පසුගිය ඔක්තෝම්බර් 01වැනිදා ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් ලෙස සැමරුවත් මෙරට දරුවන් වෙනුවෙන් අසන්නට, දකින්නට ලැබෙන ශෝචනීය පුවත්වල අඩුවක් නැත. තරගකාරී ලොව තුළ එහා මෙහා දුවන දෙමාපියන් වෙනුවෙන් මේ කතාබහ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ඇමෙරිකාවේ පේරු විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධියක් හැදෑරූ පුෂ්පා අලුත්ගමගේ මහත්මිය සමගිනි. ඇය Monitory Institute of America වල මොන්ටිසෝරි ඩිප්ලෝමාවත්, Special needs, Sociology, Childcare, art therapy and music යන හැදෑරීම් සිදුකර තිබේ. Early Childhood Teacher Training Institute හි ප්‍රධානියා ලෙසත්, දැනට Institute of America වල අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසත්, මෙරට පූර්ව ළමාවිය අධ්‍යාපඥයන්ගේ සංගමයේ සභාපතිනිය ලෙසත් කටයුතු කරයි.
ළමා මානසික මට්ටම
මුලින්ම හිතන්න ඕන දරුවො අපි ළඟට එන්නෙ එයාලට ඕන නිසා නෙවෙයි, අපිට ඕන නිසා, අපියි එයාලව ගෙන්ව ගන්නෙ. ඒ නිසා දරුවෙක්ගෙ වගකීම ඒ ගෙන්වා ගන්න දෙමාපියන් දැරිය යුතුයි. ඒවා පැහැරහරින්න බැහැ. කවුරුහරි කෙනෙක් ඒක කරනවා නම් ඒක හරිම නරක, දරුණු අපරාධයක් වගේ වැඩක්. තමන්ට ඕන දේවල් කරගන්න, තමන්ගෙ ඉලක්ක සපුරගන්න දරුවන්ව පාවිච්චි කරන්න එපා. ඒක හරිම ආත්මාර්ථකාමී නරක ක්‍රියාවක්. දෙමාපියො දරුවො හදනකොට තේරුම්ගන්න ඕන ඒ දරුවන්ටත් අපිට වගේම හැඟීම්, දැනීම්, දක්ෂතා, ආසාවල්, ඕනෑඑපාකම් තියෙනවා කියලා. දරුවො කියන්නෙ එකිනෙකාට වෙනස් අය. එයාල හැමෝම එක වගේ නැහැ, ඒ නිසා අනෙක් දරුවො එක්ක තමන්ගෙ දරුවා සසඳන්නත් එපා. මුලින්ම කරන්න ඕන තමන්ගෙ දරුවාව තේරුම් ගන්න එක. ඒකට කරන්න පුළුවන් ලොකුම දේ දරුවා එක්ක කතා කරන එක. එයා කැමති, අකමැති දේවල් තේරුම් ගන්න එක. මම මගේ මොන්ටිසෝරියට එන දරුවන්ගේ අම්මලට නිතර කියන දෙයක් තමයි ඔයාලට ඕන දේම නෙවෙයි, එයාලා ආස දේවලුත් අහලා එවන්න කියලා. අම්මා, තාත්තා කාර්යබහුලයි කියලා අම්මගෙ බත් එකෙන් ටිකක් බබාට දාල යවන්න එපා. තියෙන මොකක් හරි ඔතලා, අන්දලා ඉගෙන ගන්න තැනට දාලා දුවලා, වගකීමෙන් නිදහස් වෙන්න එපා. එතකොට වෙන්නෙ පොඩි කාලෙ ඉඳලා දරුවෙක් අපිට ඕන දේ කාලා, අපිට ඕන පන්තියට ගිහිල්ලා, අපිට ඕන දේ ඇඳලා, අපිට ඕන දේ කරලා විතරයි. ඒක සාර්ථක නැහැ. දරුවෙක්ට පොඩි කාලෙ ඉඳලා තනියම නැඟී සිටින්න පුරුදු කරන්න නම් පෞරුෂ වර්ධනය කරන්න නම් ළමයගෙ මානසික මට්ටම, හැඟීම්, දැනීම් තේරුම් අරන්, එයාගෙන කැමැත්තටත් ඉඩ දිය යුතුයි. එතකොට තමයි දරුවො ආසාවෙන් දෙයක් සාර්ථකව කරගන්න බලන්නෙ.
