දහසය දෙනා වැටුණ වළේ 23 දෙනා වැටෙන්නේ නැහැ


ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා දිගින් දිගටම ප්‍රකාශ සිදු කරමින් සිටිති. මීට අමතරව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පුළුල් ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර තිබේ. මේ නිසා මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමග අපි කතාබහක නිරත වීමු.


පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මේ වනවිට ආරම්භ කරලා තියෙන්නේ. එය ඉතාමත් ඉහළ මට්ටමින් සිදු වෙනවා. බලමණ්ඩල පිහිටුවීමේදී ඒ සඳහා විශාල පිරිසක් සහභාගි වෙනවා. බලමණ්ඩල පිහිටු වූ සෑම තැනකම අතිසාර්ථක ලෙස සිදුවෙලා තියෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ පක්ෂය වටා විශාල පිරිසක් එකතු වෙමින් තිබෙනවා. එහිදී සෑම කෙනෙකුගේම අදහස වෙලා තියෙන්නේ පක්ෂ සාමාජිකයන් සියලුම දෙනා පක්ෂය වටා සිටිය යුතුයි කියලා. ඒ හරහා අපි හුඟක් ධෛර්‘යමත් වෙලා තියෙනවා.

පක්ෂ මහලේකම් තනතුර 16 කණ්ඩායමටද?

නොයෙකුත් අයගේ නොයෙකුත් බලාපොරොත්තු තියෙන්න පුළුවන්. කොහොම වුණත් පක්ෂ මහලේකම් තනතුරට පත් කරන්නේ කවුද කියලා තීරණය කරන්නේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. ජනාධිපතිතුමා ගන්න ඕනෑම තීරණයක් අපි ඔළුව පහත් කරලා පිළිගන්නවා. මොකද ජනාධිපතිතුමා ගන්න හැම තීරණයක්ම ගන්නේ එතුමා ගැන හිතලා නෙවෙයි. සෑමවිටම ජනාධිපතිතුමා හිතන්නේ පක්ෂය ගැන සහ පක්ෂයේ අනාගතය ගැන. දැනට තාවකාලිකව මහලේකම්වරයෙක් පත් කරලා තියෙන්නේ.

ඒ මහලේකම්වරයා විශාල උනන්දුවකින් පක්ෂයේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. එතුමා තවදුරටත් එම තනතුරේ තියා ගන්නවද නැද්ද කියලත් ජනාධිපතිතුමා තීරණය කරයි.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පක්ෂය විවේචනය කිරීම

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා පක්ෂය විවේචනය කරනවා කියලා මම දැකලා නැහැ. ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියල නම් කියනවා. ඔවුන් කියන්නේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඔවුන් වළකට වැටුණ ආකාරයට ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් වළකට වැටෙන්න ඕන කියලා. එයාලා කියන දේ සිදු වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ගත්තම අපි තමයි බහුතරය. 16 කණ්ඩායම ආණ්ඩුවෙන් ගියත් ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉන්නවා. ඒක නිසා ගැටලුවක් නැහැ.

කණ්ඩායම් දෙකම එකතු වෙලා පුළුල් පෙරමුණක් ගොඩනැගීම

සමහරු නොයෙක් අවස්ථාවල ඔය කතාව කියනවා. ඒත් ඒ අයම පස්සේ කියනවා මේක ලොකු අවුලක් අපි දැනගෙන හිටියේ නැහැ කියලා. මේ වගේ අවුලක් තියෙනවා කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 16 දෙනා එකතු වීම පිළිබඳ ඔවුන් අතර පැහැදිලි ස්ථාවරයක් පේන්න නැහැ. ඒත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉන්න ඕන කියන මතයේ ඉන්නවා.

ජනාධිපතිවරණ අපේක්ෂයාට හිටපු ජනාධිපතිගේ ආශිර්වාදය

එක්කෙනෙක් දෙන්නෙක් යම් මතයක් දරනන් පුළුවන්. ඒත් මං දන්න තරමට එතන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමෙත්, ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ඒ වටා ඉන්න කණ්ඩායමෙත් මතය වෙලා තියෙන්නේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි කියන එකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ තීරණය ගත්තට පස්සේ ඔය සියලුම දෙනා එතුමා වටා එකතු වෙනවා.

