩත්තුව අසීරුවීම හේතුවෙන් පවත්වාගෙන යෑම ගැටලු සහගත වී තිබේ. එය ගොවියන්ට පමණක් තනිවම කළ නොහැකි වී තිබේ. කාලයේ තාලයට හසුව වයසින් මුහුකුරා ගිය පී.බී. දිසානායක මහතා මෙබිමෙහි මුල් පදිංචිකරුවෙකි. දැන් ඔහුට වයස අවුරුදු හැට පහකට කිට්ටු වී තිබේ. ඔහු අප සමග අදහස් දක්වමින් මෙසේ පැවසීය.

 

එක පාරක් ඔය උස්සාන ඇළවේලි අලුත්වැඩියා කරන්න කියලා වාරිමාර්ගෙන්ද කොහෙන්ද මැනුම් කෙරුවා. ඒත් අද වෙනකම් සිද්ධ වෙච්ච දෙයක් නෑ. ඔක්කොම ඇළවේලි හල් හත්තේ විනාශ වෙලා තියෙන්නේ. මේවායින් වතුර ගෙනියනකොට භාගෙට භාගයක් අපතේ යනවා. පැය භාගෙන් වත්තට ගෙනියන්න තියෙන වතුර පාරට මේ හින්දා පැයක් විතර ගතවෙනවා. ගෙවෙන හැම වෙලාවකම කරන්ට් බිලට ගාණක් එකතු වෙනවා. මේක තමයි මෙතැන තියෙන ප්‍රශ්නේ. අඩුම ගානේ ඇළ වේලි ටිකවත් හදලා දෙනවනම් ඒක ලොකු දෙයක්. එතකොට වතුර අපතේ යන එක හරි නවතිනවා. මොකද මේ ගොවිතැනෙන්ම ජීවිතේ ගැටගහගන්න මිනිස්සු මේ ගම්වල ඉන්නවා.

 

වසරේ වැඩි කාලයක් වියළි කාලගුණයෙන් පීඩා විඳින රාජාංගනයට මෙම උස්සාන වාරි ක්‍රමය එවක මහත්ම සම්පතක් වී තිබේ. ගෙවතු තුළ වැවූ ගහකොළ උස්මහත් කරගන්නට එය මහත් පිටිවහලක් වී තිබේ. ජනපදය වසා වවා ඇති සරුසාර ගෙවතු බොහෝමයක සැඟවුණු රහසද මේ උස්සාන වාරි ජල සම්පාදන ක්‍රමය වන අතර, අදද ගෙවතු ආශ්‍රිතව සිදුකොට ඇති කෙසෙල්, බුලත්, ගම්මිරිස්, ගස් ලබු, මඤ්‍‍ඤොක්කා, බටු සහ වෙනත් එළවළු භෝග ආදිය සඳහා මෙම උස්සාන ක්‍රම ඔස්සේ ජලය සම්පාදනය කරනු ලබයි. අක්කර කාලකට ජලය සම්පාදනය කිරීම සඳහා පැයක පමණ කාලයක් ගතවන බවත්, පැයකට විදුලි බිල සඳහා රුපියල් පන්සිය විස්සකට වැඩි මුදලක් වැය වන බවත් ගොවියන්ගේ පැහැදිලි කිරීම වී තිබේ. රාජාංගනය, යාය 08, නව ජයඋස්සාන ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික එම්.එම්. නිශාන්ත ඉන්දික මහතා  මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

 

ව්‍යාපාරේ පටන් ගත්ත කාලේ හදපු ඇළ වේලි තමයි තාමත් තියෙන්නේ. සමහර ඒවා හල්හත්තේ පුපුරලා කැඩිලා බිඳිලා තියෙන්නේ. මේවා දිගේ ගොවිතැන්වලට වතුර ගෙනියනකොට කරන්ට් බිල දෙගුණ තෙගුණ වෙනවා. ඇළවල් දිගේ වතුර එන්න සෑහෙන වෙලාවක් යනවා. එහෙන් පොලොවට උරනවා. අපතේ යනවා ඉවරයක් නෑ. සමහර තැන්වල ඇළක් තිබ්බද කියලා හොයන්නවත් නෑ. ඩීසල් මෝටර් අයින් කරලා කරන්ට් එකෙන් දුවන මෝටර් හයිකරපු එක හොඳයි. ඒත් මේ කරන්ට් බිල දරාගන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට කරන්ට් බිලට සහනයක් දෙන්න කියලා ඉල්ලන්නේ ඒ නිසා. ගොඩක් නිලධාරීන් දැන් මේ දේවල් ගැන සැලකිල්ලක් නෑ. වැඩිය ඕනෙ නෑ අපේ පොම්පාගාරේ මීටර් බෝඩ්එක හයිකරලා තියෙන තැන අනතුරුදායකයි වෙන තැනක හයි කරලා දෙන්න කියලා ඉල්ලලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. ඒත් කිසි ශබ්ධයක් නෑ.

 

මෙම උස්සාන වාරි මාර්ග කළමනාකරණ කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරී ඇති අතර, උස්සාන ගොවි සංවිධාන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතී. හුදු නාමික පැවරීමක් විනා වෙනත් කවර හෝ කාර්යක් මෙම ආයතන වෙතින් සිදුනොවීම මහත්ම අභාග්‍යයක් වී තිබේ. කිසිදු පසුවිපරමක් ඔවුන් වෙතින් සිදුනොවීම ගොවි මැසිවිලි උත්සන්න කොට ඇත. උස්සාන වාරි ඇළ පද්ධතිය අලුත්වැඩියාකොට, මාසික විදුලි බිලට යම් සහනයක් සලසන ලෙස ගොවීන් වගකිවයුත්තන් වෙතින් කරන ඉල්ලීම බැහැර කළ හැක්කක් නොවන්නේ එහෙයිනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩබ්ලිව්.එම්. වීරසේකර මහතා පැවසූයේ මේ ගැටලුවේ තවත් පැතිකඩක් පිළිබඳවය.

ලොකු කරන්ට් බිලක් දරාගෙන ගොවිතැන් කෙරුවත් සමහර කාලවලට හරි මිලක් නෑ. එතකොට ගොවියෝ හැම අතින්ම අසරණ වෙනවා. සමහර එළවළු වගා කරලා අස්වැන්න ගන්නකොට කරන්ට් බිල විතරක් රුපියල් දහපහළොස් දාහක් ගිහිල්ලා. එතකොට ඇති දෙයක් නෑ. උස්සාන ක්‍රමේ හොඳයි. නැත්නම් මේ ගස් කොළන් ඉතුරු වෙන්නේ කාලෙකට එන පෑවිල්ලේ හැටියට. ඒත් අදායමට වැඩිය වියදම වැඩිවෙනකොට ගොවියෝ නිකංම උස්සාන ගොවිතැන අත ඇරලා දානවා. දැනටමත් ඒක සමහර තැන්වලා වෙලා තියෙන්නේ. අනිත් එක මෙච්වර පායන කාලෙත් මිනිස්සුන්ගේ ගොඩ ඉඩම්වලට වතුර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ උස්සාන ක්‍රමේ හින්දා. ඒක කොහොම වුණත් වතුරෙන් අමාරු කාලේ තියෙන වතුර ටිකත් අපතේ යනවානම් මේ කරන වැඩේ තේරුමක් නෑ නේද.

සටහන හා ඡායාරූප - බුල්නෑව - ප්‍රදීප් රණතුංග



Recommended Articles