දරුවන්ගේ අධ්‍යාපනය මගහැරුණා කියා දුක්විය යුතු නැහැ


පවතින වසංගත තත්ත්වය මත බොහෝ දරුවෝ නිවෙස් තුළ කොටුව සිටිති. ඔවුන්ට පාසල් අධ්‍යාපනය අහිමි වී ඇත. මේ නිසා කණගාටු වන දෙමාපියන් වෙනුවෙන් පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් දැක්වූයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ මහත්මියයි.

එහිදී ඇය ඒ පිළිබඳව දීර්ඝව මෙලෙස අදහස් දැක්වූවාය.

"කෝවිඩ් වසංගතය නිසා මාසයක පමණ කාලයක් රටේ දරුවෝ ගෙදරට වෙලා ඉන්නවා. ඇතැම් පවුල්වල දෙමාපියන් එක්ක ළමයි ගෙදර ඉන්නවා. සමහර පවුල්වල දෙමාපියන් අත්‍යාවශ්‍ය සේවා වලට ගිහින් නිසා ළමයින් පමණක් නිවෙස්වල සිටිනවා. මේ දරුවන් සමග කොහොමද දවස ගත කරන්නේ කියන එක සම්බන්ධව රටේ විශාල ප්‍රශ්නයක් සහ ආතතිමය තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ වගේම මගහැරෙන අධ්‍යාපන කාලය සමග ඉදිරියේදී දරුවන්ගේ ජීවිත පසුබෑමකට ලක්වේවිද? යනුවෙන් විශාල කතිකාවතක් දෙමාපියන් තුළ නිර්මාණය වී තිබෙනවා. මේ නිසා අපි හිතුවා දෙමාපියන්ට උදව් වන කරුණු කාරණා කිහිපයක් බෙදාගන්න. පළමු දේ තමයි දෙමාපියන්ටත්, දරුවන්ටත් මේ කාල සීමාවේ ආතතියක් ඇති වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. මොකද අපි හැමෝම වෙනස් තත්ත්වයකට තමයි මුහුණ දී සිටින්නේ. අපේ සාමාන්‍ය දින චර්යාව වෙනස් වෙලා තිබෙනවා. ඒ අනුව ගැටලුකාරී තත්ත්ව ඇති වෙන එක සාමාන්‍යයයි. නමුත් මේ ගැටලුකාරී තත්ත්වය ගැන අපිට දෙවිදියකට බලන්න පුළුවන්. ඒ අනුව මේක ප්‍රශ්නයක් කියල හිතලා හිත කලබල කරගන්න එපා. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද කියල බලන්න අපිට පුළුවන්. මේක තමන්ගේ දරුවන් එක්ක නිදහසේ ගතකරන්න ලැබුණ හොඳ අවස්ථාවක්. අපේ පුරුදු දින චර්යාවේ අපිට ඒ සඳහා කාලයක් ලැබී තිබුණේ නැහැ. නමුත් දැන් අපිට දරුවොත් එක්ක නිදහසේ දරුවාගේ වෙනත් කුසලතා අධ්‍යයනය කරගෙන, ඒවා වර්ධනය කරන්න දේවල් කරන්න පුළුවන්. අපි දරුවෙක්ගේ අධ්‍යාපනය කියලා බැලුවාම මූලිකවම හිතන්නේ පාසලේ පන්ති කාමරයේ උගන්වන විෂය කරුණු ගැනයි. නමුත් අධ්‍යාපනය කියන්නේ විෂය කරුණු වලට වඩා එහා ගිය පුළුල් දැනුම් සම්භාරයක්. අපේ පැවැති ජීවන රටාවේදී අපිට බැරිවුණා මේ පුළුල් දැනුම් සම්භාරය අපේ දරුවන්ට ලබාදෙන්නට. විෂය කරුණු වලට අමතරව දරුවෙක්ට අනාගතයේ සාර්ථක වැඩිහිටියෙක් බවට පත්වන්නට ලැබිය යුතු දැනුම සම්බන්ධයෙන් "21වන සියවසට අවශ්‍ය කරන ඉගෙනුම් කුසලතා" යනුවෙන් ලැයිස්තුවක් නම්කර තිබෙනවා. අපි එහි සඳහන් කරුණු කීපයක් විමසා බැලුවොත්,

විචාරාත්මක චින්තනය - එනම් ගැටලුවක් දෙස විචාරාත්මකව බලා එයට පිළිතුරු සොයන ආකාරය.