පළාත් සභා මැතිවරණය කල් දැමීම

කුමන චෝදනා එල්ල වුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය වෙලා තියෙන්නේ මැතිවරණය කල් දමන්න බෑ කියන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ මතයේ සිටිනවා. මොකද මැතිවරණ කල් දමනවට ජනතාව කැමති නැහැ. අපේ මතය වෙලා තියෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා. පළාත් පාලන මැතිවරණයත් වෙනස් ආකාරයකට පැවැත්වුවා. පළාත් සභා මැතිවරණයත් මිශ්‍ර ක්‍රමයකට පැවැත්විය යුතුයි. මහ මැතිවරණයත් මිශ්‍ර ක්‍රමයකට පවත්වන්න තමයි මේ වනවිට සාකච්ඡා කරමින් සිටින්නේ. ඒ ස්ථාවරයේ අපි පැහැදිලිවම ඉන්නවා. මේ නිසා නව මැතිවරණ ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත් විය යුතුයි.

මැතිවරණවලට මුහුණදීමට ශක්තියක් නොමැති බවට හිටපු මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය

ඔහු හිතන ආකාරයට අපි දකින්නේ නැහැ. මොකද පක්ෂයක් ලෙස දැන් අපි ඉතාමත් ශක්තිමත්. මේ නිසා ඉදිරි පළාත් සභා මැතිවරණයට අපට ශක්තිමත්ව මුහුණදෙන්න ශක්තිය තියෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණය ගත්තත් සමස්ත ලංකාවම ආවරණය වන පරිදි අපි ඡන්ද ලබාගත්තා. උතුරු නැගෙනිහිර ගත්තමත් අපි පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළා. පළාත් සභාවක් පිහිටුවන්න හෝ පාර්ලිමේන්තුව පිහිටුවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව බැහැ.

ආණ්ඩුවේ සිටින අය ආණ්ඩුව විවේචනය කිරීම

මේක හොඳ ලක්ෂණයක් නොවෙයි, ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව ගන්න සාමූහික තීරණ පදනම් කරගෙන කවුරුත් වැඩ කටයුතු කළ යුතුයි. ජනාධිපතිතුමා ගත්තාම පක්ෂය හා ආණ්ඩුව මෙහෙයවන ආකාරය හුඟාක් වෙනස්. මෙම වෙනස තියෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව හා පක්ෂය මෙහෙය වූ ආකාරය අනුව. දැන් පක්ෂය තුළ, ආණ්ඩුව තුළ නියම ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙලා තියෙන්නේ. මේ නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ඒ අදහස පාගා දමන්න, බැහැර කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒ අවස්ථාවෙන් ප්‍ර‘යෝජන අරගෙන තම තමන්ගේ මත ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම වුණා කියලා අවසානයේදී සාමූහිකව ගන්න තීරණයේ කවුරුත් ඉන්න ඕන. එහෙම නැතිව උඩ බලාගෙන කෙළ ගහන එක වැරදියි. නැත්නම් ආණ්ඩුවෙන් ඉවත් වෙලා යන්න ඕන. ආණ්ඩුවේ තීරණ හොඳ පැත්තකට ගන්න යම් යම් අවස්ථාවල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරලා තියෙනවා.

16 කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වීම

16 දෙනා ආණ්ඩුව තුළ සිටියා නම් ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා. මොකද 16ක් කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක්. 16 ආණ්ඩුව සමග හිටියා නම් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් තියෙනවා. ඒත් පක්ෂයක් ලෙස ගත්තම අපි ඒ වගේම හිතන්නේ නැහැ. මොකද 16 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා ගියේ නැහැ. ඒ අය අපි සමග ඉන්න නිසා පක්ෂයට ගැටලුවක් නැහැ. ඒත් ආණ්ඩුවක් ලෙස 16ක් අඩු වුණා.

2020 ජයගන්න 23 දෙනා ආණ්ඩුවෙන් එළියට පැමිණීම

16ක් ලෙස ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයේ වාඩි වුණාට ඒ ගොල්ලොන්ගේ එක් අයෙකු නියෝජ්‍ය කථානායක තනතුරට ඉදිරිපත් වුණත් ඡන්ද විමසන අවස්ථාවේදී විපක්ෂයේ කොටසක් පාර්ලිමේන්තුවෙන් පිටත රැඳී සිටියා. ඒක නිසා එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ නිසා ඒ ගොල්ලොන්ට එකට එකතු වෙලා ගමනක් යන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. දැනට මම දකින්නේ මේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසක් ලෙස විපක්ෂයේ වාඩි වෙලා ආණ්ඩු විරෝධීව කටයුතු කරනවා කියලා. 2020 වනවිට අපි නම් බලාපොරොත්තු වන්නේ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබාගෙන තරග කරයි කියලා.

