තමා සතු දෙයක් තවත් කෙනෙකු වෙනුවෙන් හෝ කෙනෙකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් ලබාදීම, පූජා කිරීම හෝ අත්හැරීම බුද්ධ දේශනාවේ "දානය" ලෙස සලකනු ලබයි. උතුම් වූ ලොව්තුරා බුද්ධත්වය ලැබීම උදෙසා බෝසත්වරුන් සිදුකළ අප්‍රමාණ කැපීකිරීම් අතර දානය විශේෂ කොට සැලකූ උතුම් කුසල ක්‍රියාවකි. එසේම මේ මහානීය දාන පාරමිතාව නුවණින් සිතා බලා, නොමඟ නොගොස් ප්‍රඥාවෙන් සිදුකළ යුතු කුසල ක්‍රියාවක් බවද සිහිපත් කරන්නකි.
අපවත් වී වදාළ අතිපූජනීය පැලෑනේ සිරි වජිරඤාණ මහ නාහිමියන් (1878 – 1955) දානයෙහි ඇති වැදගත්කම තථාගත දේශනා ඇසුරෙන්ම ගෙනහැර දක්වමින් පෙන්වා වදාළේ, දිය යුතු හැටියට, දිය යුතු තැනදී දන්දීම සිදුකළ යුතු බවය. අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජනීය මඬිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ වන අතිපූජ්‍ය පැලෑනේ සිරි විජිරඤාණ මහ නායක හිමියන්, දිනෙන් දින පිරිහී යන සමාජයක සසරෙන් එතෙර වීමට නම්, තමා සතු දෙයක් වෙනත් අයෙකු, කෙනෙකු හෝ අවශ්‍යතාවක් වෙනුවෙන් අත්හැරීමට පුරුදු පුහුණු විය යුතු බව දේශනා කළහ.
බෝසත්වරුන් ලොව්තුරා බුදුබව පතා තම ජීවිතයම කැප කරමින් පූර්ණය කරනු ලැබූ දස පාරමිතාවන්ගේ පළමු වැනි කැපකිරීම වන්නේ දානය බවද අතිපූජ්‍ය පැලෑනේ සිරි විජිරඤාණ මහනායක හිමියන් පෙන්වා වදාළහ. මේ කුසල ක්‍රියාව පිළිපදින පුද්ගලයාට උසස් තත්ත්වයකට පත්ව, සංසාර සාගරයෙන් එතෙර වීමටද එය උපකාර වන බව උන් වහන්සේ මෙසේ දේශනා කළහ.
"අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීම උදෙසා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරනු ලැබූ දස පරමී ධර්මයන්ගෙන් එක් කොටසක්, නැතිනම් පළමු වැනි පාරමිතාව වන්නේ දාන පාරමිතාවයි. සංග්‍රහ කටයුතු අවශ්‍ය ඇත්තන්ට දයානුකම්පාව පෙරදැරිව ඒ සා විශාල දීර්ඝ කාලයක් මුළුල්ලේ කිසි දිනයක කඩ නොකර දාන පරමිතාව තථාගතයන් වහන්සේ පූරණය කළා. ඒ වගේම පූජා බුද්ධියෙන් සංග්‍රහ කටයුතු අවශ්‍ය පූජ්‍ය පක්ෂයට, ඒ දානයෙන් සංග්‍රහ කරන්නට පුරුදු පුහුණු වුණා.
දානයෙන් වන සංග්‍රහය මොලොවට විශාල උපකාරයක් අත්කර දෙනවා. ඒ වගේම පරලොවටත් විශාල උපකාරයක් සැලසෙනවා. මෙතැනදි දිය යුතු ඇත්තන්ට කුමක් දිය යුතුද කියා පැනයක් විමසුවොත්, සියලු දීම් දානයට අයත් වෙනවා. යම් විටෙක ආහාරපාන නැති දුගියෙකුට නම් ඔහුට ආහාරපාන දීම, ඉඳුම් හිටුම් නැති කෙනෙක් නම් ඒ කෙනාට ඉඳුම් හිටුම් දීම, රෝගියෙකුට නම් බෙහෙත් හේත් සාත්තු සප්පායම් ආදිය සලසා දීම, කෙනෙකු නොදන්නා දෙයක් තිබේ නම් ඔහුට ඒ දේ තේරුම් කරදීම, නුවණින් අඩු කෙනෙකු සිටිනවා නම් ඔහුගේ මෝඩකම ඉවත්කර ඥානය ලබාදීම යනාදී ලෙස සැනසිල්ලක් අවශ්‍ය කෙනෙකුට තමන්ට පුළුවන් තරමින් ඒ අවශ්‍යතා සපයාදීමම දානයක් වෙනවා.