නව නිර්මාණශීලීත්වය- අලුත් යමක් උත්පාදනය කරන ආකාරය.

සන්නිවේදනය - පිරිසක් ඉදිරියේ කතා කරන්නේ කොහොමද සහ කම්පනයකින් යුතුව කතාබහ කරන්නේ කොහොමද කියන එක.

මේවා දරුවෙක්ට පසුකාලීනව සමාජයේ කටයුතු කරද්දී සාර්ථක වෙන්න අත්‍යාවශ්‍ය වෙනවා.

ඒ වගේම තොරතුරු හා මාධ්‍ය සාක්ෂරතාව ඉතා වැදගත්. මේ මාධ්‍ය සාක්ෂරතාව නැති තැන තොරතුරු වසංගත තත්ත්වයකට පත්වෙනවා. අපේ රටේ මේ තත්ත්වය දැන් ඇතිවෙමින් තිබෙනවා. අනාගතයේ ඩිජිටල් ලෝකයට එන දරුවන්ට අත්‍යාවශ්‍යම කුසලතාවක් තමයි තමන්ට ලැබෙන තොරතුර සත්‍ය තොරතුරක්ද යන්න හඳුනා ගැනීමට ඇති හැකියාව.

ඒ වගේම අපිට අවශ්‍යයි නම්‍යශීලීව අනුවර්තනය වීමේ හැකියාවක්. අද අපිට ප්‍රශ්න එකින් එකට එනවා. කෝවිඩ් ප්‍රශ්නය තියෙද්දී ගංවතුර ඇවිත් තිබෙනවා. ඒ ඔස්සේ එන රෝග තිබෙනවා. නැව නිසා ඇතිවූ පරිසර ප්‍රශ්න, තෙල් කාන්දුව නිසා ඇතිවුණ ප්‍රශ්න වගේ පාරිසරික ප්‍රශ්නත් රටේ ඇතිවෙනවා. මේවා ගැන අවධානය යොමු කරලා දරුවන්ට නව නිෂ්පාදන කරන ආකාරය, ඒවා ආශ්‍රිතව අලුත් සංකල්ප හා ගැටලු වලට පිළියම් සොයන ආකාරය පිළිබඳ හිතන්න අවස්ථාව සාදා දිය හැකියි. ඒ අනුව දෙමාපියන් දරුවන් සමග කාලය ගත කළ යුතුයි. එදිනෙදා කටයුතු වලදී දරුවන්ට අලුතින් හිතන්න පුළුවන්  වාතාවරණයක් සකස් කිරීම සිදුකළ හැකියි. තමන්ගේ දරුවාගේ වයසට අනුව අවශ්‍ය තොරතුරු ලබාදෙමින්  ඒ කටයුතු වල යොදවන්න අවශ්‍යයි. විශේෂයෙන් දරුවන්ට දැනෙන්න හරින්න අවශ්‍යයි ආදරය, කරුණාව හා සෙනෙහස යන ඕනෑම දෙයකදී ඔවුන් සමග දෙමාපියන් ඉන්නවා කියන හැඟීම. ඒ හරහා දරුවන් අතර තිබෙන ආතතිය අඩු කරගන්න පුළුවන්. මේ කාලය දරුවන්ට හොඳ ගුණාංග ඉගෙන ගන්න වටිනා කාලයක්. අනෙක් එක තමයි පාසල් අධ්‍යාපනය අහිමි වීමෙන් දරුවන්ට ලොකු පාඩුවක් සිදුවෙනවා කියල බය වෙන්න එපා. මොකද ඔබේ දරුවාගේ සම වයසේ සිටින හැම දරුවෙක්ටම මේ අවස්ථාවේදී යම් ආකාරයකට අධ්‍යාපනය අහිමි වෙනවා. එය රටේ දරුවන්ට වගේම ලෝකේ අනෙක් දරුවන්ටත් පොදු තත්ත්වයක්. අවසානයේ දරුවෝ මේ මගහැරෙන දැනුම අල්ලා ගනීවි. අපි හැමදාම මේ තත්ත්වයේ ඉන්න බලාපොරොත්තුවක් නැහැනේ. අපි කවදා හරි යථා තත්ත්වයට පත්වේවි. එවිට මේ මගහැරුණ අධ්‍යාපනය දරුවෝ අල්ලා ගනීවී. ඒ සඳහා දරුවන්ට සුවිශේෂී සහජ හැකියාවක් තිබෙනවා. අපි එයට ඉංග්‍රීසියෙන් කියන්නේ රෙසිලියන් (resilience) කියලා. දරුවන් තුළ තිබෙන මේ හැකියාව ඔප්නංවන්න නම් දෙමාපියන් මේ කාල සීමාවේ තමන්ගේ දරුවන්ට ආදරය, කරුණාව, සෙනෙහස දැක්විය යුතුයි. දරුවොත් එක්ක තරහ ගන්නේ නැතිව ඔවුන්ගේ හැසිරීම ධනාත්මකව පාලනය කිරීමයි සිදුකළ යුත්තේ."

වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය දෙමාපියන් වෙනුවෙන් උපදෙස් මාලාවක් එදින නිකුත් කරනු ලැබීය. කෝවිච් 19 සමයේ දරුවන් රැක බලා ගැනීම යනුවෙන් නිකුත් කර ඇති එම උපදෙස් මාලාවේ 10වැන්නේ දැක්වෙන්නේ සෙල්ලම් කිරීම ඉගෙනීමට මඟක් ලෙස දායක කරගන්නා ආකාරය පිළිබඳවයි. ඒ අනුව කෝවිච් සමයේ සෙල්ලම් කිරීම තුළින් ඉගෙන ගන්නට දරුවන් යොමු කරන ආකාරය මෙලෙස උපුටා දක්වමු.

පාසල් වැසීම නිසා බොහෝ දරුවන් තම නිවසේ හුදෙකලා වී ඇත. නමුත් ඔබ දන්නවාද, සෙල්ලම් කිරීම දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නා ප්‍රධානම ක්‍රමය බව. ඉතින් ඔබටත් මෙය අත්හදා බැලිය හැකියි. සෑම වයස් කාණ්ඩයකටම මෙය විනෝද විය හැකි දෙයකි.

සෙල්ලම් ක්‍රම

බොහෝ ආකාරයේ සෙල්ලම් ක්‍රම තිබෙනවා. ඒවා විනෝදජනක මෙන්ම අධ්‍යාපනික විය හැකියි. විවිධ භාෂා, අංක විධ වස්තූන්, නාට්‍ය හා සංගීතය ආශ්‍රිත සෙල්ලම් මගින් ළමයින්ට ගවේෂණාත්මක අවස්ථා ලබාදිය හැකි අතරම හා තම අත්දැකීම ආරක්ෂිත හා විනෝදජනක ආකාරයකින් ප්‍රකාශ කිරීමටද අවස්ථාවක් කරගත හැක.

පහත දක්වා ඇත්තේ ඔබට දරුවන් සමග නිවසේදී අත්හදා බැලිය හැකි සෙල්ලම් කිහිපයකි.

 කතන්දර කීම

ඔබේ ළමා කාලයේ අත්දැකීම් තුළින් ඔබේ දරුවන්ට කතාවක් කියන්න. ඔබේ දරුවන්ට ඔබට කතාවක් කියන්න අවස්ථාව ‍දෙන්න. &එකමත් එක රටක” ලෙස ආරම්භ කර සෑම දරුවෙකුටම අලුත් වාක්‍යයක් හෝ එයට එකතු කිරීමට ඉඩ දෙමින් දරුවන් හා එක්ව නව කතාන්දර නිර්මාණය කරන්න.

කැමතිම කතාවක් හෝ චිත්‍රපටයක් රඟපාන, වැඩිහිටි දරුවන්ට තමාට වඩා කුඩා දරුවන් ඒ සඳහා යොමු කිරීමට අවස්ථාව දෙන්න. එමගින් ඔවුන් වගකීමක් දැරීමට ඉගෙන ගනී.

