රජයේ පාසල්වල අධ්‍යාපනය එක වසරේ සිටම ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ. මේ පිළිබඳව සමාජය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද පුළුල් සංවාදයක් ඇති වී තිබේ.
එහෙත් අදාළ සංවාදය තුළ ඇත්තේ එය සුදුසුද නැද්ද යන්න පිළිබඳව පමණක් වන අතර, එවැන්නක් කළ යුත්තේ කෙසේද, එවැන්නක් කරන්නේ නම් අත්වන වාසි හෝ අවාසි මොනවාද යන්න සම්බන්ධයෙන් වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමක් එහි දැකිය නොහැකිය. මේ සම්බන්ධයෙන් ප්‍රවීණ ලේඛකයෙකු සහ දේශකයෙකු වන හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ ටී.එම්. ප්‍රේමවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.
ද්විභාෂික අධ්‍යාපනයක අවශ්‍යතාව
ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිටම කතාබහට ලක්වුණි. එය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ලද විවිධ කොමිෂන් සභා මගින්ද අවධාරණය කෙරුණු කරුණකි. යටත්විජිත රාජ්‍යයක් වුවද, මෙරට දරුවන්ට මව් භාෂාවෙන් අධ්‍යාපන කටයුතු කරන්නට ඉඩ සැලසීම අත්‍යවශ්‍ය බව බ්‍රිතාන්‍යයන්ගේ අදහස විය.
ඊට වැදගත් උදාහරණයක් වන්නේ මෙරට සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකයන්ට සිංහල හෝ දෙමළ හෝ ඉගෙන ගැනීම අනිවාර්ය කිරීමය. ලංකාවේ පළමු අධ්‍යාපන ඇමතිවරයා ලෙස සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා පත්වන්නේ මෙවැනි වාතාවරණයක් යටතේය. ඒ කාලයේ ක්‍රියාත්මක වූයේ කාරක සභා ක්රමයකි. අධ්‍යාපන කාරක සභාවේ සභාපතිවරයා වූයේ නිල බලයෙන් කන්නන්ගරයන්ය. ඒ කාරක සභාවේ සාකච්ඡා කෙරුණු වැදගත්ම කාරණය වූයේ රටට අධ්‍යාපන ප්රතිසංස්කරණයක් අවශ්‍ය බවයි. ඊට අදාළව මුලින්ම පැමිණි යෝජනාව නම් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමය. නමුත් ඒ අදහස යට ගොස් අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සිදුකළ යුතුය යන අදහස පෙරට ආවේය. එය එදවස සිදු වූ බරපතළ අඩුපාඩුවකි. යම් හෙයකින් එදා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කළේ නම් අපට ගුරුකොට ගත හැකි මුලක් දකින්නට හැකියාව තිබිණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය
ජාතික ප්‍රතිපත්තිය මාරු වීමෙන් පසු කන්නන්ගරයන්ගේ මූලිකත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සකස් කෙරිණ. සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු යටත්විජිත යුගයේදී ක්‍රියාත්මක කළ වඩාත් ප්‍රජාතාන්ත්‍රිකම යෝජනාවලිය හෝ ක්‍රියාවලිය මේ අධ්‍යාපන ප්රතිසංස්කරණයයි. මේ ප්‍රතිසංස්කරණ සකස් කිරීමේ කමිටුවට සියලු ජාතීන්, සියලු ආගම් නියෝජනය වන පරිදි සාමාජිකයන් පත් කරනු ලැබිණි. ඉන්පසු මේ යෝජනාවලියට මහජන අදහස් ලබා ගැනීමේ පුළුල් වැඩසටහනක් දියත් කෙරිණි.
මුලින්ම කන්නන්ගරයන් ඇතුළු පිරිස කළේ පුවත්පත්වල දැන්වීම් පළකිරීමය. ඉන්පසු පාසල්, පිරිවෙන් ඇතුළු සියලු අධ්‍යාපන ආයතනවලට මේ සඳහා යෝජනා ඉල්ලමින් ලිපි යවන ලදී. ඊටත් එහා ගොස් තවදුරටත් මේ ක්‍රියාවලිය පුළුල් කරමින් ප්‍රාදේශීය මට්ටමින් මහජන සාකච්ඡා පවත්වන ලදී. ඒ සාකච්ඡා පැවැත්වූයේ මහනුවර, ගාල්ල, මඩකලපුව, යාපනය සහ කොළඹ යන දිස්ත්‍රික්කවලය. එය රටේ සියලු ආගම් සහ ජාතීන් නියෝජනය වන ඉතා පුළුල් හරස්කඩකි.