මම අද සාර්ථක මවක් ලෙස දිනලා
මම දරුවො තුන්දෙනෙක් ඉන්න Single Perant කෙනෙක්. තනි අම්ම කෙනෙක්. මගේ අධ්‍යාපන කටයුතු, රැකියාව, මේ හැමදේම කරගන්න ගමන් තමයි දරුවො මගේ දරුවො තුන්දෙනා හැදුවෙ. මම කවදාවත් මට අරක නැහැ, මේක නැහැ, මට බැහැ කියලා හිතලා නැහැ. මම හිතුවෙ ළමයි ලස්සනට හදනවා, හොඳට උගන්වනවා, හොඳ තැන්වලට යවනවා කියලා. මටත් ජීවිතේ ලොකු ප්‍රශ්න ආවා. ඒවට මම සැලුනෙ නැහැ. කාටවත් අත නොපා ජීවිතේ ජයගන්න මම වැඩ කළා. මම හැමවෙලේම හිතුවෙ %I can do it^ කියලා.
මට මගේ සහෝදර සහෝදරියන්ගෙන් දරුවො රැකබලා ගන්න ලොකු සහයෝගයක් ලැබුණත්, කවදාවත් මම කාර්යබහුලයි කියලා දරුවන්ව මඟහැරලා නැහැ. මෙහෙකාරියක් හිටියත් මම දරුවන්ව ඒ වගේ අයට දීලා නිදහස් වෙලා ඉඳලත් නැහැ. ලොකු වෙනකල්ම දරුවො තුන්දෙනා එක්ක බොහොම සමීපව කටයුතු කළා. මම පිටරටවල වැඩමුළු, ලංකාවෙ වැඩමුළුවලට සහභාගී වෙනවා. මොන්ටිසෝරි දෙකක් කරනවා. ගුරුවරු පුහුණු කරන ආයතන දෙකක් කරනවා. ඒ කොච්චර වැඩ තිබුණත් උදෙන්ම නැඟිටලා, උයලා පිහලා, කවලා පොවලා හැමදේම කළේ මගෙ අතින්. මම තනියම කියලා කිසිම දෙයක් අතහැරියෙ නැහැ. මගේ දරුවො තුන්දෙනාගෙ වයස පරතරය අවුරු පහෙන් පහට. ලොකු දුව පොඩි දෙන්නව ගොඩක් වගකීමෙන් බලා ගත්තා. ඒ වගේම මගේ පුතත් තාත්තෙක් වගේ අක්කා, නංගිගෙ ආරක්ෂාව ගැන හොයලා බලන්න, අපි ගැන හොයල බලන්න පුරුදු වුණා. ඒවට ගොඩක් හේතු වුණේ මම එයාලට නිතර කියනවා %මෙහෙම තාත්තලා ඉන්නවා, ඒ තාත්තලා වැඩ කරන්නෙ මෙහෙමයි, අපේ අම්මලා අපිව හැදුවෙ මෙහෙමයි^ කියලා. එහෙම දරුවන්ට නොදැනෙන දේවල් කියලා දීලා පෞරුෂ වර්ධනය කරලා තමන්ගෙ පවුල සමබර කරගන්න බුද්ධිමත් වෙන්න ඕන. ප්‍රශ්න, ප්‍රශ්න, අඩුපාඩු කියලා, මට වෙලාව නැහැ කියලා කිසිමදෙයක් මඟහරින්න එපා.