ඔබේ වටපිටාව බැලුවොත් ආහාරපාන සපයා ගන්නට නොහැකි, ඉන්න හිටින්න තැනක් නැති, දීර්ඝකාලීන අසනීපයකින් පෙළෙන, එහෙත් එය සුවකර ගැනීමට ප්‍රමාණවත් මුදලක් නැති, කපටි වංචාකාරයන් ඉදිරියේ නොදැන අමාරුවේ වැටෙන්න අනුවණ අය අද සමාජයේ කොතෙකුත් ඇතිද? මෙවැනි විවිධ වූ පුද්ගලයන්ට සරණක් වීමට හැකි නම් එය උතුම් වූ දානමය කුසල ක්‍රියාවක් බවට පත්කර ගැනීමට පුළුවන්.
ඒ වගේම මහා සංඝරත්නය විෂයයෙහි පූජා බුද්ධියෙන් සිදුකරන සංග්‍රහය දානයෙහි විශේෂ තැනක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය දක්වා ගමන් කළ අනන්ත සසරේ මේ සියලු දානයන් ප්‍රගුණ කළා. තථාගතයන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසුවද ලෝකයේ හිතසුව පිණිස පරෝපකාරීව ධර්ම දානය සිදුකළා. ඒ නිසා ලෝකයට දානය මහ විශාල අර්ථයක් සපයන බව උන්වහන්සේ සිය ජීවිතයෙන්ම ආදර්ශය සපයා තිබෙනවා.
දානය පුරුදු පුහුණු කරන ගමනේ සැමවිටම දයානුකම්පාව හා ප්‍රඥාව බුදුරජාණන් වහන්සේට මඟපෙන්වූවා. තථාගතයන් වහන්සේගේ දයානුකම්පාව නිසා නිර්ලෝභීව තමන්ට දෙන්න පුළුවන් සියල්ල පිරිනැමුවා. උන් වහන්සේගේ ප්‍රඥාව නිසාම, ඒ දානයේදී නොමඟ නොගොස්, දිය යුතු හැටියට දිය යුතු තැනදී දානය පිරිනැමුවා. ඒ නිසා දන්දීමේදී නොමඟ නොගිහින් දන් දීමට ඔබ පුරුදු පුහුණු විය යුතුයි.
බුද්ධත්වයට පෙර මහ බෝසතාණන් වහන්සේ බොහෝ ආත්ම භවයන්හිදී අසරණයන්ට ආහාර පානාදිය, වස්ත්‍ර, ඉඳුම් හිටුම් ආදියෙන් සංග්‍රහ කළා. තවත් බොහෝ ආත්ම භාවයන්හිදී දිසාපාමොක් ආචාර්යවරයා වී සහස්‍ර දානය, ශිල්ප දානය දුන්නා. අවසානයේ උතුම් වූ බුද්ධත්වය ලැබ සසරෙන් එතෙර වීමේ නිවැරදි මාර්ග දර්ශනය සමස්ත ලෝවැසියාටම පෙන්වා වදාළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දානයෙහි ඉමක් කොනක් නැති මහානීය බවක් දක්නට ලැබෙනවා.
තථාගතයන් වහන්සේ බෝධිසත්ව කාලයේදී බාහිර භාණ්ඩ කියන වතුපිටි, ගේ දොර ඉඳුම් හිටුම්, තමන් ඇඳගෙන සිටි වස්ත්‍ර පවා දන් දුන්නා. ඒ වගේම ඇතැම්විට අතක් පයක්, ඇහැක්, කනක්, ශරීරයක් ආදිය වුණත් අත්හරිමින් දන් දුන්නා. තමන් වහන්සේගේ ශරීර අවයවයක් වුණත් අත්හරිමින් ගුණධර්ම ආරක්ෂා කිරීමට උන්වහන්සේ කටයුතු කළා. ඇතැම් ස්ථානයකදී ජීවිතය පුදන්න ඕනෑ වුණොත්, ජීවිතය වුණත් පිදුවා. ඒ නිසා බාහිර භාණ්ඩ පිදීම, ශරීර අවයව පිදීම පවා උතුම් වූ ක්‍රියාවන් බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා.