නිදහස් අධ්‍යාපනයේ පදනම් ලියවිල්ල
සරලව හඳුන්වන්නේ නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව යනු නිදහස් අධ්‍යාපනයේ පදනම් ලියවිල්ලයි. ඒ වනවිටත් ලෝකයේ සමහර දියුණු රටවල් සමග සංසන්දනය කළ විට අදාළ යෝජනාවලියේ යම් අඩුපාඩු තිබුණද, එය සෑහෙන තරම් ඉදිරිගාමී විය. අඩුපාඩු තිබුණද, මේ ක්රමයේ තිබූ වඩාත් සාර්ථකම යෝජනාව නම් ද්විභාෂික අධ්‍යාපන ප්රතිපත්තියයි.
කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්තියේ සඳහන්ව ඇත්තේ මව් භාෂාව පදනම් කරගත් ද්විභාෂික අධ්‍යාපන යෝජනාවලියකි. එනම් අධ්‍යාපනය ආරම්භ කළ යුත්තේ හැමවිටම මව් භාෂාවෙන්ය. ලංකාවේ නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසිය. බර්ගර් ජනයා ඉංග්‍රීසි භාෂාව තම මව් භාෂාව ලෙස සැලකූ නිසා ඒ කාලයේ ඉංග්‍රීසිද මව් භාෂාවක් ලෙස සලකන ලදී.
මෙසේ අධ්‍යාපනය ආරම්භ කිරීමෙන් පසු තුන්වැනි ශ්‍රේණියේදී ක්‍රමානුකූලව දෙවැනි භාෂාව, භාෂාවක් ලෙස ඉගැන්වීම ආරම්භ කළ යුතුය යනුවෙන් අදාළ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ සඳහන් වේ. එනම් සිංහල ජනතාව දෙමළ විෂයක් ලෙස ඉගෙන ගනී. දෙමළ ජනතාව සිංහල විෂයක් ලෙස ඉගෙන ගනී.
සියලුම ළමයින් ද්විභාෂික වන්නේය
ඉන්පසු අවුරුදු 14ක් ගත වනවිට, එනම් නවවැනි ශ්‍රේණියේදී පාසල් අධ්‍යාපනය ලබන සියලුම ළමුන් %ද්විභාෂික වන්නේය^ යන්න මෙහි අරමුණ ලෙස සඳහන් විය. එනම් කතා කිරීම, ලිවීම, සවන්දීම යන සියලු අංශවලින් ළමයින් ද්විභාෂිකය. අද වනවිට ලෝකයේ ඉහළ පෙළේ විශ්වවිද්‍යාල පර්යේෂණ කර සොයාගෙන ඇත්තේ ඕනෑම දෙවැනි භාෂාවකින් හොඳ නිපුණත්වයක් ළඟා කර ගැනීමට නම් අවුරුදු හයක් – අටක් අතර කාලයක් ඒ භාෂාවෙන් වැඩ කළ යුතුය යන්නය.
මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන්ද ඒ දැනුම ලබාගත යුතුය. එම නිසා කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ පැහැදිලිව සඳහන් වන්නේ සියලුම ගුරුවරුන් අනිවාර්යෙන්ම ද්විභාෂික විය යුතු බවයි. මේ ක්‍රමයට අනුව සියලුම ගුරුවරුන් ද්විභාෂික වී, මේ ක්‍රමයට අනුව නිවැරදිව සිසුන්ට ද්විභාෂික අධ්‍යාපනය ලබාදුන්නේ නම් අද ලංකාව වඩාත් ඉදිරිගාමී තැනකට ගොස් තිබෙනු නියතය.
ජාතික ප්‍රතිපත්තිය පරාජයට පත් කිරීම
කොතරම් බාධා මැද වුවද කන්නන්ගරයන්ගේ මේ යෝජනාවලිය සාර්ථක කර ගැනීමට පෙරමුණ ගත් දැවැන්තයෙක් සිටී. ඔහු ඊ.ඩබ්ලිව්. අධිකාරම්ය. ඔහු රට වටා ගොස් මේ ගැන දේශන පවත්වා තිබේ. එහිදී ඉහළ පෙළේ දේශපාලනඥයන්ගෙන් බහුතරය මීට විරුද්ධ බවද ඔහු පවසා ඇත.