අනෙක් කාරණය මම කවදාවත් කියලා නැහැ ලෝකෙ වටේ ගිහින් ඇවිත් ඔයාල ඩොක්ටර්ස්ලා වෙන්න, ලෝයර්ස්ලා වෙන්න කියලා. ලෝකෙ තියෙන සාර්ථකම මොන්ටිසෝරි ක්‍රමය මම හැදෑරුවා කියලා මම මගේ දරුවන්ට කියලා නැහැ ඔයාලා මොන්ටිසෝරි කරන්න කියලා. මම එයාල කැමති දේට ඉඩ දුන්නා. මගේ ලොකු දුව පොඩි කාලෙ ඉඳලා හරි ආසයි ඉංග්‍රීසි භාෂාව වගේම තව තව භාෂා ඉගෙන ගන්න. මම එයාව ඒ පැත්තෙන්ම යැව්වා. අද එයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක්. පුතා පොඩි කාලෙ ඉඳලා ප්ලේන් අත ගානවා. ඒවායේ ටයර් ගලවලවා. පයිලට්ලා වගේ ඇඳුම් අඳිනවා. ඒ පොත්පත් බලනවා. ඉතිං මම එයාව ගණිත අංශයෙන් වැඩිදුර අධ්‍යාපනයට යොමු කරලා, මුල ඉඳලම සල්ලිත් ඉතුරු කරගෙන හොඳට සැලසුම් කරලා පයිලට් කෙනෙක් වෙන්න ඉගැන්නුවා. අද එයා පයිලට් කෙනෙක්. පොඩි දුවත් ඒ විදිහට කරගෙන අද එයත් කටාර් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක්. මගේ පොඩි දුව කියනවා එයා ගිය සම්මුඛ පරීක්ෂණයට 7000ක් විතර ඇවිත් හිටියලු. දුවට තිබුණෙ ඉංග්‍රීසි දැනුම විතරයි. නමුත් එතනදි මෙයාගෙ පෞරුෂය, ඒකට මුහුණදීපු විදිහ ආකාරය අනුව මෙයාව තෝරගෙන තිබුණා. මම කියන්නෙ අන්න ඒ විදිහට ළමයෙක්ට උගන්නලා විතරක් තල්ලු කළාට මදි. ඒ දරුවගෙ පෞරුෂ වර්ධනයට, තනියෙන් ගිහින් බය නැතිව යමක් කරගන්න පුළුවන් විදිහට මුල ඉඳලම දරුවව හදන්න ඕන. සමාජයට ගිහින් බය නැතිව ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් විදිහට දරුවෙක්ව හදන්න ඕන.
I can do it කියලා හිතන්න
මේ රටේ හුඟක් මව්වරු, පියවරු හිතින් අඬන අය. ඒ අය උඩින් හිනාවෙලා හිටියත් ගෙවල්වල ප්‍රශ්න නිසා දුක්විඳිනවා. ඒ මොන ප්‍රශ්න තිබුණත් දරුවන්ට ඒවා නොපන්වා එයාලව හොඳට හදන්න හිත හයිය කරගන්න ඕන. දරුවො හදාගෙන සතුටින් ජීවත් වෙන්න. නැති දේවල් ගැන හිතන්න එපා. හැමදේම ලැබෙන මිනිස්සු මේ ලෝකෙ නැහැ. ඒ නිසා තමන්ට තියෙන ප්‍රශ්න දරුවො පිටින් යවන්න එපා. මම අද මෙතනට එන්න ලොකු වගකීමක් දරපු Single parent කෙනෙක්. මම හිතුවෙ මම මගේ දරුවො වෙනුවෙන් කොහොම හරි කරනවා කියලා. අන්න ඒ ශක්තිය තියාගන්න. මොන ප්‍රශ්න ආවත් අම්මලා, තාත්තලා දෙගොල්ලොම සැලෙන්න එපා. සමහර තාත්තලා ඉන්නවා අම්මලාට වැඩිය හොඳට දරුවො බලනවා. ඒ වගේම සමහර අම්මලා ඉන්නවා තාත්තලාට පවරලා දරුවො මඟහරින. සමහර තාත්තලා ඉන්නවා අම්මට පවරලා මඟහරිනවා. ඒ හැමෝටම කියන්න තියෙන්නෙ ඔයාලා දරුවො ගෙන්න ගත්ත නම් වගකීම් පැහැර හරින්න එපා කියලයි. ගෙදර ප්‍රශ්න දරුවො ඉස්සරහ ඇති කරගන්න එපා. ඒවා දරුවන්ගේ පෞරුෂ වර්ධනයට ලොකු හානියක්. අපේ ප්‍රශ්නවලට දරුවො පලි නැහැ. ඒ නිසා වැඩිහිටියන්ගෙ ගැටලු දරුවන්ගෙන් දුරස්වෙලා විසඳගන්න පුරුදු වෙන්න.