සිතිවිලි මැවීමට එදිනෙදා පාවිච්චි කරන විවිධ භාණ්ඩ යොදා ගැනීම

එදිනෙදා භාවිතා කරන කොසු වැනි භාණ්ඩ සෙල්ලම් කිරීමේදී විනෝද වීමට අවශ්‍ය උපාංග ලෙස යොදා ගන්න. කාමරය මැද වස්තුවක් තබා ඒ පිළිබඳ අදහසක් ඇති ඕනෑම කෙනෙකුට ඉදිරිපත් වී අභිරූපණයෙන් එය අන් අයට පෙන්වීමට ඉඩ සලස්වන්න.

• උදාහරණයක් ලෙස කොස්ස අශ්වයෙකු, මයික්‍රොෆෝනයක් හෝ ගිටාරයක් ලෙස පෙන්වීම.

මතකය ආශ්‍රිත සෙල්ලම්

කෝවිඩ් 19 අවසන් වූ වහාම මම බලාපොරොත්තු වෙනවා..........(උදා. ළමා උද්‍යානයට යන්න) ලෙස පළමුවැන්නාට ආරම්භ කළ හැක.

"කෝවිඩ් 19 අවසන් වූ වහාම මම බලාපොරොත්තු වෙනවා ළමා උද්‍යානයට යෑමට අමතරව මගේ හොඳම යහළුවා බැලීමටද යන්න” ලෙස දෙවැන්නාට එයට එකතු කළ හැක. මෙලෙස එක් එක් පුද්ගලයා කෝවිඩ්19 අවසන් වූ වහාම තමන් කිරීමට බලාපොරොත්තු වන දේ සිතීමට උත්සාහ කිරීම විනෝදජනක වේ.

 ගීත ගායනා කිරීම.

• ඔබේ දරුවාට ගීත ගායනා කිරීම දරුවාගේ භාෂාව දියුණු කිරීමට උදව් වේ.

• ඔබ ගීතයක් වාදනය හෝ ගායනා කර පළමුව එය නිවැරදිව අනුමාන කරන දරුවා ඊළඟ නායකයා බවට පත් කරන්න.

• අත් සේදීම හෝ සමාජීය දුරස්ථ බව පිළිබඳව ගීතයක් නිර්මාණය කරන්න. හැකිනම් එයට නර්තනයක්ද එක් කරන්න.

චලන ආශ්‍රිත සෙල්ලම්

• ඔබේ දරුවාගේ ප්‍රියතම ගීත සඳහා නර්තන නිර්මාණයක් කරන්න.

• පළමුවැන්නා නර්තන චලනයක් ඉදිරිපත් කළ විට අනෙක් අය එය අනුගමනය කළ යුතුය.

• වරින් වර සියල්ලෝම නායකයා වන්න.

• එක් විනාඩියකදී කකුලේ ඇඟිලි ස්පර්ශ කර උඩපැනීමේ අභියෝගය වැඩි වාර ගණනක් කරන්නා තෝරන්න.

• කන්නාඩියකින් පෙනෙන ලෙස එකිනෙකාගේ මුහුණේ ඉරියව් චලනයන් මෙන්ම ශබ්දද අනුගමනය කරන්න.

• මෙය නායකයන් මාරු කරමින් කරන්න. පසුව නායකයෙක් නොමැතිවද කරන්න.

• සංගීතයක් හෝ ගායනයක් ඉදිරිපත් කර සියල්ලන්ටම නර්තනයේ යෙදෙන්න සලස්වන්න. සංගීතය හෝ ගායනය එක්වරම නවත්වා සියල්ලන්ටම නොසෙල් වී සිටීමට අණ කරන්න. අවසානය තෙක් තරගයේ රැඳෙන්නා ඊළඟ වටයේ විනිශ්චයකරු කරන්න.

• ඉහත ආකාරයටම, සංගීතය නතර වූ විට සතෙකුගේ නමක් කියා සෑම කෙනෙකුටම එම සත්ත්වයා බවට පත්වීමට අණ කරන්න.



Recommended Articles