මේ දේශපාලනඥයන්ට බලපෑමක් කළේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පාර්ශ්ව එක්ව කළ රැස්වීම්ය. ජනතාව ඊට දැඩි උනන්දුවකින් ප්‍රතිචාර දක්වා තිබේ. ඒ ජනතාව ලක්ෂ ගණන් පෙත්සම් කථානායකවරයාට එවා ඇත. තමන්ගේ ආසනයේ මන්ත්‍රීවරයාට මේ පනතට අත උස්සන ලෙස බලකරමින් ටෙලිග්‍රෑම් යොමු කර ඇත. අවසානයේදී ජාතික රාජ්‍ය සභාවේ විවාදය යන අතරතුර වල්පොළ රාහුල හිමියන් පෙරටුකොට ගත් හාමුදුරුවරුන් සහ අනෙකුත් ආගම්වල පූජකවරුන් රාජ්‍ය සභාවේ අසුන්ගෙන සිට ඇත. ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් සියල්ල පරාජය කිරීමට දත-කට මැදගෙන සිටි මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්මත කරගෙන ඇත්තේ එවැනි බලපෑම් මැදය.
කන්නන්ගරයන්ගේ යෝජනා ජනතා මැදිහත් වීමෙන් සම්මත කර ගත්තද, කන්නන්ගරයන්ට නැවත අධ්‍යාපන ඇමතිකම දෙන්නට පාලකයන් කටයුතු කළේ නැත. මේ සා වැදගත් යෝජනාවලියක් ඉදිරිපත් කළ එතුමාට ලබාදුන්නේ වෙනත් ඇමැති ධුරයකි. අධ්‍යාපන ඇමැති ධුරය ලබාදුන්නේ මුල සිටම නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වූ අයෙකුටය. තත්ත්වය අභාග්‍යසම්පන්න ලෙස ඉදිරියට යන්නේ මෙසේය.
කනගාටුදායක 1956 වසර
ඊටත් වඩා කනගාටුදායක කරුණ නම් 1956 වර්ෂයත් සමග රට පුරා පැතිර ගිය වාර්ගික ප්‍රබෝධයයි. සිංහල පමණක් වැදගත්ය යන්න පැතිර ගිය ප්‍රබල මතවාදයයි. නිදහසට පෙර සිටම යම් යම් ආකාරයේ මෙවැනි වාර්ගික කොටස් ඉස්මතු වුවද, එය ප්‍රබල ලෙස කරළියට ආවේ පනස්හය කාලයේදීය. ඒ කාලයේදී වාර්ගික අවශ්‍යතා ජාතික අවශ්‍යතා පරදවා ඉදිරියට ආවේය. මේ වාර්ගික ප්රබෝධය නිසාම මැතිවරණවලදී මෙය ජන මනස වෙනස් කිරීමට යොදා ගැනිණි. එහි කූටප්‍රාප්තිය වූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීමය. එය පනතක් හරහාම සිදු වූ නීතිගත කිරීමකි.
එයින් පසු කන්නන්ගරයන්ගේ ද්විභාෂික අධ්‍යාපන ප්‍රතිපත්තිය පසෙකට දමා, ස්වභාෂාවෙන් පමණක් ඉගැන්විය යුතුය යන මතය ඉදිරියට ගෙනාවේය. එය දේශපාලනඥයන් විසින් වෛරය පතුරවන ආකාරයෙන් ජනතාවගේ ඔළුවට දමනු ලැබිණි. මෙය මුල සිටම විශ්වවිද්‍යාල දක්වාම ක්‍රියාත්මක විය. අවාසනාවට කන්නන්ගරයන් දශක ගණනාවක් ඉදිරිගාමීව දකිමින් ලෝකයට පෙර අපේ රටට හඳුන්වා දුන් ද්විභාෂික අධ්‍යාපන ප්‍රතිපත්තිය වළපල්ලට ගියේය.
මේ නිසා කළ යුත්තේ කඩිනමින් මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩනැගීමය. ඒ හරහා යළිත් මතුවෙමින් පවතින ජාතිවාදී සහ වර්ගවාදී රැලි යටපත් කිරීමට අවශ්‍ය දැනුම ලබාදීම සහ එකිනෙකාට සැකයකින් තොරව ඒ දැනුම බෙදා ගත හැකි පරිසරයක් සකස් කිරීමය.