අනෙක් කාරණය තමයි කාර්යබහුලත්වය නිසා වැඩට ඉන්න අයට දරුවො දාලා යනකොට සැලකිලිමත් වෙන්න. මම අවශ්‍යතාවයකට විදෙස් රටකට ගියත් දරුවො දාලා ගියේ බුද්ධිමත්, දරුවන්ට ආදරේ කරුණාව දක්වන අය ළඟ. මගේම සහෝදරියක් වගේ කෙනෙක් ළඟ මිසක් මෙහෙකාරියකට නෙවෙයි. ඒ වැරැද්ද කරගන්න එපා. මෙහෙකාරියක් කියන්නෙ බුද්ධි මට්ටමෙන් අඩු කෙනෙක්. විකල්පයක් ඇත්තෙම නැත්නම් ඒ අය ළඟ දාල යනවට වඩා හොඳයි හොඳ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක දරුවා දාල යන එක. දරුවන්ට ලිංගික අපයෝජන, මානසික අවපීඩනතා එන එකත් ඒකෙන් වළකිනවා. දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල වුණත් මම නම් කවදාවත් Nanny ලා තියන්නෙ නැහැ. මගේ ටීචර්ස්ලම තමයි දරුවන්ගෙ සියලු වැඩ කරන්නෙ. ඒ නිසා ඒ වගේ තැන්වල දරුවො දාල යනවා නම් කාර්යබහුලත්වය ගැන නොසිතා ඒවා ගැනත් සොයල බලන්න. ආච්චිලා සීයල ළඟ දරුවො දාල යන එකත් අසාධාරණයි. ඒ අය නිදහසේ ඉන්න ඕන කාලෙ එයාල ළඟ දරුවො දාල යන එක එයාලට හොඳ නැහැ. අනෙක් පැත්තෙන් දරුවො ටිකක් හිතුවක්කාර වෙන්න බලනවා. මොකද ආච්චිලා, සීයලා දරුවන්ට තියෙන ආදරේ නිසා කියන කියන හැමදේම කරනවා. ඒක පෞරුෂ වර්ධනයට හානියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට තියෙන ශාරීරික අපහසුතා නිසා දරුවෙක්ගෙ පස්සෙන් දුවල පැනලා බලන්න බැරිකමට දරුවො පිට ගිහින් වෙන වෙන හානි කරගන්න පුළුවන්.
අම්මලා, තාත්තලා කොච්චර හවස්වෙලා ආවත් දරුවො දවස ගතකරපු හැටි ළඟට වෙලා අහන එක පුරුද්දක් කරගන්න. එකෙන් දරුවන්ට සිද්ධවෙන්න පුළුවන් හානි බොහෝමයක් වළක්වාගන්න පුළුවන්. ඒ බැඳීම ඇතිකර ගත්තම තමයි දරුවා නොසඟවා දවසේ විස්තර කියන්නෙ. ඒක දරුවෙකුගේ ආරක්ෂාව, ලිංගික හිංසන, අපයෝජන වළක්වා ගන්න ලොකු හේතුවක්. පොඩි හරි මානසික වියවුල්භාවයක් තියෙනවා නම් ඒක මඟහැරෙනවා. මම වුණත් මොන්ටිසෝරියෙදි දරුවන්ගෙ මට්ටමට ගිහිල්ලා එයාලගෙ ළඟින් ඉදගෙන දණ ගහගෙන, ආදරෙන් තුරුල් කරගෙන කතා කරනකොට, දෙමාපියන්ට නොකියන දේවල් දරුවො මාත් එක්ක කියලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා දරුවන්ට සමීපව ඉන්න.
ඒ වගේම කොයිතරම් කාර්යබහුල වුණත් දරුවන්ට පෝෂණීය කෑමවේලක් දෙන එක අමතක කරන්න එපා. මොකද පොඩි කාලෙ කන බොන දේවල් තමයි දරුවට මුළු ජීවිත කාලෙටම බලපාන්නෙ. දරුවෙක් කියන්නෙ තනියම මොකුත් කරකියා ගන්න බැරි පුංචි මනසක් තියෙන අහිංසක කෙනෙක්. එයාලට හොඳට කන්නබොන්න දීලා. එයාල එක්ක කතාබහ කරලා, එයාලව තේරුම් අරගෙන එයාලට ආරක්ෂාව සපයන එක දෙමාපියන්ගෙ වගකීම.
පසුගිය දින කිහිපය තුළ ළමා දිනය ලොව පුරා උත්කර්ෂවත් අන්දමින් සැමරුවා. මම කියන්නේ දරුවො ඉන්නතාක් කල් තමන්ට පුළුවන් විදිහට දරුවන්ට හොඳින් සලකලා රැකබලා ගන්න එක ජීවිත කාලය පුරාම සමරන්න කියලයි.