මෙලෙස තථාගතයන් වහන්සේ ඒ සියල්ල සිදුකළේ දයානුකම්පාව හා ප්‍රඥාව පෙරදැරිවයි. බුදුරජාණන් වහන්සේගේ මේ දයානුකම්පාව හා ප්‍රඥාව කියන දෙකෙන් සැමවිටම ලොවට අර්ථයක් කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි කටයුතු කළේ. ඒ නිසාම උන් වහන්සේගේ ඒ දානය නිසා ලෝකයට යහපතක් වුණා. මේ තුන් ලෝකයේම පරෝපකාරී කෙනෙකු උපන්නා නම්, ඒ එකම පරෝපකාරී මුනිවරයා ඒකාන්තයෙන්ම අප ගෞතම බුදුරජාණන් වහන්සේ බව අවිවාදිතයි."
මෙලෙස දානය පුරුදු කිරීමේදී ලෝභය සම්පූර්ණයෙන් ඉවත් වී මෛත්‍රිය, කරුණාව සිතේ ඇතිවන බව සිරි වජිරඤාණ මහ නාහිමියෝ පෙන්වා වදාළහ. නිර්ලෝභීකම නිසාම අවට සිටින්නන් සැපතට පැමිණ, සියලු දෙනාගේ සිත්සතන් පිනාගොස් මුළු ලෝකයම මෘදු බවට පත්වන බව තථාගත දේශනාව ඉස්මතු කරමින් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
"අද සමාජයේ බොහෝ මිනිසුන්ට සමහර දේවල් ටික කාලයක් කරගෙන යද්දී ඇති වෙනවා. තමාටත්, අන් අයටත් අයහපතක්, අවැඩක් වන දෙයක් ආත්ම භාවයෙන් ආත්ම භාවයට පවත්වාගෙන ගියත්, ඒ දෙපිරිසටම වැඩක් සිදුවන දෙයක් දිගටම පවත්වාගෙන යන්නට උත්සාහයක් නැහැ. විශේෂයෙන්ම ගුණ යහපත් කටයුතුවලදී මෙසේ ටික කාලයක් කරගෙන ගියාම, ඉක්මනින්ම එයින් ඉවත් වෙනවා. ඇතිවෙලා නවත්වන්න හිතෙනවා. එහෙම නවත්වන්නේ නැතිව නොකඩවා පුරුදු පුහුණු කිරීමට වීර්යයක් තිබිය යුතුයි.
දානයක් දීම බොහෝම පිළියෙල කරලා, සකස් කරලා, ඉතා ඕනෑකමින් කළ යුතු කටයුත්තක් වෙනවා. ඔබ රජකු වෙලා හිටියා වුණත්, අසරණ මනුස්සයෙකුට ඒ මනුස්සයා සතුටු වන ආකාරයෙන්, ඔහු ළඟටම ගිහින් හොඳ හැටි කතා කරලා, බොහොම ගෞරවයෙන් පිහිට විය යුතුයි. මක්නිසාදයත් ගෞරව කළ යුත්තේ දානයට වන නිසයි. ඒ අසරණ පුද්ගලයාගේ සිත සතුටු කරලා, අපටත් නිර්ලෝභීව සතුටු වෙන්නට හැකි නම්, එවිටයි දානයෙන් නිසි ආනිශංස අත්කර ගැනීමට ලැබෙන්නේ.
දානයෙන් තමාට මෙන්ම සමාජයට සිදුවන්නේ මහත් ශාන්තියක් බව සිහියේ තබාගත යුතු වෙනවා. එවන් ගුණධර්ම ඇති පුද්ගලයන් ආශ්‍රය කරන සමාජය සාමකාමීයි. ගැටුම්වලින් තොරයි. එවැනි ගුණගරුක කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වාම සමාජයට එකසේ ප්‍රයෝජනවත් වෙනවා.
ඒ නිසා දන් දීමෙන් ලෝකයම සැපතට පැමිණෙනවා. ඔබ අනලස්ව ආහාර පානයෙන්, ශාස්ත්‍රයෙන්, අවවාදයෙන්, අනුශාසනයෙන් හා ආදර්ශයෙන් දන්දිය යුතු වෙනවා. ආදර්ශ දානය, අවවාද දානය, ධර්ම දානය, අභය දානය ලෙස යම්තාක් දාන ඇත්ද ඒ සියල්ල අප තථාගතයන් වහන්සේගේ මග ගමන් කරමින් අපද ඉටුකළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව මුළු ලෝකයට යහපතට හේතු වුණේ යම් සේද, ඒ දාන පාරමිතාව සමස්ත ලෝ වැසියාම පුරුදු පුහුණු කළොත්, එය ලෝකයේම හිතසුව පිණිසම පවතීවි."
තෙරුවන් සරණයි..!