හවුලේ ආණ්ඩු කරන්න ගොස් පක්ෂය විනාශ වූ බවට නැගෙන චෝදනාව

මට නම් එහෙම හිතෙන්නෙ නැහැ. මොකද අපට පුළුවන් වුණා ආණ්ඩුවට එකතු වීම නිසා පාක්ෂිකයන්ට උදවු උපකාර කරන්න, ඔවුන් ආරක්ෂා කරන්න. අපි ආණ්ඩුව සමග එකතු නොවුණා නම් අපට ඒ දේවල් කරන්න බැරි වෙනවා. එහෙම වුණා නම් අනෙක් පක්ෂය ආණ්ඩුවේ හයිය භාවිත කරන්න තිබුණා. අපි සැමවිටම පක්ෂයේ ජයග්‍රහණය ගැන පමණක්ම හිතන්නේ නැහැ. අපි රට ගැන සැමවිටම හිතනවා. ශක්තිමත් ආණ්ඩුවක් හරහා ජනතාවට විශාල සේවයක් කරන්න ලැබෙනවා. අපට ඒ සතුට හුඟාක් වටිනවා.

ජනතාවට දරාගත නොහැකි ලෙස භාණ්ඩ මිල ඉහළ යෑම

රුපියලේ අවප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා. ඒත් ඉන්දියාවේ රුපියල ගත්තම 7.5කින් අවප්‍රමාණයට ලක්වෙලා තියෙනවා. ලංකාවේ රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ 3.5කින්. රුපියල අවප්‍රමාණය වනවිට අපනයන වඩාත් තරගකාරීත්වයකින් සිදු කරන්න අවස්ථාව ලැබෙනවා. අනෙක් පැත්තෙන් ආනයනය ගත්තම පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ දේවල් හඳුනාගෙන ආර්ථික මූලධර්ම ශක්තිමත් කරනකොට සහ විදේශ සංචිත ශක්තිමත් කරලා රුපියල ශක්තිමත් කරන්න කටයුතු කරනවා.

මිල විකෘති කිරීම

ව්‍යාපාරිකයන් අසීමිත ලෙස ලාභ ලබාගැනීම සඳහා යම් යම් දේවල් කරනවා. පෙට්‍රල් ඩීසල් මිල සුළු ප්‍රමාණයකින් ඉහළ යනකොට ඊට වැඩි ප්‍රමාණයකින් පාරිභෝගික භාණ්ඩ ඉහළ දමනවා. මේ ආකාරයෙන් කටයුතු කරන්න බැහැ කියලා ජනතාවට කියන්න තැනක් නැහැ. මේ නිසා ආණ්ඩුවක් ලෙස මෙවැනි දේවල් සිදු නොවෙන්න පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා නීති සකස් කරන්න ඕන නම් ඒකත් කළ යුතු වෙනවා. මොකද පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට ව්‍යාපාරිකයන්ටත් වගකීමක් තියෙනවා.

අසමත් ආණ්ඩුවක් බවට නැගෙන චෝදනාව

ගෙවීගිය අවුරුදු තුන තුළ රටට විශාල වැඩ කොටසක් කළා. මෙච්චර වැඩ කළ අපි අසමත් ආණ්ඩුවක් කියලා කියනවා නම් අපට ඒ අයගෙන් අහන්න වෙන්නේ ඇයි මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු දෙකක් තියාගෙන මැතිවරණයට ගියේ කියලා. එතුමා දැනගෙන හිටියා ජනාධිපතිවරණය ප්‍රමාද කළහොත් ආර්ථික සම්බාධක පැනවිලා රටේ ආර්ථිකය විනාශ වෙනවා කියලා. ඒක වළක්වන්න ජනාධිපතිවරණයකට ගිහිල්ලා පරාජයට පත් වුණා. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ඉදිවුණ මොරගහකන්ද ජලාශය, කළු ගඟ ජලාශය මේ රටේ සිදුවුණ විශාල ව්‍යාපෘති. මේවා තුළින් ජනතාව ලක්ෂ ගණනකට සෙත සැලසෙනවා. හැබැයි ඒ ගැනවත් බොහෝ දෙනෙක් කතා කරන්නේ නැහැ. 



Recommended Articles